– මං නවකයෙක් කියන එක එයාල මට දැනෙන්න දුන්නෙ නෑ
– කෝලම් කුට්ටම කියන්නෙ මට තනිකරම රංගන පාසලක්
තීක්ෂණ අනුරාධගේ සිහින විමන නවතම මියුසික් වීඩියෝව බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ. එහි රංගනයෙන් දායක වන සුජානි මධුවන්ති සිය කුලුඳුල් රංගන අත්දැකීම ලබාගන්නේ අතිශයින්ම ජනප්‍රියත්වය පත්ව පසුගියදා නිමාවට පත්වුණු නාඩගම්කාරයෝ ටෙලි නිර්මාණය හරහාය. කෝලම් කුට්ටම ටෙලි නිර්මාණයේ ද අභියෝගාත්මක රංගනයක නියැළෙමින් මේ දිනවල ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම ලබන ඇය සමඟයි අද අපේ කතාබහ.
තීක්ෂණ අනුරාධගේ අලුත්ම මියුසික් වීඩියෝවත් එක්ක සුජානි මේ දවස්වල බොහෝ දෙනාගේ කතාබහට ලක්වෙලා නේද?
තීක්ෂණ අනුරාධ ගායනා කරන නයෝමා රණවකගේ සිහින විමන් මියුසික් වීඩියෝවට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. දැඩි කාර්යබහුලත්වය නිසා ඇතිවන මානසික අවුල්භාවය නිසා විනාශ වීමට යන සතුටින් පිරුණු පවුල් ජීවිතයක් වටා ගෙතුණු කතාවක් ගැන තමයි මේකෙන් කියවෙන්නේ. විනාශ වෙන්න නොදී ඒ ආදරණීය පවුල ආරක්ෂා වෙන්නේ බිරියගේ ආදරය, ඉවසීම සහ දරාගැනීම නිසා. චමීර ලියනගේ සහ යෙනුත් කොඩිකාරත් (ළමා) මෙහි රංගනයෙන් දායක වෙනවා. නයෝමා රණවකගේ පද රචනයට සංගීතය මුසුව තීක්ෂණ අනුරාධගේ. සංගීත අධ්‍යක්ෂණය ගෙහාන් මෙවන්ත ලියනගේ. සහාය අධ්‍යක්ෂණය සුරේන් ධනංජය රාජපක්ෂ. කැමරා අධ්‍යක්ෂණය Striner Macklain Adams. සමාජයට හොඳ ආදර්ශයක් සපයන ගීතයක් කිවුවත් හරි. මේ දවස්වල හොඳ ප්‍රතිචාර ලබමින් සෝෂල් මීඩියාවල සංසරණය වෙනවා. තවත් මියුසික් විඩියෝ කිහිපයකටම ආරාධනා ලැබුණා. මටත් ගීත ගායන හැකියාව තියෙන නිසා මගේම කියලා නිර්මාණයක් කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා.
මුල්ම අත්දැකීම විදිහට කෝලම් කුට්ටම නාට්‍යයේ මිණිමුතුගේ හොඳම යාළුවාගේ චරිතය ඔබට අභියෝගයක් වුණේ නැද්ද?
මිණිමුතු කියන්නේ ඉස්සන් කොටුවක් කරගෙන, බොහෝ දුෂ්කරතා මැද ජීවත් වෙන දුප්පත් තරුණියක්. එයාගෙ හොඳම යාළුවා භාග්‍යා විදිහට මං ඒ නිර්මාණයට දායක වෙන්නේ යාළුවට උදවු කරන ගමන් අවශ්‍ය විටදී යාළුවගෙ දේවල්වලට මැදිහත් වෙන ළෙන්ගතු චරිතයක් විදිහට. මේක මාදු ගඟ ආශ්‍රිතව කෙරෙන නිර්මාණයක් නිසා ඔරුවෙන් තමයි නිතරම යන්න වෙන්නෙ. ඒ නිසා ඒක මට කොහොමත් අභියෝගයක් වුණා. කාවින්ද්‍යා, අනුරාධ අක්කා වගේම චමීර අයියත් මට ගොඩක් උදවු කළා. මං නවකයෙක් කියන එක එයාල මට දැනෙන්න දුන්නෙ නෑ. සිවා සර් ඇතුළු කණ්ඩායම හරිම මිත්‍රශීලීයි. ඒ වගේ හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්න ලැබීම මගේ වාසනාවක්.
ඔරුව පැදගෙන යද්දි බය හිතුණෙ නැද්ද? ඒ අත්දැකීම් ගැනත් කතා කරමු ?
ඔරු පදින්න තියා මං පීනන්නවත් දන්නෙ නෑ. කිඹුලො ඒවි කියල නිතරම බයෙන් හිටියෙ. දවසක් හවස් වරුවක ඉස්සො කොටුව ළඟ හිටිද්දි හදිසියෙම කුණාටුවක් ආවා. කළුවරත් එක්ක අපි හිටියෙ බෝට්ටුවේ හිටගෙන. ආරක්ෂක බෝට්ටුව තිබුණෙත් ටිකක් ඈතින්. එයාලටත් හුළං නිසා ඉක්මනට එන්න බෑ. කාවින්ද්‍යා අක්කව මෙතැනදි මතක් කරන්නම ඕන. පීනන්න දන්න නිසා එයා බය වුණේ නෑ. මාත් එයාගෙ හයියෙන් එදා කොහොමහරි ඉන්නව කියලා හිතුවා.
තවත් දවසක අපේ ඔරුවයි, කැමරා තියෙන ඔරුවයි දෙකම එකට බැඳල තිබුණෙ. අපි හබල් ගානවා ගානවා කැරකි කැරකි ඈතටමයි යන්නෙ. අපි අත වනනවා. කෑගහනවා. කවුරුත් නෑ. ආරක්ෂක බෝට්ටුවවක් ළඟ පාතක තිබුණෙ නෑ. එක්කෙනෙක් ළඟ පොඩි ෆෝන් එකක් තිබිලා බොහොම අමාරුවෙන් තොටුපොළට කතා කරලා බෝට්ටුවක් ගෙන්න ගත්තේ. එදා නම් හැමෝම බය වුණා.
කෝලම් කුට්ටම නිර්මාණයට ඔබට ආරාධනා ලැබෙන්නේ කොහොමද?
නාඩගම්කාරයෝ පේජ් එකෙන් Fb පෝස්ට් එකක් දාල තිබුණා නර්තන කණ්ඩායමකට පහතරට නර්තනය දන්න අය ගන්නව කියලා. මාත් ෆොටෝ එකක් දාලා ඇප්ලයි කළා. ස්ක්‍රීන් ටෙස්ට් එකට මට එන්න කියල එවලා තිබුණා. එතැනදී සද්ධා මංගල සූරියබණ්ඩාර සර් වගේම සර්ගෙ වයිෆ් චේතනී විජේදාස මිස් තමයි මාව මේකට තෝරගන්නේ. ඒ වෙලාවෙ එතන නර්තනය පුහුණු වෙමින් හිටියෙ. මගෙන් ඇහුවා විනාඩි 10යි තියෙන්නෙ මේක කරල පෙන්නන්න පුළුවන් ද කියලා. මාත් හා කියලා කොහොමහරි විනාඩි 10න් කරල පෙන්නුවා. ඔයාව හදල ගන්න පුළුවන් හෙට ඉඳන් ෂූටින් එන්න පුළුවන් ද ඇහුවා. එදා මං සූදානම් වෙලා ආවෙ ඔඩිෂන් එකට විතරයි. ඒත් මං බෑ නොකියා හා කිවුවා. නාඩගම්කාරයෝ කලායතනයේ අවසන් කොටස් කිහිපයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නේ එහෙමයි.
සුජානිට මුල් රංගන අත්දැකීම් දෙකම ලැබෙන්නෙ එකම නිර්මාණකරුවන් සමඟ. ඒ ගැන මොකද හිතෙන්නෙ?
ඇත්තටම නාඩගම්කාරයෝ එකේ අන්තිම කොටස් කිහිපයට විතරයි දායක වෙන්න ලැබුණේ. ඒකෙන් තමයි කෝලම් කුට්ටමට ලින්ක් වෙන්නෙ. කෝලම් කුට්ටම කියන්නෙ මට තනිකරම රංගන පාසලක්. අධ්යක්ෂ ජයප්‍රකාශ් සිවගුරුනාදන් සර් වගේම තිර රචක සද්ධා සර්ගෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ වෙද්දි ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
සුජානිට ආදරේ ගැන මොන වගේ අත්දැකීමක් ද තියෙන්නේ.
ආදරේට මං හරි ආදරෙයි. මටත් ඒ වගේ අත්දැකීමක් තිබුණා. ඒත් දැන් ඒක නැහැ. ගැළපෙන සුන්දර මනුස්සයෙක් හමුවුණ දාට ඒ ආදරේ සුන්දරව දැනේවි. දැන් මට තියෙන්නේ ෆෑන්ස්ලගෙ ආදරේ විතරයි. ඒ ලැබෙන ආදරේට මටත් හරි ආදරේ හිතෙනවා. ගොඩක් අය මට කතා කරන්නෙ භාග්‍යා කියලා.
නාමලී ගමගේ