Home » දරුවන්ගේ ලෝකය දරුවන්ට ලබාදීම අපේ වගකීමක්

දරුවන්ගේ ලෝකය දරුවන්ට ලබාදීම අපේ වගකීමක්

කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

by Mahesh Lakehouse
September 30, 2023 12:00 am 0 comment

ඔක්තෝබර් පළමුවැනිදාට යෙදෙන ලෝක ළමා දිනය නිමිත්තෙන් දරුවන් වෙනුවෙන් ඔබේ අමාත්‍යාංශය යටතේ සිදු කිරීමට අපේක්ෂිත වැඩපිළිවෙළ කුමක්ද?

ලෝකයේ තියෙන වටිනාම වස්තුව දරුවෝ කියලා මම විශ්වාස කරනවා. රැකගත යුතු සහ වටිනාම වස්තුව දරුවෝ. දරුවන් වෙනුවෙන් විශේෂ පුහුණුවකින් යුත් පෙර පාසල් ගුරුවරු බිහිකරන්න කටයුතු කරනවා. ළමා දිනය මෙවර සියල්ලටම වඩා දරුවන් වටී කියන තේමාව යටතේ සමරනවා. ළමුන් 400ක් පමණ අරලියගහ මන්දිරයට කැඳවලා ඔවුන් වෙනුවෙන් තෑගි බෝග ලබා දෙනවා. ඔක්තෝබර් පළමුවැනිදා යෙදෙන්නේ නාමික වශයෙන් ලෝක ළමා දිනය කියලා මම හිතන්නේ. දරුවාගේ ජීවිතය නිසි පැත්තකට යෑම අරඹන්නේ කුඩා වියේදිමයි. වයස 18කට අඩු සියලු දෙනාගේම වගකීම රජයක් විසින් දැරිය යුතුයි. අපේ රටේ දරුවෝ ගැන සැලකිලිමත් මදි. දරුවන්ගේ සුබසිද්ධිය වෙනුවෙන් අපි කටයුතු කළ යුතුයි. ඒ වෙනුවෙන් ප්‍රායෝගික ක්‍රියාමාර්ග රැසක් අරගෙන ති‍ෙයනවා. වැඩියෙන්ම පෙර පාසල් දරුවන් වෙනුවෙන් උදෑසන ආහාර වේල ලබාදීම තමයි වඩා වැදගත් වෙන්නේ. තෝරාගත් ප්‍රදේශවල පෝෂණ තත්ත්වයයෙන් අඩු දරුවන්ට මෙය ලබා දීමයි. මන්දපෝෂණයයෙන් පෙළෙන ළමයි වෙනුවෙන් උදෑසන ආහාර වේලක් ලබාදීමටත් අපි කටයුතු කරනවා. නිරෝගි දරුවෙක් බිහි කරන්න ගර්භණී මවුවරුන්ට රුපියල් හාරදහසක මුදලක් ලබා දෙනවා. මවුකිරි දෙන කාලයේ මාස 5ක් ද ගර්භණී කාලයේ 4ක් ද එය ලැබෙනවා. මෙය ලැබෙන්නේ අඩු ආදායම් ලබන මවුවරුන්ටයි. පෙර පාසල් දරුවන්ගේ අවශ්‍යතා හඳුනාගෙන පාසල් දිවිය අරඹන කාලය වන විට හොඳ වටපිටාවක් සකස් කරන්නත්, විශේෂ හොඳ පුහුණුවකින් යුත් පෙර පාසල් ගුරුවරු බිහිකරන්නත් අපි කටයුතු කරනවා.

අපිට ආර්ථික අපහසුතා තිබුණත් ලබන අය වැයෙන් ළමුන් සඳහා වැය කරන මුදල වැඩි කර ගැනීමට අපි උත්සාහ කරනවා. දරුවන්ගේ වයස ආයේ එන්නේ නැහැ. ළමුන්ගේ ආරක්ෂාව පිළිබඳවත් වඩා සැලකිලිමත් විය යුතුයි. එසේ ම කුඩාම දරුවන් ඉන්න මවුවරු රට යනවා. එය නොවිය යුතු දෙයක්. ඒ අයට මව අවශ්‍යයි. අවුරුදු දෙකට පහළ දරුවෝ ඉන්න මවුවරුන් රටින් පිට නොවිය යුතුයි. ළමා මෙහෙකාර සේවයට මෙන්ම ළමා අපචාරවලට මේ රටේ තිබෙන නීති සංශෝධනය විය යුතුයි. පරිවාසයෙන් කුඩා වැරැදිවලට වැරදිකරුවන් වූ දරුවෝ සම්බන්ධයෙන් යම් විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන්න අවශ්‍යයි. වැඩිම අපචාර ළමා නිවාසවල සිදුවන අවස්ථා තියෙනවා. මේක පුළුල් දෙයක්. මවක් වීම නීති විරෝධී දෙයක් නොවෙයි. ඕනෑම ගැහැනියකට මවක් වීමට අවකාශ තිබිය යුතුයි. මවකට තනිවම දරුවන් රැක බලා ගැනීමට අසීරුයි. වෙනත් රටවල තනිව දරුවන් හදා වඩා ගන්නවා. මෙවැනි තනි මවුවරුන් ගැන අපේ රටේ තියෙන සාම්ප්‍රදායික මතවාදය වෙනස් විය යුතුයි. සමාජයේ මේ සංස්කෘතික කාරණා වෙනස් විය යුතුයි; එම දරුවා සහ මව දෙස බලන විදිහම වෙනස් විය යුතුයි.

රටේ පවතින ආර්ථික අර්බුදය නිසා වඩාත් පීඩාවට පත් වෙලා තියෙන්නේ දරුවන් සහ කාන්තාවන්. ඔවුන් මේ පවතින අර්බුදයෙන් මුදා ගැනීමට ඔබේ අමාත්‍යාංශය හරහා යම් ක්‍රියා මාර්ගයක් ගෙන තිබෙනවාද?

ඇත්ත වශයෙන් තනි මවක් සහ දිළිඳු කාන්තාවක් ජීවන වෘත්තියක් නැති නම් ඇයට රජයෙන් යම් දීමනාවක් ලබා දිය යුතුයි. අනෙක් සියලු අසරණ අයට ණය ලබා දෙනවා වගේම මේ අසරණ මවුවරුන්ටත් දරුවන් හදාගන්න උදව් කරන්න අවශ්‍යයි. කාන්තාවන් මූලිකත්වය ලබාදිය යුතුයි. වැඩි සැලකිල්ලක් ගර්භණී මවුවරුන්ට ලබා දිය යුතුයි. දරුවාට ඝන ආහාර දෙන කාලය දක්වා ඒ අය මන්දපෝෂණ තත්ත්වයෙන් වළක්වා ගැනීමට කටයුතු කිරීමට අපේක්ෂා කරනවා. දිළිඳු පවුල්වල දරුවන් වෙනුවෙන් මේ රටේ මවුපියන් යටතේ හැදී වැඩෙන දරුවන්ට මාපිය කැපකරු ක්‍රමයක් පිටරටවල ඉන්න පිරිසට ලබා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතුයි. අපේ දරුවන් පිටරටට හදා වඩා ගැනීමට දීමට මම තරයේ විරුද්ධයි. එවැනි දරුවන් මාපිය කැපකරු ක්‍රමය යටතේ රැක බලාගන්න උපකාර කරනවා නම් එය විශාල පිටිවහලක් වේවි මෙවැනි අවස්ථාවක.

රටේ මන්දපෝෂණයෙන් පෙළෙන ළමුන් ප්‍රමාණය වැඩි වී තිබෙනවා නේද? දරුවන් එම තත්ත්වයෙන් මුදා ගැනීමට විෂය භාර ඇමැතිවරිය ලෙස යම් පියවරක් ගෙන තිබෙනවාද?

දැනට එවැනි දරුවන් පහළොස් දහසක් ලේඛන ගත වෙලා තියෙනවා. ඒ අයට විශේෂයෙන් පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා දීමට පියවර ගන්නවා. තාම මන්දපෝෂණය කියලා හඳුනා නොගත් දරුවෝ වතුකරයේ ඉන්නවා. ඒ අයට යම් කිසි සහනයක් සකස් කළ යුතුයි. මන්දපෝෂණ තත්ත්වය හරි ම භයානකයි. පවුල් සෞඛ්‍ය සේවිකාවන් විසින් ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි. රටේ පූර්ව ළමාවියේ පසුවන දරුවන් එක්ලක්ෂ පනස්පන්දහසක් සිටිනවා. ඒ අතර වතුකම්කරුවන්ගේ දරුවන් තිස්පන්දහසක් සිටිනවා. පූර්ව ළමාවිය සංවර්ධනය වූ දරුවන්ට දිවා ආහාර වේලක් දීමට කටයුතු කරනවා. වසරකට ලක්ෂ තුනක් හෝ තුනහමාරක් දරුවන් අපේ රටේ උපත ලබනවා. එසේම අපේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 24 මඟින් දිසාපතිවරුන්ගෙන් අවශ්‍ය තොරතුරු රැස් කර ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ග්‍රාමසේවා වසම් සියල්ල ආවරණය වන පරිදි ගැබිනි මවගේ සිට පෙර පාසල් අවධිය දක්වා දරුවන්ගේ උස, බර ප්‍රමාණය සම්බන්ධයෙන් අවශ්‍ය තොරතුරු ලබාගෙන මේ සම්බන්ධව විධිමත්ව කටයුතු කරනවා. අඩු බර දරුවන්ගේ පෝෂණ තත්ත්වය වර්ධනය කර මන්දපෝෂණ තත්ත්වයට ඉවහල් විය හැකි තත්ත්වයෙන් මුදා ගැනීමට කටයුතු කරනවා.

ළමා සහ කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට යම් පියවරක් ගෙන තිබෙනවාද?

ළමා ප්‍රඥප්තියක් අපිට තියෙනවා. එසේම පරිවාස නිලධාරීන් නිල බලයෙන් සාම විනිසුරුවන් බවට පත් කිරීමේ ගැසට් නිවේදනයක් තියෙනවා. ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ මැදිහත්වීමෙන් අධිකරණ අමාත්‍යවරයා ඊට කඩිනම් ප්‍රතිචාර දක්වලා තියෙනවා. වින්දිතයන් බවට පත්වන දරුවන් නෛතික කටයුතුවලදී අවශ්‍ය වන දිවුරුම් ප්‍රකාශ ලබා ගැනීමේදී සිදුවන අපහසුතාව මඟහරවා ගැනීමට පරිවාස නිලධාරීන් හට සාම විනිසුරු පත්වීම් ලබාදීමට අදාළව නෛතික ප්‍රතිපාදන හිමිවන නිවේදනක් නිකුත් කොට තියෙනවා. එසේම ජනාධිපතිවරයා විසින් දරුවන් සම්බන්ධ ඉල්ලීම් ඉටු කරනවා. කාන්තා සහ පුරුෂ කම්කරුවන් අතර තියෙන වැටුප් අසමානතාව ඉවත් කිරිමට කටයුතු කරනවා. එසේම දරුවන්ගේ අයිතීන් සුරක්ෂිත කළ යුතුයි. දරුවන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමට පාසල තුළත් යම් යම් ක්‍රමවේද සකස් විය යුතුයි. පාසලේදීත් යම් යම් පීඩාවන්ට ලක් වන දරුවන් සිටිය හැකියි. දරුවන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් පාසල තුළ යම්කිසි ක්‍රමවේදයක් තිබිය යුතුයි.

ළමා අයිතිවාසිකම් ජාත්‍යන්තර මට්ටමට ගෙන යෑමට අවශ්‍යයි. නඩත්තු ඉල්ලලා උසාවි ගියත් ඇයට ලැබෙන්නේ දරුවන් නඩත්තු කරන්නවත් පුළුවන් මුදලක් නොවෙයි. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. සැමියා හැරයන කාන්තාවන්ට රජය මඟින් යම් ක්‍රමවේදයක් දරුවන් සකස් කරන්න ඕන. ළමුන්ගේ වියදම පියාට යම් නීතියක් තිබිය යුතුයි. නඩත්තු කිරීමට හැකියාව තිබියදි දරුවන් නඩත්තු නොකරන පියවරු සම්බන්ධයෙන් නීතිය දැඩිව ක්‍රියාවට නැංවිය යුතුයි. කාන්තාවන්ට සම තත්ත්වය ලබාදීමට කටයුතු කිරීම පිළිබඳ කැබිනට් පත්‍රයක් අනුමත වී තියෙනවා. ස්ත්‍රී පුරුෂ සමාජයීය සමානතාව ආරක්ෂා කිරීම සඳහා විශේෂයෙන් සමාන වැටුප් ලබාදීමට කටයුතු කිරීම, රාජ්‍ය අංශයේ පුද්ගලික වශයෙන් වන අසාධාරණය, කාල රාමුවට අනුව නීතිපති දෙපාර්තමේන්තුවට විසඳීමට ඇති නඩු කරන්න අවශ්‍යයි. ඒ වගේම මේ රටේ මව පමණක් රැක බලාගන්න දරුවන් විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඒ ගැන කවුරුත් සලකා බලන්නේ නැහැ. උප්පැන්න සහතිකය බලනවා. අම්මලා තාත්තලා විවාහ වෙලාද කියලා බලනවා. මේවා හරි අසාධාරණයි. මේ දේවල්වලට දරුවෝ පළි නැහැ. ඒ වගේම ගැහැනියකට අම්මා කෙනෙක් වෙන්න අයිතියක් තියනවා. ඒ අයට දරුවෝ හදාගන්න අවස්ථාවක් තියෙන්න ඕනේ. එම දරුවාව දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට යොමු කරනතුරු දරුවා සහ මව පෝෂණය කරන්න රජයට හැකියාව තිබිය යුතුයි. ආකල්පමය වශයෙන් දියුණු රටවල් මෙවැනි තනි මවුවරු ගැන විශේෂ සැලකීමක් තියෙනවා.

අපේ රටේ කාන්තාව සම්බන්ධයෙන් ආකල්පමය වෙනසක් විය යුතුයි. තනිවම දරුවෝ හදාගන්න අම්මට ගරහන එක නෙවෙයි විය යුත්තේ දිරිමත් කිරීමයි. වෙනත් දියුණු රටවල එවැනි දරුවන්ට විශාල කාලයක් යන තුරු රජයේ රැකවරණය ලබා දෙනවා. මවට රැකියාවක් නොකර ඉන්න පුළුවන් කාලයක් යන තුරු. නිවාස පාසල් සියල්ල ලබා දෙනවා. ළමයි දමා යන්න, මරන්න, සියදිවි නසා ගන්න හේතුව මෙවැනි සමාජ ආකල්පයි. අත්වැරදීමකින්, රැවටීමකින්, දූෂණයකින්, ස්වාමියා හැර යෑමකින් දරුවෙක් ලැබුණ අම්මා කෙනෙක්ට මේ රටේ අත්වන ඉරණම අපි දන්නවා. මේ රටේ එවැනි අම්මාවරුන් දිහා බලන ආකල්පයයි මුලින්ම වෙනස් විය යුත්තේ.

ළමා යාචක ගැටලුව මේ වන විට විශාල සමාජ ප්‍රශ්නයක් බවට පත්වී තිබෙනවා. ඒ සඳහා ඔබේ අමාත්‍යංශය මඟින් යම් පියවරක් ගෙන තිබෙනවාද?

ළමා යාචකයන්ගෙන් ගැටලුවට සම්පූර්ණයෙන් පොලිසිය වගකිව යුතුයි.අරගෙන ගිහින් හිරේ දාලා වැඩක් නැහැ. ළමයින්ව වෛද්‍ය පරික්ෂණයකට යොමු කරන්න තියන්න අවශ්‍යයි. මවට හෝ දරුවා පියාට ලබාදීමේදි මාපියන්ගේ තත්ත්වය සොයා බලන්න අවශ්‍යයි. ළමයින්ව එළියට දාලා හම්බ කරගන්නවා. ළමයිටත් අනුකම්පාවට මිනිසුන්ට සල්ලි දෙන නිසා මේ දේවල් කරන්නේ වැඩිහිටියෝ. මේවගේ දරුවන්ට සුරක්ෂිතතාවය ලබාදීමට කටයුතු කළ යුතුයි.

මේ වෘත්තියේ දරුවන් යෙදවීම 2022 දත්තවලට අනුව 10,497ක් වෙනවා. දරුවන් යාචක ක්‍රියාවලියේ යෙදවීමට බොහෝවිට මැදිහත් වන්නේ වැඩිහිටියන්. එනම්, මව හෝ මව ලෙස පෙනී සිටින කාන්තාවන් මේ දරුවන් සමඟ යාචක වෘත්තියේ යෙදෙනවා. මේ ළමයි වැරැදි ලෙස පාවිච්චි වෙනවා. ළමා ආරක්ෂණ අධිකාරිය මඟින් මේ සඳහා මෙහෙයුමක් කළ යුතුයි. ළමයාට ළමයෙක් විදිහට සැලකිය යුතුයි. දරුවන්ට මේ කරන්නේ මොනතරම් වරදක් ද කියලා වැඩිහිටියෝ නොහිතන එකයි වරද? අපේ රටේ මේ දේ ව්‍යාපාරයක් විදිහටයි කරන්නේ. ළමා ආරක්ෂණ අධිකාරිය ද මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ යුතුයි.

විදෙස් ගතවන කාන්තාවන්ට එම රටවලදී සිදුවන පීඩා වැළැක්වීම සම්බන්ධයෙන් යම් මැදිහත්වීමක් ඔබේ අමාත්‍යාංශය මඟින් කෙරෙනවාද?

විදේස සේවා නියුක්ති කාර්යාංශය හරහා මෙය සිදුවෙන්නේ. වෙනම අමාත්‍යාංශයක් තිබුණට කාන්තාවකට හිරිහැරයක් වුණොත් අපගෙන් උදව්වක් ඉල්ලුවොත් අපි උදව් කරනවා. තානාපතිවරුන්ට කතා කරලා මම උදවු කරනවා. විදෙස් රැකියා සඳහා යන අයට හොඳ පුහුණුවක් ලබා දීලයි යැවිය යුතු වන්නේ. පුහුණු සේවිකාවන් යවනවා කියන්නේ ඒ අය ස්ථාවරයි. විදෙස් රැකියා ප්‍රවර්ධන ඇමැතිවරයාත් සමඟ සාකච්ඡා කිරීමට අපි අපේක්ෂා කරනවා. ලෝකයේ අනෙක් රටවල එවැනි නීති ක්‍රියාත්මක වෙනවා. අපේ රජය එම රටවල්වල සමඟ ඔවුන්ගේ ආරක්ෂාව, සෞඛ්‍ය ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කළ යුතුයි. එය තානාපති සේවයේ ලොකු වගකීමක්. වයස් සීමාවන් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. අපට විදෙස් විනිමය අවශ්‍යයි. නමුත් ඒ සඳහා අනුගමනය කරන ක්‍රියාපිළිවෙතෙහි මානුෂික මුහුණුවරක් තිබිය යුතුයි.

මේ රටේ බහුතරය කාන්තාවන් වුවත් පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සියයට පහක් පමණ වෙනවා. එය ප්‍රමාණවත් කියලා ඔබ හිතනවාද?

දැනට සියලු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරියන් පාර්ලිමේන්තුවේ ඉන්නෙ 13යි. මේ දේශපාලනයට එන බොහෝ අය බිම්මට්ටමින් ඉඳලා එන අය නොවෙයි. බහුතරයක් එන්නේ මහත්තයා මැරිලා නැතිනම් තාත්තා දේශපාලනය කරන නිසා වැනි හේතු නිසා. නමුත් මේ රටේ කාන්තාවන් 52% ක් ඉන්නවා. ජනගහනයට සාපේක්ෂව විශේෂයෙන්ම මේ රටේ කාන්තාව ඇය පිළිබඳ අවතක්සේරුවෙන් ඉන්නෙ. හුඟක් අය විවාහය ගැන හිතන්නේ නඩත්තු කර ගැනීම සඳහා ලැබෙන අවස්ථාවක් කියලයි. නමුත් තමන්ගේ දෙපයෙන් නැඟී සිටිය යුතුයි, ස්වාධීන විය යුතුයි. සමාජයේ සෑම ස්ථරයකම කාන්තාවන් ඉහළ තනතුරුවල සිටිනවා. පිරිමින් හා උරෙනුර ගැටෙන්න කාන්තාවට පුළුවන් කියලා ඇය සියලු ක්ෂේත්‍රවලදී ඔප්පු කරලා තියෙනවා. කාන්තාවක් වීම නිසාම ඇතැම් අවස්ථාවලදී කාන්තාවට හිමි තැන නොලැබෙන අවස්ථා තියෙනවා. දේශපාලනයට ඇය නැඹුරු නොවීම එය හේතුවක් වෙනවා.

සුභද්‍රා දේශප්‍රිය

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division