ශ්‍රීලංකාවේ අධ්‍යාපනය නූතනයට ගැළපෙන ලෙස යාවත්කාලීන විය යුතු බවට අදහස් පළ වන්නේ කලක සිටය. එහෙත් මේ දක්වා ඊට නිසි ක්‍රමවේදයක් ක්‍රියාවට නැංවීමට අපොහොසත් වී ඇත. අධ්‍යාපන ක්ෂේත්‍රය අතින් ලොව ඉහළින්ම සිටින්නේ ෆින්ලන්තයයි. දරුවන් සතුටින් අධ්‍යාපනය ලබන රටවල් අතර ෆින්ලන්තය මුල්තැන ගනී. ඒ නූතන ලෝකයට ගැළපෙන පරිදි නිර්මාණශීලී දරුවන් බිහිකිරීමට ඔවුන් ගත් උත්සාහය නිසාය. එවන් නිර්මාණශීලි දරුවකු බිහිවීමට නම් නිදහස් මනසක් අවශ්‍යය. ඒ සඳහා නිදහස් පරිසරයක් අවශ්‍යය. එවන් වූ අධ්‍යාපනික ක්‍රමවේදයක් හඳුන්වා දීමට ලසන්ත ද සිල්වා උත්සාහ ගනිමින් සිටියි. හෙතෙම මේ වන විට සමාජ විද්‍යා පරීක්ෂකයකු වශයෙන් කටයුතු කරයි.
සිළුමිණ ඔහු සොයා නාගොඩ කඳානේ පිහිටි ඔහුගේ නිවස බලා ගියේ ඒ පිළිබඳ තතු විත්ති ඔබට නොවලහ පැවසීමටය. අප නාගොඩ පිහිටි ලසන්තගේ නිවසට සේන්දු වන විට එකවගේ ඇඳුමින් සැරසී සිටි ලසන්තත් පුතුන් දෙදෙනාත් ඉතාමත් සුහදව අපව පිළිගත්හ.
නිවසේ ඉදිරි දොරටුව කුඩා පොකුණකින් අලංකාර වී තිබුණු අතර එහි ඇත්තේ ලසන්තගේ වැඩිමහල් පුතු වූ තීක්ෂණ විසින් නිර්මාණය කළ ගිලීගිය ටයිටැනික් නැවෙහි ආකෘතියකි. නිවසට ඇතුළු වූ අප ලසන්තගේ දෙවැනි පුතු වූ දෙරන් නොලස්කෝ පිළිගත්තේ සක් පිඹිමින් ය. ඔහු සංඛ නාදය පිට කළේ සංඛයකින් නොව ගැල්වනයිස් බටයකිනි. මෙම සොයා ගැනීම දෙරන්ගේ ය. මේ අපූරු පිළිගැනීමත් සමඟ නිවසට තුළට ගිය අපට දැක ගැනීමට ලැබුණේ සාම්ප්‍රදායික නිවසක් නොව පර්යේෂණාගරයකි.
එක් පසෙක ගුවන් යානා, රොකට්, චන්ද්‍රිකාය. තවත් පසෙක අභ්‍යාවකාශ තරණයට යොදා ගැනෙන උපාංග ආකෘතීන්ය. තවත් පසෙක ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමුවන පාෂාණ කොටස්ය. ඒ අතර යකඩ උණු කිරීමෙන් පසුව ඉතිරිවන යබොර මෙන්ම ලාව සීතල වීමෙන් ඉතිරි වූ කොටස් ද දක්නට ලැබුණි. සෑම පැත්තකම පොත් රාක්කය. බිත්ති පුරා නොයෙක් විද්‍යාඥයින්ගේ සිතුවම්ය. ඒවටා ලසන්ත විසින් ලියූ කවි සහ විවිධ සටහන්ය.මුලින්ම සිළුමිණට සම්මුඛ වූයේ ලසන්තය.
මුලින්ම සිළුමිණට සම්මුඛ වූයේ ලසන්තය. “1994 දී මට සරසවි වරම් හිමි වුණා. නමුත් වසර තුනකට අධික කාලයක් පොරොත්තු ලේඛනයේ ඉඳලා 1996 වසරේ මැද භාගයේ දී ප්‍රථම උපාධිය සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයට ඇතුළත් වූණා. ඒ අනුව 2001 වසරේ ඔක්තෝබර් මාසයේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය හිමි කර ගත්තා. ඊට පස්සේ මම පෞද්ගලික පාසලකට සම්බන්ධ වී ගුරුවරයකු වශයෙන් සේවය කළා. ඒ අතර තුර පෞද්ගලික ඉංග්‍රීසි පන්තියක් කරගෙන ගියා…”
“එ් කාලයේ තමයි පෙම්වතිය රුවනි සුභාෂිණි මගේ ජීවිතයට ආවේ. අපි 2004 වසරේ දී විවාහ වුණා. විවාහයෙන් වසර තුනකට පසුව 2007 මැයි පළමුවැනිදා ලොකු පුතා තීක්ෂණ නිකොලායි අපේ ජීවිතයට එකතු වුණා. ඉන් හරියටම වසර හතරකට පසුව පොඩි පුතා දෙරන් නොල්ස්කෝ අපේ කැදැල්ලට ආවේ. දෙරන්ට වයස අවුරුද්දක් වන විට රුවනි අපේ කැදැල්ල හැර ගියා. ඒකට මං එයාට කිසිම වැරැද්දක් කියන්නේ නැහැ. අද ලෝකය හරිම වෙනස්. මිනිස්සුන්ගේ සිතුම් පැතුම් වෙනස්. ඒත් ඒ මගේ දරුවන්ගේ අම්මා. එයා මට හොඳ දරුවො දෙන්නෙක් දීලයි ගියේ. ඒ නිසා වෙන අය වගේ මං කඩාගෙන වැටුණේ නැහැ. එයාට දෙස් දෙවොල් තිය තියා මගෙයි දරුවො දෙන්නගෙයි ජීවිතේ විනාශ කරගත්තෙත් නැහැ. ඇත්තටම මේ සම්පත මට ලබාදුන්නට මං හදවතින්ම එයාට ස්තූතිවන්ත වෙනවා”.
දරුවන් දෙදෙනකු සමඟ අභියෝගාත්මක ජීවිතයකට මුහුණ දෙන ලසන්ත සිය වැඩිමහල් දරුවා පාසල් වියට එළඹි පසු වත්තල ශාන්ත අන්තෝනි මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් කළේය. දරුවා පාසලට රැගෙන ගොස් නැවත නිවසට රැගෙන එන ලසන්ත අනෙක් දෙමාපියනුත් දරුවනුත් අධ්‍යාපනය වෙනුවෙන් ගන්නා මේ වෙහෙසකර ක්‍රියාවලිය දෙස අවධානය යොමු කළේය.
වසර ගණනාවක් ඉගෙන ගෙනත් දරුවකු සාමාන්‍ය පෙළ හෝ උසස් පෙළ අසමත් වුවහොත් ඔවුන්ට අත්වන ඉරණම පිළිබඳව හේ නිතර කල්පනා කළේය. වසර ගණනාවක් අධ්‍යාපන වෙනුවෙන් කැප කරන දරුවකුට අවසානයේ පරාජිතයකු ලෙස ජීවත් වීමට ඉඩදිය යුතුද? එසේම සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කඩඉම් විභාග සඳහා මෙතරම් කාලයක් මිඩංගු කළ යුතුද? විභාග මානසිකත්වයෙන් තම ළමා විය උකසට තබා හැල්මේ දුවන මේ පුංචි ජීවිත වෙනස් කිරීමට තමන්ට කළ හැකි කාර්ය පිළිබඳ සමාජ ගවේශකයකු වූ ලසන්ත අවධානය යොමු කළේ මේ අතරතුරය.
මෙම පරීක්ෂණ කාර්යයේදී ඔහුගේ අවධානය යොමු වූයේ තම දරුවන් දෙදෙනා වෙතය. ඒ වන විට තීක්ෂණ නිකොලයි 7 වන ශ්‍රේණියෙන් 8 වන ශ්‍රේණියට සමත්ව මාස කිහිපයක් ගත වී තිබුණි. ලසන්ත සිය වැඩිමහල් පුතු තීක්ෂණ පාසලෙන් ඉවත් කර ගැනීමට අදහස් කරමින් සිටියේය. ඒ 2019 වසරයි. කෝවිඩ් වසංගතය පැමිණීමත් සමඟ රජය විසින් පාසල් වසා දමා මාර්ගගතව අධ්‍යාපන කටයුතු සිදු කිරීමට තීරණය කර තිබුණි. මෙය ආශිර්වාදයක් කර ගත් ලසන්ත සිය පුතණුවන්ට සාමාන්‍ය පෙළ සඳහා පෙනී සිටීමට අවශ්‍ය මඟ පෙන්වීම සිදු කළේය. ඒ වන විට අටවන ශ්‍රේණියේ උගනමින් සිටි නිකොලායි 2020 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ඉන් සමත් විය. අනතුරුව ඔහු වාණිජ අංශයෙන් උසස් පෙළ විභාගය සඳහා යොමු විය. ඒ අනුව 2021 වසරේ පැවති උසස් පෙළ විභාගයෙන් ව්‍යාපාර අධ්‍යනය විෂය සඳහා බී සාමාර්ථයක්ද, ආර්ථික විද්‍යාවට සී සාමාර්ථයක්, ගණකාධිකරණට සී සාමාර්ථයක්, ඉංග්‍රීසි භාෂාව සඳහා බී සාමාර්ථයක් හා සාමාන්‍ය දැනීමට ලකුණු 70ක් ද ලබා ගනිමින් උසස් පෙළ කඩඉම ජයගත්තේය. ඒ වන විට නිකොලායිට වයස අවුරුදු 14 කි.
මේ වන විට වයස අවුරුදු 16ක් වන නිකොලායි ඒ පිළිබඳ පවසන්නේ මෙවන් අදහසකි. “මම ලන්ඩන් ඕලෙවල් වලටවත් කිසිම විෂයකට උපකාරක පන්ති ගියේ නැහැ. මට සියලු විෂයන් ඉගැන්නුවේ තාත්තා. මම ගොඩාක් නිදහස්ව කාලය ගත කළා. මම අවුරුද්දෙන් ලන්ඩන් උසස් පෙළ විභාගයට පෙනී සිටියේ. බොහෝම නිදහසේ පාඩම් කටයුතු කරලා මට ප්‍රතිඵලය ගන්න පුළුවන් වුණා. ඒ තාත්තගෙ මඟ පෙන්වීම අනුව කටයුතු කළ නිසයි. මේ කාලයේ මගේ අවධානය අභ්‍යාවකාශ තරණ විෂය ක්ෂේත්‍රය දෙසට යොමුව තිබෙනවා. ඒ වගේම මෝටර් කාර්මික ක්ෂේත්‍රය පිළිබඳවත්, ඛනිජ සම්පත් පිළිබඳවත් මම අධ්‍යනය කරනවා. මම ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට ගියාම වැඩිපුරම සොයා බලන්නේ ඒ පිළිබඳ ලියැවුණු පොත් ගැනයි. මේ වෙද්දි මගේ අධ්‍යනයන් තුළින් ලබාගත් දැනුමින් අභ්‍යාවකාශ පිළිබඳ පොතක් සහ මෝටර් කාර් පිළිබඳ කතා ඇතුළත් (Space in Biref සහ Story of the motor car නමින්) කෘති දෙකක් රචනා කර තිබෙනවා. මං හරිම ආසයි ඛනිජ ද්‍රව්‍ය පිළිබඳව අධ්‍යනය කරන්න. මේ විෂය ක්ෂේත්‍රයට මේ සියල්ලක්ම අවශ්‍ය වෙනවා. මේ තියෙන සියලුම පාෂාණ කොටස් මම විවිධ ප්‍රදේශවලට ගිය අවස්ථාවල එකතු කරගෙන ආපු ඒවා. වෙරළේ තිබිලා හමු වුණු ලාවා කොටස මල්ලි අහුලල මට ගෙනත් දීපු එකක්. යකඩ උණු කිරීමෙන් ඉතුරුවන වීදුරු වගේ පාෂාණමය කොටසක් එය හඳුන්වන්නේ සැග්ලාස් කියලා. මට කලපුවකින් තමයි මේක හමු වුණේ. මම මේවා අරන් එනකොට දන්නේ නැහැ මේ මොනවද කියලා. නමුත් ගෙදර ඇවිත් අන්තර්ජාලය මඟින් විසිතර හොයද්දි තමයි ඒ පිළිබඳව දැනුම්වත් වුණේ. මං ආසයි කවද හරි අභ්‍යාවකාශ විද්‍යාඥයකු වෙන්න. ඒක තමයි මගේ එකම අරමුණ හා සිහිනය”.
මින් අනතුරුව සිළුමිණ සමඟ දොඩමළු වූයේ මේ වනවිට 12 වන වියේ පසුවන දෙරන් නොලස්කෝය. “මට අවුරුදු 10යි මාස නවයක් වගේ වෙනකොට තමයි මං ලන්ඩන් ඕලෙවල් වලට පෙනී සිටියේ. මට ඒ සඳහා ගත වුණේ වසරක කාලයක් පමණයි. ඒ සඳහා කටයුතු කරද්දි මට කිසිම ප්‍රෙෂර් එකක් තිබුණෙ නැහැ. කාටුන් බැලුවා. සතියකට දවසක් පුරාම සෙල්ලම් කළා. මං ටෙඩි බෙයාර්ස්ලට හරිම ආසයි. මේ ඉන්න හැමෝටම නම් තියෙනවා. මේ ඉන්නේ නෝසි. මං කැමැතියි මෙයාව වල්ඩ්ඩිස්නි, වෝනර් බ්‍රදර්ස්(ඩබ්ලිව්.බී) වගේ මගේම බ්‍රෑන්ඩ් නේම් එකකින් හඳුන්වා දෙන්න. ඒ සඳහා නෝසි කියන නමින් ඇනිමේෂන් ස්ටුඩියෝ එකක් පටන් ගන්න එක තමයි මගේ අරමුණ. මේ වෙද්දී මම නෝසිව ප්‍රමෝර්ට් කරන්න Adventures of Nosy කියලා නෝසි ගැන කතා ඇතුළත් පොක් ලියා තිබෙනවා. ඒ වගේම බැජ්, විවිධ සිම්බලස් හදනවා. මට ඕන දවසක මිකිමවුස්, ස්නූප්ඩෝග් වගේ ලෝකෙම ළමයි අතර ෆේමස් චරිතයක් බවට පත් කරන්න.”
ඔවුන්ගේ ලෝකය අපට වඩා විශාලය. ඔවුන් මේ දූපතෙන් එළියට නෙත් දල්වා සිටිති.
මේ පසුපස සිටින දැවැන්ත හෙවනැල්ල ලසන්තය. හේ 2017 වසරේ සමාජ විද්‍යාව පශ්චාත් උපාධිය සඳහා කැලණිය විශ්ව විද්‍යාලයයේ ලියාපදිංචි වී 2021 දෙසැම්බර් මාසයේ සමාජ විද්‍යාව පශ්චාත් උපාධිය හිමිකරගත්නේ ද සමාජ ගවේශකයකු ලෙස මෙරටට ගැළපෙන අධ්‍යාපන ප්‍රතිපත්තියක් හඳුන්වා දීමටය.
මේ වන විට පාසැල් හා විශ්වවිද්‍යාල දිවිය තුළ ඔහු ලත් අත්දැකීම් අනුව යමින් හේ විශේෂ අවධානය යොමු කර ඇත්තේ වර්තමානයට ගැළපෙන පරිදි යාවාත්කාලීන නොවූ අධ්‍යාපනය පිළිබඳව හා නිරපරාදේ ඒ වෙනුවෙන් ගෙවී යන කාලය පිළිබඳවය. අධ්‍යාපනය වෙනුවෙන් දරුවකුගේ ජීවිතයේ විශාල කාලයක් නාස්ති කිරීම ඔහුගේ හිතට වද දෙන්නකි. ඒ නිසා මේ පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කිරීමටත්, එහි ඇති අඩු ලුහුඬුකම් හඳුනාගැනීමටත් ඔහු කාලය මිඩංගු කළේය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ එම අධ්‍යයන පර්යේෂණය කෘතියක් බවට පෙරළීමය. ‘Sri Lankan Education Needs Oxygen’ නම් පරීක්ෂණ කෘතිය බිහි වන්නේ ඒ අනුවය. එය පසුගිය ජූලි මාසයේ එළි දක්වන ලදී.
ඔහුගේ පරීක්ෂණයේ ප්‍රධානතම සාධකය බවට පත් වූයේ සිය පුතුන් දෙදෙනාගේ අධ්‍යාපන ක්‍රමය වෙනසකට ලක් කිරීමය. ඒ අනුව පුතුන් දෙදෙනා පාසල් අධ්‍යාපනයෙන් ඉවත් කරගත් හෙතෙම ඔහුගේම ක්‍රමවේදයක් ඔස්සේ ඔවුන් වෙත අධ්‍යාපනය ලබාදිමට කටයුතු කළේය. අද වන විට හේ ඉන් ඉහළම ඵල නෙළමින් සිටියි. ඉදිරියේදී මෙරට සියලුම දුවා දරුවන්ට, එනම් නගරයේ මෙන්ම නගරයෙන් පිට, ඈත ගම්වල සිටින දුවා දරුවන්ටත් පවා ගැළපෙන ලෙස ගෝලීය වෙනස් වීම වලට මුහුණ දිය හැකි ලෙස ප්‍රායෝගික අධ්‍යාපන වැඩපිළිවෙළක් පාසල් සඳහා හඳුන්වාදීමට බලාපොරොත්තු වෙන් සිටින අතර මේ සඳහා අවශ්‍ය වැඩ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.
ඡායාරූප – චින්තක කුමාරසිංහ
රසික කොටුදුරගේ