Home » මිහිඳුම් සේල මැද්දෙන් හන්තානේ සිරි විඳින්න Hanthana Eco Lodge

මිහිඳුම් සේල මැද්දෙන් හන්තානේ සිරි විඳින්න Hanthana Eco Lodge

by Mahesh Lakehouse
September 30, 2023 12:30 am 0 comment

ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ මහනුවර නගරයට ආසන්නව පිහිටා ඇති හන්තාන කඳුවැටිය සිරිලක් මාතාවගේ මනරම් දායාදයකි. මහනුවර නගරයේ ගිනිකොන දෙසින් ගලහා නගරය තෙක් දිවෙන මෙම කඳු පද්ධතිය ගඟවට, පාතහේවාහැට, උඩ පළාත, දෙල්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස නියෝජනය කරමින් මහවැලි ගඟේ ඉතා වැදගත් පෝෂක ප්‍රදේශයක් පෝෂණය කරයි. ඒ හරහා ගලා බසින ගැරඬිඔය, මහඔය, දොඩම්ගොල්ලඔය, කුඩාඔය යන අතු ගංගාවලට ජලය සැපයෙන්නේ ද මෙම කඳු පද්ධතියෙනි. මෙහි සමස්ත භූමි ප්‍රමාණය හෙක්ටයාර් 1200ක් පමණය.      

මහනුවර නගරයේ සිට කිලෝමීටර් 8ක් දුරින් මුහුදු මට්ටමේ සිට අඩි 2500ක් පමණ උසින් පිහිටි පෙදෙසක තැනූ හන්තාන පාරිසරික නිවහන විවේක සුවය අපේක්ෂා කරන්නන්ට කදිම තෝතැන්නකි. නිවර්තන වෘක්ෂලතා මධ්‍යයේ පිහිටි මෙම නිවහන අසලින් ගලා බසින දියඇල්ල ස්වාභාවිකත්වයේ අසිරිය මවමින් වින්දනයට කදිම උත්තේජනයක් සපයයි. ස්වාභාවික පරිසරය ප්‍රිය කරන්නන්ට නිවාඩුවක් ගත කිරීමට හන්තාන පාරිසරික නිවහනේ ඇත්තේ කදිම පිහිටීමකි.

කඳුකර ජීවන පද්ධතියකට උරුමකම් කියන මෙම පාරිසරික නිවහනේ පහස විඳින්නන්ට රාත්‍රිය ගත කරමින් විනෝඳවන්නට හැකි පරිදි සැකසුණු නවීන පන්නයේ කාමර පහසුකම්ය. සොබාදහමේ පහස විඳින්නට ප්‍රිය කරන්නන්ට මෙහි ඇත්තේ වචනයෙන් කිව නොහැකි තරම් පසුබිමකි. නවීන අයුරින් සකසා ඇති සියලු කාමර පැතලි තිර රූපවාහිනීවලින් යුතු වන අතර, නොමිලේ සැපයෙන වයිෆයි පහසුකම් ද සහිතය. මෙහි නවාතැන් ගැනුමට පැමිණෙන්නන්ට තනිව වුව ද තේ, කෝපි සාදා ගැනීමේ පහසුකම්ය. ගත සිත වෙළාගන්නා සීතල හන්තාන සුළඟේ දැවටෙමින් ප්‍රණීත ආහාර වේලක රසය විඳීන්නට සුහදශීලි කාර්ය මඬුල්ලකගේ සහාය දවස මුළුල්ලේය. නිවහන අසලින් ගලා බසින දියඇල්ලේ සීත පහස විඳින්නට ද බාධාවක් නැත. BBQ සමඟ රාත්‍රිය පහන් කිරීමට කැමැති නම් එම පහසුකම් ද සහිතය.

හන්තාන වටා ගෙතුණු කතාවලින් හැඟෙන්නේ ද මෙම භූමිය මානසික සුවය පතන්නන්ට කදිම නිවහනක් බවයි.

බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉංග්‍රීසීන් මෙම කඳුවැටිය හඳුන්වා ඇත්තේ නිදා සිටින සොල්දාදුවා ලෙසිනි. මෙයට හන්තාන නම ලැබීම ද විශේෂ සිදුවීමක ප්‍රතිඵලයකි. ශ්‍යාමෝපාලි නිකාය මෙරට පිහිටුවීම අරමුණු කරගෙන උපාලි හිමියන් ඇතුළු උපසම්පදාලත් භික්ෂූන් පිරිසක් මෙරටට වැඩම කර ඇත. උන්වහන්සේලා පැමිණි කාර්ය නිමාකර නැවත සිය රටට වැඩම කළ නමුත් හන්තාන නමැති භික්ෂුන් වහන්සේ පමණක් මෙම කඳුවැටියේ නතර වී, අරණ්‍යගතව වැඩ වාසය කොට, මෙහිම අපවත් වී ඇත. උන් වහන්සේ වැඩ සිටි මෙම වන අරණ උන්වහන්සේගේ නමින් හන්තාන ලෙසින් නම් කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ.

එවන් අභිමානවත් කතාවකට නෑකම් කියන හන්තාන අඩවියේ හුදෙකලාව වෙසෙන මෙම පාරිසරික නිවහන මානසික නිදහස අගයනක ඕනෑම අයකුට යෝග්‍ය බව අමුතුවෙන් කිව යුතුද නොවේ. පිදුරු සෙවිලි වහලයෙන් අලංකාර වුණු කුඩා කුටි මෙන්ම වේවැල් ආදි ස්වාභාවික ශාක වැල් ආශ්‍රයෙන් තැනූ ගෘහ භාණ්ඩ කියාපාන්නේද ස්වාභාවික අරණක අසිරියයි. නිවහනේ සිට ඈත සිසාරා බලන්නෙකුට දෑස් මානයේ දිස්වන සුන්දර දසුන් කලබලකාරී වටපිටාවක මනෝභාවයන් ක්ෂණයකින් මඟහැර ගැනීමට සමත් වෙයි. නාගරික පරිසරයෙන් හෙම්බත්ව මානසික සුවය පතා පැමිණෙන්නන්ට තවත් අවැසි මොනවාද සිතෙන තරමටම මෙම පරිසරය සිත නිවන සුලුය. අව් රශ්මියෙන් කැකෑරෙන නාගරික පරිසරයේ විඩාව නිවාලන මෙය දේශීය ජනයාට මෙන්ම මෙරට අසිරිය විඳින්නට එන සංචාරකයන්ට ද පාරාදීසයක් බව නොකියාම බැරිය.

Hantana Eco Lodge මේ වනවිට ත්‍රාසජනක ක්‍රියාවන්හි යෙදෙන්නන්ට කඳවුරු බඳින්නට අවැසි පහසුකම් ද සලසා තිබිම තවත් විශේෂත්වයකි. මානසික සුවය, නිදහස මෙන්ම ස්වාභාවික පරිසරය හා ගැටෙන ත්‍රාසජනක ක්‍රීඩාවන්හි යෙදෙන්නන්ට මෙය අපූරු නිවහනකි.

 

නාමලී ගමගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division