මියගිය ෆහීමා වෛද්‍යවරිය ඉතා කැපවීමෙන් රාජකාරි කළ කෙනෙක්. නමුත් ඇය තමන් ට අසනීප තත්ත්වයක් තිබෙන බව වාට්ටුවේ ප්‍රධාන වෛද්‍යවරයාට හෝ රෝහල් පරිපාලනයට දැනුම් දී තිබුණේ නැහැ. හදිසි ඇමැතුම් රාජකාරි (On call) සඳහා ඇයව යොදවා තිබෙන්නේ ඇගේ කැමැත්ත මතයි.
– මහනුවර ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු
වෛද්‍යවරියක ලෙස සේවයට එක්ව රෝගීන් ගේ සුවසෙත පිණිසම කටයුතු කළ ඇය ජීවත්ව සිටිය දී දැන සිටියේ සුළු පිරිසකි. වෘත්තියෙන් වෛද්‍යවරියක වූ නිසා සෞඛ්‍ය ක්ෂේත්රයේ බොහෝ දෙනෙකු ඇය පිළිබඳ දැන සිටින්නට ඇත. එමෙන්ම මහනුවර ජාතික රෝහලට ඇතුළත්ව උගුර, කන හා නාසය සම්බන්ධ රෝගවලට ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගීන් ද කාටත් කාරුණික වෛද්‍යවරියක ලෙස ඇයව හඳුනාගෙන තිබිණි. කෙසේ වුවත් ෆහීමා හනීස් සහබ්දීන් (54) නැමැති මේ වෛද්‍යවරිය පිළිබඳව රටම දැන ගත්තේ ඇයගේ මරණින් පසුව යැයි කීවොත් එය නිවැරදි ය. හිසේ නහරයක් පිපිරීම නිසා ඇති වූ අභ්‍යන්තර රුධිර වහනයක් හේතුවෙන් සැත්කමකට ලක්ව මහනුවර ජාතික රෝහලේ ස්නායූ ශල්‍ය දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඇය මෙලොව හැරගියේ පසුගිය 19 වැනිදාය. මරණින් පසුව ඇය පිළිබඳ බොහෝ දෙනෙකු කතා කරන්නට පටන් ගත්තේ තම ජීවිතය නොතකා තවකෙකුගේ ජීවිතය බේරා ගැනීමට කටයුුතු කිරීම හේතුවෙනි.
දෙදරු මවක් වන ෆහීමා පදිංචිව සිටියේ මහනුවර අනිවත්තේ ය. සේවා ස්ථානයට විනාඩි 05ක් වැනි කාලයක දී යා හැකි දුරක සිටි ඇය 10 වැනිදා දහවල් සේවය අවසන් කර නිවෙසට පැමිණ තිබුණේ දහවල් 1.00ට පමණය. වාට්ටුවෙන් හදිසි කැඳවීමක් කළහොත් යෑමට සූදානම් ව සිටිමේ වගකීම (On call) එදින පස්වරුවේ පැවරී තිබුණේ ඇයටය. හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහලේ වාට්ටු අංක 04ට ඇතුළු කළ කුඩා දරුවකුට ප්‍රතිකාර ලබාදීම සඳහා කඩිනමින් පැමිණෙන ලෙස ඇයට රෝහලෙන් දුරකතන ඇමැතුමක් ලැබී තිබුණේ පස්වරු 5.45ට පමණය. මරු තුරුලට යා නොදී මාස දෙකක් වයසැති දරුවකුගේ ජීවිතය බේරා ගැනීමට නිවෙසින් පිටව ගිය ෆහීමා මරු හා තුරුලු වී යළි නිවසට ඒවි යැයි කිසිවකුත් නොසිතුවේ ය.
ඒ හා සම්බන්ධ කතාව අප හා පැවසුවේ ෆාහීමාගේ සැමියා වන සබරගමුව විශ්වවිද්‍යාලයේ සංචාරක හා කළමනාකරණ අධ්‍යයන අංශයේ මහාචාර්ය මොහොමඩ් අස්ලම්ය. වාට්ටුවේ වැඩ කරලා දවල් ගෙදර ආව වෙලාවේ ඉඳන් එයා ඇඟට ටිකක් අමාරුයි කිව්වා. වොෂ් රූම් එකට ගිහින් ඇවිත් හුස්ම ගන්න අමාරුයි කියලා වාඩි වුණා. ටික වෙලාවකින් ප්‍රේ කරලා එයා හාන්සි වෙන්න ගියා. පැය දෙකක් විතර හොඳට නිදාගෙන ඉඳලා ඇහැරුණා. දැන් නම් ටිකක් හොඳයි කියලා සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේ වෛද්‍යවරියක් ලෙස සේවය කරන අක්කට කතා කරලා ඇඟේ අමාරුව ගැන විස්තර කිව්වා. එයා කිව්වා මහන්සි වෙන්න එපා ඉක්මනට ප්‍රෙෂර් එක බලා ගන්න කියලා. ඒ වෙලාවේ තමයි පොඩි ළමයෙකුට අමාරුයි කියලා වාට්ටුවෙන් කෝල් එකක් ආවේ.
වෙනදා එයා කාර් එක ඩ්‍රයිව් කරගෙන යනවා. එදා මට කිව්වා එයාව වෝඩ් එකට ඇරලවන්න කියලා. මම යන ගමනුත් කිව්වා රෝගියාට ප්‍රතිකාර කළාට පස්සේ ප්‍රෙෂර් එක චෙක් කර ගන්න කියලා. වාට්ටුවට ඇරලවලා මම ගෙදර ඇවිත් පැය එකහාමාරකට විතර පස්සේ නෝනා කතා කරලා කිව්වා ප්‍රෙෂර් එක හොඳටම වැඩියි කියලා, මාව හදිසි ප්‍රතිකාර ඒකකයට අරන් යනවා කියලා. මම ඉක්මනට රෝහලට ගියා. ඒ වෙනකොට සී.ටී ස්කෑන් එකකුත් කරලා තිබ්බා. මොළයේ ලේ කැටියක් තිබෙනවා කියලා තමයි පරීක්ෂණ වලින් හොයාගෙන තිබුණේ. වාට්ටුවේ පහුවදාට සැත්කම්වලට ලක් කරන රෝගීන් ගේ ලැයිස්තුව හදලා වට්ස්ඇප් ගෲප් එකට දාන එක සාමාන්‍යයෙන් ඩියුටි ඉන්න වෛද්‍යවරයා කරන දෙයක්. එදා ලැයිස්තුව හදලා තිබුණේ නෝනා. එයා ලිස්ට් එක හැදුවත් ගෲප් එකට දාන්න බැරි වෙලා. හදිසි ප්‍රතිකාර ඒකකයේ දී මට කතා කරලා ඒ ලිස්ට් එක දීලා කිව්වා ඒක ගෲප් එකට දාන්න කියලා. ඒ තරමට හොඳින් සිහිය තිබුණා. රෝහලේ සිට ගෙදර ඇවිත් පැය දෙකකට විතර පස්සේ ස්නායූ රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සිරිවර්ධන කතා කරලා කිව්වා නෝනාගේ තවත් සී.ටී ස්කෑන් එකක් කළා තත්ත්වය ටිකක් බරපතළයි කියලා. ඒ වෙනකොට එයාගේ සිහිය නැති වෙලා. පැරලයිස් වෙන්න ඉඩක් තිබෙනවා කියලා වෛද්‍යවරයා කිව්වා. පහුවදා උදේ එයාව සැත්කමකට ලක් කළා. පසුව ස්නායූ ශල්‍ය දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කරලා ප්‍රතිකාර ලබා දුන්නා. එහි ප්‍රතිකාර ලබමින් සිටිය දී පසුගිය 18 වැනිදා එයා නැති වුණා.
මහාචාර්ය අස්ලම් පවසන පරිදි වෛද්‍ය ෆහීමා රුධිර පීඩනය හෝ වෙනත් රෝග තත්ත්වයක් සඳහා ප්‍රතිකාර ගෙන නැත. එවැනි රෝග තත්ත්වයක් ඇයට තිබෙන්නේ ද යන්න පවා නොදැන සිටි බව ඔහු ප්‍රකාශ කරයි. කුඩා බිලිඳකුට ප්‍රතිකාර ලබා දීම සඳහා එන ලෙස වාට්ටුවෙන් දැනුම් දුන් අවස්ථාවේදී ද තමන්ට අසනීප තත්ත්වයක් තිබෙන බව ඇය කිසිවකුට හෝ පවසා නොමැත.
අපිට පුංචි හරි ලෙඩක් හැදුණොත් නෝනා පුදුම විදිහට ඒ ගැන සැලකිලිමත් වෙන්නේ. නමුත් එයා තමන්ගේ සෞඛ්‍ය ගැන එතරම් උනන්දු වුණේ නැහැ. හැම වෙලාවෙම වාට්ටුවේ ප්‍රතිකාර ලබන රෝගීන් ගැන තමයි කල්පනා කළේ. කලක ඉඳන් එයාට අධි රුධිර පීඩනය තියෙන්න ඇති. ඒත් අසනීප තත්ත්වයක් එයාගෙන් දකින්න ලැබුණේ නැහැ. අපි පහුගිය මාසේ 29 වැනිදා සිංහරාජේ ගියා. මුළු දවසම ඇවිද්දා. කිසිම අමාරුවක් එයාට තිබුණේ නැහැ. ඊට කලින් සීගිරියේ ගිහින් සීගිරි ගල උඩටම නැග්ගා. අසනීප ගතියක් කියලා ඇති වුණ දවසේ වෙන්න ඕන දේවල් ඔක්කොම වුණා….‘
මහාචාර්ය අස්ලම් පවසන්නේ ඇගේ හදිසි නික්ම යෑම නිසා උපන් වේදනාව කඳුළුවලට හරවා දෙනෙතින් ගලා හැලෙද්දී ය.
මහනුවර උසස් බාලිකා විදුහලේ ආදි සිසුවක වන වෛද්‍ය ෆහීමා අධ්‍යාපන කටයුතු සිදුකර තිබෙන්නේ සිංහල මාධ්‍යයෙනි. උසස් පෙළ සමත්ව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළු වූ ඇය වෛද්‍යවරියක ලෙස ප්‍රථම පත්වීම ලැබ සේවය ආරම්භ කර තිබෙන්නේ අති දුෂ්කර පළාතක් වන ලග්ගල පල්ලේගම රෝහලෙනි. 2001 දී විවාහ වීමෙන් පසු බදුල්ල රෝහලේ වසරක පමණ කාලයක් සේවය කළ ඇය අනතුරුව මහනුවර රෝහලේ සේවයට එක්ව තිබේ.
මහජන මුදල් වලින් ඉගෙන ගත්ත නිසා පුරවැසියෙක් ලෙස රටට වැඩක් කරන්න ඕන, මනුෂ්‍යයෙක් ලෙස ජීවිතය ලබපු නිසා දෙවියන්ට වග කියන්න ඕන කියලා එයා නිතරම කිව්වා. මම 2004දී මගේ මාස්ටර්ස් ඉවර කරලා පී.එච්.ඩී කරන්න නවසීලන්තයට යමු කියලා එයාට කිව්වා. මට මේ රට දාලා යන්න බැහැ කියලා එයා ඒ ගමන යන්න අකමැති වුණා. පස්සේ මමත් හිත හදා ගත්තා. හැම වෙලාවෙම එයා මේ රට ගැන හිතුවා. රටේ මිනිස්සු ගැන කල්පනා කළා. කොවිඩ් කාලේ එයා වැඩ කරපු වාට්ටුවේ කිහිප දෙනෙක් පොසිට්ව් වුණා. ඒ නිසා නිවෙසේ නිරෝධායනය වෙන්න සිද්ධ වුණා. ඒත් එක්කම නෝනා ගේ අක්කා පොසිට්ව් වුණා. මේ විදිහට අපිට දවස් 48ක් එක දිගට කොරන්ටීන් වෙන්න සිද්ධ වුණා. මේ පාර අපේ අවුරුද්දට වාට්ටුවේ කාර්ය මණ්ඩලයට බිත්තර 180කින් එයා වටලප්පන් හදාගෙන ගියා. වාට්ටුවේ වෛද්‍යවරු වගේම හෙද කාර්ය මණ්ඩලයත් අනෙක් හැමෝමත් නෝනට හරිම ආදරෙයි. එයා අසනීප වුණු වෙලාවේ ජීවිතය බේරා ගන්න වෛද්‍යවරයාගේ සිට සුළු සේවකයා දක්වා හැමෝම ලොකු උත්සාහයක් ගත්තා. මහාචාර්ය අස්ලම් එසේ පවසන්නේ බිරියගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වුවත් ඒ වෙනුවෙන් කැප වූ සියලු දෙනාට ස්තූති කරමිනි.
අස්ලම්, ෆාහීමා යුවළගේ වැඩිමහල් දියණිය සීනතුල් නුහා අස්ලම් මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පළමු වසරේ සිසුවියකි. පුතා අබ්දුල්ලා උමෙයියාර් සිටින්නේ මැලේසියාවේ විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීම සඳහා පිටත්වීමේ සූදානමිනි. වෛද්‍යවරියක ලෙස කාර්යබහුල දිවියක් ගත කළත් සැමියාගේ සහ දරු දෙදෙනාගේ සියලු වැඩකටයුතු සොයා බලා අකුරටම ඉටු කරනු ලැබුවේ ෆහීමා ය. ඇගේ ඉක්මන් නික්ම යෑම ඇති වූ රික්තය පිරවීම මහනුවර ජාතික රෝහලේ උගුර, කන, නාසය පිළිබඳ ඒකකයට මෙන්ම පවුලට ද අභියෝගයක් වනු නොඅනුමානය.
මේ සම්බන්ධව කළ විමසීමක දී මහනුවර ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මෙසේ කීවාය. මියගිය ෆහීමා වෛද්‍යවරිය ඉතා කැපවීමෙන් රාජකාරි කළ කෙනෙක්. නමුත් ඇය තමන් ට අසනීප තත්ත්වයක් තිබෙන බව වාට්ටුවේ ප්‍රධාන වෛද්‍යවරයාට හෝ රෝහල් පරිපාලනයට දැනුම් දී තිබුණේ නැහැ. හදිසි ඇමැතුම් රාජකාරි (On call) සඳහා ඇයව යොදවා තිබෙන්නේ ඇගේ කැමැත්ත මතයි. යම්කිසි හේතුවක් නිසා තමන්ට අසනීප බව ඇය දැනුම්වත් කර තිබුණා නම් කිසිසේත්ම ඇයව රාජකාරි සඳහා කැඳවන්නේ නැහැ. මෙතනදී රෝහල පැත්තෙන් කිසිදු අඩුපාඩුවක් සිදුව නැහැ. වාට්ටුවේ දී රුධිර පීඩනය මැන බැලීමේ දී එය ඉතා ඉහළ අගයක තිබෙන බව දැන ගැනීමෙන් පසු ඇයව හදිසි ප්‍රතිකාර ඒකකයට කඩිනමින් ඇතුළත් කර ප්‍රතිකාර ලබා දී තිබෙන්නේත් වාට්ටුවේ කාර්යමණ්ඩලය විසින්.
ඡායාරූප-රුවන් මීගම්මන
අසේල කුරුළුවංශ