පාසල්වල ලිංගික අධ්‍යාපනය ලබා දෙනවාට බොහෝ පිරිස් විරුද්ධ වෙන හැටි පහු ගිය ටිකේම අපි දැක්කා. ඒ කරුණු ඉදිරිපත් කිරීමේ විලාසය ගැන සම්පූර්ණයෙන් එකඟ නොවුණත් ලිංගික අධ්‍යාපනය කියන්නේ නම් ඔය කියන තරම් හංගන්න ඕන රහසක්වත් මැජික් එකක්වත් නෙමෙයි.
ලංකාව ඉන්දියාව වගේ තුන්වෙනි ලෝකේ රටවල් ලිංගිකත්වය කියන වචනේ ප්‍රසිද්ධියේ කතා කරන්න පුදුම බයක් තියෙන්නේ. ලිංගික අධ්‍යාපනය දරුවොන්ට උගන්නන එක මහා අපරාධයක් විදිහටයි සලකන්නේ .එක නිසා දරුවෝ තරුණ වයසට එනකොට ඔළුවට වැටෙන්නේ ලිංගිකත්වය කියන්නේ කතා කළ යුතු නැති අමුම අමු රහසක් කියල .
තරුණ දරුවන්ට ලිංගිකත්වය ගැන අමුතු කුතුහලයක් ඇතිවෙනවා. හෝමෝනවල ඇති වන වෙනස්කමත් එක්ක ශරීරයෙනුත් ඒකට හොඳ තල්ලුවක් දෙනවා. තරුණ දරුවෝ පිස්සුවෙන් වගේ මේ කුතුහලයෙන් යුතු ලිංගිකත්වය ගැන හොයන්න පටන් ගන්නවා. යාළුවොත් එක්ක කතා කරනවා. ඒ ගැන අන්තර්ජාලයේ පිස්සුවෙන් හොයන්න ගන්නවා.
ග්‍රාමීය වෙන්න වෙන්න රහසේ රස වැඩි වෙලා ඒ ගැන හොයන එක වැඩිවෙන්න ගන්නවා. ඒකේ ප්‍රතිපල විදිහටද මන්දා ස්ත්‍රී දූෂණ, ලිංගික අපචාර නගරෙට සාපෙක්ෂව ගම් පළාත්වල වැඩියි. ඒක මහා ලොකු මැජික් එකක් කියල තමයි නොදියුණු පලාත්වල මිනිස්සු හිතන් ඉන්නේ.
ලිංගිකත්වය එහෙමත් නැත්තම් ලිංගිකත්වය කියන්නේ මොකක්ද කියල අපේ දරුවන්ටත් පාසල්වල ක්‍රමවත්ව උගන්නන්න තිබ්බේ ගොඩක් කලින් ,
එහෙම ඉගැන්නුවත් නැතත් මවුපියෝ විදිහට අපේ දරුවන් අපරාධකාරයෝ නොකරන්න සහ අපරධවලට ගොදුරු වීම වළක්වාගන්න අපි ඔවුන්ට නිසි වයසේදී ලිංගිකත්වය ගැන මුලික අවබෝධයක් ලබා දිය යුතුයි . ඒ අවබෝධය මඟින් දරුවන් අතින් අනාගතයේ අපරාධ ඇතිවීම සහ දරුවන් අපරාධවල ගොදුරු බවට පත්වීම අඩු වෙනවා.
මවුපියෝ ලිංගිකත්වය කියන්නේ මේකයි කියල දරුවන්ට නිසි වයසේදී කියල නොදී හැංගුවා කියල දරුවෝ මේ දේවල් ඉගෙන නොගෙන ඉන්නේ නැහැ. හේතුව ලිංගිකත්වය කියන්නේ සෝබා දහමේම කොටසක් සහ මූලික මිනිස් අවශ්‍යතාවක්.
ලිංගිකත්වය එහෙමත් නැත්තම් ලිංගිකත්වය කියන්නේ දරුවන්ගෙන් හංගල සීල් කරල වහල තියන්න තරම් රහසක් නෙමෙයි.
ලිංගිකත්වය කියන්නෙත් බඩගින්න, නිදිමත තවත් එක මූලික අවශ්‍යතාවක් පමණක් බවත් ඒ අත්දැකීම් සඳහා නියමිත වයසක්, පිළිවෙළක්, තියෙන බවත් අමුතුවෙන් හොයා හොයා මනසින් රසවිඳින්න තරමේ රහක් හෝ සුවිශේෂිත්වයක් ඒ තුළ නොමැති බවත් තරුණ දරුවන්ට වැදගත් විදිහට කියල දෙන එක මවුපියන්ගේ යුතුකමක්.
මෙවැනි දේ දරුවන් සමඟ කතාකිරීම සදාචාර විරෝධී කියල කුමන හෝ මවුපියෙකුට හිතුනද දරුවෝ ඒ ඒ කාලවලදී ඒ දේවල් හොයන්න පෙලඹෙන එක නවත්තන්න දෙමව්පියන්ට බැහැ. ඔවුන් සමාජෙන් ,යාළුවන්ගෙන්, තාක්ෂණික මෙවලම් මඟින් හෝ අන්තර්ජාලයෙන් හෝ මේ දේවල් සෙවීම අසාමාන්‍ය දෙයක් නෙමෙයි. එනිසා මවුපියෝ ගෙදරදී මුලින්ම හරි කොටස තෝරලා බේරලා කියල නොදුන්නොත් වෙන්නේ හරි කොටසයි වැරදි කොටසයි දෙකම දරුවෝ සමාජයෙන්ම ඉගෙන ගන්න එකයි. එතැනදී තමන්ගේ සීමාව නොදැන දරුවෝ අමාරුවේ වැටෙනවා .
දරුවන්ට, පිරිමි හෝ ගැහැනු හෝ මවුපියන් නොවන ඕනෑම අයෙක් පිටස්තරයෙක් පමණක් බවත්, ඒ ඕනෑම අයෙකු සමඟ සම්බන්ධතා, පැවැත්විය යුතු සීමාව සහ ඒ වගේ නොගැළපෙන යෝජනාවකදී හැසිරිය යුතු ආකාරය කියා දෙන එක, නිතරම තමන්ගේ දරුවන් ගැන අවධානයෙන් ඉන්න එක මවුපියෝ කළ යුතුම දෙයක් .
“අනේ ඒ මල්ලි අපේ යාළුවෙක් එයා එහෙම නැහැ, ඒ ළමය අපි හොඳට දන්නා යාළුවෙක් එයා අපේ දරුවන්ට අපි වගේම ආදරෙයි කියා සිතමින් දරුවන්ගේ ජීවිත පිට කිසිවෙකු ළඟ උකසට තැබීම ඉතා අවදානම් , බොහෝ ලිංගික අපරාධකාරයෝ පවුල් ළඟම හිටපු හුඟක් විශ්වාසවන්තයෝ.
ගෙදර තාත්ත අම්මට ගරු කරන විදිහ, අම්ම අනිත් ගැහැනුන්ට ගරු කරන විදිහ, ගැහැනු ආරක්ෂා කිරීමේ ආදරය කිරීමේදී පිරිමි සතු වගකීම , සහ පිරිමියෙක් සහ පුතෙක් යනු කිසිම විටක ගැහැනියෙක් අකමැත්තෙන් කිසිම කාන්තාවකගේ ශරීරයට අත තියන්න ඕන නැති තරමේ පෞරුෂවත් මිනිස් කොට්ටාසයක් බව පුතාලට කියල දෙන්න .
අද මේ යන රටාවත් එක්ක දරුවන්ට ජංගම දුරකතන ලබා දීම නතර කිරීම , අන්තර්ජාල පහසුකම් ලබා නොදීම ප්‍රයෝගික නැහැ.මුළු ලෝකෙම එකම විශ්ව ගම්මානයක් වෙලා තියන තාක්ෂණික යුගයක ගෙදරින් දුන්නේ නැතත් යාළුවෙක්ගෙ දුරකතනයකින් හරි ඔවුන් තමනට අවශ්‍ය දේ හොයන්න පෙලඹෙනවා. ඒ නිසා විය යුත්තේ දරුවන් තරුණ අවධියට එනකොටම ඔවුන්ගේ ආකල්පවල වෙනසක් ඇති කරන එක තමයි.
මවුපියෝ පුල පුලා කියනකොට, සහ දරුවන් ඉස්සරහ වැදගත් විදිහට හැසිරෙනකොට, ලිංගිකත්වය කියන්නේ පට්ට රහසක්වත්, මැජික් එකක්වත් නෙමෙයි කියල තේරෙනකොට, දරුවෝ අපරාධවලට යොමුවන එක සහ ගොදුරු වෙන එක ඉබේම අඩු වෙනවා.
ඒ නිසා හණමිටි අදහස් ඔළුවෙන් අයින්කරලා ,තමාගේ දුවට පුතාට කියා දෙන්න කාගෙවත් වුවමනා එපාකම්වල ගොදුරක් නොවී ජීවත් වෙන හැටි.
සමාජෙට කරදරයක් නැති මිනිස්සු විදිහට සමාජගත කරනකම්ම දරුවා ගැන වගකීම තියෙන්නේ දෙමව්පියො අතේ .
ලිංගික අධ්‍යාපනය කියන්නේ වැරදි දෙයක් නෙමෙයි, දරුවෝ අපරාධවල ගොදුරු බවට පත් නොකරන්න නම් දරුවන්ට ඉගැන්විය යුතුම කොටසක්.