පසු පැමිණි මිනිස්සු’ කමලේශ්වර් යන කෙටි නමින් හැඳින්වෙන හින්දි බසින් ලියන ඉන්දීය ලේඛක කමලේශ්වර් ප්‍රසාද් සක්සේනා (1932 – 2007) ගේ දෙවන කෘතිය වන ‘ලෞටේ හුවේ මුසාෆිර්’ හි සිංහල පරිවර්තනයයි. ඔහු විසින් රචිත කෘති සංඛ්‍යාව විසිපහ ඉක්මවයි. ඒ අතර බහුතරය නවකතා ය.
ඒ නවකතාවලින් පහක් පමණ ඍජුවම ඉන්දියාව බෙදී යාම තේමාව කරගත් ඒවාය. ඒ තේමාව යටතේ ම ලියැවුණු ‘කිට්නේ පකිස්තාන්’ 2003 වසරේ හින්දි බසින් ලියැවුණු හොඳම නවකතාවට හිමි සාහිත්‍ය ඇකඩමි සම්මානය දිනා ගත්තේ ය.
මේ කෘතිය ඉන්දීය සාහිත්‍යයේ ‘බෙදී යාම’ නම් ෂානරයට අයත් වන්නකි. බෙදී යාම යනු භාරත දේශය ඉන්දියාව හා පාකිස්තානය ලෙස බෙදී වෙන්වීමයි. මෙලෙස වෙන් වූ සියවස් ගණනක් මුඵල්ලේ එක් සංඝයක් ලෙස ජීවත් වූ හින්දුන් සහ මුස්ලිම්වරුන් රටවල් වශයෙන් වෙන් වීමයි. මේ ප්‍රවර්ගයේ නවකතා සහ කෙටිකතා ලියූවන් අතර සදත් හසන් මන්තො සහ කුෂ්වාන්ට් සිං ප්‍රමුඛ ය.
පාකිස්තානු ඉතිහාසඥ අයේෂා ජලාල් කියන පරිදි ඉන්දීයානු උප මහාද්වීපයේ බෙදීම ’විසිවන සියවසේ දකුණු ආසියාවේ කේන්ද්‍රීය ඓතිහාසික සිදුවීමයි. එය ලොව මේ කොටසේ ජීවත් වන මිනිසුන්ගේ ජීවිත හැඩගස්වා ඇති සහ අඛණ්ඩව හැඩගස්වන තීරණාත්මක අවස්ථාවකි. ඒ වනාහි විසිවන සියවසේ වඩාත්ම ව්‍යසනකාරී සිදුවීම බවට සැක නැත.
එය මානව ඉතිහාසයේ විශාලතම ජනගහනයක ස්ථාන මාරුවයි. ඉන් වින්දිත මිනිසුන් මත සිතාගත නොහැකි ඛේදවාචකයක් පතිත විය. නිශ්චිත සංඛ්‍යා හා දත්ත නොමැති නමුත් මිලියන පහළොවකට නොඅඩු ජනතාවක් ඔවුන්ගේ වාසස්ථානවලින් මුලිනුදුරා දැමූ බව සහ පිරිමින්, කාන්තාවන් සහ ළමයින් ඇතුළු මිලියන 1-2 අතර ජනතාවක් සමූල ඝාතනය කළ බවත්, සිය දහස් ගණනක් ජීවිත කාලය පුරාම ශාරීරිකව හා චිත්තවේගීය වශයෙන් ආබාධිත වූ බවත් පිළිගැනේ.’
බෙදී යාම තේමා කර ගනිමින් කෙරෙන නිර්මාණවල ඇත්තේ එලෙස සාරාංශගත කැර ඇති සංසිද්ධියයි.
කමලේශ්වර්ගේ මේ නවකතාවේ විශේෂත්වය වන්නේ එය මුල සිට අවසානය දක්වා යථාර්ථවාදී ලෙස ගැටලු නිරූපණය කර තිබීමයි.
බෙදී යාම විෂයයෙහි නිර්මිත ඔහුගේ කෘතිවල මිනිස් සබඳතාවල වැඩෙන සැකය, වෛරය, වෙන්වීම, බිඳවැටුණු මානව වටිනාකම් සහ විශ්වාසයන් පිළිබඳ ආශාව මෙන් ම කනස්සල්ල ද මිනිසා තුළ ඇතිවන උත්ප්‍රාසාත්මක තත්ත්ව ද පිළිබඳ සංවේදී නිරූපණයක් ද ඇත.
මේ, ඉන්දියාව හා පාකිස්තානය යනුවෙන් රටවල් දෙකක් ලෙස බෙදෙන සමයේ කුඩා ජනාවාසයක වැසියන්ගේ චින්තනයේ සිදු වූ වෙනස්කම් නිරූපණය කරන්නකි. බෙදීමට පෙර, බෙදෙන අවස්ථාවේ සහ ඉන්පසු වශයෙන් එය වෙන් කැර ගත හැකි ය. එය ඇරැඹෙන්නේ ‘මෙම නගරය දවා ලනු ලැබුවේ වෛරයේ ගිනි දලු විසින් ම ය.’ යන වැකියෙනි.
ඒ ගින්න අවුඵවන ලද්දේ යටත් විජිතය විසිනි. ප්‍රචණ්ඩත්වය ඇතිවන්නේ ඒ වෛරය විසින් මිනිස් හදවත් තුළ ඇති කෙරෙන කටුක නිසා බව කමලේශ්වර් කියයි.
කතාව ආරම්භ වන්නේ, අතීතයට රැගෙන යන පශ්චාත් නිදහස් ඉන්දියාවේ ගම්බද ප්‍රදේශවල ගැටලු සමඟිනි. මෙහිදී වාර්ගික සමගිය පිළිබඳ චිත්‍රය අපට පෙනෙන්නේ පටු ජාතිවාදය සහ දේශපාලනය ඒ ජනතාව නොදැන සිටි බවය. බ්‍රිතාන්‍යයන් පාලනය අල්ලා ගත් පසු ඔවුන්ගේ ම්ලේච්ඡ ක්‍රියාවලට එරෙහිව භේදයක් නොමැති ව සියලු ඉන්දියානුවෝ එක්ව සටන් කළහ. එහෙත් මේ බෙදීම නිසා ඔවුන් අතර විරුද්ධවාදිකම් ඇති විය.
එදා මෙහි විසූ සෑම ජන කොට්ඨාසයකටම අයත් ජනතාව ආදරයෙන් සහ විශ්වාසයෙන් ජීවත් වෙමින් එකිනෙකාගේ උත්සවවලට පවා සහභාගි වූ බව අද මේ නිහඬ ජනාවාසය දෙස බලන කිසිවකුට විශ්වාස කළ නොහැක. එහි වැසියෝ එකල එකිනෙකාගේ දුක සැප හවුලේ බෙදා ගත්හ. බ්‍රිතාන්‍යය ආක්‍රමණයත් සමඟ කුඩා කාර්යාල විවෘත විය. උගත් පන්තිය රැකියා සඳහා මෙහි පැමිණියෝ ය. ඔවුන් හින්දු හෝ මුස්ලිම් වූයේ සිය නිවෙස්වල දී පමණි. ඔවුන් එකාවන්ව 1940 විරෝධතා ව්‍යාපාරයට සහභාගී වූවන් ය. නොබෝ කලකින් මේ ගම්පියසේ මුස්ලිම්වරුන් අතර ජින්නා සහේබ් පිළිබඳ කතිකාවක් ආරම්භ විය. ජින්නා සහේබ් යනු හින්දුස්තානයෙන් පකිස්තානය වෙන් විය යුතු ය’යි ඉන්දීය ජාතික ව්‍යාපාරය සමඟ කලහ කළ පාකිස්තානයේ නායකයා වූ මොහමඩ් අලි ජින්නා ය. 1945 වනවිට තත්ත්වය උග්‍ර විය.
කෙළවරේ ඇත්තේ මුස්ලිම් ජනයා වෙසෙන කොටසයි. මේ කතාව වැඩිපුර ස්ථානගත ව ඇත්තේ එහි ය. නසීබාන් නම් වැන්දඹුව තම දරුවන් රකින්නේ කුලී වැඩ කරමිනි. දවස පුරාම එහෙ මෙහෙ ඇවිද හවසට ‘දුනි’ බොන සායි නම් අයෙක් මෙහි සිටියි. මීට පෙර සර්කස් ආයතනයක සේවය කළ සත්තාර් දැන් මෙම ජනපදයේ පදිංචි වී ඇත. ඔහුට නසීබාන්ගේ අනුකම්පාව, සායිගේ රැකවරණය සහ සල්මා නමැති විවාහක කතගේ ආදරය ඇත. සල්මාගේ සැමියා වන මක්සුද් නගරයට වී සිටියි. දුම්රිය පොළ අසල කුලී කරත්තකරු ඉෆ්ටිකාර් සහ රතන් නම් බයිසිකල් අලුත්වැඩියා කරන්නා ගජ මිතුරෝ ය.
දිනෙක මක්සූද් සහ මුස්ලිම් දේශපාලන කණ්ඩායමක නායක යාසින් මෙම සුන්දර ජනාවාසයට පැමිණෙති. වෛරයේ ගින්න කෙමෙන් ඇවිලෙන්නට පටන් ගන්නේ එදා සිට ය. මක්සූද්, යාසීන් සහ සායි යන තිදෙනා මුස්ලිම් පල්ලියේ දී හමුවී කතිකාවල යෙදෙති. ඔවුහු එතැන සිට ජනාවාසයේ මිනිසුන්ගේ සිත් තුළ හින්දු භක්තිකයන් කෙරෙහි, කොංග්‍රසය කෙරෙහි සහ ගාන්ධි ජී කෙරෙහි ද්වේශය පතුරුවති. කොන්ග්‍රසය යනු ජවහර්ලාල් නේරු නායකත්වය දුන් ඉන්දීය කොන්ග්‍රස් පක්‍ෂයයි. එහෙත් එය තනිකරම හින්දුන්ගේ පක්‍ෂයක් නොවී ය. කෙමෙන් මක්සූද්ලාගේ කණ්ඩායමට මුස්ලිමුන්ගේ මතවාදී සහාය ලැබේ. ඔවුන් හින්දුන්ට එරෙහිව පතුරුවන කටකතා නිසා මිතුරු වැ සිටි හින්දුහු සහ මුස්ලිම්වරු පසමිතුරන් බවට පත් වෙති.
වාතාවරණය වඩාත් විසකුරු කරමින් පාකිස්තානය වෙනම රාජ්‍යයක් බවට පත්වීමේ නිවේදනය 1946 අගෝස්තු 16 වන දා නිකුත් කැරිණි. බැහැර නගරවලින් සහ ගම් දනව්වලින් විවිධාකාර පුවත් පැමිණීමට පටන් ගනී. සෑම උදෑසනකම නව ප්‍රවෘත්තියක් ඇත, සෑම සවසකම නව බියක් ඇත. මේ පරිසරය තුළ බොහෝ අය ජනාවාස අත්හැරීමට තීරණය කරති.
ඒ අනුව මෙහි සහ අවට සිටි මුස්ලිම් ජනයා ක්‍රමයෙන් පාකිස්තානය දෙසට ගමන් කරන්නට පටන් ගනිති. මේ ඉතිරි වූයේ පවුල් තුනක් පමණි, එනම් සායි, ඉස්තිහාර් සහ නසීබන්ය. බලකිරීම නිසා ම සල්මා මක්සූද් සහ යාසින් සමඟ පාකිස්තානයට යන්නී ය. සල්මාගේ වෙන්වීම දරා ගත නොහී සත්තාර් සිය පණ හානි කර ගනියි. සත්තාර්ගේ ශෝචනීය අවසානයෙන් පසු, ඉස්තිහාර් ද පිටව යයි, නසීබන් සහ සායි පමණක් ඉතිරි වේ.
එතැන් සිට වසර ගණනාවක් ගත වී ඇතත් කිසිවකු ආපසු පැමිණ නැත, මෙතැනින් පාකිස්තානයට යන්නටය කියා නික්ම ගිය දුප්පත් මිනිසුන්ට පාකිස්තානයට යා නොහැකි වූ බවත්, ධනවතුන් එහි ළඟා වූ බවත් දැන ගන්නට ලැබිණ. අද, 1960න් පසු, පාකිස්තානය සහ සෞභාග්‍යය පිළිබඳ සිහින දකිමින් මේ ගම්පියස හැර ගිය සමහර පවුල්වල පුත්තු පෙරළා මෙහි පැමිණෙමින් සිටිති. ඔවුන්ගේ ළමා විය ගෙවුණේ මෙහි ය. නසීබාන් බොහෝ තුටු පහටු ව ආපසු පැමිණෙන දෙවන පරම්පරාව ඔවුන්ගේ අබලන් වූ නිවෙස් වෙත රැගෙන යයි.
මෙම නවකතාව, බෙදී යාම තේමා කර ගනිමින් නිර්මිත වුවත් සමාජ සාරධර්ම, සමාජ ගැටලු සහ මිනිස් හදවතේ සියුම් ප්‍රවණතා ද එහි යටි පෙළෙහි එයි. බෙදී යාම නිසා සමාජයේ පහළ පන්තිය වඩ වඩා සූරාකෑමට හා ගොදුරු බවට පත් වූ බව ද එහි කියැවෙයි.
‘ආපසු පැමිණි මිනිස්සු’ වසන්තා පද්මිණීගේ කෘතියකි. මෙය මුල් හින්දි කෘතියෙන් ඍජුවම කරන ලද පරිවර්තනයකි.