Home » මගියා පීඩාවට පත් කරන දුම්රිය වර්ජනවලට නීතිය දැඩි වේ

මගියා පීඩාවට පත් කරන දුම්රිය වර්ජනවලට නීතිය දැඩි වේ

by Mahesh Lakehouse
October 7, 2023 12:34 am 0 comment

දිගින් දිගටම සිදුවන දුම්රිය වර්ජන පිළිබඳ අමාත්‍යාංශ මට්ටමින් කඩිනම් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වා, මහජනතාව පීඩාවට පත් කිරීමට කටයුතු කළ වර්ජකයන් සම්බන්ධව තරාතිරම නොබලා දැඩි විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා ලෙස ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන විසින් එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් ලබාදී ඇත.

පසුගිය මාසය තුළ ද දුම්රියට සම්බන්ධ වර්ජකයින් 84 දෙනකු පමණ අත්තනෝමතික ලෙස දියත් කළ වර්ජන ක්‍රියාමාර්ගයක් හේතුවෙන් තරුණ ශිෂ්‍යයකුගේ ජීවිතයද අහිමි වූ අතර ඒ පිළිබඳ විමර්ශනයන්ද දෙපාර්තමේන්තු මට්ටමින් හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී. මේ කරුණු සියල්ල පිළිබඳ අවධානය යොමු කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් මඟින් දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට රජය පියවර ගන්නා ලදී.

එම නීති රීති ද ක්‍රියාත්මක වෙමින් තිබියදී, දුම්රිය ආරක්ෂක අංශයේ නිලධාරියෙකු සහ දුම්රිය උප නියාමකවරයෙකු අතර දුම්වැටියක් මුල්කරගෙන ඇතිවු ආරවුලක් මූලික කරගනිමින් ආරම්භ කරන ලද ක්ෂණික දුම්රිය වර්ජනය හේතුවෙන් දුම්රිය ගමන්වාර විශාල සංඛ්‍යාවක් අවලංගු කිරීමට සිදුව තිබේ. මේ හේතුවෙන් දෛනිකව දුම්රිය භාවිතා කරන කාර්යාල සේවකයින් ඇතුළු මගින් විශාල පිරිසකට දැඩි පීඩාවකට මුහුණ දීමට සිදුවිය.

මෙම සියලු කරුණු පිළිබඳව දැඩි අවධානය යොමු කර, අසනීප නිවාඩු වාර්තා කරමින් සිදුකරන වර්ජනය පිළිබඳ අමාත්‍යාංශ මට්ටමින් කඩිනම්, අපක්‍ෂපාතී පරීක්ෂණයක් සිදුකර ඊට සම්බන්ධ පාර්ශ්ව වෙත දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස අමාත්‍යවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී ඇත. මීට අමතරව දිගින් දිගටම මගී ජනතාව ඇපයට තබාගනිමින් සිදුකරන මෙම වර්ජන ක්‍රියාමාර්ග පසුපස කිසියම් කඩාකප්පල්කාරී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ ද යන්න පිළිබඳ සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ද පැමිණිල්ලක් සිදුකර කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලීමක් සිදු කර තිබේ.

ඒ අනුව ප්‍රවාහන මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ මූලිකත්වයෙන් සහ අධීක්ෂණයෙන්, දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඇතුළු නිලධාරීන්ගේ දායකත්වයෙන් සිදුකෙරෙන කඩිනම්, අපක්ෂපාතී පරීක්ෂණයෙන් අනතුරුව අවශ්‍ය පාර්ශ්වයන් වෙනුවෙන් නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන ඇමැතිවරයා උපදෙස් ලබා දී තිබේ.

තාරක වික්‍රමසේකර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division