එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය
කෘතිය – එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය (එඩ්මන්ඩ් රණසිංහ ප්‍රභාෂණය)
ප්‍රධාන සංස්කාරක – මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර
සංස්කාරකවරු – ඩඩ්ලිව්. එම්.කේ. විජයබණ්ඩාර, දීප්ති ප්‍රමිතා අධිකාරි
ප්‍රකාශක – ජනාධිපති කාර්යාලය
දුරකතනය – 077 066 6555
ශ්‍රී ලංකාවේ විශිෂ්ට පුවත්පත් කලාවේදියෙකු වන එඩ්මන්ඩ් රණසිංහයන්ගේ බිහිවීම, පුවත්පත් ජීවිතය මෙන්ම මාධ්‍ය ක්ෂේත්රයේ සිදු කළ විප්ලවීය වෙනස්කම් ඇතුළු ඔහුගේ දිවියේ සුවිශේෂී සිදුවීම් පිළිබඳ මාධ්‍ය ක්ෂේත්රයේ විද්වතුන් විසින් සකස් කළ ග්රන්ථයකි. මෙය එඩ්මන්ඩ් රණසිංහට උපහාර පිදීමට සමගාමීව සකස් වූ අතර, මෙහි ඔහුගේ වෘත්තීය ජීවිතයේ නොමැකෙන ඡායාරූපද අන්තර්ගතව තිබීම විශේෂත්වයකි.
හිරුට එන්නට නොදී වැහි වලාවන්ගෙන් පිරි අහස ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරියෙන් ගාලුමුවදොර අහස අරක් ගෙන තිබිණි. එහෙත් ඒ වැහි වලාකුළු අස්සෙන් එහෙන් මෙහෙන් හිරු අස්ථානගත වෙන්නට කලින් එබී බලමින් සිටියේ ය.
ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයට නව පණක් එක්වෙමින් තිබිණි. ඒ පත්තර ලොව දැවැන්තයකුගේ බුහුමන වෙනුවෙන් පෙළගැසුණු පිරිසකගේ මුහුණු මත සිත්තම් වුණු සොම්නසේ රේඛාවලිනි. දශක හතක කාලයක් තිස්සේ පුවත්පත් ලොව එකලු කළ දැවැන්තයකුට රාජ්‍ය අනුග්‍රහ දක්වන මොහොතකට එක්ව සිටි සියයකට අධික පිරිසකගේ ආදරය සහ ගෞරවය එහි නොමඳව තිබිණි.
ඊයම් යුගයේ සිට අයිපෑඩ් යුගය දක්වා එකසේ වෙනසක් නැතිව පෙළහර පෑ කතුවරයකු වේ නම් ඒ එඩ්මන්ඩ් රණසිංහ ය. සිරි රණසිංහයන්ගේ පටන් අපේ කාලය දක්වා ම මාධ්‍ය ලොව ගෝල පරපුරු හතරක් පමණ තැනූ හේ ඒ සියල්ලට උපේක්ෂාවෙන් මුහුණ දුන්නේ එය තමන් අනිවාර්යයෙන් කළ යුතු ව තිබූ කාර්යයක් සිදු කෙරූවකු පරිද්දෙනි.
මා ඉඳගෙන සිටි අසුනේ සිට බලන කල ආචාර්ය මහාචාර්යවරුද, ලංකාවේ ජාතික සහ විකල්ප සියලු පුවත්පත් කර්තෘවරු ද, ප්‍රවීණ මාධ්‍යවේදීන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන්ද, සහෘදය මාධ්‍යවේදීන් ද ඇතුළු පිරිසක් ආදරයේ හා ගෞරවයේ සොම්නස් පැහැය වුවනේ දවටාන බලා සිටිනු පෙනේ.
ජනාධිපතිවරයාගේ සම්ප්රාප්තියත් සමඟ ස්වකීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියා වෙනුවෙන් සම්ප්රවේශකත්වය ලබා ගනිමින් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් අතාවුදහෙට්ටි පැවසුවේ එඩ්මන්ඩ් නාමයේ ඇති බහු අරුත් ගැන ය. එතැනින් ඇරඹුණු මේ සුන්දර හෝරා ද්විත්වයේ ආරම්භය සටහන් වූයේ ‘ එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය‘ නම් කෘතියේ පිටපත් ජනාධිපති මාධ්‍ය උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර විසින් ජනාධිපතිතුමා ප්රමුඛ ආරාධිත අමුත්තන්ට පිළිගැන්වීමෙනි. තමාට ලැබුණු මුල් පිටපත එදින බුහුමන් ලබන එඩ්මන්ඩ් රණසිංහයන් වෙත පිළිගැන්වූ ජනාධිපතිවරයා එඩ්මන්ඩ් රණසිංහ නම් පුවත්පත් කලාවේදියා පිළිබඳ සිය මතකය අවදි කළේ ඔහුගේ නවීනත්වය ගැන මුලින් ම සඳහනක් කරමිනි.
‘ එඩ්මන්ඩ් රණසිංහ කියන්නේ අතීත සහ වර්තමාන පුවත්පත් කලාව යා කරන පාලමක්. ඊයම් අකුරු ඇමිණුම් යුගයේ සිට අයිපෑඩ් යුගය දක්වා දශක හතක කාලයක් අඛණ්ඩව පුවත්පත් කලාවේ නිරත වූ ඔහු ලංකාවේ මාධ්‍ය සංස්කෘතියට විශාලතම බලපෑමක් කළ මහා චරිතයක්. එඩ්මන්ඩ් රණසිංහ පුවත්පත් කලාව ආරම්භ කරන්නේ මගේ පියා ලේක්හවුස් ආයතනයේ කළමනාකාර අධ්යක්ෂවරයාව සිටි කාලයේ. ඒ නිසා මට ඔහු සමඟ දශක හයක පමණ සමීප සබඳතාවක් තිබෙනවා… යනුවෙන් පැවසූ ජනාධිපතිවරයා එඩ්මන්ඩ් රණසිංහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාට ආරාධනයක් කරන්නට ද අමතක නොකළේ මෙලෙසිනි.
‘ දශක ගණනාවක පුවත්පත් ලෝකයේ වෙනස්කම් ඔහු දුටුවා. අපි දන්නවා 1953 දී හාල් ප්‍රශ්නයක් නිසා ඩඩ්ලි සේනානායකට අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වුණා. 2022දී ඉන්ධන නැති නිසා ගෝඨාභය රාජපක්ෂට ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදු වුණා. මෙන්න මේ අතරමැදි කාලය ගැන හොයලා බලලා පොතක් ලියන්න ඕන. දැන් පුස්තකාලය තියෙන්නේ ගූගල් එකේ. ඒකට ලොකු ඉඩකඩක් ඕන නෑ. ඒ නිසා නවීන තාක්ෂණයත් එක්ක පුවත්පත් කර්මාන්තය යා යුත්තේ කොයිබට දැයි යන්න ගැන අපි කල්පනා කරන්න ඕනෑ. විශේෂයෙන් සමාජ මාධ්‍යයේ දියුණුවත් සමඟ වැඩි ම බලපෑමක් එල්ල වෙලා තියෙන්නේ මුද්‍රිත මාධ්‍යයට. ‘
ජනාධිපතිතුමන් සිය ආදරය හා ගෞරවය එඩ්මන්ඩ් රණසිංහයන් වෙත පිදුවේ පෙර හා නව යුගය ගැන සංසන්දනාත්මක අර්ථවත් විග්රහයක යෙදෙමිනි. එඩ්මන්ඩ් රණසිංහ උපහාර උලෙළේ මුඛ්‍ය දේශනය පැවැත්වූයේ දිවයින පුවත්පතේ හිටපු ප්‍රධාන කර්තෘවරයකු හා රිවිර පුවත්පතේ සමාරම්භක කර්තෘ උපාලි තෙන්නකෝන් ය. හේ සිය කතාව ඇරඹුවේ එඩ්මන්ඩ් රණසිංහ ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියා කිසිදිනෙක තමන් වෙනුවෙන් කරන උපහාරවලට කැමැති වූවකු නොවන බව සඳහන් කරමිනි.
‘රණසිංහ මහත්තයා සාමාන්‍යයෙන් උපහාර, සම්මානවලට කැමැති කෙනෙක් නොවෙයි. කර්තෘ සංසද සම්මාන උලෙළේදී අපි වරක් ජීවිත කාලයේ එක්වරක් පමණක් පිදෙන සම්මානය ඒ මහතාට ලබා දෙන්න කල්පනා කළා. ඒ බව එතුමාට දැන්වුවාම එතුමා කීවේ මම කරන්නෙ රාජකාරිය. ඒනිසා සම්මාන, උපහාර අවශ්‍ය නැති බවයි. අද එතුමන්ට කරන මේ උපහාරය කළ යුතුම වූවක්. එතුමා පත්තර කලාවේ නිරත වූයේ අරමුණක්, දැක්මක් හා ඉලක්කයක් සාධනය කර ගන්නයි. රසඥතාව වගේම දැනුමත් පාඨකයා වෙත ලබා දිය යුතු බව ඔහු විශ්වාස කළා. ඒ වෙනුවෙන් තමාගේ කාර්යය මෙහෙයවූවා. ඒ කාලෙ ඔහුගේ අතේ හැම මොහොතක ම පොතක් හරි විදේශීය සඟරාවක් හරි තිබුණා. නිතරම හිටියේ කුමක් හෝ කියවමින්. මාධ්‍යවේදීන්ට ඔහු නිරන්තරයෙන් කිව්වෙත් කියවීම අත්‍යවශ්‍ය බව. ලෝක ආර්ථික, දේශපාලන හා සමාජයීය කියැවීම් ගැන එතුමාට තිබුණේ නවීන අදහස්‘
නිදහස් මාධ්‍ය කලාවක් වෙනුවෙන් කැපවුණු එඩ්මන්ඩ් රණසිංහයන්ට එදවස තිබූ මරණ තර්ජන ගැන ද සිය මතකය අවදි කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උපාලි තෙන්නකෝන් ඒ සඳහා ඔහු මුහුණ දුන් අදීන ස්වරූපයත්, එකල පාලනාධිකාරියට එතුමා ගැන තිබූ ආදර ගෞරවයත් ගැන හෙළි කළේය.
‘ ඔහුට මරණ තර්ජන තිබුණා. බෝම්බ ගැහුවා. ඒත් ඒ කිසිදේකින් ඔහු සැලුණේ නෑ. වරක් ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා උපාලි පුවත්පත් ආයතනයේ සභාපතිනිය වූ ලක්මිණී විජයවර්ධන මහත්මියට කතා කරලා කිව්වා ‘එඩ්මන්ඩ් කර්තෘකමින් අයින් කරන්න, උපාලි සමාගම බැංකුවෙන් ගත්ත කෝටි ගණනක ණය කපා හරින්නම්‘ කියලා. ඒ වෙලාවෙ එතුමිය කිව්වා, ‘ඒ කෝටි ගණනට වඩා මට එඩ්මන්ඩ් රණසිංහ වටිනවා. මම කොහොමහරි කරලා ඒ ණය ගෙවා දාන්නම්‘ කියලා‘
ඔහුගේ කර්තෘත්වයෙන් යුතුව 1982 පෙබරවාරි 4 වෙනිදා දිවයින දිනපතා පත්‍රය ඇරඹුණේ පුවත්පත් කලාවේ නව නැම්මක් සටහන් කරමිනි. එහෙත් ඒ නව නැම්ම පසුපස සිටියේ ලේක්හවුසියේ දිනමිණ හා සිළුමිණ පුවත්පත් විසින් ඔපමට්ටම් කරන ලද රණසිංහ නම් පුවත්පත් කතුවරයා ය. ලේක්හවුසිය පුවත්පත් මහගෙදර වන්නේ මේ වැනි ප්‍රවීණයන් බිහි කිරීමේ මාතෘත්වය දැරීම නිසා ය. ඒ බුහුමන මේ සියලු විග්රහ කිරීම් අතරේ මතු වූ බැව් ද නොකියා බැරිය.
එඩ්මන්ඩ් රණසිංහයන් වෙනුවෙන් පැවැත්වුණු චාම් එහෙත් ගාම්භීර උලෙළේ ආරාධිතයකු වීමට ලැබීම ගෞරවයක් වන්නේ අප එතුමන් යටතේ වැඩ කළ අවසන් මාධ්‍යවේදී පරපුර නියෝජනය කරන බැවිනි. 94 වැනි වියේ පසුවූවත් තවමත් යාවත්කාලීන දැනුමෙන් හා ස්මරණයෙන් යුතු රණසිංහයන් පුවත්පත් කලාවේ ප්‍රදීපස්ථම්භයක් බැව් කියන්නට අප දෙවරක් නොසිතන්නේ ඒ නිසා ය. කිසිදිනෙක ඒ වුවනේ තරහක් සටහන් වෙනු නොදුටු අපි ඒ නිවීමත්, යාවත්කාලීන දැනුමත් ගැන දවසින් දවස පුදුම වීමු. ඒ සොම්නස් සහගත බව අපට පමණක් ලැබුණක් නොව මුළු මහත් පුවත්පත් කලාවේදීන් වෙනුවෙන් ම දශක හතක් තිස්සේ පැවතුණක් බැව් ඇස්පනාපිට ඔප්පු වූයේ මේ උපහාර උලෙළේදී ය. ඒ එතුමන් වෙනුවෙන් බුහුමන් පුදන්නට ආ පිරිසත්, ඒ මුහුණු මත ලියැවුණු ආදරයේ හා ගෞරවයේ රේඛාත් නිසා ය.
‘එඩ්මන්ඩ්ගේ පත්තර විප්ලවය‘ නම් කෘතියේ මුල් පිටපත ජනාධිපති රනිල් වික්‍රමසිංහයන් විසින් ප්‍රවීණ පුවත්පත් කලාවේදී එඩ්මන්ඩ් රණසිංහන් වෙත ප්රදානය කළ අයුරු. ජනාධිපති මාධ්‍ය උපදේශක
මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාරද මෙහි වේ.