ශ්‍රී ලංකාව දියුණු සංස්කෘතික හර පද්ධතියකට හා සදාචාරාත්මක සමාජ පසුබිමකට හිමිකම් කියන රටකි. මෙරටේ පමණක් නොව මානව ශිෂ්ටාචාරයේ ආරම්භයේ සිටම එම වර්ගයාගේ පැවැත්ම උදෙසා තීරණාත්මක ප්රමුඛ සාධකය දරුවෝය. සංස්කෘතිකමය කාරණා තුළ මෙරටේ වඩා සුවිශේෂ ස්ථානයක් දරුවන්ට හිමිව ඇත. එහෙයින්ම අපි දරුවන් වෙනුවෙන් නොයෙක් අර්ථකථන සොයමු. ඒ අනුව රටේ අනාගතය දරුවෝය, මෙලොව උතුම් වස්තුව දරුවෝය. එසේම ළමා ජනගහනය අනාගත නිෂ්පාදකයන් නියෝජනය කරන්නෝය.
හෙට ලෝකයේ අනාගතයේ වගකීම් දරන්නෝ ඔවුහු ය. එහෙයින් සියල්ලට ඉහළින් දරුවෝ සිටිති. එය අවිවාදිත සනාථන සත්‍යයයි. මෙලොව උතුම්ම පදවිය මාතෘත්වයයි. එහි අබිසෙස් ලැබීමට අපිට වරම් හිමිවන්නේ දරුවන්ගේ මහිමයෙන්මය. ළමුන්ට එරෙහි වන නොයෙක් හිංසන පීඩන විශාල ලෙස ඉහළ ගොස් ඇත. ඒ අවාසනාවන්ත තත්ත්වය නිර්මාණය වීමට සමාජ වටපිටාවක් නිර්මාණයවීමෙහිලා තුඩු දී ඇති හේතු සාධක බොහොමයකි.
ළමා අපයෝජන හා ළමා හිංසනය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අර්ථ විග්රහ කරන්නේ මෙලෙසය. සියලුම ආකාරයේ කායික හා මානසිකව ළමයාට කරන්නා වූ නොමනා ක්‍රියා, ලිංගික අපයෝජන, නොසලකා හැරීම හෝ ක්‍රෑර ලෙස සැලකීම හෝ වාණිජමය හෝ වෙනත් ආකාරයේ සූරාකෑම් හේතු කරගෙන ළමයාගේ සෞඛ්‍ය පැවැත්ම, සංවර්ධනය, වගකීම, විශ්වාසය හෝ බලය යන සම්බන්ධතා විෂයෙහි ගරුත්වයට හානි පැමිණවීම හෝ එසේ විය හැකි ක්‍රියා කිරීම ළමා අපයෝජනය හා ළමා හිංසනයයි. ලෝකයේ ළමා අපචාර වැඩිම රටවල් 05 අතරට ලංකාව ද ඇතුළත් වී ඇත. මෙය යුනිසෙෆ් සංවිධානය මඟින් ප්‍රසිද්ධ කර ඇති අතර, ඔවුන්ගේ වාර්තාවලට අනුව ලංකාවේ ළමා අපචාර මේ වන විට 64% කින් වර්ධනය වී ඇත.
ඒ අංක 50 දරන ජාතික ළමා ආරක්ෂණ අධිකාරි පනතයි. එසේම දෙමාපියන් නොමැති, භාරකරුවකු නොමැති අඩු වයසින් බාල මෙහෙවර කටයුතුවල යොදවන ළමුන් වෙනුවෙන් පෙනී සිටීමට මේ මඟින් හැකිය. 1939දී පනවන ලද ළමුන් හා තරුණ කටයුතු පනත සහ 1956 අංක 47 දරන ස්ත්‍රී, තරුණ පිරිස් හා ළමුන්ගේ ශ්‍රමය ලබා ගැනීම වැළැක්වීම සඳහා වන පනත තවත් මේ සඳහා පනවා ඇති පනත් ය. මෙවැනි වර්ගයේ නීති මාර්ග ද ක්‍රියාත්මක කොට තිබියදී දරුවන් දූෂණය කොට කොට මරා දමන සමාජයක ජීවත් වීමට තරම් අවාසනාවන්ත ඉරණමකට මුහුණ දීමට වත්මන් සමාජයට සිදුව ඇත. මේ පිළිබඳ ක්‍රියා මාර්ග ගැනීම උදෙසා ලංකාව ද එක්සත් ජාතීන්ගේ ළමා අයිතිවාසිකම් ප්රඥපත්ති සමඟ අත්වැල් බැඳගෙන සිටියි.
ළමා අයිතීන් සුරැකීම සඳහා ප්‍රමුඛතාව දීම සියලුම මානව වර්ගයාගේ අතිමහත් යුතුකම ලෙස සලකමින් ලෝකයේ සියලුම රටවල ලෝක ළමා දිනය එසේත් නොමැති නම් විශ්ව ළමා දිනය සමරනු ලබයි. “සියල්ලටම වඩා දරුවන් වටී” යන තේමාව යටතේ ලෝක ළමා දිනය මෙවරත් ශ්‍රී ලංකාවේ ද සමරනු ලබයි. එක් එක් රටවල වර්ෂයේ විවිධ දිනයන්හිදී මෙම ලෝක ළමා දිනය සැමරීම විශේෂත්වයකි. ලොව පුරාම ලෝක ළමා දිනය ප්‍රථම වරට එක්ව සමරනු ලැබුවේ 1955 ඔක්තෝබර් මස 01 වැනිදා ය. ළමුන් සහ වැඩිහිටියන් පිළිබඳව කොතෙකුත් කතා කළ ද ඔවුන්ට වන හිංසා, පීඩා හා අපයෝජනයන්ට නිසි පියවරක් ගෙන තිබේද යන්න ගැටලුවකි. ළමා ආරක්ෂක අධිකාරියේ දත්තවලට අනුව වසරකට ළමා අපචාර සිදුවීම් 8,000ක් වර්තා වෙයි. මිලියන 20ක් ජීවත් වන රටක දළ වශයෙන් සෑම පැයකටම වරක් ළමා අපචාරයක් වාර්තා වෙයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව කතිකාවක් සමාජය තුළ කොතෙක් ගොඩනැඟුවත් ළමයින්ට එරෙහි පීඩාවන්, හිංසනයන් සහ අපයෝජනයන් ඉහළ යාම දිනපතාම සිදු වෙයි. මෙවැනි දරුවන්ට එරෙහිව වන මෙම හිංසනයන්ට ප්‍රධාන හේතු සාධකයන් කවරේද එම හිංසනයන් අවමකරගත හැක්කේ කෙසේද සහ පොදුවේ ළමුන්ට එරෙහිව වන හිංසනයන්ට බලපානු ලබන සමාජයීය කාරණා පිළිබඳව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ යුක්ති පිළිබඳ අධ්‍යයනාංශයේ මහාචාර්ය නෙරංජී විජේවර්ධන පවසන්නේ මෙවැනි අදහසකි.
‘ළමා අපයෝජන සම්බන්ධයෙන් මේ වන විට වාර්තා වීම් සහ වාර්තා කිරීම් සුලබ වී තියෙනවා. දරුවන්ට එරෙහිව කවරදාකටත් වඩා ළමා අපයෝජන හිංසනයන් දවසින් දවස වැඩි වෙලා. ඒ වැඩිවන කාණ්ඩ අතරත් ළමා ලිංගික අපයෝජන, ළමුන්ට එරෙහිව වන ක්රෑරත්වය ගැහැනු සහ පිරිමි ළමයින් යන කාණ්ඩ දෙකකට සිද්ධ වෙනවා. ළමා ලිංගික අපයෝජන වැඩි වීමට හේතු කිහිපයක් බලපානු ලබනවා. හැම මනුස්සයෙක් ළඟම අද වන විට අන්තර්ජාලයත් සමඟ පවතින උපාංග වැඩි වෙලා තියෙනවා. මේවා බලන බහුතරයක් මිනිසුන් ලිංගික බෙලහීනතාවන්ට විවිධ ලිංගික අක්රමිකතාවන්ට හා මනෝ ව්‍යාධී ලිංගික තත්ත්වයන්ට මුහුණ දෙනවා. එයට හේතුව මේ බොහෝ අසභ්‍ය වීඩියෝ දර්ශනවලින් පෙන්වන දේවල් බහුතරයක් ඇත්තටම වෙළෙඳ පරමාර්ථ පෙරදැරි කරගෙන ලිංගික අවයව විකෘති කරලා පෙන්වන දේවල්. මෙවැනි විකෘති දේවල් දකින අයට මේ නිසා ලිංගික විකෘතිතා ඇතිවෙලා තියෙනවා; ඒ් වගේම මේ විකෘතිතා හේතු කොටගෙන ඒවා විකෘති කාමාශාවන් බවට පරිවර්තනය වෙලා තියෙනවා. එවැනි පුද්ගලයන්ට පවුලේ අය ද ළමයි ද කියන තත්ත්වයක් අදාළ නැහැ. තමන්ගේ ලිංගික විකෘති ආශාවන් සන්තර්පනය කර ගන්න උත්සාහ කරනවා.
එසේම මීට බලපානු ලබන තවත් හේතුවක් නම් මෙවැනි ලිංගික අපයෝජනයන් කරන පුද්ගලයන් බොහෝවිට මත්ද්‍රව්‍යවලට අබ්බැහිවූවන්. මෙවැනි අය බොහෝවිට ළමුන් ලිංගික ගොදුරු බවට පත් කර ගන්නවා. විශේෂයෙන් අද වන විට මව විදෙස්ගත වීමට හෝ මවට රැකියා කරන්න හෝ සිදු වෙලා තියෙනවා. එසේම පවුල් සබඳතා ඉතා වේගයෙන් කැඩී බිඳී යනවා. අනියම් සබඳතා හා වෙනත් හේතු මත ඒ දේවල් සිදු වෙනවා. මවගේ පියාගේ අනියම් සබඳතා නිසා ඒ අනියම් සබඳතා පවත්වා ගෙන යන පුද්ගලයන් හරහා ලිංගික අපයෝජනයට දරුවෝ ලක්වෙනවා. ළමයි ලිංගික අපයෝජනයට පත්වන අවස්ථා තියෙනවා. පිරිමි කණ්ඩායම් විසින් පිරිමි ළමුන් අපයෝජනයට ලක් කරන අවස්ථා තියෙනවා.
මෙවැනි අවස්ථාවලදී ළමුන්ට මේ වන පීඩාවන් කියන්න කෙනෙක් නැහැ. දරුවොත් අන්තර්ජාල උපාංග නිසා අසභ්‍ය වෙබ් අඩවි බලලා ඉන්පසුව වැඩිහිටියන් මේ දේවල් කරන්න ආවාම විරුද්ධ වෙන්නේ නැති අවස්ථාත් තියෙනවා. ලිංගික අපයෝජනවලදී පවුලේ අය අතින් මෙවැනි දේවල් සිදු වුණාම කාටවත් කියන්නේ නැහැ. පිටස්තරයෙක්ගේ අතින් මෙවැනි අපයෝජන වන අවස්ථා අවමයි. බය ගැන්වීම් තර්ජනය කිරීම් සිදු කරමින් පවුල් ඇතුළේම දරුවන් කාලයක් තිස්සේ ලිංගික අපයෝජනවලට ලක්වෙන අවස්ථා ද තියෙනවා.
තවත් කරුණක් නම් අධ්‍යාපන ක්‍රමය තුළ ඇති වෙලා තියෙන පීඩාව. ලෝක ළමා දිනය තුළ අවධානයට යොමු විය යුතු කරුණක් නම් අපි අපේ ළමා කාලය ගත කළ ආකාරයට දැන් වර්තමාන දරුවන්ටත් එම කාලය දෙනවද යන කාරණාව. අද වර්තමාන සමාජය විසින් බිහි කරලා තියෙන්නේ යාන්ත්‍රික කෘත්‍රිම දරුවෝ ටිකක්. දරුවන්ට උගන්වන්නේ තමන්ගේ ආත්මාර්ථය පමණයි. කෙසේ වුවත්
ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුවට ප්‍රකාරව දරුවන්ට එරෙහිව වන ප්‍රධාන වැරැදි ලෙස සිදුවන්නේ ළමයින් ක්රෑරත්වයට භාජනය කිරීම, ළමයින්ට පහරදීම, තුවාල සිදු කිරීම, කායික හිංසා කිරීම, කායික දඬුවම් ලබාදීම වැනි සිදුවීම්ය. මෙවැනි සිදුවීම් 2020 වසරේදී 2237 ක් වාර්තා වී තිබේ. 2021 වසරේ දී 2741ක් ද, 2022 වසරේදී 2096 ක් වාර්තා වී ඇති බව ළමාරක්ෂක අධිකාරීයේ සභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පවසයි.
“ළමා ආරක්ෂාවට අදාළව එදිනෙදා කෙරෙන විශාල වැඩ කොටසක් අපේ අධිකාරිය යටතේ සිදු කෙරෙනවා. ප්‍රතිපත්ති සැලසුම් හා නීති සම්පාදනය මූලික කටයුතු කෙරෙනවා. ළමා රක්ෂණ අධිකාරියට මහජන පැමිණිලි ලැබෙනවා. ඒ මහජන පැමිණිලි අප අදාළ ආයතනවලට යොමු කරනවා. අපට දිනපතා පැමිණිලි 600ත් – 800ත් අතර ප්‍රමාණයක් ලැබෙනවා. ඒ පැමිණිලි අතර ගොඩක්ම තියෙන්නේ ළමයින් ක්රෑරත්වයට භාජනය කිරීම, පහරදීම, ලිංගික අපයෝජනය, දුෂණය කිරීම, බරපතළ ලිංගික අපයෝජනය වැනි දේවල්. මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට දරුවන් යොදා ගැනීම පිළිබඳව ලැබෙන පැමිණිලි අනෙක් පැමිණිලිවලට සාපේක්ෂව අඩුයි. අපයෝජන සම්බන්ධයෙන් තමයි වැඩියෙන්ම පැමිණිලි ලැබෙන්නෙ.
මේවායින් ළමයින්ට එරෙහිව තියෙන අපයෝජන ක්රෑරත්වයට භාජනය කිරීම පිළිබඳව තියෙන විශේෂම කාරණය ක්රෑරත්වයට භාජනය කර තියෙන්නේ ඒ අය දන්න හඳුනන පුද්ගලයන් වීමයි. ඒ කියන්නේ මවුපියෝ, භාරකරුවන්, ගුරුවරුන්ට ඥාතීන් වැනි අයයි. පාසල්වලින් සමහර ගුරුවරු දරුවන් රෝහල් ගතවෙන තුරු දැඩි ලෙස පහර දෙනවා. මෙය වැළැක්විය යුතු තත්ත්වයක්. පැමිණිලි භාරගෙන අදාළ අංශවලට මෙවැනි දේවල් භාර දුන්නාට පස්සේ නීතිය නිසි ලෙස ක්‍රියාත්මක වෙනවා ද කියලා අපි නියාමනය කරනවා. විමර්ශන කටයුතු වෙනවා ද කියලා අපි බලනවා. නඩු කටයුතුවල තත්ත්වය ද නියාමනය වෙනවා. දැනුම්වත් කිරීමත් අධිකාරිය විසින් සිදු කරනවා. අපයෝජනයෙන් ආරක්ෂා වීම සම්බන්ධව ළමයින් ආරක්ෂා කරගන්නේ කොහොමද? එය ප්‍රතික්ෂේප කරන්නේ අවකාශය හා අවස්ථාව මඟ හරවා ගන්නේ කොහොමද කියන දේ ගැන දරුවන් ව අපි දැනුම්වත් කරනවා.”
දරුවන්ට වන හිංසන පීඩා අපයෝජනයන් සම්බන්ධයෙන් වඩා වැඩි වගකීමක් ශ්‍රී ලංකා පොලිසියට පැවැරී ඇත. එහි වගකීම මනා කොට හඳුනා ගෙන සිටින ළමා හා කාන්තා කාර්යාංශයේ අපයෝජන විමර්ශන අංශයේ නියෝජ්‍ය පොලිස්පතිනී රේණුකා ජයසුන්දර දරුවන් වෙනුවෙන් බොහෝ දේ කරයි. දරුවන් රැක ගැනීමට ඇය ඇප කැපවී කටයුතු කරයි. ලෝක ළමා දිනයකදී නොව සෑම දිනයකම හඬක් නැති දුර්වල පිරිසක් වන අහිංසක දරුවන් රැකගත යුතු බව ඇය පවසන්නීය.
“මේ සමාජයේ දුර්වලම කණ්ඩායම, හඬක් නැතිම කණ්ඩායම, පාරට බැහැලා කෑගහන්න බැරි කණ්ඩායම තමයි දරුවෝ. ඒ හඬක් නැති අයට තවදුරටත් හිරිහැර වෙනවා ද, අපයෝජනය කරනවා ද මරා දමනවා ද කියන බරපතළ සමාජ වගකීම අපි සතුයි. ඒ අයගේ අයිතිවාසිකම් ඉල්ලන්න හඬ නඟන්න බැහැ.
තමන්ගේ අයිතිවාසිකම් මොනවද කියලා හයක් හතරක් නොදන්න නොදරුවන්ට වන හිරිහැර අපි වැළැක්විය යුතුයි. ඒ වෙනුවෙන් අපි නැඟී සිටිය යුතුයි. ශාරීරික හිංසන, කායික හිංසන බොහෝ සෙයින් වෙනවා. ඇතැම් විට සමාජයේ ගරුත්වය දිනාගත් පිරිස් අතරත් මේ දේවල් වෙනවා. විශේෂයෙන් දරුවන් අනාරක්ෂිතව දාලා යන අයට කියන්න අවශ්‍යයි තමන්ගේ යුතුකම දරුවන් ආරක්ෂා කර ගැනීම බව. අද සිදුවන විශාල සමාජ ව්‍යාසනයක් තමයි ලිංගික අත්දැකීම් ලබා ගන්න පුංචි අය යොදා ගැනීම. එයත් ලොකු වරදක්. ඒ වගේම අපි අනාරක්ෂිත වීදි දරුවන් සමබන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා.
මෙය විශාල සමාජ ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. අපි එම දරුවන් අපේ භාරයට අරගෙන සුදුසු භාරකාරත්වයක් ලබා දීමට කටයුතු කරනවා. අපි වැඩිහිටියෝ ලෙස දරුවා අපේ නොවුණත් මෙවැනි දේවල් කරන මිනිසුන්ට එරෙහි විය යුතුයි. ගම් වශයෙන්, නගර වශයෙන්, ග්‍රාමසේවක පවුල්, සෞඛ්‍ය සේවිකාවන් වැනි අයටත් මෙවැනි දේවල් වාර්තා වනවා නම් යම් පියවරක් ගත හැකියි. අනාරක්ෂිත දරුවන් ගැන ඒ අයට පුළුවන් යම් ක්‍රියාමාර්ගයක් ගන්න. ඇත්තටම අපි ළමා දින කියලා බොරුවට සමරලා වැඩක් නැහැ. අපි බිම් මට්ටමට ගිහින් දරුවන් රැක ගන්න අවශ්‍යයි”
අග්‍රාමාත්‍ය ආරක්ෂක කොට්ඨාසෙය් අධ්යක්ෂ ෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්. එස්. ප්‍රියංකර ද සිල්වා ළමුන්ගේ අයිතීන් නිරන්තර සුරක්ෂිත විය යුතු බව පවසයි.
ලෝක ළමා දිනය අර්ථාන්විතව සැමරීමට නම් වැඩිහිටි ප්‍රජාවගේ සහය අසීමිතව ලැබිය යුතුය.වර්තමාන ලෝකයේ ළමා පරපුර හමුවේ ඇති අභියෝග පෙළගස්වන කළ චිත්තාවේගී පෝෂණය, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ වෙනස්කම්වලට භාජනය නොවී සමාජ සාධාරණත්වය තුළ ජීවත්වීමට ඇති අයිතිය කැපීපෙනේ. ශ්‍රී ලාංකේය සමාජය දෙස බලන කල පසුගිය වර්ෂ 03 ඇතුළත ළමා මරණ, බරපතළ තුවාල සිදු කිරීම්, පැහැර ගෙනයෑම්, ස්ත්‍රී දූෂණ හා බරපතළ ලිංගික අපයෝජන, ළමුන්ට ක්‍රෑර ලෙස සැලකීම ඇතුළු සැලකිය යුතු අපරාධ 2000-3000 අතර සංඛ්‍යාවක් වාර්ෂිකව වාර්තා වී ඇත. ළමා සියදිවි නසා ගැනීම් ගත් කල පසුගිය වසර 03 තුළ වාර්ෂිකව 100 කට ආසන්න ප්‍රමාණයක් වාර්තාවී ඇත. අනතුරුවලින් මියයන දරුවන් සංඛ්‍යාව ද වාර්ෂිකව සැලකිය යුතු මට්ටමකින් ඉහළ අගයක් ගනී. ඊට අමතරව ස්වභාවික විපත්, දිය නෑමට ගොස් සිදුවන මරණ, ගෘහාශ්‍රිත ක්‍රීඩා සහ දෛනික ක්‍රියාකාරකම් තුළ සිදුවන්නා වූ අනතුරු හේතුවෙන් ද සැලකිය යුතු ප්‍රමාණයක දරුවන් වාර්ෂිකව සමාජයට අහිමි වේ.
අප රටේ අධ්‍යාපන සංස්කෘතිය දෙස විමසීමක් කර බලන්නේ නම් වයස අවුරුදු 05 සිට ළමා කාලය අවසන් වන තෙක්ම අධ්‍යාපනයේ නියැළෙන දරුවන් වසර 13 කට ආසන්න කාලයක් දිවා කාලය ගත කරනුයේ ගුරුවරුන් හා ඒ ආශ්රිත වැඩිහිටියන් සමඟයි. සමාජ සාරධර්ම, සිරිත් විරිත්, දැනුම, කුසලතා තම ජීවිතයට එක් කර ගනු ලබන්නේ මහා සමාජය තුළ මහා සංස්කෘතියේ සහ උප සංස්කෘතියෙහි ඒකාබද්ධ වෙමින් පවතින සමාජානුයෝජන ක්‍රියාවලිය පදනම් කර ගනිමිනි. එහෙත් ළමුන්ගේ හැසිරීම දෙස අවධානය යොමු කළ විට ළමා අපචාර, ළමා අපයෝජන ක්‍රමිකව වර්ධනය වෙමින් තමන්ට සිදු වූ අත්දැකීම තම යාළු හිතමිතුරන් සමඟ බෙදා හදාගෙන ඔවුන්ව ද එකී අපරාධයේ ගොදුරක් බවට පත්වන්නට ඉඩහරින සමාජ වටපිටාවක් නිර්මාණය වෙමින් පවතී. ඒ සඳහා නවීන තාක්ෂණයේ බලපෑම ද වෛරී සමාජයේ පුද්ගල හැසිරීම ද ධර්මතා විරහිතවීම ද සරල හේතු ලෙස පෙන්වා දිය හැකිය.
“හෙට දවසේ වැඩිහිටියන්ගේ ප්‍රශ්න සඳහා විසඳුම් අද දවසේ දරුවන් වැඩෙන්නේ කෙසේද යන්න මත” රඳා පවතී. වැඩිහිටියන් විසින් අන්තර් පරම්පරා සමානාත්මතාව පිළිබඳ ව අවධානය යොමු කළ යුතුය.
අනාගතයේ දරුවන්ට හිමිවිය යුතු පෘථිවියේ කිසිදු සම්පතක් වැඩිහිටියන්ට අද දිනයේ විනාශ කළ නොකළ යුතුයි. එකී සම්පත් වර්තමාන පරම්පරාව විසින් අනාගත දරුවන් හට ඉතිරි කර තැබිය යුතුයි.
දරුවන් සම්බන්ධයෙන් නීති සම්පාදකයන් විසින් කොතෙකුත් නීති සංශෝධනය කළ ද සමාජ මානව විද්‍යාඥයන් විසින් දරුවන්ගේ මානසික කායික අභිවෘද්ධිය සම්බන්ධයෙන් කෙතරම් දැනුම්වත් කළ ද පසුගාමී මානසික වටපිටාවක එය කෙතරම් වලංගු වන්නේ ද යන්න ගැටලු සහගතය.
දරුවන් සහ වැඩිහිටියන් එක ලෙස සැලකිල්ලට ගන්නේ නම් ලෝක ළමා දිනය දරුවන්ගේ සැමරුම් දිනයක් පමණක් නොව වැඩිහිටියන්ගේ ද සැමරුම් දිනයක් වනු ඇත. ඒ තුළින් සමස්ත ලෝකය ම සුන්දර වනු ඇත.
සුභද්‍රා දේශප්‍රිය, ඡායාරූපය - සුදත් නිශාන්ත