ඈත අතීතයේ මිහි මත ජීවත් වූ ඩයිනසෝරයන් මෙයට වසර මිලියන 65 කට පමණ පෙර මෙලොවින් වඳ වී ගියේ යෝධ ග්‍රහකයක් (Asteroid) මහ පොළොවේ ගැටීමෙන් ඇති වූ අහිතකර තත්ත්වයන් නිසා බව පිළිගැනේ. යම් දවසක නැවතත් එවැනි ග්‍රහකයක් පෘථිවියේ ගැටී මිනිස් වර්ගයාත් වඳ වී යා හැකිද යන්න මෙම විෂයය ගැන උනන්දුව දක්වන බොහෝ දෙනා කාලයක සිට කල්පනා කරන කාරණයකි. තාරකා විද්‍යාඥයන් පවසන ආකාරයට එය සිදු විය නොහැක්කක් නොවේ. මේ නිසාම ඔවුහු අනාගතයේ දිනෙක මහ පොළොවේ ගැටෙන්නට ඉඩ ඇති ග්‍රහක තිබෙනවා ද යන්න ගැන සොයන්නට විශේෂ උත්සාහයක් ගනිති.
මෙම කාරණයට අදාළ වැදගත් සිදුවීමක් පසුගිය සතියේ සිදු විය. එනම් අනාගතයේ පෘථිවියේ ගැටෙන්නට යම් ඉඩක් ඇතැයි සැලකෙන ග්‍රාහකයක පස් සාම්පල රැගෙන ඒම සඳහා ඇමෙරිකාවේ නාසා ආයතනය විසින් යවන ලද යානයක් නැවත පෘථිවියට ළඟා වීමයි. ‘ඔසිරිස්-රෙක්ස්’ (OSIRIS-Rex) යන නමින් හැඳින්වුණු මෙම යානය ඉහත කී ග්‍රහකය වෙත ළඟා වීම සඳහා පෘථිවියෙන් නික්මුණේ මෙයට වසර 7 කට පෙර, එනම් 2016 වසරේයි.
මේ කියන ග්‍රහකය 2178 සහ 2290 අතර කාලයේ පෘථිවියේ ගැටෙන්නට යම් ඉඩක් ඇති බව විද්‍යාඥයන් සොයාගෙන තිබේ. එසේ ගැටෙන්නට වැඩිම ඉඩක් ඇති දිනය ලෙස ඔවුන් සඳහන් කරන්නේ 2182 සැප්තැම්බර් 24 වැනි දිනයි.
මෙම ග්‍රහකය හැඳින්වෙන්නේ බෙනු යන නමිනි. එය මේ වන විට පවතින්නේ පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 82 ක් පමණ දුරින් බව සඳහන් වේ. කාලයත් සමඟ මෙම ග්‍රහකයේ ගමන් මඟ වෙනස් විය හැක්කේ කවරාකාරයෙන් ද යන්න ගැන සොයා බැලීම ද ඉහත සඳහන් කළ ඔසිරිස්-රෙක්ස් ව්‍යාපෘතියේ අරමුණු අතර එකක් විය. හිරුගේ තාපය නිසා මෙවැනි ග්‍රහකවල මතුපිට උණුසුම් වෙද්දී ක්‍රමයෙන් ඒවායේ ගමන් මඟ වෙනසකට බඳුන් වන බව පිළිගැනේ. එය විද්‍යාත්මකව හැඳින්වෙන්නේ යාකොව්ස්කි ආචරණය (Yarkovsky Effect) යන නමිනි.
‘හිරුගෙන් මේවාට ලැබෙන තාපය මෙම ග්‍රාහක විසින් නැවත අභ්‍යවකාශයට මුදා හරිනු ලබනවා. එහිදී එම මුදා හැරීම විසින් ග්‍රහකය මත පෙරළා යම් තෙරපුමක් ඇති කරනවා. එම තෙරපුම නිසා එහි ගමන් මඟ යම් වෙනසකට බඳුන් විය හැකියි’ මෙම ව්‍යාපෘතියට සම්බන්ධ විද්‍යාඥයකු විස්තර කර තිබිණි. ඔහු පවසන්නේ අනාගතයේ දිනෙක බෙනු ග්‍රහකය පෘථිවියේ ගැටේවි ද යන්න තීරණය කිරීමේදී එහි ගමන් මඟෙහි සිදුවන ඉහත කී වෙනස් වීම් ගැන ද සැලකිල්ලට ගත යුතු බවයි.
කෙසේ හෝ වේවා, ඔසිරිස්-රෙක්ස් ව්‍යපෘතියේ එකම අරමුණ වූයේ බෙනු හි ගමන් මඟෙහි වෙනස් වීම් ගැන අධ්‍යයනය කිරීම පමණක් නොවේ. එම ග්‍රහකයේ පස් සාම්පල පෘථිවියට රැගෙන ඒම එහි ප්‍රධානම අරමුණක් විය. ග්‍රහක සැලකෙන්නේ මෙයට වසර බිලියන 4.5 කට පෙර සූර්ය ග්‍රහ මණ්ඩලය නිර්මාණය වෙද්දී ඉතිරි වූ කොටස් වශයෙනි. ඒ නිසා සූර්ය ග්‍රහ මණ්ඩලය ඇති වූ ආකාරය පිළිබඳ බොහෝ රහස් මේවායේ සැඟවී තිබෙන්නට හැකි බව විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. ඒවායේ පස් සාම්පල පරීක්‍ෂාවට ලක් කිරීමෙන් මෙවැනි රහස් අනාවරණය කර ගැනීමට විද්‍යාඥයෝ උත්සාහ කරති. එමෙන්ම පෘථිවියෙහි ජීවය ඇති වූ ආකාරය ගැන පැවසෙන රහස් ද මේවායේ තිබිය හැකි බව පිළිගැනේ. මෙම කාරණා නිසා මෙම ඔසිරිස්-රෙක්ස් ව්‍යාපෘතිය ඉතා වැදගත් ව්‍යාපෘතියක් ලෙස සැලකේ.
මෙම පස් සාම්පල පෘථිවියට රැගෙන ඒම සඳහා ගිය ගමන ද අපුරු එකකි. 2016 වසරේ සැප්තැම්බර් 8 වැනි දින පෘථිවියෙන් පිටත් වූ යානයට බෙනු ග්‍රහකය වෙත ළඟා වීම සඳහා වසර දෙකකට ආසන්න කාලයක් ගත විය. යානය ග්‍රහකය ආසන්නයට සේන්දු වූයේ 2018 දෙසැම්බර් 31 වැනිදා යි. එය එකවර ග්‍රහකය මත ගොඩබැස්සේ නැත. දින 505 කට ආසන්න කාලයක් ග්‍රහකය වටා ගමන් කරමින් එය සිතියම්ගත කිරීමෙහි නිරත වූයේය. පස් සාම්පල ගත යුතු නිශ්චිත ස්ථානය ගැන පෘථිවියේ සිටි විද්‍යාඥයන් තීරණය කළේ මෙම සිතියම් ඇසුරෙනි. එයින් පසු යානය පස් සාම්පල ලබා ගත්තේ 2020 ඔක්තෝබර් 20 වැනි දිනයි.
අනතුරුව මෙම සාම්පල තැන්පත් කෙරුනේ යානයෙහි වූ කුඩා කැප්සියුලයක් තුළ යි. එය මෝටර් රථයක රෝදයක් තරම් වන රවුම් හැඩයේ කැප්සියුලයකි. එයින් පසු නැවත පෘථිවිය වෙත ගමනාරම්භ කළ යානය පසුගිය 24 වැනි දින ඉහත කී කැප්සියුලය පෘථිවියට ඉහළ උඩු ගුවනේදී මුදා හැරියේ ය. එසේ මුදා හැරුණේ පෘථිවියේ සිට සැතපුම් 63,000 ක් පමණ ඉහළදී යි. කැප්සියුලය මුදා හැරීමෙන් පසු ඔසිරිස්-රෙක්ස් යානය තවත් ග්‍රහකයක් පිළිබඳ අධ්‍යයනය කිරීම සඳහා පියාසර කළේය. මුදා හැරුණු කැප්සියුලය පැරෂුටවල ආධාරයෙන් පැය හතරකට පසු ඇමරිකාවේ යූටා ප්‍රාන්තයෙ හි ජන ශූන්‍ය ප්‍රදේශයකට පතිත විය. මේ වනවිට නාසා ආයතනයේ විද්‍යාඥයෝ මෙම සාම්පල පිළිබඳ පර්යේෂණ කටයුතු ආරම්භ කරමින් සිටිති.
බෙනු ග්‍රහකය මීටර 500 ක පමණ පළලකින් යුතු ග්‍රහකයකි. වසර මිලියන ගණනකට ඉහත ඩයිනසෝරයන් මිහි මතින් අතුගා දැමූ දැවැන්ත ග්‍රහකය හා සැසඳීමේ දී මෙය ඉතා කුඩා ග්‍රහකයක් බව සඳහන් කළ හැකිය. ඩයිනසෝරයන්ට බලපෑ ග්‍රහකය කිලෝමීටර් 10 ක පමණ විෂ්කම්භයකින් යුතු වූවක් යයි පිළිගැනේ. ඒ හා සැසඳීමේදී බෙනු කුඩා ග්‍රහකයක් වුවත් එය යම් හෙයකින් පෘථිවියේ ගැටුණහොත් සිදුවිය හැකි විනාශය සුළුපටු නොවේ. එයින් මුදා හැරෙන ශක්තිය මෙගා ටොන් 1,200 ක් පමණ වනු ඇතැයි ගණන් බලා ඇත. එය මිනිසා විසින් මෙතෙක් නිපදවනු ලැබ ඇති ප්‍රබලම න්‍යෂ්ටික බෝම්බයෙන් නික්මෙන ශක්තිය මෙන් 24 ගුණයක ශක්තියකි. මේ නිසා මෙවැනි ග්‍රහකයක් පෘථිවියේ ගැටුණහොත් සම්පූර්ණ ප්‍රදේශයක්ම මුළුමනින් විනාශ වී යා හැකිය. එය දෙවැනි ලෝක යුද්ධය සමයේ ජපානයේ හිරෝෂිමාවට හෙළු බෝම්බයෙන් සිදු වූ හානියට වඩා කිහිප ගුණයක හානියක් වනු ඇති බව විද්‍යාඥයෝ පවසති.
යම් හෙයකින් ග්‍රහකයක් පෘථිවියේ ගැටෙන්නට එන බව නිශ්චිතව තහවුරු වුවහොත් කළ හැක්කේ කුමක් ද? මේ සම්බන්ධයෙන් ද විද්‍යාඥයෝ විවිධ සැලසුම් සකස් කරමින් සිටිති. එක් විසඳුමක් වන්නේ න්‍යෂ්ටික බෝම්බයක් වැනි අවියක් යවා ග්‍රහකය විනාශ කිරීමයි. එසේ නැතහොත් ග්‍රහකයේ ගමන් මග වෙනස් කිරීමයි. නමුත් මෙවැනි විසඳුමක් ක්‍රියාත්මක කිරීමට වුව ද ග්‍රහකය පෘථිවියේ ගැටෙන්නට එන බව කල්වේලා ඇතිව හඳුනාගත යුතුය. එහෙත් ගැටලුව වනුයේ සමහර ග්‍රහක පෘථිවිය ආසන්නයට පැමිණෙන තුරුම ඒවා ගැන දැන ගැනීමට නොහැකි වීමය. මෙයට වසර 10 කට පෙර, 2013 වසරේ රුසියාවේ චෙලියාබින්ස්ක් ප්‍රදේශයට ඉහළින් පුපුරා ගිය ග්‍රහකය එවැන්නක් පිළිබඳ නිදසුනකි. එය පෘථිවියෙහි වායුගෝලයට ඇතුළු වනතෙක්ම විද්‍යාඥයන්ට හඳුනාගන්නට හැකිව තිබුණේ නැත. එයින් විශාල විනාශයක් සිදු නොවූයේ එම ග්‍රහකය (මීටර 18 ක පමණ විශ්කම්භයකින් යුතු වූ) ඉතා කුඩා ප්‍රමාණයේ එකක් වීම නිසා ය. ඒ නිසා එය පෘථිවිය හා ගැටෙන්නට පෙර වායුගෝලයේදී පුපුරා විනාශ විය. නමුත් එයින් ඇති කළ කම්පනය හේතුවෙන් එම ප්‍රදේශයේ ගොඩනැඟිලිවලට හානි සිදු වූ අතර, 1,500 කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබිණි.
කෙසේ හෝ වේවා, බෙනු ග්‍රහකය චෙලියාබින්ස්ක් ග්‍රහකයට වඩා කිහිප ගුණයකින් විශාල එකක් නිසා එය පෘථිවියේ ගැටුණහොත් වන විනාශය මෙයට වඩා බෙහෙවින් දරුණු වනු ඇත.
නිහාල් පීරිස්