චීන ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට වසර 66 යි. සැබෑ මිත්‍රත්වයට වසර 95 යි.
“මිතුරු තුමෝ දුක සැප දෙකෙහි ම පැවතී |
බිතු සිතුවම් රූමෙන් පිටු නොපාවිති “
චීන මිත්‍රත්වය ද එසේම ය.
එදා මෙදාතුර චීන ශ්‍රී ලංකා මිත්‍රත්වයේ සුවිශේෂී අවස්ථා ගණනාවක්ම ඇත. පාහියන් භික්ෂුවගේ පැමිණීම සේද මාවත ඇතුළු නොනිල සබඳතා රාශියක් ම ඇත.
හිටපු අමාත්‍යවරයකු වූ දිවංගත පිලිප් ගුණවර්ධන මැතිතුමා සහ චීනයේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ චෞ එන් ලායී මැතිතුමා පැරණි මිතුරන්ය. ඔවුන් ප්‍රථම වතාවට මුණගැසෙන්නේ 1928දී ජර්මනියේ පැවති සමුළුවක දී ය. එහි දී ඔවුන් දෙදෙනා ගජ මිතුරන් බවට පත්විය. එම මිත්‍රත්වය 1957දී දෙරට අතර රාජ්‍ය ප්‍රාප්තික සබඳකම් ඇතිවීම දක්වා දුර දිග ගියේය.
පසුගියදා චීන රජයේ ආරාධනයෙන් නිරිත දිග චීනයේ යුන්නාන් පළාතේ කුන්මිං හි පැවති හත්වන චීන – දකුණු ආසියානු ප්‍රදර්ශනයේ ප්‍රධාන ආරාධිත අමුත්තකු ලෙස සහභාගී වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් සිය පියාණන් වූ දිවංගත පිලිප් ගුණවර්ධන මැතිතුමා විසින් ආරම්භ කරන ලද චීන ශ්‍රී ලංකා මිත්‍රත්වය තව තවත් තහවුරු කිරීමට සමත් වී සිටී.
එම රාජ්‍යතාන්ත්‍රික හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබා දෙන ස්ථීර සහයෝගය සහ දුෂ්කර කාලවලදී ශ්‍රී ලංකාවට කාලෝචිත හා ඵලදායී සහය ලබා දීම සම්බන්ධයෙන් චීනයට ස්තූති කළේය.
කොළඹ වරාය නගරය සහ හම්බන්තොට වරාය වැනි දෙපාර්ශ්වය අතර ඉදිරි දැක්මක් සහිත ප්‍රමුඛ සහයෝගීතා ව්‍යාපෘති ශ්‍රී ලාංකික ජනතාවට ප්‍රතිලාභ ගෙන දෙන අතර, කලාපීය සම්බන්ධතාව සහ තිරසර සංවර්ධනය සඳහා ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවට ආහාර ස්වයංපෝෂිතභාවය ළඟා කර ගැනීමට සහ ප්‍රධාන කර්මාන්තවල දියුණුව වේගවත් කිරීමට උපකාර කිරීම සඳහා ආර්ථිකය, වෙළඳාම සහ ආයෝජන, කෘෂිකර්මය, සංචාරක, බලශක්ති සහ නවෝත්පාදන යන ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීමට ශ්‍රී ලංකාව චීනය සමඟ කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයන් ප්‍රකාශ කළේය.
චීන කොමියුනිට්ස් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩල සභික WANG YI එහිදී අදහස් දක්වමින් චීනය සෑමවිට ම ශ්‍රී ලංකාවේ විශ්වාසනීය උපාය මාර්ගික හවුල්කරුවා වන අතර, ශ්‍රී ලංකාව සෑමවිටම චීනය සමඟ මිත්‍රශීලීව කටයුතු කරන අතර එහි මූලික අවශ්‍යතාවලට අදාළ ප්‍රශ්නවලදී චීනය සමඟ සිට ඇති බව අගය කරන බව පැවසීය.
චීනය ද ශ්‍රී ලංකාවේ ස්වෛරී ස්වාධීනත්වය සහ ජාතික අභිමානය ආරක්ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාවට දැඩි ලෙස සහාය දෙන අතර, ශ්‍රී ලංකාව සමඟ රාජ්‍යතාන්ත්‍රික අත්දැකීම් හුවමාරුව මෙන් ම විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව ශක්තිමත් කිරීමට කැමැත්තෙන් සිටින බව ඔහු පැවසීය.
ස්වාධීන සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව වැඩිදියුණු කිරීමටත්, “දරිද්‍රතා උගුලෙන්” සහ “නොදියුණුවීමේ උගුලෙන්” මිදීමටත්, එහි කාර්මීකරණ ක්‍රියාවලිය සහ කෘෂිකාර්මික නවීකරණ වේගවත් කිරීමටත් චීනය උපකාර කරන බවට WANG YI මහතා ප්‍රතිඥා දුන්නේය.
ශ්‍රී ලංකාව එහි තාවකාලික දුෂ්කරතා ජයගෙන, එහි ජාතික තත්ත්වයන්ට අනුකූලව සංවර්ධන මාවතක් සොයා ගෙන ඇති පුනර්ජීවනය සහ සමෘද්ධිය සාක්ෂාත් කරගනු ඇති බවත් ඔහු විශ්වාස කළේය.
1956දී දිවංගත S.W.R.D. බණ්ඩාරනායක මැතිතුමන්ගේ රජයේ පිලිප් ගුණවර්ධන මැතිතුමා ප්‍රබල කැබිනට් අමාත්‍යවරයෙකි. එතුමාගේ කල්‍යාණ මිත්‍ර චෞ -එන් – ලායී මැතිතුමා මා ඕ සේතුං රජයේ චීන අග්‍රාමාත්‍යවරයා බවට පත් වේ. මේ සබඳකම චීන-ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික සබඳකම් ඇති වීමට හේතු සාධක විය. පිලිප් ගුණවර්ධන මැතිතුමන්ගේ භාර්යාව වූ එවකට ප්‍රකට වාමාංශික චරිතයක් වූ කුසුමා ගුණවර්ධන මැතිනිය 1950දී පමණ චීන ශ්‍රී ලංකා මිත්‍ර සංගමයක් ආරම්භ කළාය. චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ නිර්මාතෘවරිය ද වන්නේ එතුමියයි.
දිවංගත අග්‍රාමාත්‍ය S.W.R.D. බණ්ඩාරනායක මැතිතුමා විසින් 1957දී චීනය සමඟ තානාපති සබඳකම් ඇතිකර ගනිමින් චීන – ශ්‍රී ලංකා මිත්‍රත්වය රාජ්‍යතාන්ත්‍රික බවට පත් කරන ලදි. දිවංගත අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඉල්ලීම පරිදි අපට ලබාදුන් (BMICH) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව අප රටට එරටින් ලැබී ඇති විශාල ව්‍යාපෘතිවලින් එකකි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාලවකවානුවේදී ඇති කර ගන්නා ලද විවිධ ආර්ථික ගිවිසුම්, ආරක්ෂක ගිවිසුම් ආදිය නිසා කොටි ත්‍රස්තවාදීන්ගෙන් රට බේරා ගැනීමටත් ඉන්පසුව උතුරු නැඟෙනහිර සංවර්ධන කටයුතු කිරීමටත් මහෝපකාරී විය. හම්බන්තොට වරාය, කොළඹ වරාය, port city වරාය නගරය ආදිය එම නව වෙළඳ හා ආර්ථික ගිවිසුම් නිසා අප රටට ලද දායාදයන්ය. දීර්ඝ කාලීන බදු ගිවිසුම් මිස අපගේ රාජ්‍ය නායකයන් විසින් මේ රටට මෙතෙක් කිසිදු රටකට තෑගි ඔප්පුවලින් පාවා දී නැත. අත්සන් කොට ඇති ගිවිසුම් ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූලය.
මීට අමතරව විවිධ සංවර්ධන කටයුතු සඳහා විශාල වශයෙන් යටිතල පහසුකම් අපට ලබා දී ඇත. වෙෙළඳ ගිවිසුම් මඟින් විවිධ වෙෙළඳ කටයුතු සඳහා චීනය අපට සහාය වෙයි. වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ද චීන ශ්‍රී ලංකා ඉපැරණි රාජ්‍යතාන්ත්‍රිකත්වය ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීම අගය කළ යුතුය.
සීලරත්න සෙනරත්
(චීන ජාත්‍යන්තර ගුවන් විදුලියේ හිටපු සිංහල වැඩසටහන් අධ්‍යක්ෂ)