පරිසරයේ සමතුලිත බව රකින වර්ණවත් සුන්දර ජීවියා
සමනලුන්ට කවුද අකැමැති? පාට පාට සිනිඳු පියාපත් සහිතව ගෙවත්තේ මලින් මලට පියාසලන සමනලයකු දුටුවොත් මඳක් නතරව එදෙස බලා සිටින්නට නොසිතෙන්නේ කාටද? එහෙත් සොබාදහමේ විස්මිත මැවුම් අතර ඒ කුඩා ජීවියාගේ සුන්දරත්වය හැර වෙනත් වටිනාකමක් ගැන බොහෝ දෙනකු කිසිදාක සිතා නැතිවා විය හැකිය. එහෙත් ඒ සිනිඳු පියාපත් ඇල්ලූ සැණින්, එහි පාට අපේ අතැඟිල්ලක තැවරුණු සැණින් පවා සිඳී බිඳී යා හැකි තරම්ම මෘදු ඒ අරුම පුදුම සුන්දර ජීවියා පරිසරයේ සමතුලිත බව රැකදීමට ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ඇසුවහොත් ඇතැම් විට ඔබ මවිත වනු ඇත. එහෙත් මවිත වීමට දෙයක් නැත. සොබාදහමේ අරුමය එයයි.
සමනලුන් සහ සපුෂ්ප ශාක වසර මිලියන සිය ගණනක් තිස්සේ එකට පරිණාමය වූ බවට සාක්ෂි ඇත. එහෙත් වර්තමානයේ ශ්‍රී ලංකාවේ සමනලුන්ගේ අනාගතය නම් එතරම් සුබදායක නොවන බවට සාධක ඇත. මේ වන විට ශ්‍රී ලංකාවේ සමනලුන් විශේෂ 248ක් දැකිය හැකි අතර, ඉන් විශේෂ 31ක්ම මෙරටට ආවේණික වේ. අලුතෙන් මෙරට සමනල විශේෂ අතරට එක්වූ සමනල වර්ග සංඛ්‍යාව 3කි.
සමනලුන් සහ සපුෂ්ප ශාක අතර ඇත්තේ දැඩි අන්තර් සබඳතාවකි. ඒ නිසාම සමනලුන් සර්ව සම්පූර්ණ පරිසර පද්ධතියක අත්‍යවශ්‍ය සාධකයකි. පරාගණයට දායක වන, පාරිසරික සෞඛ්‍ය දර්ශක ලෙස ක්‍රියා කරන සමනලුන්, ආහාර ජාලවලට සහාය වීමෙන් ජෛව විවිධත්වය පොහොසත් කරයි. මේ ආකාරයෙන් පරිසර පද්ධතියට ධනාත්මක බලපෑම් ඇති කිරීමට සමත් සමනලුන් සහ මී මැස්සන් අතුරුදහන් වුවහොත් සපුෂ්ප ශාක විශාල ප්‍රමාණයක් සහ ඒවා සමඟ කෘෂිකර්මාන්තය සහ මිනිස් ආහාර ප්‍රභවයන් බොහොමයක් අතුරුදහන් වනු ඇති බවට පරිසරවේදීහු අනතුරු අඟවති.
එම නිසාම සමනලුන් සහ ශාක අතර ඇති සබඳතාව කුමක්ද? සමනලුන්ට අවශ්‍ය ශාක වර්ග මොනවාද? සමනලුන්ගෙන් ශාකවලට ලැබෙන ප්රතිලාභ මොනවාද යනාදී කරුණු රැසක් ගැන අපි පරිසරවේදී රාජික ගමගේ ගෙන් වැඩිදුර අදහස් විමසුවෙමු.
ශ්‍රී ලංකාව වැනි ජෛව විවිධත්වය වැඩි රටකට එම ජෛව විවිධත්වය පවත්වාගෙන යෑම සඳහා සමනලුන්ගෙන් විශාල සහයෝගයක් ලැබෙන බවත් ඒ සඳහා පළමුව ජෛව විද්‍යාත්මකව සමනලයාට පරිසරය සම්බන්ධයෙන් ඇති භූමිකාව හඳුනා ගැනීම වැදගත් වන බවත් ඔහු පැවසුවේය.
“ඒ කියන්නේ සමනලුන්ගෙන් අපිට යම් පරිසර පද්ධතියක තිබෙන ශාක විවිධත්වය හඳුනා ගැනීමට සහ ඒ පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට. සරලව කියනවා නම් යම් පරිසර පද්ධතියක සමනලුන් අධිකව සිටිනවා නම් ඒ පරිසරය ජෛව විවිධත්වය වැඩි පරිසරයක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒකට ප්‍රධානතම හේතුව එක් එක් සමනල විශේෂ බිත්තර දැමීම සඳහා පාවිච්චි කරන ශාක විශේෂය එකිනෙකට වෙනස්. එක සමනල විශේෂයක් බිත්තර දමන ඔවුන්ටම ආවේණික වූ ශාකයක් හෝ ශාක කිහිපයක් තිබෙන්න පුළුවන්. අපි හිතමු යම් පරිසර පද්ධතියක සමනලුන් වර්ග 50ක් ඉන්නවා කියලා, ඔවුන්ට බිත්තර දැමීමට අවශ්‍ය ශාක වර්ග 40 – 50ක් ඒ පරිසරයේ තිබෙනවා. එසේ විවිධ ශාක වර්ගවලින් ඒ පරිසර පද්ධතිය ගොඩක් පොහොසත් නම් අපිට ඒ පරිසරයේ සමනලුන් රාශියක් දැකගන්න පුළුවන්. එහෙම පරිසර පද්ධතියක් ජෛව විවිධත්වයෙන් ගොඩක් පොහොසත්. එහෙම නම් ජෛව විවිධත්වය හීන පරිසර පද්ධතියක අපට සමනලුන් රාශියක් දැකගන්න ලැබෙන්නෙ නැහැ. ඒ නිසයි පරිසර පද්ධතියේ පොහොසත් බව මනින සාධකයක් විදිහට සමනලුන් හැඳින්විය හැක්කේ.”
ප්‍රමාණයෙන් ඉතා කුඩා සත්ත්ව කාණ්ඩයක් වුවත් සමනලුන් පරිසර පද්ධතියේ ආහාර දාමයක් තුළ ප්‍රධාන කාණ්ඩයක් ලෙස සැලකිය හැකිය. ඊට හේතුව සමනලුන් ශාක මත යැපෙන බැවින් සමනලුන් මත තවත් බොහෝ සතුන් යැපීමයි. ඒ නිසාම ඒ සතුන්ගේ ගහනය ද වැඩිවේ. විශාල වශයෙන් සමනලුන් ඉන්නා පරිසර පද්ධතියක ශාක විවිධත්වය සහ ගහනය වැඩි බැවින් එවැනි පරිසර පද්ධතියක් හොඳ ජෛව විවිධත්වයක් සහිත පරිසර පද්ධතියක් ලෙස හඳුනාගත හැකිය.
අප බොහෝ දෙනකුගේ නිතර ඇස ගැටෙන්නේ විචිත්‍රවත් සමනලයා වුව ද සමනලයාගේ ජීවන චක්‍රය කොටස් හතරකින් යුක්ත බව පරිසරවේදී රාජික ගමගේ කීවේය. ඒ දළඹුවා, බිත්තරය, කෝෂ අවධිය සහ සමනලයා ලෙසිනි. සමනලයකු හැදෙන්නේ ඒ අවදි හතරම සම්පූර්ණ වූ විටය. එසේ සමනලයකු නිර්මාණය වීමට නම් බිත්තර දැමීම සඳහා දාරක ශාකයක් අවශ්‍ය වේ. එක් එක් සමනල විශේෂ බිත්තර දමන්නේ ඔවුන්ට ආවේණික දාරක ශාකවලය. බොහෝ ගෙවතුවල දැකිය හැකි සකසඳ, ඇහැළ ශාක, පැණි තෝර, ඇත්තෝර මෙන්ම කතුරුමුරුංගා සහ කරපිංචා ගස් ද බොහෝ සමනලුන්ට දාරක ශාකය.
“ බොහෝ දෙනෙකුට සමනලුන් බිත්තර දාන ශාක ගැන අවබෝධයක් නැහැ. ඒ අනබෝධය සමනලුන්ගේ පැවැත්මට තර්ජනයක්. උදාහරණයක් විදිහට ගෙදර වත්තේ කරපිංචා ගහේ සමනලුන් බිත්තර දාන බව නොදැන අපි කරපිංචා ගහ කපලා දැම්මොත් ඒක ඒ සමනලයාගේ පැවැත්මට තර්ජනයක්. මීට වසර තිහකට පමණ කලින් අපි ඉතා විශාල සමනල සංක්‍රමණයක් දැක්කා. බොහෝ දෙනෙක් එය හැඳින්වූයේ සමනලුන් සිරිපාදේ යනවා කියලයි. සමනල රෑන් රෑන් පියාඹනවා අපි දැකලා තියෙනවා. ඒ කාලේ එය ඉතා සුලබ දැක්මක්. දැන් සමනල සංක්‍රමණයක් සිදුවන්නෙම නැති තරම්. අපේ පරිසර පද්ධතියෙන් සමනලුන් ශීඝ්‍රයෙන් ඉවත් වීම ගැන මෙය යම් අනතුරු ඇඟවීමක් විදිහටත් ගන්න පුළුවන්.”
ඇත්තටම සමනලුන් ශ්‍රී පාදය වන්දනා කරන්නට යන බවට සමාජයේ ඇති මතයේ සත්‍යතාවක් තිබෙනවාද? රාජික ගමගේ ඊට දුන්නේ මෙවැනි පිළිතුරකි. “ සමනලුන් ඇත්තටම සිරිපාදේ යන්නෙ නැහැ. සමාජයේ එහෙම මතයක් හැදෙන්න හේතුව බොහෝ වෙලාවට දෙසැම්බර් සිට මැයි මාසය දක්වා කාලයේදී වියළි කලාපයේ ඉන්න සමනලුන් කඳුකරය හරහා උතුරු වියළි කලාපයට සංක්‍රමණය වීම නිසයි. සමනලුන් එසේ යන ගමන් මාර්ගය බොහෝ විට තියෙන්නේ ශ්‍රීපාද කඳුකරය හරහා.
ඒ විදිහට සමනලුන් රංචු පිටින් යනවා දැකීමෙන් සමාජයේ මතයක් හැදිලා තියෙනවා සමනලුන් සිරිපාදේ වඳින්න යනවා කියලා. ඒ වගේම රාත්‍රී කාලයේ සැරිසරන සලඹයන් ශ්‍රීපාද කඳු මුඳුනේ ඇති දැඩි ආලෝකයට ආකර්ෂණය වීමෙන් මියයනවා. එහෙම මැරෙන්නෙ සලඹයන් මිසක් සමනලුන් නෙවෙයි..” එමෙන්ම සමනලයා සහ සලඹයා යනු දෙවර්ගයක් බවත් පරිසරවේදී රාජික ගමගේ සඳහන් කළේය. ඒ පිළිබඳ ඉතා සරලම පැහැදිලි කිරීම වන්නේ සමනලුන් දිවා කාලයේ දැකිය හැකි බවත් සලඹයන් දැකිය හැක්කේ රාත්‍රි කාලයට බවත්ය. එමෙන්ම සමනලයන් වර්ණවත් වන අතර සලඹයන් වර්ණයෙන් අඩුය. බොහෝ විට ඔවුන් දිස් වන්නේ ගහක පොත්තක්, කොළයක් ආකාරයටය. සමනලුත් පියාපත් අකුලාගෙන සිටින අතර සලඹයා වසා සිටින පත්‍රයට සමාන්තරව සිය පියාපත් දිගු කරගෙන සිටින බවක් දැකිය හැකිය.
මානව ක්‍රියාකාරකම් සහ ආක්‍රමණ ශාකවල බලපෑම අඩු හොඳ පරිසර පද්ධතිවල හොඳ සමනල ගහනයක් අදටත් දැකිය හැකි බැවින් සමනලුන්ගේ ගහනයේ අඩුවීමක් සිදුවී නැතැයි කෙනෙකුට සිතිය හැකිය. ඒ සම්බන්ධයෙන් පරිසරවේදී රාජික ගමගේ මෙසේ පැහැදිලි කළේය.
“කැලෑවල, මානව ක්‍රියාකාරකම් සහ ආක්‍රමණ ශාක අඩු ස්ථානවල සමනල ගහනය හොඳින් තිබෙනවා.
නමුත් කලකට පෙර අප සුලබව දැකපු පරිසර පද්ධතිවල සමනල් ගහනය අඩුවීම විශාල ප්‍රශ්නයක්. එහෙම සමනල ගහනය අඩුවෙන්න ප්‍රධාන හේතු විදිහට පරිසර පද්ධතියේ තිබෙන ගුණාත්මක බව අඩු වීම, ශාක හා සත්ත්ව විවිධත්වයේ වෙනස්කම් සහ එය හායනයට ලක්වීම දැක්විය හැකියි.”
ශාක විවිධත්වය අඩුවන විට සමනලුන්ට බිත්තර දැමීමට ශාක නොමැති වීම විශාල ගැටලුවකි. එසේනම් ඒ ශාකවලට සිදුවූයේ කුමක්ද? ඒ ගැන පරිසරවේදී රාජික ගමගේ ගේ අදහස මෙවැන්නකි.
“ඉස්සර ඒ පරිසර පද්ධතිවල තිබුණු ශාක වෙනුවට දැන් වැඩිපුර තියෙන්නෙ විදේශීය ශාක. සාමාන්‍ය පරිසරයේ මිනිස් වාසය ආශ්‍රිතව දැන් වැඩිපුර තියෙන්නේ දේශීය ශාක නොවෙයි. විශේෂයෙන් කඳුකර ප්‍රදේශවල සියයට අසූවක් පමණ තියෙන්නෙ විදේශීය ශාක. ඒ විදේශීය ශාකවලට අනුගත වෙන්න ගොඩක් සමනලුන්ට අපහසුයි. ඒ නිසා ඒ සමනලුන් වඳවෙලා යනවා. අපි දන්නවා මුලින්ම මේ විදේශ ශාක ලංකාවට එන්නෙ හඳුන්වා දෙන ශාක විදිහට.
නමුත් ඒවා වර්ධනය වීමේ සහ පැතිරීමේ වේගය අනුව එය ආක්‍රමණ ශාකයක් ලෙස හඳුන්වනවා. හැම විදේශ ශාකයක්ම ආක්‍රමණශීලී නැහැ.
සමහර විදේශ ශාක දේශීය ශාකවලට පරදිනවා. නමුත් බහුතරයක් ආක්‍රමණ ශාක බවට පත්වෙනවා. ආක්‍රමණ ශාක එක්ක තරග කරන්න බැරි දේශීය ශාක පරිසර පද්ධතියෙන් ඉවත් වීම මූලිකව බලපාන්නේ පරිසර පද්ධතියටයි.
ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්ව හායනයට බලපාන මූලිකම ගැටලුවක් විදිහට මේ ආක්‍රමණ ශාක පැතිරීම හඳුන්වන්න පුළුවන්. නමුත් අවාසනාවකට වගකිව යුතු කිසිම ආයතනයක් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්නෙ නැහැ.”
පරිසරවේදී රාජික ගමගේ කියන්නේ සමනලුන්ට අත්වී ඇති ශෝචනීය ඉරණම ගැන කනගාටුවෙනි. සමනලුන්ට තවදුරටත් පරිසරයේ හොඳ ගහනයක් පවත්වාගෙන යෑම සඳහා කළ යුත්තේ කුමක්ද යන්න ගැන ඔහුට පැහැදිලි අදහසක් ඇත. ඉන් පළමුවැන්න සමනලුන්ගේ දාරක ශාක හඳුනාගෙන ඒවා වැඩි වැඩියෙන් වගා කිරීමය. ගෙවතු ආශ්‍රිතව ආක්රමණික ශාක වර්ධනය වීම වළක්වා ගැනීමට දෙවැනි යෝජනාවයි.
“පුරවැසියන් විදිහට අපි කාටත් ඒ දේවල් කළ හැකියි. නමුත් රජයක් ලෙස ඒ සම්බන්ධයෙන් මීට වඩා බොහෝ දේ කළ හැකියි. බ්‍රිතාන්‍ය ආදී බොහෝ රටවල ආක්රමණික ශාක සම්බන්ධයෙන් දැඩි නීති ක්‍රියාත්මකයි. විදේශීය ආක්රමණික ශාකයක් තමන්ගෙ ගෙවත්තෙ තියෙනවා නම් එය ඉවත් කිරීමේ වගකීම පැවරී තිබෙන්නේ ගෙවත්තේ හිමිකරුට. එහෙම නැත්නම් රජයෙන් ඒ ශාකය ඉවත් කරලා ගෙවත්තෙ හිමිකරුගෙන් ඒ වෙනුවෙන් දඩයක් අයකරගන්නවා.
මසකට විදේශීය ශාක විස්සක් පමණ අලුතින් අපේ රටට හඳුන්වා දෙන බවත් ඉතා විශාල ශාක ප්‍රමාණයක් රට තුළට එන බවත් වාර්තා වෙනවා. ඒ සම්බන්ධයෙන් නීතියක්, නියාමනයක් අනිවාර්යෙන්ම අපේ රටට අවශ්‍යයි.
එහෙම නැතිව සමනලුන් ගැන වර්ණනා කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැහැ. එදිනෙදා දැකපු සමනලුන්ගෙ ගහනයත් දැන් අපිට නැහැ.
සමහර සමනල් විශේෂ මමත් අවුරුදු පහකින් දහයකින් දැකලා නැහැ. කොළඹ ආශ්‍රිතව සමනල් විශේෂ 60ක් පමණ හමුවෙනවා. මොරටුවේ ඩිල්මා සමනල උයන ආශ්‍රිතව සමනල් විශේෂ 62ක් සිටිනවා. සාමාන්‍යයෙන් දවසකට සමනල් විශේෂ 15 – 20ක් හමුවෙනවා. වසරකට සමනල් විශේෂ 40ක් පමණ හමුවෙනවා. නමුත් සමනල් විශේෂ 20ක් පමණ හමුවෙන්නෙම නැති තරම්.”
ගෙවත්තේ රිසිසේ සරන සුන්දර සමනලයකු දුටු විට ඔබට ඒ කුඩා ජීවියාගේ වටිනාකම ගැන අලුතින් සිතන්නට කරුණු කිහිපයක් එක්වන්නට ඇතැයි සිතමි. එහෙත් සමනලයා ආරක්ෂා කරන්නට නම් අදාළ බලධාරීන් ඒ පිළිබඳ මීට වඩා අවධානය යොමුකළ යුතුව ඇත.
මේ තත්ත්වය ඉදිරියට පැවතියහොත් අපේ පරිසරයේ සුලබව දැකිය හැකි සමනලයන් පවා වඳවීමේ තර්ජනයට ලක්වී ඇති සමනලයන් ලෙස රතු දත්ත පොතට ඇතුළත් විය හැකි බවට පරිසරවේදී රාජික ගමගේ කළ අනතුරු ඇඟවීම ද යළි සිහිපත් කරමි.
lසුරේකා නිල්මිණි ඉලංකෝන්