අරුමැසිය
දකින විට හැඟෙයි මෘදු හුරු පුරුදු බවක් ඔබ
දනිමි ඉඳුරාම පෙර හමුවෙලා ඇති බවක්
සිනහවට, කතාවට, වශී විය මොහොතකට
හිතයි මට විමසන්න ඔබ තවම ඔබගෙමද?
ගොතන්නට කවි පබළු
නොදන්නා නමුත් මම
ඔබම කවියක් වෙලා
මවයි රස හිත පුරා
සඳ සිසිල මඳ පවන
විහඟුන්ගේ කිචි බිචිය
පෙර නොවිඳි ඒ මිහිර
මැවූ අරුමැසිය ඔබ
හිතයි මට විමසන්න
ඔබ තවම ඔබගෙමද?
හර්ෂනි ඥානසිංහ තලවතුගොඩ
———————————————————————————————————————————
මවකගේ සෙනෙහස
වැටෙන කඳුළු කැට
සඟවා දෙනෙතින්
සතුටු සිනහා පිරි
මුවඟ නිරන්තර
ජීවන දිය මත පැද යන ඔරු කඳ
වාරු නැඟෙන්නේ
නුඹේ පණනල තුළ
පාරමී පුරන්නෙ
හැම භවයකදිම
නුඹේම වී මා
යළි උපදින්නට
දරු සෙනෙහස පපුතුරේ හොවාගෙන
ජීවන ගඟ තරණය කර යන්නට
දිලුෂා ලක්මාලි
———————————————————————————————————————————
මුනුපුරන්ගේ උපන් දිනය
දුව පැන නටමින් – සෙල්ලම් කරමින්
“සීයේ” කියමින් – බෙල්ලෙ එල්ලෙමින්
කළබල කරමින් – බොරුවට අඬමින්
සීයේ කියමින් – කොණ්ඩේ අදිමින්
තරගෙට දුවමින් – පැරදී වැටෙමින්
සීයේ කියමින් – නඩුව පවසමින්
නැවත එක්වෙමින් – දෙදෙන සිනාසෙමින්
සීයේ කියමින් – විගඩම් කරමින්
අවුරුදු දහයෙන් – වයසින් වැඩෙමින්
සීයේ කියමින් – උපත සමරමින්
රූපසිරි කේ. ලියනගේ
———————————————————————————————————————————
ඔබට
දැවී නිවෙන නෙතු අද්දර
සැනසුම් සුසුමක් හෙළන්න
ඒවිද මතු තවත් දිනක්
නොදුටු හීන හැබෑ කරන…
අයිති නොමැති මල් හීනෙක
ආදරයේ සුව විඳින්න
ගැට නොගැසුණු දෑත් වටා
සුන්දර රැඟුමක් පාන්න…..
නොදුටු හීන මතු කරාන
සිත් යායෙම මල් නෙළුවට
සමාවෙයන් හද කුසුමේ
සොඳුරු මතක පැළ කළාට…
සුජීවා ලක්මිණි විමලතුංග
———————————————————————————————————————————
හොද්ද සහ හැන්ද
සත් ගුණයෙන් පෝෂිත
දැහැමි පුද්ගලයන්
ඇසුරු කෙරුවත් දිව රෑ
යහගුණයෙහි අගය
ඇතැම් අය නොදනී
හොද්ද හැඳි ගගා පිසුවත්
හැන්ද හොද්දේ රසය නොදන්නා සේ
චින්තා කරුණාරත්න
———————————————————————————————————————————
දෙවිදිහක්
චපල බවට…
ලැබුවත් අවමන්
ගැරහුම් අපමණ
මනමේ බිසව
ඉන් අඩකටත්
අඩුවෙන්
නොවෙද ලැබුවේ
විජය රජ…
මාලතී රූපිකා පුංචිහේවා
———————————————————————————————————————————
කතරක දුක
නුඹේ මුහුණ වෙනදා මෙන්
සිහියට නැඟෙන විට
හිතට නැඟෙන දුක
ඔබෙ රුව දකින්නට
මව්බිමට පා තබන්නට අවුරුදු දෙකක්
සහරාවේ සිර ගෙදර වැනි මම සිරගතයි
කවදා නිදහස ලැබේවිද එතෙක් බලා ඉන්නම්
මා දයාබර සෙව්වන්දියේ…
අජිත් ජෝතිය නරසිංහ
———————————————————————————————————————————
සැනසීම
උපතේ පටන් විඳි සැප මඟ නතර වුණා
හැත්තෑ එක වසර මහ දුක් ගඟක් වුණා
වසර හතක් මහ බියකින් කල් ගෙවුණා
පෙර පින් තිබූ නිසා අප සැම නිදොස් වුණා
ළමා තරුණ පරපුර මත බිලි ගත්තා
හොරකම භීෂණය රට තුළ තැති ගත්තා
හොඳ දේ නරක දේ මොනවද නොතේරුණා
කෙමෙන් කෙමෙන් මිනිසා නොමිනිසා වුණා
හොඳ දේ කුමක්දැයි දැනුවත් කරන්නට
කලින් කලට එන පාලක ලොක්කන්ට
පක්ෂ පාට කතිරය වී ඇත පෙරට
සැමදා රටම බිලි වන්නේ මේ තුනට
ස්වර්ණා අබේරත්න
———————————————————————————————————————————
සීගිරි වත
සීගිරිය විස්කම් – එහි ළඳුන් මනරම්
සිටින්නට ඇත්නම් – රකිමි උන් තනිකම්
විදුලි, ගෙරවිලි – දුටුවෝ, ඇසුවෝ
උනුන් රුව ඇඳ – සනිටුහන් කෙරුවෝ
නීල හා හෙළ – පැහැය වටැකොට
ලොවම මවිතව – බලති අරුමය
නේක සම්පත් – පතාලා ලොබ
කෙලෙසදෝ – පිය රද මැරූවේ
සිතුවමක ඇති – කලා ලාලිතය
හඳුනන සිත – කිමද වූයේ සැහැසි
සමන් හේරත්
———————————————————————————————————————————
හිතමු
කඩිසරව වැඩ කරන කාලෙදි ලබාදෙයි හැමදෙනගෙ අතහිත
එඩිතරව හැම වැඩක් කෙරුමට ලැබෙයි වත්කම පිරෙන්නට අත
දුර්වලව ගිය විටදි ගත සිත සියලු දෙය අහිමිව යමින් ඇත
අසරණව ලෙඩ ඇඳට වැටුනම ළඟින් උන් කිසි කෙනෙක්වත් නැත
අප සැවොම විරසක වෙලා අරගල කළොත් නොදකිනා සැපතට
සැප ලැබීමද මිරිඟුවක් වෙයි හුදෙකලාවක තනිවූ මොහොතට
කප තිබෙන තුරු සැනසුමක් සතුටක් නොදෙයි ඒ සෑම සිතකට
වපසරිය හඳුනා නොගත්තොත් දියුණුවක් නැත අපට කිසිවිට
අම්බලන්ගොඩ සමරනායක