“හලෝ … මැඩම්… ඉස්කොලෙට වෙන් කරල තිබුණ අසූදාහ ආපසු යවන්න වෙලා…” ඒ සංවර්ධන නිලධාරී තැනගේ කටහඬ බව සඳුනි හැඳින ගත්තාය.
“දැන් මොකද කරන්නේ ?”
“මේ සුමානෙ ම වැඩේ පටන් ගත්තොත් බේරගත්තැකි. කොරෝනා හින්දා වැඩක් කරන්න බැරුවනෙ ඉන්නෙ. ඒ තරම් සල්ලියක් මං කොහෙන් හොයන්නද? ඒ සල්ලි ටික ආපහු යවන්න එපා. ඒක තමයි මේ තකහනියෙ මැඩම්ට කතා කළේ. මොකක් හරි උප්පරවැට්ටියක් දාන්න වෙනවා. කල්පනා කරල බලල ඉක්මනට මට කතා කරන්න මැඩම්…”
තරුණ සංවර්ධන නිලධාරියා තම පාසලේ ආදි ශිෂ්‍යයෙකි. ඇමැතිතුමා විදුහලට ආ දවසේ ඔහුද ඒ පිරිස සමඟ විය.
කාලෙකින් තීන්ත නොගෑ ප්‍රධාන රැස්වීම් ශාලාවේ පැවති රැස්වීමෙන් පසු ශාලාවෙන් පිටව යාමට පෙර ඇමැතිවරයා දුන් පොරොන්දුව අනුව ප්‍රධාන රැස්වීම් ශාලාවට තීන්ත ගෑමට මුදලක් වෙන් කිරීමට කටයුතු කෙරුණේ ලිපි ගණනාවක් ලිවීමෙන් පසුවය. ඒ අතරේ කොරෝනාව නිසා පාසල වැසීමට සිදුවිය.
වසර පහළොවක් ගුරු සේවයේ යෙදී සිටිමින් ශික්ෂණවේදී ඩිප්ලෝමාව, ශාස්ත්‍රවේදී හා ශාස්ත්‍රපති උපාධිය ද, ලබා ගනිමින් විදුහල්පති විභාගය ලියන්නට ගත් වෙහෙසට වඩා තරග විභාගයක් වූ ඊට මුහුණ දීම වඩාත් දුෂ්කර පීඩනයක් බව සඳුනිට වැටහී තිබිණ.
විභාගයෙන් සමත්ව සිටියේ සුළු සංඛ්‍යාවකි. ඒ අතර තමාද සිටින බව දැක ගැනීමෙන් ලැබුණේ සැනසීමක්ද, සතුටක්ද කියා නිශ්චිත නොවීය.
දීර්ඝ පුහුණු කිරීමකින් පසු ඇයට පත්වීම ලැබුණේ දුර බැහැර පාසලකටය. ඊළඟ අරගලය නවාතැනක් සොයා ගැනීමය. දරුවා හා සැමියා සමඟ නැවතීමට ගෙයක් සොයා ගැනීමට ගත් වෙහෙස එසේ මෙසේ නොවීය. අවසානයේ පාසලට කිලෝ මීටර් විස්සක් එපිටින් නිදහස් තැනක් සොයා ගන්නට හැකි වුණත් ගමනාගමනය පිළිබඳ ගැටලුව බරපතළ විය.
“ඒ පාරේ බස් නෑ. කොහොමද උදෙන්ම ඉස්කෝලෙට යන්නෙ. සඳුනි විපිළිසරව නැඟූ පැනයට දිලීපගෙන් පිළිතුරක් ලැබිණ.
“අපේ පරණ කාර් එක හදල ගමු.. ඒක හදන්න බර ගාණක් යයි නේද! කරන්න දෙයක් නෑ ඔයාට ලයිසන් ගන්නත් වෙයි”
අලුත් පත්වීමට පෙර වාහන පැදවීමට බලපත්රයද ලබා ගැනීමට ඇය සමත් වූවාය.
දිලීප කවදත් සඳුනිට දයාබර සැමියෙක් විය. ඇය හා දරුවාගේ යහපත දියුණුව වෙත නිතරම සැලකිලිමත් වූ ඔහු නිසා ඇය ලැබූ අස්වැසිල්ල අපමණය.
“මීට පස්සෙ මට මැඩම් කියන්න ඕනැ තේරුණාද” ඔහුගේ සුරත අල්ලා ගනිමින් ඇය කියයි.
“ඒව ඉස්කෝලේ කඩුල්ල ළඟ තියල එන්න වෙයි. මෙහෙ බෑ හරිද ! මෙහෙ ආවම මගෙ ගෑනි” ඔහු සිනාසෙමින් කියයි.
“අම්මගෙ ඉස්කෝලෙට මාවත් ගෙනියනවද?”
“අනේ බෑ. ඔයා එතන පිස්සු කෙළියොත් ටීචර්ල මගෙ ඔළුවට අත හෝදන්න එයි. ඔයාව අපි නුවර උසස් බාලිකාවට දානවා.”
දියණියගේ මුහුණේ අඳුරු වලාවක් මතුවන හැටි දිලීප දුටුවේය.
උපන්දා සිට උකුලේ, තුරුළේ නැළවෙමින් හැදුණු එකම සිඟිත්තිය දැන් යොවුන් වියට ළංව සිටී. පිපී ගෙන එන මලක් වන් ඇය රැක බලා ගැනීම, ඇයට උසස් අධ්‍යාපනයක් ලබා දීමට වඩා බරපතළ ප්රශ්නයකි.
හදිසි අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබා ගැනීම සඳහා පැමිණ සිටි ඥාති සහෝදරයකුට මාසයක් තිස්සේ නවාතැන් දී රැකබලා ගැනීම නිසා ඇති වූ ෙළන්ගතුකම නිසා ඔහුගේ දැන හැඳුනුම්කම් ඔස්සේ දියණිය හොඳ පාසලකට ඇතුළත්කර ගැනීමට පහසුකම ලැබිණ.
“නිරෝෂන් අයියගෙ දැන හැඳුනුම්කම නිසාම ලැබුණ මිසක ලේසි වැඩක් නොමෙයි ඒක” සඳුනි පුරසාරම් කීවාය.
දරුවා අලුත් පාසලකට ඇතුළත් කිරීමට හේතු වූයේ ඇය ආරක්ෂිත බෝඩිමක රැඳවීමටද ඉන් ඉඩක් ලැබුණ බැවිනි.
“වෙන කරන්න දෙයක් නෑ, මට දුකයි දරුව එහෙම ඈත් කරන්න වුණාට.”
අලුත් පාසලකට යොමු කර නවාතැනක දරුවා රඳවා එන අතරතුර දිලීප හා සඳුනි සිටියේ නිහඬවය. උගුරේ යමක් හිරවී ඇති සේ දැනුණත් අන් කළ හැකි දෙයක් නොමැති බව දෙදෙනාගේ අදහස විය.
“උදෙන්ම පාසලට ගියත් රුපියල් දාහක තෙල් පිච්චෙනවා.. ඒත් මොනව කරන්නද? මං පරක්කු වෙලා ගියොත් ඔක්කොම වැඩ අවුල්නෙ” දිලීප කාරය සෝදා පිරිසිදු කරන අතර ඇය කියයි.
ලැබෙන වැටුපට වඩා වැයවීම් වැඩිය. එහෙත් බැංකුවලින් ලබාගත් ණය වාරික ගෙවිය යුතුය. තනතුර උසස් වුවද අතේ ඉතිරියක් නැත. දරුවන් හා ගුරුවරුන්ගේ වගකීම්වලට වඩා උසස් නිලධාරීන් දෙන පීඩනය අති මහත්ය. සියල්ල විඳ දරාගෙන තනතුරේ ගෞරවය රැකගෙන සේවය කිරීම පහසු නැති බව නොබෝ කලකින් සඳුනිට දැනී තිබිණි.
කෙසේ වෙතත් නව පත්වීම ලබා වසරක් ගෙවී යන්ට පෙර විදුහලේ නව වෙනස්කම් රැසක් කිරීමට ඇයට හැකි වූයේ ගුරු මණ්ඩලයේ හා දෙමාපියන්ගේ සහය නොඅඩුව ලද නිසාය.
විදුහලේ පැවති මුල් මා පිය රැස්වීමේදී ශාලාව පිරෙන්නට පිරිස රැස්වී සිටියහ. වැඩි දෙනෙක් පැමිණ සිටියේ නව විදුහල්පතිනිය දැක බලා ගැනීමටය.
ගුරු සේවයේ වසර පහළොවක පළපුරුද්ද හා විදුහල්පති පුහුණුවේ ආනුභාවයෙන් ඇය එදින සභාව මෙහෙය වූ ආකාරය පිළිබඳව බොහෝ දෙනෙක් පැහැදී සිටියහ.
අලුත් මැඩම් හරි කරුණාවන්තයි. උදේම පාරේ පයින් එන ළමයින්වත් කාරෙකේ දාගෙන එනවා. ගුරුවරුත් කැමැතියි මැඩම්ට.
ආ අලුතම ඉස්කෝලේ වතුර ටැංකිය හදන්න වැඩ කළා, අලුත් කොම්පියුටර් පන්තියක් හැදුවා. දැන් ඔය මේන් හෝල් එකට තීන්ත ගාන්නයි යන්නෙ.
මාස ගණනාවක් වසා තිබූ පාසල හා ශාලාව පිරිසිදු කිරීම පහසු නැත. කොරෝනාව නිසා රටම වසා ඇති මොහොතේ දෙමාපියන් කැඳවිය නොහැක.
ගුරුවරියන් සිවු දෙනෙකු හා දරුවන් කිහිප දෙනෙකු ඉදල් කොසුවලින් වැඩය.
මේ අම්ම කවුද? සඳුනි කළ විහිළුවට ගුරුවරියක් පිළිතුරු දෙයි.
“මං දෙකේ අම්මෙක්.”
කොරෝනා එන්නත් ලබා දීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විසින් පාසල් ශාලාව ඉල්ලා සිටී. ඊට පෙර ශාලාව හා අවට පිරිසිදු කරවිය යුතුය.
ජනතාවට රැස්වීම් තහනම් වුවත් අත්‍යවශ්‍ය සේවා ඉටුකළ යුතුය.
පෙර හා පසු තත්ත්වයක් පෙන්නුම් කිරීම සඳහා ඡායාරූප ඉදිරිපත් කළ යුතුය. සංගීත ගුරු නිලුෂි පාසල් වත්තට අල්ලපු වත්තේය. ඇය මඟින් අවශ්‍ය පහසුකම් සපයා ගත හැක.
අබ්දුල්ලා මුදලාලිගේ තීන්ත කඩය වසා තිබුණත් පසුව මුදල් දෙන බවට කළ ඉල්ලීම ඉවත නොලා ඔහු අවශ්‍ය තීන්ත ටින් සියල්ලම පාසලට එවා තිබිණ. තීන්ත ගෑම සඳහා හමුදා භට සහය ලැබුණේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි තැනගේ මැදිහත් වීම නිසාය.
ලැවරියා, හැලප, බෙලිමල් පමණක් නොව රසවත් දිවා ආහාරයක්ද අසල්වැසියන් රැගෙන විත් තිබිණ.
තරුණ භට පිරිස ඉතා කදිමට ශාලාවට තීන්ත ගා නිම කර ඇත.
හලෝ….. අපේ වැඩේ නම් කරලා ඉවරයි.
බිල් ටිකත් ලෑස්තියි
රුපියල් අසූදාහ ලැබෙයි නේද ?
සඳුනි… දුරකතනයෙන් පිළිතුරු බලා සිටියත් …. සංවර්ධන නිලධාරියාගේ දුරකතනය විසන්ධි වී ඇත.
සුදු තීන්ත ගෑ ශාලාව සඳුනි දෙස බලා කදිමට සිනාසෙනු ඇයට පෙනිණ.
ඩබ්ලිව්. ඩී. මැටිල්ඩා අධිකාරම්