නූතන තාක්ෂණික ලෝකය යනු ඇස් අදහාගත නොහැකි මායාවක් බඳුය. සැබෑ ලොකයේ සිදු විය හැකි යැයි අප අපේක්ෂා නොකරන බොහෝ දේ මේ තාක්ෂණික ලෝකය විසින් අපේ දෙපා මුලට ගෙනැවිත් තිබේ. මේ කියන්නට යන්නේද එවැනි කතාවක්ය.
ඉකුත් දා ලොවම මවිතයට පත් කරමින් කෘත්‍රිම බුද්ධියෙන් බල ගැන්වුණු ලොව පළමු ගායිකාව වන නූනූරි (Noonoouri) නම් පොප් තරුව ගීත නිෂ්පාදන සමාගමක් වන වෝර්නර් මියුසික් (Warner Music)සමාගම සමඟ ගිවිසුමකට එළඹ තිබුණාය. මෙම ප්‍රවෘත්තියත් සමඟ ලෝකයේම අවධානය ඈ වෙත යොමු වූවාය. නූනූරි යනු සැබෑ ලෝකයේ ජීවත්වන ස්ත්‍රියක් නොවේ. ඇය පරිගණක ලෝකය තුළ ජීවත්වන අථත්‍ය චරිතයකි. නූනූරි කලාකරුවෙකු ලෙස කැපී පෙනෙන්නේ ඇයගේ ඒඅයි මඟින් උත්පාදිත කට හඬයි. මෙය තාක්ෂණික නිමැවුමක් නිසා කටහඬ තරමක් රළු ගතියක් පෙන්නුම් කළ ද, මෙම විශ්මිත නිර්මාණය කෘත්‍රිම බුද්ධි තාක්ෂණයේ ඉහළ සක්‍යතාවය පෙන්නුම් කරන්නකි. ඇයගේ කටහඬ නිර්මාණය කර ඇත්තේ ඩෙනරේටිව් ඒඅයි මඟිනි. එය පවතින දත්ත ආශ්‍රය කරගෙන මුලුමනින්ම අලුත් දෙයක් බවට පරිවර්තනය කරන තාක්ෂණයකි.
ලෝක ප්‍රකට වෝර්නර් මියුසික් සමාගම නුනූරි සමඟ ගීත නිෂ්පාදනය කිරීම සඳහා ගිවිසුම්ගත වීමත් සමඟ එය ගීත නිෂ්පාදන සමාගමක් පරිගණක ලෝකයේ ජීවත් වන චරිතයක් සමඟ ගිවිසුම්ගත වූ ප්‍රථම අවස්ථාව බවට පත්ව තිබේ. මෙලෙස නුනූරි සමඟ වෝර්නර් මියුසික් සමාගම ගිවිසුම්ගත වීමෙන් අනතුරව ප්‍රථම නිර්මාණය ලෙස ඩොමිනෝස් ගීතය පසුගියදා එළිදැක්වූවාය. මෙම ගීතය මේ වන විට 1,88000 ක පිරිසක් නරඹා ඇත. එම ගීතයේදී නූනූරිට කිම් කර්ඩෑෂියන්ගේ විලාසිතා එකතුවේ තිබෙන නාන ඇඳුමක් අන්දවා තිබුණි. මීට සමාජ මාධ්‍ය පරිශීලකයන්ගේ විවේචන එල්ල විය.
වෝර්නර් මියුසික් සමාගම සමඟ ගිවිසුම්ගත වීම පිළිබඳව ඈ සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි සටහනක් තබමින් පවසා සිටියේ “සංගීතය යනු තම ජිවිතයේම කොටසක් බවයි. කොටින්ම මා උපන්නේ විලාසිතාව හා සංගිතය නිසා. එය මා මානසිකව සතුටට පත් කරන අතර එය මගේ ඉදිරි ගමනේ ගාමක බලවේගයයි. වෝර්නර් මියුසික් යනු මගේ ප්‍රියතම සංගීත ශිල්පීන් බොහෝ දෙනෙකුගේ නිවහනයි. ජීවිතයට නැවුම් රිද්මයක් එක් කරන සංගීත නාදයන් නිමවන අපූරු පවුලකට සම්බන්ධ වීමට ලැබීම ගැන මා තරම් සතුටට පත්වන අයකු තවත් සිටිය නොහැකිය”යනුවෙනි.
මියුනිච් හි ග්‍රැෆික් නිර්මාණකරුවෙකු වන ජෝර්ග් සූබර් (43 හැවිරිදි) විසින් 2017 අග භාගයේදී මෙම චරිතය මහජනතාවට හඳුන්වා දුන්නේ වයස අවුරුදු 19ක තරුණියක ලෙසය. ජෝර්ග් සූබර් යනු විලාසිතා වලට දැඩිව ඇලුම් කරන්නෙකි. ඔහු පළමු විලාසිතා සඟරාව වයස අවුරුදු පහේදී මිලදී ගෙන තිබුණි. ඔහු විලාසිතා ලෝකය කෙරෙහි මෙතරම් ඇල්මක් දැක්වූයේ එය නිදහසේ සංකේතයක් ලෙස සැලකූ බැවිණි. නූනූරි උපන්නේ එකී නිදහස මූර්තිමත් කිරීම සඳහාය. එහිදී සූබර් මායමය පෙනුමක් ලබාදීමට උත්සාහ කරනවාට වඩා අවතාරමය චරිතයක් ලෙස නිර්මාණය කිරීමට උත්සාහ ගෙන තිබුණි.
මුලින්ම විලාසිතා නිරුපිකාවක ලෙස සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළ නූනූරි විලාසිතා ලෝකය තුළ කෙටි කාලයක් තුළ ඉතා ඉහළ ජනප්‍රියත්වයකට ළඟා වූවාය. ඇගේ ඉන්ස්ටග්‍රෑම් හී අනුගාමිකයින් 200,000 කට අධික සංඛ්‍යාවකින් ඉහළ ගිය අතර, මෙනිසා ම ඉහළ සන්නාමයන් සමඟ ගිවිසුම්ගත වීමට ඇයට අවස්ථාව උදා වූවාය. ඒ අනුව Marc Jacobs, Dior, සහ Versace වැනි කීර්තිමත් සන්නාම සමඟ ගිවිසුම් ගත වීමට ඇයට හැකි වූවාය. ඇය ලොව ප්‍රකට වේෂ නිරූපණ ශිල්පියකු වන කිම් කර්ඩෑෂියන් සමඟ එක්ව වෙළඳ දැන්වීම්වල ද පෙනී සිටියාය. එසේම නමොයි කැම්බල් වැනි සුපිරි නිරූපිකාවන් සමඟ සම්බන්ධතා ඇති කර ගැනීමටද ඈ සමත් වූවාය.
මේ වන විට කෘත්‍රිම බුද්ධියෙන් නිමැවුණු නූනූරිගේ ඩිජිටල් පැවැත්ම සංගීතයෙන් ඔබ්බට ගමන් කරමින් තිබේ. ඇය නිර්මාංශත්වය, තිරසර විලාසිතා ප්‍රවර්ධනය කිරීම සහ විලාසිතා කර්මාන්තයේ ලොම් භාවිතයට විරුද්ධ වීම සඳහා ඉදිරියට පැමිණ තිබේ.
රසික කොටුදුරගේ