කැකිරාව බස් නැවතුම්පළට ඉහළ අහසේ හිරු ගිනිගෙන තිබේ. තානායම්පල්ලා නැවතත් බස් නැවතුම්පළට විරුද්ධ පැත්තේ පාර අයිනේ නතර කොට ඇති ඩිමෝ බට්ටා රියෙහි කැන්වස් රෙද්දෙන් වැසුණු පසුපස කොටස දෙස දෑස තියුණු කොට බැලුවේය.
ඔහුගේ සැකය නිවැරදිය. ඒ සිටින්නේ ‘‘ජසයා සහ ලෙංචිනා“නාඩගමේ ලෙංචිනා සහ ජසයා ම බව දැන් හොඳාකාරවම පැහැදිලිය.
එපමණක් නොව බට්ටා රියෙහි පසුපස එහා මෙහා වන කැන්වස් රෙද්ද අතරින් පෙනෙන්නේ රියෙහි පසුපස කොටසෙහි අසුන්ගෙන සිටින්නේ සයිඩ් ඩ්‍රම්, රම්පට්, මෝලම් ආදී සංගීත භාණ්ඩ අතදරා සිටිනා ‘පපර බෑන්ඩ්‘ කණ්ඩායමක් බවය.
මොවුන් මේ සූදානම් වන්නේ කුමකටද? පපර බෑන්ඩ් කණ්ඩායමක් සහ ජසයා ලෙංචිනා අතර ඇති සම්බන්ධතාවය කුමක්ද?
තානායම්පල්ලා වහා ගෙල හරවා සිය ගමන් සගයා වන වේටර් අංජු දෙස බැලුවේය. හිසකේ පමණක් නොව ඇහිබැම ද කැපී යන ලෙසින් කොණ්ඩය කට් කැපු දෙදාහේ පරපුරේ කොලු ගැටයකු වූ වේටර් අංජු ඔහුගේ තඩි ජංගම දුරකතනයේ මුහුණත පිරිමදිමින් බස්නැවතුමේ කණුවකට හේත්තු වී සිටියේය. තානායම්පල්ලා අංජු නමැති සේවකයා ද කැටිව පාන්දරින්ම තානායමෙන් පිටවී මේ පැමිණ සිටින්නේ තම තානායමේ තවත් සේවකයකු වන සුපවයිසර් වේටර් තුංගසිරිගේ පියාණන්ගේ අවමංගල උත්සවයට සහභාගී වීමට යාමටය.
ඒ සඳහා තානායමෙන් ලබාදුන් තොරතුරුවලට අනුව තුංගසිරිගේ නිෙවස පිහිටා තිබෙන්නේ මෙම බස්නැවතුමේ සිට තවත් අතුරු මාර්ගයක රුපියල් අසූවක දුරක් බස් රථයකින් ගමන් කිරීමෙන් පසුව හමුවන හතරමං හන්දියක් ආසන්නයේය.
එහෙත් පැමිණි කාරණය අමතක වූවාක් මෙන් තානායම්පල්ලා මේ කොහේවත් යන ඩිමෝ බට්ටා රියකට උකුසු ඇස හෙලන්නේ ජසයා සහ ලෙංචිනා වැනි ඓතිහාසික කලාංගයක් දූලිපිරි නගර පදික වේදිකාවක පපර බෑන්ඩ් කණ්ඩායමක් සමඟ අල්ලන්නට සැරසෙනා අඩව්ව කුමක්දැයි සැක හැර දැනකියා ගැනීමටය.
‘‘…ප්‍රේමෙන් බැඳෙන්නෝ සිටිතී ලොවේ… කීයෙන් කී දෙනාද ඒ දන්නේ ප්‍රේමේ..‘‘
එක්වරම බට්ටා රියෙන් නික්මුණු රම්පට් අනුනාදය කන් බිහිරි කරවන සුළුය. නගරය හරහා ගමන් කරමින් සිටි ජනී ජනයා එම හඬ දෙස හැරී බලන්නේ අන්ද මන්ද වූ දෑසිනි.
‘‘..බඹරා පියාඹා මල් රොන් සොයා..“
රම්පට් නලාවෙන් එම දෙවැනි අන්තරා කොටස වාදනය වීමත් සමඟ ජසයා සහ ලෙන්චිනා බිමට බසින්නේ නොව බට්ටා ගෙන් බිමට පනින්නේ ගී පදයේ සයිඩ් ඩ්‍රම් තාලය ද අල්ලමිනි.
‘‘..අඩේ.. පට්ට ආතල් ප්‍රමෝෂන් පාරක්… සර් පොඩ්ඩක් ඔහොමම ඉන්න.. මම විනාඩියක් බලලා එන්නම්..“
මළගෙදරට රැගෙන යාමට මීට මොහොතකට පෙර මිලදී ගත් කිලෝ හයේ සීනි පාර්සලය තානායම්පල්ලාගේ දෙපා මුල රැකවරණයට තැබූ අංජු පිම්මේ දිවගොස් සෙනඟ අතර නොපෙනී ගියේය.
මෝලම සයිඩ් ඩ්‍රම් යුගලය රම්පට් නාදය සමඟ එකට මුසුවූ කල්හි නැඟෙනා පාද දණහිස් නැටවෙනා සංගීතයට ඩාන්ස් පාරක් දැමීමට තරමේ සංගීත රසිකයකු වුව ද තානායම්පල්ලාගේ දෙපා මේ මොහොතේ සිරවී තිබෙන්නේ පය පාමුල ගලක් තැබුවාක් මෙන් තිබෙනා කිලෝ හයේ සීනි මුල නිසාම නොවේ.
ජසයා සහ ලෙංචිනා වැනි අපට උරුම සංස්කෘතික අංගයක් කුමන හෝ අවර ක්‍රියාවක් සඳහා මේ අයුරින් පාරට රැගෙන විත් ඇති කාරණය නිවැරදිව විමර්ශනය කරගන්නා තුරුය.
වේටර් අංජු නිවැරදිය. ඊළඟ මොහොතේ බට්ටා රථය ඉදිරියේ සිදුවන්නේ අත් පත්‍රිකා බෙදීමකි. මෝලම් සයිඩ් ඩ්‍රම් රම්පට් නාද කැටයම් මැද්දේ එය සිදුකරන්නේ ජසයා සහ ලෙංචිනා යුවලය.
තානායම්පල්ලා හට අපගේ සංස්කෘතියේ පාරම්පරික කෝලම් නැටුම් සම්ප්‍රදායන් ගැන මහා ලොකු දැනුමක් නැත. එහෙත් මිරිස්ස උඩුපිල කෝලම් නැටුම් සම්ප්‍රදායටද නෑකම් කියනා ජසයා ලෙංචිනා වැනි අපගේ ඉපැරණි සංස්කෘතික කලා උරුමයක් වර්තමානයේ පත්ව ඇති තත්ත්වය ගැන ඔහුට කිසිදු පැහැදීමක් නැත.
කන් බිහිරි කරවන පපර බෑන්ඩ් සංගීත රිද්මයට එසැනින් රොක්වූ ජනකාය අතරින් රිංගා ලෙංචිනාගේ අතින්ම අත් පත්‍රිකාවක් ඩැහැගත් වේටර් අංජු එසැනින් පාර පැන තම ස්වාමියා සොයාවිත් එය තානායම්පල්ලා අත තැබුවේය.
එහි සඳහන් වූයේ මොකක්දෝ වත්තක අගනා ඉඩම් කට්ටි කීපයක් නොපමාව මිළදී ගැනීමට තවමත් ඉතිරිව පවතිනා බවයි.
එදිනෙදා වියදමවත් සපුරාගත නොහැකි තරමේ දිරාගිය පෙනුමැති ගැහැනුන් හා මිනිසුන් ජසයා සහ ලෙංචිනා අතින් පොරකමින් අත් පත්‍රිකා උදුරන්නට වූහ.
තානායම්පල්ලා සුසුමක් හෙලමින් ඉවත බලා ගත්තේය.
සල සල නාදයෙන් ජනෙල් වීදුරු සෙළවෙනා සායම පිච්චුනු බස්රථය පටු මාවතක් ඔස්සේ ඉබි ගමනේය. කොන්දොස්තරගේ උපදෙස් අනුව තානායම් සුපවයිසර් වේටර් තුංගසිරි ගේ පියාණන්ගේ මළ ගෙදර තිබෙන්නේ මීළඟ නැවතුමේය.
සීනි පාර්සලය දරා සිටිනා අංජුත් සමග බසයෙන් බැසගත් තානායම්පල්ලා මළගෙදර සුදු පැහැති ධජ පතාක මැද්දෙන් ඉදිරියට පිය මැන්නේය.
ප්‍රදර්ශනය කොට ඇති කිසිදු ඩිජිටල් බැනරයක ‘‘..සාතිශය සංවේගය..“පළ කරනා ආයතනයේ නම විනා මියගිය තැනැත්තාගේ සේයාරුව නම ගම සහිත එකදු බැනරයක්වත් පෙනෙන තෙක් මානයක නැත.
මළගෙදර ඊස් මීස් නැත. ගෙවා ආ දුර සැතපුම් සියයකට ආසන්නය. වේටර් තුංගසිරි පෙනෙන තෙක් මානයක නැත්තේ කාර්යබහුල නිසා විය යුතුය.
‘‘..ඉඳගන්න.. අපේ පොඩි අයියාගේ වැඩපළේ මහත්තුරු වෙන්න ඇති නේද?.. අයියා ගියා පන්සලට දැන් එයි…“
සෝබර මුහුණෙන් යුතු එම තරුණියට ආචාර සමාචාර පෑ තානායම්පල්ලා අසුනකට බර දෙමින් වටපිට බැලුවේය. දන්නා හඳුනන මුහුණක් පෙනෙන තෙක් මානයක නැත.
එසැනින් සෙනඟ පීරා තමා සොයා එන වේටර් අංජු ඉඟියෙන් පවසන්නේ
‘‘..යමු.. යමු.. සර්..“ කියාය.
‘‘..හද්දා චාටර් එක සර්.. මේක වෙන මළ ගෙයක්.. අපි ටාර් ගාලා මෙතැනින් මාරු වෙමු..“ අංජු කෙඳිරුවේය.
ඉද්ද ගැසුවාක් මෙන් නැගී සිටි තානායම්පල්ලා වහ වහා අංජු අනුගමනය කරමින් මළ ගෙදරින් පිටවී තාර පාරට පිවිසියේය.
‘‘..සරුත් පපරෙ ගැන කල්පනාවෙන් එළියෙ නතර වුණු නිසා මම මළ ගෙදර ඇතුළට ගිහින් සීනි පාර්සලේ දෙන්න ගියාමයි දැක්කේ… මිනී පෙට්ටියේ ඉන්නේ ගෑනු කෙනෙක් බව.. තුංගසිරි අයියාගෙ නැති වුණේ තාත්තා නේ…
තව ඩිංගෙන් සීනි මුලත් මිසින්… මම ආපහු ගේ ඇතුළට ගිහින් සීනි පාර්සලෙත් තියපු තැනින් අරන් එළියට පැනගත්තේ.. දැන් ඉතින් අපි යමු සර් හරි මළ ගෙදර සොයාගෙන…“
අන්ද මන්දව ගිය තානායම්පල්ලා අංජුගේ ස්ථානෝචිත නුවණ ගැන යටි සිතින් ස්තුති කරමින් සිනාව තෙරපාගෙන වටපිට බැලුවේය. ඒ තමන් පත්වූ අකරතැබ්බය පිටස්තර කිසිවකුත් දැක ඇත්දැයි සැක හැර ගැනීමටය.