Home » මවුබිම රනින් බැබළ වූ ලංකාවේ රත්තරන් කෙල්ල

මවුබිම රනින් බැබළ වූ ලංකාවේ රත්තරන් කෙල්ල

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

* තරගයේ මුල් මීටර් 400 අවසන් වනවිට ඇය සිටියේ හයවන ස්ථානයේ ය. අවසන් මීටර් 300 ට ළඟාවන විට ඇය වේගය වැඩි කරමින් ඉදිරියට පැමිණියා ය. තරඟය අවසන් මීටර් 150 ට ළඟාවන විට තරඟයේ පාලනය මුළුමනින්ම තම ග්‍රහණයට ගත් තරුෂි ශ්‍රී ලංකා ජාතික ගීය මුල්ම වතාවට මෙවර ආසියානු ක්‍රීඩා උළලේ දී වාතලයට මුසු කළේ වයස හෝ ශරීර ප්‍රමාණය ජයග්‍රහණයට බාධාවක් නොවන බව ද පසක් කරමිනි

* ජයග්‍රහණයෙන් පසු ජනපති රනිල් වික්‍රමසිංහයන් තරුෂිට ශක්තියක් දෙමින් ඇගේ ක්‍රීඩා කටයුතුවලට අවශ්‍යය සහය දෙන බව පැවසුවේ ය. ක්‍රිකට් පාලක මණ්ඩලය ද ඇයට රුපියල් කෝටියක මුදලක් පරිත්‍යාග කරන බව දැනුම් දුන්නේ ය

චීනයේ හන්ජෝ නුවර ඔලිම්පික් ක්‍රීඩා මධ්‍යස්ථානයේ දී පසුගිය 04 වැනි දින ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 4.55ට ආරම්භ වූ 19 වැනි ආසියානු ක්‍රීඩා උලළේ කාන්තා මීටර් 800 තරග ඉසව්ව දෙස බිලියන තුනක් වන චීන හා ඉන්දියානු ජනතාව දෑස් දල්වා බලා සිටියේ එම ඉසව්වේ රන් පදක්කම තම රටට දිනා ගැනීමට හැකි වෙතැයි යන දැඩි විශ්වාසයෙනි.

පසුගිය ඔලිම්පික් තරගාවලියේ දී අදාළ ඉසව්වෙන් පස්වන තැනට පත්ව සිටි 28 හැවිරිදි චීනයේ චැන්ග් චුන්යූ තරගය ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනා විශ්වාස කළේ මූලික වටයේ තරගයක දී ඇය පසුගිය ජූලි මස තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා මීටර් 800 ඉසව්ව තරගාවලි වාර්තාවක් ද පිහිටුවමින් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න පරාජය කර තිබීම හේතුවෙනි. අවසන් වරට පැවැති ආසියානු ක්‍රීඩා උලළේ දී ඇය රන් පදක්කම දිනා තිබුණේ ද චීනයේ මේ යකඩ ගැහැනිය විසිනි. පන්ජාබයේ රැජන ලෙස නම් ලද 25 හැවිරිදි ඉන්දියාවේ හර්මිලාන් බයින්ස් තරගයට පිවිස සිටියේ මූලික තරගය ජයග්‍රාහීව නිම කරමින් ලබාගත් විශ්වාසය ද සමඟිනි. තරගය ආරම්භ වීමත් සමඟ එක පොකුරට ක්‍රීඩිකාවන් 08 දෙනා ඉදිරියට ඇදුණේ රන් පදක්කම තම රටට දිනා දීමේ අරමුණිනි. මුල සිටම පෙරමුණ ගත් චීන ක්‍රීඩිකාව අවසන් මීටර් 300 දක්වාම එම ස්ථානයේ රැඳී සිටියාය. විස්තර විචාරකයන් චීන ක්‍රීඩිකාවගේ ධාවනය පිළිබඳ වර්ණනාත්මකව කතා කරත්දී 18 හැවිරිදි ශ්‍රී ලංකාවේ පුංචි කෙල්ල එක් වරම පෙරමුණට පැමිණියේ කිසිවකු අපේක්ෂා නොකළ පරිදිය. එතැන් පටන් සමස්ත තරගයේ අනසක පැතිරවූයේ ඇයයි. වසර 21කට පසු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියක දී රන් පදක්කමක් දිනා තරුෂි කරුණාරත්න බිලියන තුනක් වන චීන හා ඉන්දියානු ජනතාවගේ බලාපොරොත්තු සුන් කළේ මිලියන 22 ක් වන ශ්‍රී ලාංකිකයන්ගේ හදවත් අමානන්දයට පත් කරමිනි.

මෙම තරගයට එක් වූ ළාබාලතම ක්‍රීඩිකාව තරුෂි ය. ඇත්තෙන්ම තරුෂිගේ ධාවනය මනා රිද්මයකින් ගොඩ නැඟුණු ජව සම්පන්න එකකි. සංයමය, තාක්ෂණය මෙන්ම උපායශීලි බව ද එහි කදිමට ගැබ්ව තිබිණි. තරගයේ මුල් මීටර් 400 අවසන් වනවිට ඇය සිටියේ හයවන ස්ථානයේය. අවසන් මීටර් 300ට ළඟාවන විට ඇය වේගය වැඩි කරමින් ඉදිරියට පැමිණියා ය. තරගය අවසන් මීටර් 150ට ළඟාවන විට තරගයේ පාලනය මුළුමනින්ම තම ග්‍රහණයට ගත් තරුෂි ශ්‍රී ලංකා ජාතික ගීය මුල්ම වතාවට මෙවර ආසියානු ක්‍රීඩා උලළේ දී වාතලයට මුසු කළේ වයස හෝ ශරීර ප්‍රමාණය ජයග්‍රහණයට බාධාවක් නොවන බව ද පසක් කරමිනි.

මෙම රන් පදක්කමත් සමඟ ඇය මෙම වසරේ දී ජාත්‍යන්තර තරගාවලි තුනක් නියෝජනය කරමින් මාස පහක් වැනි කෙටි කාලයක දී ලක් මවට දිනා දී ඇති පදක්කම් ගණන 08කි. එහි සුවි­‍ෙශ්ෂත්වය වන්නේ ඉන් හතරක්ම රන් පදක්කම් වීම ය. ජත්‍යන්තර මට්ටමින් ජයග්‍රහණ වාර්තා කරමින් ලක්මව රනින් සරසන ගමන ඇය ආරම්භ කරන්නේ 2023 ජූනි මස කොරියාවේ පැවැති අවුරුදු 20න් පහළ ආසියානු කනිෂ්ඨ මළල ක්‍රීඩා තරගාවලියෙනි. එහිදී ඇය මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කම හිමි කරගනු ලැබුවේ මිනිත්තු 02.05.63ක තරග නිමා කිරීමේ කාලයක් වාර්තා කරමිනි. එම තරගාවලියේ දීම මීටර් 400 රිදී පදක්කමත් මීටර් 4×400 මිශ්‍ර සහය දිවීමේ රන් පදක්කමත් දිනා ගැනීමට සමත් වූ ඇය තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ආසියානු මළල ක්‍රීඩා ශූරතාවලියේ දී මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ විනාඩි 2.00.66 කාලයක් වාර්තා කරමිනි. එය ශ්‍රී ලංකා වාර්තාවක් පමණක් නොව තරගාවලි වාර්තාවක් ද විය. ශ්‍රී ලාංකික පාසල් ක්‍රීඩිකාවක් ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියක දී රන් පදක්කමක් දිනා ගත් ප්‍රථම අවස්ථාව ලෙස එය ඉතිහාසට එක්විය. ඇයට පෙර දමයන්ති දර්ශා පාසල් සිසුවියක ලෙස 1993දී රිදී පදක්කමක් දිනාගෙන තිබිණි. මෙම ජයග්‍රහණ සමඟ තරුෂි සුසන්තිකා ජයසිංහ, දමයන්ති දර්ශා හා විදූෂා ලක්ෂානිට පසුව ආසියානු කනිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ ශූරතාවලි ද්විත්වයක දී පදක්කම් දිනාගත් සිවුවැන්නිය බවට පත් වූවාය. ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ තරග වාර්තාවලට හිමිකම් කියන සුගත් තිලකරත්න හා දමයන්ති දර්ශා අතරට එක් වීමට ද මෙම සුවිශේෂි ජයග්‍රහණය ඔස්සේ තරුෂිට ඉඩ සැලසිණි.

තරුෂි ආසියානු ක්‍රීඩා තරගාවලියට මෙවර එක්වූයේ මෙම තරගාවලි දෙකේ දී ලද පන්නරය ද සමඟිනි. කාන්තා මීටර් 800 ධාවන තරගය නිමා කිරීමට ඇය ගත කළ කාලය විනාඩි 02.03.20 කි. ආසියානු ක්‍රීඩා උලළේ මලල ක්‍රීඩා ඉසව්වක දී ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූයේ වසර 21කට පසුය. සුසන්තිකා ජයසිංහ මීටර් 100 කාන්තා ඉසව්වේ දී හා දමයන්ති දර්ශා මීටර් 400 ඉසව්වේ දී රන් පදකම් දිනා තිබුණේ 2002 දී දකුණු කොරියාවේ බුසාන් හි පැවැති ක්‍රීඩා උලළේදීය. ආසියානු ක්‍රීඩා උලළෙක දී මීටර් 800ක ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කමක් හිමිවූ ප්‍රථම අවස්ථාව ලෙස ද මෙය ඉතිහාසයට එක්වෙයි. මෙම තරඟය නිමා වී විනාඩි 50ක් ගත වන්නට මත්තෙන් කාන්තා මීටර් 4 x 400 තරගයට සහභාගි වන්නට තරුෂිට සිදුවිය. අභියෝගයට අභියෝග කරමින් කැපී පෙනෙන ධාවනයක නිරත වූ ඇය එහිදී ද ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම දිනා දීම සඳහා උපරිම දායකත්වය ලබා දුන්නාය.

තරුෂිගේ ජයග්‍රහණය පසුපස සිටින යෝධ ශක්තිය ඇගේ පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දුය. ඔහු වසර 34ක් වලල ඒ. රත්නායක මධ්‍ය විදුහලේ මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස කටයුතු කරයි. වත්තේගම අධ්‍යාපන කලාපයේ ක්‍රීඩා අධ්‍යක්ෂ ධුරය හොබවන ඔහු ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 73 දෙනෙකුගේ පුහුණුකරුය. එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රටට දිනා දී ඇති ජත්‍යන්තර මලල ක්‍රීඩා පදකම්කම් ගණන 70කි. ආසියානු ක්‍රීඩා උලළේ දී මීටර් 800 තරගයේ දී තරුෂි ලත් ජයග්‍රහණය පිළිබඳව ඔහු පැවසුවේ මෙවන් අදහසකි. ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් මීටර් 800 ඉසව්ව දුවන ආකාරය එක් එක් අවස්ථාවල වෙනස් කරනවා. ඒ නිසා අපිට කල්තියා මේ විදිහට දුවනවා කියලා සැලසුම් කරන්න අමාරුයි. දක්ෂතා ඇති ක්‍රීඩකයින්ගේ ධාවනය සම්බන්ධව අවධානයක් යොමු කරමින් තරග සැලැස්මක් හදා ගත්තත් දැනුම, අවබෝධය ඔස්සේ බුද්ධිය පාවිච්චි කරමින් තීරණ ගන්න කෙනා තමයි අවසානයේ ජයග්‍රාහණය කරන්නේ. මේ තරගය ස්ලෝ රේස් එකක්. මොකද පළවෙනි මීටර් 400 හැමෝම දිව්වේ තරමක් හෙමින්. තරුෂි ආසියානු මලල ක්‍රීඩා උලළේ දී පළවෙනි මීටර් 400 තත්ත්පර 57ට දිව්වා. මේකෙ දී එයා මුල් මීටර් 400 දිව්වේ තත්ත්පර 62.5කට. චීන ක්‍රීඩිකාවගේ හොඳම කාලය ලෙස වාර්තා වී තිබුණේ විනාඩි 1.57ක්. හැමෝම උත්සහ කළේ අවසන් මීටර් 200 දී උපරිම ජවය ගන්න මුලින් වැඩිපුර ශක්තිය වැය නොකර ධාවනයේ යෙදෙන්නයි. බන්ච් එකේ එකටම ගියොත් තරුෂි අන්තිම වෙලාවේ වේගය ගන්නවා කියලා මම දන්නවා. ඒක ඒ විදිහටම වුණා. මේ තරගයේ දී අනෙක් ක්‍රීඩකාවෝ මුලින් මීට වඩා වේගයක් ගත්තා නම් තරුෂි විනාඩි 02ට අඩුවෙන් තරගය නිමා කරනවා. මේ පාර තරගයට එනකොට තරුෂි විනාඩි 1.57ක වගේ කාලයකින් මීටර් 800 දිව්වා.

ශ්‍රී ලංකාවේ පාසල් ක්ෂේත්‍රයේ දක්ෂතම මලල ක්‍රීඩා පුහුණුකරු ලෙස 2015 දී සම්මාන ලද සුසන්ත ප්‍රනාන්දු තරුෂි හමුවන්නේ මෙයට අවුරුදු පහකට පෙර ඇය 13 වැනි පසුවත්දී ය. එම අතීතාවර්ජනය ඔහු වචනවලට පෙරළුවේ මෙසේ ය. උඩුදුම්බර චූලාභය විදුහලේ ඉඳලා ක්‍රීඩා ශිෂ්‍යත්වයක් දිනාගෙන තරුෂිගේ අයියා වලල ඒ රත්නායක පාසලට ආවා. තරුෂිගේ පවුලේ හැමෝම ක්‍රීඩාවට දක්ෂයි. මලල ක්‍රීඩාව එයාලගේ ඇඟේම තිබෙනවා. අයියට පසුව තරුෂිත් ක්‍රීඩා ශිෂ්‍යත්වයක් ලබාගෙන වලල ඒ රත්නායක විදුහලට ඇතුළු වුණා. ශ්‍රීමත් ජෝන් ටාබර්ට් මලල ක්‍රීඩා තරගාවලියේ දී තරුෂි අවුරුදු 16න් පහළ බාලිකා මීටර් 400 සහ 800 තරග ජයග්‍රහණය කළේ නව තරග වාර්තා සමඟයි. මගේ මඟ පෙන්වීම තිබුණත් තරුෂිගේ කැපවීම තමයි මේ ජයග්‍රහණ වලට මූලික හේතුව. එයා ජයග්‍රහණ පිපාසාවකින් පෙලෙන කෙනෙක්. හිතට බයක් ආවම ගොඩක් අය කඩා වැටෙනවා. ඒත් තරුෂි උපරිම දක්ෂතාවලට එන්නේ බය වැඩිවුණ තරමට යි. මීටර් 800 රේස් එකට කලින් මාධ්‍ය ඇතුළු වැඩි දෙනෙක් ලොකු අවධානයක් යොමු කරලා තිබුණේ චීන හා ඉන්දීය ක්‍රීඩිකාවන් පිළිබඳවයි. තරුෂි මට කතා කරලා කිව්වා සර් මට තාම බයක් ආවේ නෑනේ කියලා. බය දැනුණොත් තමයි හොඳට දුවන්න පුළුවන් කියලා එයා අත්දැකීමෙන් දන්නවා. දුවන්න හැකියාව තිබෙනවා වගේම එයා අධ්‍යාපන කටයුතුවලටත් දක්ෂයි. මේ කුසලතා දෙකම තියෙන කෙනෙකුට තමන් නිරත වන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දක්ෂතා පෙන්වන්න පුළුවන්.

තරුෂි අභියෝගවලට අභියෝග කරන්නියකි. ඇය නොපසුබට උත්සහයක් ඇති දියණියකි. ඉලක්කයක් ඇතිව ජීවිතය ගොඩනඟා ගැනීමට වෙහෙසෙන්නියකි. ක්‍රීඩාවෙන් ජයග්‍රහණ ලබා ගනිමින් ලක් මවට කීර්තිය ලබා දෙත්දීත් ඇගේ ගමනට දිරිදෙනු වෙනුවට බාධා කළ වුන් බොහෝ ය. මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේ පුහුණුවීම්වලට යත් දී ඇතුළු වීමේ ගාස්තු ලෙස රුපියල් 30 ක් නොගෙවීම නිසා ක්‍රීඩාංගණයේ දොරටු ඇයට විවෘත නොකිරීම ඊට එක් උදාහරණයක් පමණි. විටෙක ක්‍රීඩාවෙන් පවා ඈත්ව යන්නට තරම් මානසිකව ඇද වැටුණු ඇය යළිත් ධාවන පථයට ගෙන ඒමේ යෝධ සෙවණැලි වූයේ මවුපියන්, සහෝදරයා, සහෝදරිය හා පුහුණුකරුය.

මොන තරම් ප්‍රශ්න තිබුණත් අම්මයි තාත්තයි මට අඩුපාඩුවක් දැනෙන්න ඇරලා නැහැ. මට ඕන දේවල් කොහොම හරි අරන් දෙනවා. කොළඹ තියෙන ජාතික තරග බලන්න අම්මා, තාත්තා, අයියා, නංගී හැමෝම එන්නේ සල්ලි තියෙනවාට නෙවෙයි. සමහර වෙලාවට මාලයක්, කරාඹු දෙකක් උකස් කරලා අම්මා මේ ගමන්වලට සල්ලි හොයා ගන්නේ. අපේ පවුලේ තියෙන බැඳීම තමයි මගේ ලොකුම ශක්තිය. මලල ක්‍රීඩාවේ දී මගේ අයියව තමයි මං ආදර්ශයට ගන්නේ. එයත් ජත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ ලබාගත් ක්‍රීඩකයෙක්. නංගීත් දැන් ක්‍රීඩාවට යොමු වෙලා. අයියා එයාගේ පුහුණුවීම පවා නතර කරලා මට ටයිමින් හදාගන්න මාත් එක්ක දුවලා මට උදව් කරනවා… තරුෂි පවසන්නීය.

ඇය මුලින් ගියේ උඩුදුම්බර චූලාභය ද්විතියික පාසලටය. කලාප තරගවලදී තරුෂි නියෝජනය කළේ මීටර් 100, දුර පැනීම වැනි ඉසව් ය. ක්‍රීඩා ශිෂ්‍යත්වයක් ලැබ සහෝදරයා වලල ඒ රත්නායක ක්‍රීඩා පාසලට ගිය පසු ඇගේ ඉලක්කය වූයේ ද කෙසේ හෝ එම පාසලට ඇතුළත් වීම ය.

පුංචි කාලේ ඉඳලා මට ඉලක්ක තිබුණා. මම ඒවා කොළයක ලිව්වා. පළවැනි ඉලක්කය වුණේ අයියා ගිය පාසලට කොහොම හරි යනවා කියන එක. අයියා විදිහටම ක්‍රීඩා ශිෂ්‍යත්වයක් ලබාගෙන මට වලල ඒ රත්නායක විදුහලට එන්න පුළුවන් වුණා. ඒක තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය. සුසන්න ප්‍රනාන්දු සර් මගේ හැකියාවන් නිවැරදිව හඳුනාගෙන ගැළපෙන ඉසව්වලට යොමු කළා. ආසියානු මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 800 ඉසව්වේ රන් පදක්කම වාර්තාවක් එක්ක දිනා ගත්තම මගේ ඊළඟ ඉලක්කය වුණේ ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී රන් පදක්කම දිනා ගැනීමයි. මම චීනයට ගියේ කොහොම හරි ලංකාවට පදක්කමක් ගේනවා කියන බලාපොරොත්තුවෙන්. රේස් එකේ මුල් මීටර් 400 චීන ක්‍රීඩිකාව ටිකක් හිමින් ගියේ. මම බන්ච් එකේ වේගය තියාගෙන ගියා. මට තේරුණා මුල් මීටර් 400 දුවන්න කාලය ටිකක් වැඩියෙන් ගියා කියලා. රෙකෝඩ් එකකට යනවට වඩා රන් පදක්කම දිනන එක වැදගත්. ඒ නිසා මම වැඩිපුර මහන්සි නොවී අන්තිම මීටර් 150 වෙනකල්ම ඉඳලා තමයි වේගය වැඩි කළේ. පළවෙනි මීටර් 400 තත්ත්පර 60ට අඩුවෙන් දිව්වා නම් රේස් එක විනාඩි දෙකකට අඩු කාලයකින් අවසන් කරන්න තිබුණා. මගේ ඊළඟ බලාපොරොත්තුව ලබන වසරේ දී පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කිරීමට අවස්ථාව ලබා ගැනීමයි.

තරුෂි ක්‍රීඩාවට මෙන්ම පාසල් අධ්‍යාපන කටයුතුවලටද එක සේ දක්ෂය. ක්‍රීඩා පුහුණු කටයුතු මෙන්ම තරගවලට ද සහභාගි වන අතරතුර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඇය ඉන් සමත් වූයේ ඒ සමාර්ථ තුනක් හා බී සමාර්ථ 06ක් සමඟිනි. උසස් පෙළ වාණිජ අංශයෙන් අධ්‍යාපන කටයුතු සිදු කරන ඇය ලබන ජනවාරි මස එම විභාගයට පෙනී සිටීමට නියමිතය.

තරුෂිගේ මව නිලූෂිකා දිල්රුක්ෂි අබේවර්ධනය. ඇය තම දියණිය ගේ ජයග්‍රහණය පිළිබඳව මෙසේ පැවසුවාය. දුව මේ තරගාවලියට ගියේ රන් පදක්කම දිනනවා කියන දැඩි විශ්වාසයෙන්. තරගය ආරම්භ වුණ වෙලාවේ ඉඳන් අවසන් වෙනකල් මමත් දිව්වා වගේ දැනුණා. ඒ තරමට මට මහන්සියි. මගේ කෙල්ල කවදාවත් පරාජය බාර ගන්න කැමැති කෙනෙක් නෙවෙයි. එයා අසාධාරණය ඉදිරියේ කවදාවත් හිස නවන්නේ නැහැ. පුංචි වයසේ දී දුවගේ හිතට මේ තරම් හයියක් ලැබිලා තියෙන්නේ එයාට එල්ල වූ අභියෝග නිසාම යි. දුවගේ ක්‍රීඩා ගමනට බාධා කළ අයට මම මේ වෙලාවේ විශේෂ ස්තූතියක් කරනවා. මොකද ඒ අය නොවෙන්න එයාට මේ තරම් හයියක් ලැබෙන්නේ නැහැ. ආසියානු ක්‍රීඩා තරගාවලියට සහභාගි වුණේ ආර්ථික හයිය තියෙන ලොකු රටවල්. අපේ ජාතික ගීය ඒ හැමෝටම ඇහෙන්න වාදනය කරවන්න මගේ දුවට පුළුවන් වුණා. රන් පදක්කම ගන්න වෙලාවේ ජාතිය ගීය වාදනය කරනකොට අපිත් ගෙදර ඉදන් පුටුවලින් නැඟිට්ටා. ඒ වෙලාවේ මගේ ඇස්වලින් සතුටු කඳුළු කඩාගෙන වැටුණේ මටත් නොදැනීම යි.

දියණිය ගේ කුඩා කළ පිළිබඳවත් ක්‍රීඩාවෙන් ඔවුන් ඉදිරියට ගෙන යෑමට ගන්නා වෙහෙසත් පිළිබඳව ඇය මෙසේ විස්තර කළාය. එකේ පන්තියට භාරදෙන කොට දුවගේ බර කිලෝ 11 යි. එයා හරිම පුන්චියි. දමයන්ති කියලා ටීචර් කෙනෙක් තමයි පන්ති භාරව හිටියේ. අනේ මේ ළමයා හරිම පොඩියි කියලා ටීචර් එයාගේ බත් එකේ තියෙන මැල්ලුම් දුවට කවනවා. දුව වලල ඒ රත්නායක මධ්‍ය විද්‍යාලයට ආවේ හතේ පන්තියේ දී. සර් මෙයාව දැක්ක දවසෙම කිව්වා මෙයා ඉස්කෝලෙට විතරක් නෙවෙයි රට වෙනුවෙනුත් දුවන ළමයෙක් කියලා. මගේ මහත්තයා ඩී.එම් කරුණාරත්න.

තරුෂිගේ නැඟණිය ගිහාරා කරුණාරත්න ය. දොළොස් වැනි වියේ පසුවන ඇය ද මලල ක්‍රීඩාවෙන් සුවිශේෂි දක්ෂතා දක්වන්නිය කි. වලල ඒ රත්නායක මධ්‍ය විදුහලේ නේවාසිකව අධ්‍යාපනය ලබන ඇය මහනුවර දිස්ත්‍රික් ක්‍රීඩා උලළේ දී වයස අවුරුදු 12න් පහළ දක්ෂතම ක්‍රීඩිකාව වූයේ මීටර් 80 හා 100 ඉසව් වලින් ජයග්‍රහණය කරමිනි.

තරුෂිගේ ඊළග ඉලක්කය ඔලිම්පික් පදක්කමක්ය. ඒ සඳහා මුලින් ඇය මීටර් 800 විනාඩි 1.59.2ක කාලයක දී නිමාකර පරිසාධන මට්ටම අබිබවා යායුතුය. ඇය මේ වනවිට මීටර් 800 කාන්තා ඉසව්වේ ආසියාවේ රැජනය. එම ඉසව්වෙන් තරුෂි ට අභියෝග කරන්නට බිලියන ගණනක් වන ආසියාවේ කතුන් අතර කිසිවකුත් නොමැත. ඔලිම්පික තරගාවලියේ දී ඇයට දුවන්නට සිදු වන්නේ ලෝකයේම දක්ෂයන් සමඟ ය. ඒ සඳහා යුරෝපයේ තරගවලට සහභාගි වී අත්දැකීම් ලබා ගැනීම අත්‍යවශ්‍ය බව පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු පවසයි. ඒ සඳහා තරුෂිට අවශ්‍යය සහය රටක් ලෙස අප ලබාදිය යුතුය. ජයග්‍රහණයෙන් පසු ජනපති රනිල් වික්‍රමසිංහයන් තරුෂිට ශක්තියක් දෙමින් ඇගේ ක්‍රීඩා කටයුතුවලට අවශ්‍යය සහය දෙන බව පැවසුවේ ය. ක්‍රිකට් පාලක මණ්ඩලය ද ඇයට රුපියල් කෝටියක මුදලක් පරිත්‍යාග කරන බව දැනුම් දුන්නේ ය. මේ ආකාරයෙන් අප සියලු දෙනා ඇය පසුපස යෝධ සෙවණැල්ලක් සේ සිටගත හොත් තරුෂි ලක්මවට ඔලිම්පික් පදක්කමක් දිනාදෙනු නියතය.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division