මේ ලිපිය සටහන් කරන්නේ සිකුරාදාය. ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කරන පළමු තරගය දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන්නේ සෙනසුරාදාය. තරගාවලියට පෙර ක්‍රීඩකයන්ගේ දස්කම් උණුසුම් කරගැනීමට ක්‍රීඩා කළ පුහුණු තරග දෙකම පරාජයට පත් විය. දෙකම පැරදුණේ කෝඩුකාරයන් හමුවේය. පළවැන්න බංග්ලාදේශය හමුවේ පරාජය වූ අතර දෙවැනි තරගයෙන් ඇෆ්ගනිස්තානයට පරාජය විය. එය හුදෙක් පුහුණු තරග ලෙස බැහැර කිරීමට නොහැකි වූව ද, තරගාවලියට අවතීර්ණ වීමට පෙර ශ්‍රී ලංකා පිලට සිය ක්‍රීඩකයන්ගේ දස්කම් මැන බැලීමටත්, දුර්වලතා හඳුනා ගැනීමටත් එම තරග දෙකම භාවිතයට ගනු ඇත.
විචාරකයන් වැඩිදෙනකුගේ අදහසට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට ඉන්දියාවට පැමිණ ඇත්තේ කෝඩුකාර ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක් ලෙසටය. අනිත් අතට සෙසු කණ්ඩායම්වලට සාපේක්ෂව ප්‍රබල කණ්ඩායමක් ලෙස ලේබල් අලවා නැත. එබැවින් අභියෝගය සුලු පුටු නොවන බව පුහුණු තරග දෙකින්ම අවබෝධ වී ඇතුවාට සැකයක් නැත.
වසර 4කට වතාවක් පැවැත්වෙන එක්දින ලෝක කුසලාන තරගාවලිය ගෙවී ගිය වසර හතරේදී ඕනෑම කණ්ඩායමක් වපුරනු ලැබූ අස්වැන්න නෙළා ගන්නා තරගාවලියකි. එක් තරගාවලියක අවසානයේ සිට අනිත් තරගාවලියේ ආරම්භය දක්වා පුහුණු කාර්ය මණ්ඩලය සහ තේරීම් කමිටුවේ සම්බන්ධීකරණයෙන් යුතුව ගොඩනැඟෙන කණ්ඩායමක අග්‍රඵලය අපේක්ෂා කරන තරගාවලියකි. ක්‍රීඩකයන් ද ඔවුන් මුහුණ දෙන විශාලතම පරීක්ෂණය මෙය වේ. ඔවුන්ගේ අනාගතය රඳා පවතින්නේ තරගාවලියේදී දක්වනු ලබන සාර්ථක අසාර්ථකත්වය මත ය. කොටින්ම ‘තියරිය‘ එයයි. ඉන් ඔබ්බට ගොස් අසාර්ථක වූ ක්‍රීඩකයන් ද අඛණ්ඩව කණ්ඩායම නියෝජනය කළ අවස්ථා නැත්තේ ද නොවේ. එසේ වන්නේ තවදුරටත් තේරීම් කමිටුවේ විශ්වාසය දිනා ගැනීමට ඇති හැකියාව මතය. එහි වරදක් නැත.
වරද වන්නේ ලෝක කුසලානය වැනි තීරණාත්මක තරගාවලියක් නියෝජනය කරන කණ්ඩායමක් ගෙවී ගිය වසර 4 පුරා ලොව සෙසු කණ්ඩායම්වලට සාපේක්ෂව ඔවුනොවුන්ගේ දස්කම් මුවහත් කරගැනීමට අසමත් වීමය. ශ්‍රී ලංකා කණ්ඩායම අරබයා එවැනි ප්‍රකාශයක් සිදු කිරීමට තවමත් වේලාසන වැඩිය. එබැවින් ඉහත සඳහන් කළ කරුණු කාරණා මෙවර ඕනෑම කණ්ඩායමකට වලංගු දේවල්ය. ඒවා ආදේශ වන්නේ කුමන කණ්ඩායම්වලටදැයි තරගාවලියේ අවසන් භාගයේදී දැකබලා ගත හැකිය. තවත් අතකින් කියන්නේ නම් ‘වර්ල්ඩ් කප්‘ දිනන්නේ ‘හෝම් වර්ක්‘ හොඳටම කළ කණ්ඩායම ය.
ලෝක කුසලාන තරගාවලියකට කණ්ඩායම නම් කිරීම ඕනෑම රටක තේරීම් කමිටුවට අභියෝගාත්මක කාරණාවකි. මන්ද ඔවුන්ගේ කෙරුවාවේ තරම හරියටම දැකබලා ගත හැකිවන්නේ මෙවැනි තරගාවලියකදී බැවිනි. එසේ වූ පමණින් ක්‍රීඩකයන් වගකිම්වලින් නිදහස් වන්නේ ද නැත.
එබැවින් තරගාවලියේදී තම වගකීම අකුරටම ඉටු කිරීම ලොව ඕනෑම කණ්ඩායමකට ඇතුළත්ව සිටින ක්‍රීඩකයන්ගේ කටයුත්තකි. ශ්‍රී ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් ද කිව යුත්තේ එයමය. මෙවර ශ්‍රී ලංකා පිලට ඇතුළත්ව සිටින බොහෝ ක්‍රීඩකයන් ලෝක කුසලාන තරගාවලියකට ක්‍රීඩා කරන පළමු අවස්ථාව මෙය වේ. ඇතැමුන් කියන්නේ ලෝක කුසලාන තරගාවලියකට යා යුතු වන්නේ අත්දැකීම් බහුල ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් සහ නවකයන්ගෙන් මිශ්‍රිත කණ්ඩායමක් බවය. ඔස්ට්‍රේලියාව මෙවර ආරම්භයේදී ලෝක කුසලාන සංචිතයට ඇතුළත් නොකිරීමට තීරණය කළ අත්දැකීම් ඇති පිතිකරු මානස් ලබුස්චාන් අවසන් මොහොතේ කණ්ඩායමට එක් කර ගත්තේ එබැවිනි.
ක්‍රීඩාවෙන් විශ්‍රාම ගැනීමට සිටි එංගලන්ත පිලේ ප්‍රවීණ තුන්ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් සංචිතයට එක් කර ගත්තේ එබැවිනි. බංග්ලාදේශ පිලේ නායකත්වය දරන්නේ එක්දින තරග 240ක අත්දැකීම් ඇති 36 හැවිරිදි ශකීබ් අල් හසන් ය. එම වයසේම පසුවන කඩුලු රකින පිතිකරු මුෂ්ෆිකුර් රහීම් එක්දින තරග 256ක අත්දැකීම් ඇත්තෙකි. 37 හැවිරිදි මහ්මුදුල්ලා එක්දින තරග 221කට ක්‍රීඩා කර ඇති පිතිකරුවෙකි. 36 හැවිරිදි වේගපන්දු යවන ක්‍රීඩක මුෂ්ටාෆිසුර් රහීම් තරග 256කට ක්‍රීඩා කර ඇත. ඉන් පැහැදිලි වන්නේ නවක ක්‍රීඩකයන්ගෙන් කණ්ඩායමක් ගොඩනැඟීම එක් රැයකින් කළ හැකි පෙරළියක් නොවන බවත්, එක් රැයකින් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඉවත දැමීම ද විසඳුමක් නොවන බවත්ය.
සාමාන්‍යයෙන් අත්දැකීම් බහුල ක්‍රීඩකයන් දෙතුන් දෙනෙක් ලෝක කුසලානය සඳහා නම් කළ සංචිතවල ඉතිරි කර ගැනීමට ඔවුනොවුන්ගේ රටවල තේරීම් කමිටු වග බලා ගනී. ඉවත් නොකිරීම් සිදු නොවන්නේද නැත. එහෙත් එසේ සිදුවන්නේ ඉතා ක්රමානුකූලවය. ලබා ඇති අත්දැකීම් භාවිතයට ගත හැකි ආකාරය සොයා බැලීමෙන් පසුවය. එවැනි ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාව ඉහළ මට්ටමකට රැගෙන යෑමට හැකි සෑම දායකත්වයක්ම ලබාදීම පුහුණු කාර්ය මණ්ඩලයේ වගකීමකි. මේ සියල්ල සිදුවන්නේ කණ්ඩායම නියෝජනය කරන රටේ අභිමානය සහ කීර්තිය උදෙසාය. මන්ද එකවර කෝඩුකාරයන්ගෙන් කණ්ඩායමක් ගොඩනැඟීමට උත්සාහ කිරීම තවත් විනාශකාරී සිදුවීම් රැසකට මුල් විය හැකි බැවිනි. ඉන් කැපී පෙනෙන සාධකය වන්නේ විනයගරුක හැසිරීමය. ඕනෑම කණ්ඩායමක ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කණ්ඩායම තුළ පසුබිම ගොඩනඟා ගන්නේ ඊට පෙර සිටි ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් ලද ශික්ෂණය තුළිනි. එය දශක ගණනාවක් පුරා ලොව සෑම කණ්ඩායමකම සිදුවන පොදු ධර්මතාවකි. ශ්‍රී ලංකා කණ්ඩායමේ කියා වෙනසක් නැත.
කණ්ඩායමකට ඇතුළළු වන කෝඩුකාරයන්ට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන්ගෙන් උගත හැකි දේවල් අතර විනය පවත්වා ගැනීම ප්‍රධාන කාරණාවකි.
අනිත් අතට අවසන් එක්දින ලෝක කුසලාන තරගාවලියෙන් පසු මේ දක්වා ගත වූ වසර 3ක කාලය පුරා ලොව ඕනෑම කණ්ඩායමක් හැඩගස්වනු ලබන්නේ මීළඟ ලෝක කුසලානය ඉලක්ක කර ගනිමිනි. 2019 වසරේ එංගලන්තයේ පැවැති අවසන් එක්දින ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩකයන්ගෙන් බහුතරයක් මෙවර තරගාවලියට එක් නොවීමට විවිධ කරුණු බලපා තිබේ. එබැවින් තේරීම් කමිටුවේ කාර්යභාරය අභියෝගයට ලක් කිරීම ද සාධාරණ නැත. නමුත් යොවුන් ක්‍රීඩකයන්ට වැඩි අවස්ථාව ලබාදීමට ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් කණ්ඩායමට ඇතුළත් කර නොගන්නේ නම් එය සිදු කළ යුතු වන්නේ පෙර කී වසර 3ක කාලය ඇතුළතදී බව අවිවාදිතය. එය එසේ වූවාදැයි යන්න විමසා බැලිය යුතු කාරණාවකි. අනිත් අතට එම කාලය ඇතුළත ක්‍රීඩකයන් ආබාධවලට ලක් වීමෙන් වළක්වා ගැනීමේ වගකීම පුහුණුකරුවන් අකුරටම ඉටු කළ යුතුව ඇත. එය ද එසේ වූවාදැයි යන්න විමසා බැලිය යුතු කාරණාවකි. ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කරමින් තේරීම් කමිටුව සහ පුහුණු කාර්ය මණ්ඩලය කොතරම් කැපවූව ද ක්‍රීඩා කරන්නේ ක්‍රීඩකයෝය. අවසන් ප්‍රතිඵලයට මුහුණ දෙනු ලබන්නේ ඔවුන් බැවින් ප්‍රතිඵල සාර්ථකව නෙළා ගැනීමේ කාර්යභාරය ඇත්තේ අවසාන වශයෙන් ක්‍රීඩකයන් අතය.
1996 වසරේදී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය දිනා ගත්තේ ඒ වගකීම අකුරටම ඉටු කිරීමෙනි. තරගාවලියට පෙර ‘හෝම් වර්ක්‘ ද අකුරටම කරමින් ශ්‍රී ලංකා පිල එවර තරගාවලියට එක් වූයේ කුසලානය අතට නොගෙන ආපසු නොහැරීමේ ඒකායන අධිෂ්ඨානය ඇතිවය. එවැනි දිරිය සම්පන්න භාවයකින් ලෝක කුසලාන තරගාවලියට එක්වී අවසන් තරගය දක්වාම ගිය අවස්ථා දෙකක් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සටහන් වී තිබේ. ඉන් පළමුවැන්න 2007 වසරේදී මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුතුව ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල පැවැති ලෝක කුසලාන තරගාවලියයි. එහිදී ශ්‍රී ලංකා පිල ඔස්ට්‍රේලියාව හමුවේ අවසන් මහා තරගයෙන් ඩක්වර්ත් ලුවිස් ක්‍රමවේදය අනුව පරාජයට පත් වූයේ ලකුණු 56කිනි. අනතුරුව 2011 වසරේ කුමාර් සංගක්කාරගේ නායකත්වයෙන් තරග වැදුණු ශ්‍රී ලංකා පිලට මුම්බායි නුවර පැවති අවසන් මහා තරගයේදී කුසලානය අහිමි වූයේ ඉන්දියාව හමුවේ කඩුලු 6කින් පරාජයට පත්වීමෙනි. අනතුරුව 2015දී අර්ධ අවසන් පූර්ව වටය දක්වා පසුබැසීමට සිදුවූ ශ්‍රී ලංකා පිල 2019 වසරේ එංගලන්තය ජයගත් ලෝක කුසලාන තරගාවලියේදී මූලික වටයෙන්ම ඉවතට විසිවිය.
එබැවින් මෙවර නායක දසුන් ශානක ඇතුළු කණ්ඩායම හමුවේ ඇත්තේ සුළුපටු අභියෝගයක් නොවන බව පුහුණු තරගවලින්ම පැහැදිලිය. සිය වගකීම නිවැරැදිව ඉටු කරන්නේ නම් ඕනෑම අභියෝගයක් ජයගත හැකි බව අවබෝධ කරගන්නේ නම් මෙවර ලෝක කුසලාන තරගාවලියේදී පෙරළිකාර වෙනසක් සිදු කිරීමේ හැකියාව ද ශ්‍රී ලංකා පිල සතුව ඇති බව ද සිහිපත් කළ යුතුය.
ජයග්‍රහණයට පියවරු සියයක් සහ පරාජය අවජාතක බවට කියමනක් ඇති බැවින් මෙවර තරගාවලියේ සාර්ථක අසාර්ථකත්වය මත එහි වගකීම භාර ගැනීමේදී තේරීම් කමිටුව මෙන්ම පුහුණුකරුවන් ද ‘බෝල‘ පාස් කිරීමට කටයුතු කරන්නේ නම් ඊළඟ ලෝක කුසලානයට පෙර පිරිසුදු කළ යුතු වන්නේ කණ්ඩායම නොවන බවට කිසිදු තර්කයක් ද නැත.
ෆවුස් මොහොමඩ්