පැන්ස තුනේ කතාව යනු බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ (1898 – 1956) ‘ද ත්‍රී පෙනි ඔපෙරා’ නාට්‍යය පදනම් කැරගත් නාට්‍යයක් බව එහි කංචුකයේ දැක්වේ. බ්‍රෙෂ්ට්ගේ ‘ද ත්‍රී පෙනි ඔපෙරා’ නාට්‍යය 1928 මුල් වරට වේදිකාගත කරනු ලැබිණි.
මේ කෘතිය කරළියට ගෙන ආ නිෂ්පාදකයා බ්‍රෙෂ්ට් වන නමුත් කර්තෘ ඔහු නොවන බව සඳහන් ය.
18 සියවසේ මුල් භාගයේ බ්‍රිතාන්‍යයේ විසූ කීර්තිමත් නිර්මාණකරුවකු වූ ජෝන් ගේ (1685 – 1732) විසින් 1728 දී ලියන ලද, බැලාඩ් ඔපෙරා නම් ෂානරය යටතේ ගැනෙන ‘ද බෙගර්ස් ඔපෙරා’ නම් කෘතිය ‘ද ත්‍රී පෙනි ඔපෙරා’ හි මුල් කෘතිය ලෙස ගැනේ. ‘යාචක ඔපෙරාව’ ජර්මන් බසට පරිවර්තනය කොට ඇත්තේ බ්‍රෙෂ්ට්ගේ කණ්ඩායමේ සාමාජිකාවක් වූ එලිසබෙත් හඋඑමාන් විසිනි. ඇය එය පරිවර්තනය කරන්නට පෙලැඹී ඇත්තේ එය නරඹා එහි කාලීන වැදගත්කම වටහා ගත් නිසා බවත්, මුල දී බ්‍රෙෂ්ට් එය එතරම් ගණන් නොගත් බවත්, පසුව එය වේදිකාගත කරන්නට පෙලඹුණු බවත් සඳහන් ය. ඊට හේතුව නාට්‍ය පිටපත තමා කම්පනයට පත්කළ නිසා බව ඔහු පවසා ඇත. පසුව පිටපතේ කර්තෘත්වය බ්‍රෙෂ්ට් විසින් පවරා ගෙන ඇත. ‘යාචක ඔපෙරාව’ පැන්ස තුනේ ඔපෙරාව බවට පත් කිරීමේ දී බ්‍රෙෂ්ට් සංස්කරණ බොහෝ ගණනක් කරන ලද බවත්, මෙහි එන සින්දු සියල්ල ඔහුගේ නිර්මාණ බවත් පැවසේ. ඒ අනුව ෆුඑජිගේ අදහස නිවැරදි නොවන බවට කරුණු ඉදිරිපත් කෙරේ.
මේ ගණයේ නාට්‍යය ප්‍රබල ලෙස සංගීතය හා බද්ධ ය. ගේ විසින් මෙය රචනා කරන ලද්දේ යාචක කණ්ඩායමක කතාවක් ලෙසිනි. එකල එංගලන්තයේ භාවිත වටිනාකමකින් අඩු ම ‘ත්‍රී පෙනි’ (මෙයින් අදහස් කෙරෙන්නේ වර්තමාන පැන්ස තුන නොවන බව සඳහන් ය.) නම් කාසිය යාචකයන්ට සුලබ ව ලැබුණකි. ලන්ඩන් නගරෝපාන්තයක වෙසෙන පිහි මැකී නම් පාතාල මැරයා ද, යාචක ආයතනයක හිමිකරු වන පීචම් ද, ඔහුගේ දියණිය වන පොලී සහ ප්‍රදේශයේ පොලිස් ප්‍රධානියා වන බ්‍රවුන් ද මේ කතා වස්තුවේ ප්‍රමුඛ චරිත ලෙස ගත හැකි ය. නාට්‍යය ඇරඹෙන්නට පෙර පූර්ව රංගය වශයෙන් ඉදිරිපත් කෙරෙන ජවනිකාවේ දී පිහි මැකී ගැන ගායනීය හැඳින්වීමක් ඉදිරිපත් කෙරේ.
තියුණු දත් තියෙයි මෝරාට
මුවග ඌ ඒ දරන්නේ
පිහියක් ඔහු අතැත්තේ
එහෙත් කිසිවකුට නොපෙනේ
වරලින් ඒ රුදු මෝරාගේ
වැගිරෙයි සැම විටකම ලේ
අඳියි අත් වැස්මක් මැකී
නොපෙනේ කිසිම වරදක්
මේ ආකාර කවි නමයකින් ඔහුගේ මිනී මැරුම්, ස්ත්‍රී දූෂණ, සොරකම්, මංකොල්ලකෑම් යනාදී සියලු මැරකම් ගැන විස්තරයක් ඉදිරිපත් කෙරේ.පීචම් යනු ප්‍රදේශයේ යාචකයන් නියාමනය කරන ආයතනයක් පවත්වා ගෙන යන තැනැත්තා ය. ඔහුගේ ආයතනයේ ‘බලපත්‍රයක්’ නොමැතිව ඒ ප්‍රදේශයේ ‘යාචක වෘත්තියේ’ යෙදිය නොහැකි ය. යාචකයන් බඳවා ගැනීම, ඔවුන් වෙස් ගැන්වීම, ඔවුන්ට ස්ථාන නියම කිරීම යනාදිය කරනු ලබන්නේ මේ ආයතනයයි. ආයතනය පවත්වාගෙන යාමේ දී සද්ගුණවත් පීචම්ට සිය බිරිඳගේ සහාය ද නොඅඩුව ලැබේ. මේ යුවළට පොලී නමැති තරුණ රුවැති දියණියක් සිටියි.
පොලී තරුණයෙක් හා පෙමින් බැඳේ. ඇගේ මව ඒ බව පියාට කියයි. හැඩහුරුකම් අනුව ඒ වනාහි පිහි මැකී නම් පාතාල නායකයා බව පීචම් බිරිඳට කියයි.
දින කිහිපයකට පසු පොලී මාපියන්ට එරෙහි ව නිවසින් පිටව ගොස් මැකී හා විවාහ වෙයි. මේ විවාහයට සියලු පහසුකම් සපයන්නේ මැකීගේ හොර නඩයේ අය විසිනි. විවාහ මංගලෝත්සවය පවත්වනු ලබන්නේ අශ්ව ඉස්තාලයක ය. නව යුවළට සුබ පැතීම සඳහා පොලිස් ප්‍රධානියා වන බ්‍රවුන් ද සහභාගි වෙයි.
මේ අතර පීචම් ඔහුට විරුද්ධව පොලිසියේ පැමිණිල්ලක් ඉදිරිපත් කරයි. ඒ අනුව මැකී අත් අඩංගුවට ගන්නට පොලිසියට සිදු වෙයි. පොලිස් කූඩුවේ සිටින මැකී එහි එන කොස්තාපල් ඇතුළට දමා පැන ගනී. පොලීගේ ඉල්ලීම මත ඔහු පලා යයි. එසේ යන්නට පෙර සිය මැර නඩය මෙහෙයවීම ඇයට පවරයි. මැකීට බොහෝ ලිංගික සහකාරියන් සිටිති. ඔහු යන්නේ එයින් එකියක් වෙත ය. එතැනට පොලී ද පැමිණෙයි. ගැහැනුන් දෙදෙනා අතර කිසියම් ගැටුම්කාරී වාතාවරණයක් උදා වුවත් එය ප්‍රහසනකාරී බවද වැටහෙයි. මේ අතර ඔහු සමඟ උරණ ව සිටින ජෙනී නම් ගණිකාව ඔහු පොලිසියට අල්ලා දීමේ වෑයමක් දරයි. අවසානයේ මැකී පොලිසියට කොටුවෙයි.
මැකීි රැජිනගේ මෞලි මංගල්‍ය දා ඕල්ඩ්බේල සිරගෙදර දී එල්ලා මරන්නට නියම වෙයි. මේ අතර ඔහු බලන්නට සිරගෙදරට ඇතුඵ වන්නට සියල්ලන්ට අවසර ලැබෙයි. ඔහුගේ පොලී ද ගෝල කල්ලකඩත්තයෝ ද ඔහු බැහැදකින්නට එති. සිය සගයා බේරාගන්නට පියවර ගන්නට නොහැකිවීම ගැන බ්‍රවුන් බොහෝ විස්සෝප වන අතර ඒ සඳහා ක්‍රියාමාර්ග නොගැනීම ගැන මැකීගේ බැණුම්වලට ලක්වෙයි. පීචම්ගේ යාචක රැල ද සියලු ගණිකාවෝ ද සිරගෙදරට එති.
මේ අතර කිසියම් මෙහෙයුමක් ක්‍රියාත්මක වෙයි. මැකීගේ ගෙලට තොණ්ඩුව වැටෙන්නට මොහොතක් තිබිය දී ඔහු නිදහස් කිරීමේ රාජකීය නියෝගයක් රැගෙන දූතයෙක් පැමිණෙයි. නිදහස් කෙරෙනවා පමණක් නොවේ, නයිට් තනතුරක්ද පිරිනමන ලද බව නිවේදනයේ දැක්වෙයි. එතැන් පටන් ඔහු සර් මැක්හීත් ද පොලී මැක්හීත් ආර්යාව ද වෙති. ඔවුන් දෙදෙනා ද, බ්‍රවුන් ද මැර රැළ ද ප්‍රීති ඝෝෂා පවත්වති.
මේ නාට්‍යය ගැන ප්‍රකට විචාරකයකු වූ පියල් සෝමරත්න විසින් එසමයේ පළ වූ මාවත සඟරාවට සැපයූ ලිපියකින් ගත් උද්ධෘතයකි මේ:
‘නාට්‍යය ගොඩනඟා ඇත්තේ අසම්මත තේමා උඩයි. අපට හුරුපුරුදු මධ්‍යම පාන්තික පුද්ගල අත්දැකීම් වෙනුවට මෙහි ඇත්තේ ලන්ඩනයේ සෝහෝ හා වයිට්චැපල් පෙදෙස්වල පාතාල ලෝකයේ සිදුවීම් දාමයයි. ජීවන අරගලයේ පතුලටම ඇදවැටුණු හිඟන්නන්, මංපහරන්නන් සහ වෙසඟනන් ගැන කතාවක්. ඇත්ත වශයෙන් ම එය කතාවක් නොවේ: එම පීඩිතයන්ගේ ජීවන යථාර්ථය ගැබ් කරගත් සිදුවීම් දාමයකි. ධනේශ්වර සමාජයේ විෂමතාවත් පීඩනයත් නිසා දරිද්‍රතාවේ පත්ලටම වැටුණු මිනිසුන් ජීවිතය ගැට ගසා ගන්නට දරන වෑයමකි.’