යටත් විජිත සමයේදී මෙරට සාරධර්ම ක්‍රමයෙන් ගිලිහී යන්නට වූ අතර ඒ යටතේ අපේ භාෂාව, ශාස්ත්‍රය, බුද්ධ ශාසනය විනාශ විය. අපේ ඇවතුම් පැවතුම් ආහාර පාන ඇඳුම් පැලඳුම් මේ සියල්ල අපෙන් දුරස් විය.
මේ කාලයේදී ජාතියේ පිනට මෙන් වැලිවිට සරණංකර සංඝරාජ නා හිමියන් පහළ විය. උන් වහන්සේ අපේ රටේ විනාශ වෙමින් පැවතුණු බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවන්නට කටයුතු කළ අතර, ඒ උත්සාහයේ අග්‍ර ඵල දෙක වන්නේ විද්‍යාලංකාර හා විද්‍යෝදය පිරිවෙන් ආරම්භ වීමයි.
විද්‍යෝදය පිරිවෙණ 1873 වසරේ ආරම්භ වූ අතර 1875 වසරේ රත්මලානේ ධර්මාලෝක නා හිමියන් විසින් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙණ ආරම්භ කරන ලදි. අද මෙරට බිහිව ඇති සියලු පිරිවෙන්හි කේන්ද්‍රස්ථානයන් වන්නේ මේ පිරිවෙන් දෙක බව පෙන්වා දිය යුතුයි.
රත්මලානේ ධර්මාලෝක නා හිමියන් විසින් පළමු පරිවේණාධිපති ධුරය දැරූ අතර දෙවැනි පරිවේණාධිපති ධුරය දැරුවේ රත්මලානේ ධර්මාරාම හිමියන්ය. උන්වහන්සේගෙන් පසුව පිළිවෙළින් ලුනුපොකුණේ ධම්මානන්ද නාහිමියන් කිරිවත්තුඩුවේ පඤ්ඤාසාර නා හිමි, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නාහිමි, නාත්තන්ඩියේ පඤ්ඤාසාර නාහිමි, වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, නාවින්නේ සුගණධම්ම නාහිමියන්ද පරිවේණාධිපති ධුරය දැරීය.
විද්‍යාලංකාර පිරිවෙණ විසින් ජාතික, ආගමික හා සාමාජීය වශයෙන් සිදු කර ඇති මෙහෙවර ප්‍රමාණාත්මක කිරීමට හැකියාවක් නැත. එය පැතිකඩ තුනක් ඔස්සේ පෙන්වා දිය හැකියි.
එක් පැතිකඩක් වන්නේ එය අධ්‍යාපනයේ මූලස්ථානයක් වීමයි. එමෙන්ම දෙවැන්න එය පින්බිමක් වීමයි. එමෙන්ම එය ජයබිමක් ලෙස ද හඳුන්වා දීමට පුළුවන.
පිරිවෙණේ දෙස් විදෙස් ශිෂ්‍යයන් රැසක් අධ්‍යාපනය හදාරා ඇත. එසේ අධ්‍යාපනය ලැබූ විදෙස් ශිෂ්‍යයන් අතර ආනන්ද කෞෂ්යයා, රාහුල සන්කෘත්යා වැනි උගත් ලොව පුරා ප්‍රසිද්ධ භික්ෂූන් හඳුන්වා දිය හැකියි.
එමෙන්ම දේශීය ශිෂ්‍යයන් ලෙස අධ්‍යාපනය ලැබූවන් අතර කිරින්දේ ධම්මානන්ද, ආචාර්ය වල්පොළ පියනන්ද, කටුගස්තොට උපරතන වැනි විදේශයන්හි වැඩවසමින් විශාල කාර්යභාරයක් සිදු කරන නාහිමිවරුන් පෙන්වා දීමට පුළුවන. උන්වහන්සේ දේශීය වශයෙන් පමණක් නොව අන්තර්ජාතික කීර්තියට පවා පත් වූ භික්ෂූන් වහන්සේ බවත් කිව යුතුයි.
භික්ෂූන් වහන්සේ පමණක් නොව පිරිවෙණින් අධ්‍යාපනය ලබා අන්තර්ජාතික තලයේ කටයුතු කළ ගිහියන්ද රැසක්ද ඇත. එයින් ප්රමුඛත්වයක් ගන්නෙ ශ්‍රීමත් ඩී.බී. ජයතිලකයන්ය. එතුමා විදෙස් සමුළුවලදී පවසා ඇත්තේ තමන්ට එවන් ස්ථානයකට පැමිණීමට ලැබුණේ විද්‍යාලංකාර පිරිවෙණින් ලැබුණු පාලි, සිංහල, සංස්කෘත දැනුමත් ඒ හරහා බුද්ධාගමෙන් ලැබුණු හික්මීම හා ශික්ෂණයත් නිසා බවය.
වර්තමානයේත් අතීතයේත් පිරිවෙණේ ආරම්භ කළ සාම්ප්‍රදායික අධ්‍යාපනය රටාවෙන් මිදෙන්නට කටයුතු කර නැත. ප්‍රාචීන පණ්ඩිත උපාධිය දක්වා අධ්‍යාපනය ලබන උගත් විනයධර භික්ෂූන් වහන්සේ නමක් බිහි කිරීමේ ක්‍රමවේදය අදටත් විද්‍යාලකාර පිරිවෙණේ ක්රමවේදයයි. සාමාන්‍ය පෙළ, උසස් පෙළ, පිරිවෙණේ අධ්‍යාපන රටාව තුළ නැත. අවශ්‍ය අයකුට එය බාහිර ලෙසින් හදාරන්නට හැකියාව ඇත.
විද්‍යාලංකාර පිරිවෙණේ අවසන් පරීක්ෂණය සමත් අයකුට පරිවේණාධිපති ධුරයක් දැරිය හැකියි. එම අධ්‍යාපන මට්ටම පිරිවෙන් පනතේම දක්වා ඇත්තේ එම පරීක්ෂණය අධ්‍යාපන පරීක්ෂණයකින් මෙන්ම ශාස්ත්‍රීය නිබන්ධනයකින්ද පවා සමන්විතයි.
එමෙන්ම නවීන ලෝකය හා සම්බන්ධ වීම පිණිස අද වන විට පරිගණක තාක්ෂණයත්, ඉංග්‍රීසි දෙමළ චීන වැනි භාෂා ඉගැන්වීමත් පිරිවෙණේ සිදු කරයි. මගේ පරිවෙණාධිපති ධුරය යටතේ වැඩි අවධානයක් යොමු කර ඇත්තේ මෙරට වර්තමානයේ ගිලිහී යන සාරධර්ම ආකල්ප යළි ගොඩනැඟීමටයි. ඒ වෙනුවෙන් විනයධර ශික්ෂාකාමී භික්ෂූන් වහන්සේ නමක් බිහි කිරීමට කටයුතු කිරීම ප්‍රධාන අපේක්ෂාව වී ඇත.
එමෙන්ම කුමන ආකාරයේ අධ්‍යාපනයක් ලැබූවත් භික්ෂූන් වහන්සේ නමකට ධර්ම දේශනයක් පවත්වන්නට හැකියාවක් නැත්නම් හෝ පිරිත් දේශනාවක් පැවැත්විය නොහැකි නම් එතැන විශාල අඩුවක් තිබෙන නිසා සතිපතා ඒ වෙනුවෙන් භික්ෂූන් වහන්සේ පුරුදු පුහුණු කරති.
මෙය ඉමහත් පින්බිමකි. ඒ 1942 වසරේ ඉන්දියාවෙන් වැඩම කරන ලද සර්වඥ ධාතූන් වහන්සේ පිරිවෙණේ වැඩසිටීමයි. එමෙන්ම 1950 වසරේදී යක්කඩුවේ ප්‍රඥාරාම හිමියන් විසින රාජ්‍ය අනුග්‍රහයක් පවා නොමැතිව පිරිවෙණේ ධර්ම සංගායනාවක් පවත්වා ඇත. එය අවුරුදු 3ක්, මාස 5ක් හා දින 15ක් තිස්සේ පවත්වා තිබෙන්නේ සම්පූර්ණ ත්‍රිපිටකයම සජ්ඣායනා කරමිනි.
එමෙන්ම ජය බිමක් ලෙස පෙන්වා දිය හැක්කේ මෙරට ජාතික සටන් පවා මෙහෙය වු ස්ථානයක් නිසයි. විශේෂයෙන්ම වල්පොළ රාහුල, බඹරැන්දේ සිරි සීවලී වැනි හිමිවරුන් විසින් ජාතික ව්‍යාපාරවලදී පෙරමුණ ගෙන අැත්තේ මේ භූමියේ සිටයි. අදටත් ඉහළින් වැජඹෙන කැලණිය ගුරුකුල විද්‍යාලය, ධර්මාලෝක විද්‍යාලය, දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙණ හා පන්නිපිටියේ විද්‍යාලංකාර පිරිවෙණද විද්‍යාලංකාර පිරිවෙණ නිසා බිහි වූ අධ්‍යාපන ආයතන ලෙස හඳුන්වා දිය හැකියි.
තාරක වික්‍රමසේකර