– නාමල් මගෙ පුතා. තාත්තා කෙනෙකුට තමන්ගෙ දරුවන්ව හැමදාම පේන්නෙ පොඩියි කියලා
– ආසියාවේ හා අප්‍රිකාවේ රන් හඬ වෙලා තියෙන්නේ එතුමා
පසුගිය සතිය තුළ වැඩි අවධානයක් යොමු වූයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ජර්මනියේ රූපවාහිනී සේවයකට ලබාදුන් සම්මුඛ සාකච්ජාවයි. ඊට අමතරව
ශ්‍රී ලංකාවේ උත්සාහය ජර්මනිය අගයයි
ජර්මනියේ සංචාරයක නිරතව සිටි ජනපති රනිල් වික්‍රමසිංහ නැවතත් මෙරටට පැමිණියේ ඉකුත් ඉරිදා අලුයමය. අෙමරිකා එක්සත් ජනපදයේ ආරක්ෂක ප්‍රධානීන් මුණගැසීමේ රහසිගත මෙහෙයුමකට එක්ව සිටි ජාතික ආරක්ෂක උපදේශක සාගල රත්නායක ද ජනපති සමඟ ජර්මනියේ සිට මෙරටට පැමිණි පිරිසට අයත් වූහ.
ජනපති බර්ලින් ගෝලීය සංවාදයට එක්වීම සඳහා ඉකුත් සති අන්තයේ ජර්මනිය බලා පිටත්ව යද්දී අෙමරිකානු ආරක්ෂක හමුවකට ගිය සාගල රත්නායක එරට ආරක්ෂාව පිළිබඳ ප්‍රධාන චරිත කිහිපයක් මුණගැසී කතාබහ කරන ලද අතර, එය රාජ්‍යයන් දෙකම රහසක් ලෙස තබා ගැනීමට වගබලාගෙන තිබුණි. එය අවසන් කළ සාගල ජර්මනියට පැමිණ ජනපතිගේ දූත පිරිසට එක්වූවේය.
බර්ලින් සමුළුව අතරවාරයේදී ජනපති ජර්මන් චාන්සලර් ඔල්ෆ් ශොල්ෂ් මුණගැසී සාකච්ඡා කළේය. එසේම ජනපති ඇතුළු පිරිස එරට ආරක්ෂක උපදේශක ද මුණගැසුණේ ඔහු කලක් ශ්‍රී ලංකාවේ තානාපති ලෙස කටයුතු කළ අයෙකු බව නොදැනය. ආරක්ෂක උපදේශක යෙන්ස් ප්ලොට්නර්ගේ හමුවට ජනපති සමඟ කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල මෙන්ම විදේශ අමාත්‍යාංශ ලේකම් අරුණි විජේවර්ධන ද එක්ව සිටියහ.
ශ්‍රී ලංකාව වසරක් තුළ අර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ගත් උත්සාහය ජර්මන් ආරක්ෂක උපදේශක අගය කළ අතර, ලංකාවට ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජර්මන් රජයට කළ හැකි සෑම උපකාරයක්ම කරන බවද කියා සිටියේය.
ජනපති රනිල්ගෙන් සාගලට ලැබුණු උපදෙස
එහිදි ජනපති කසකස්ථාන ජනපති ද මුණ ගැසුණු අතර, ඉදිරියේදී දෙරට අතර තානාපති කාර්යාලයක් ස්ථාපිත කිරීම ගැන ද කතාබහ කෙරුණි. මෙපමණ කලක් ශ්‍රී ලංකා තුළ කසකස්ථාන තානාපති කාර්යාලයක් නොපැවති අතර, ඒ අඩුව අවසන් කරමින් ඉදිරියේදී තානාපති කාර්යාලයක් දෙරට අතර ස්ථාපිත වීමට නියමිතය. ජනපති රනිල්, කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල ඇතුළු පිරිස ශ්‍රී ලංකාවේ කලා කෘතීන් ද තිබෙන කලා කෞතුකාගාරයක් නැරඹීමට ගියෝය.
එම ස්ථානයේ තිබෙන සංරක්ෂිත අසියානු චිත්‍ර අතර ශ්‍රී ලංකාවේ පැරණි බෞද්ධ සිතුවම් ද විය. ජනපති එහිදි අසල සිටි සාගලට කීවේ “අපි මේ කලා කෘතීන් ගැන හොඳ වාර්තා වැඩසටහනක් කරලා ලංකාවේ ජනතාවට පෙන්වන්න ඕනේ” කියාය.
“සර් මුළු යුරෝපය පුරාම මෙවැනි කෞතුකාගාර තිබෙනවා. අපි මේ සියල්ල ගැනම වාර්තා වැඩසටහනක් කරලා කොටස් වශයෙන් ලංකාවේ ජනතාවට දැක බලා ගන්න දෙමු.” සාගල ජනපතිගේ යෝජනාවට තවත් කෑල්ලක් එකතු කළේය.
ජනපතිගේ රූපවාහිනී සංවාදයට ප්‍රසාදය
ජර්මන් රූපවාහිනී නාළිකාවකට ජනපති දුන් සම්මුඛ සාකච්ඡාව ප්‍රසිද්ධ කර තිබුණේ මෙරට වේලාවෙන් සඳුදා රාත්‍රියේය. එය මෙරට ජනතාව අතර හුවමාරුවීමට පටන් ගත්තේ අඟහරුවාදා පෙරවරුවේ සිටය. එය නැරඹූ පිරිස් ජනපතිට කතා කොට සාකච්ඡාව අගය කරමින් කතා කර තිබුණි. එහිදි රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න කියා තිබුණේ මෙම වැඩසටහන සිංහල උපශිර්ෂ යටතේ සකස් කොට මාධ්‍ය වෙත යැවිය යුතු බවය. ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්ගේ යෝජනාව පරිදි සිංහල උප ශීර්ෂ යටතේ වීඩියෝව මාධ්‍ය ආයතන වෙත ජනාධිපති මාධ්‍ය අංශය විසින් මුදාහැර තිබුණි.
අඟහරුවාදා ආරක්ෂක අමාත්‍යාංශය වෙත ගිය ජනපති රනිල් ආරක්ෂක ප්‍රධානීන් මුණ ගැසුණු අතර, එහිදි ජාතික ආරක්ෂක ප්‍රධානි සාගල හා මෙරට ආරක්ෂක ප්රබලයෙකු අෙමරිකාවට ගොස් එහි ආරක්ෂක ප්‍රධානීන් මුණ ගැසීමේ රහසිගත ගමනේ ප්‍රතිඵල ගැන ද කතා බස් කර තිබුණි. ජනපති සවස ලේකම් කාර්යාලය වෙත පැමිණියේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී එඩ්මන් රණසිංහ උපහාර උලෙළට සම්බන්ධ වීමටය.
ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ උපදෙස් මත ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර ඇතුළු පිරිස මෙය සංවිධානය කොට තිබුණි. උත්සවයෙන් පසු ආරාධිතයන් වෙනුවෙන් සංවිධායන කර තිබූ තේ පැන් සංග්‍රහයට එක්වීමට ද ජනපති අමතක නොකළේය.
සමාජ මාධ්‍ය නියාමන පනත ගැන ජනපති කීවේ මොනවාද?
එහිදි කර්තෘවරුන්, මාධ්‍යවේදීන් ඇතුළු ආරාධිතයන් සමඟ තේ පැන් සංග්‍රහයට එක් වෙමින් ජනපති ඔවුන් හා සුහද පිළිසඳරක නිරත වූවේය. එහිදි සමාජ මාධ්‍ය නියාමන පනත ගැන ද මාධ්‍යවේදීන් විමසු අතර, සමාජ මාධ්‍ය තුළින් ජනතාව අපහසුතාවයට පත්වීම ගැන ජනපති පෙන්වා දුන්නේය. එසේම එම පනත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය දෙන තීන්දු අනුව වෙනස්කම් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියේය.
එය අවසන් කොට ජනපති ගියේ එක්සත් ජාතික පක්ෂ කළමනාකරණ කමිටුව හමුවටය. ජනපති එහි පැමිණෙන විටත් පිරිස සාකච්ඡාව ආරම්භ කර තිබූ අතර, ජනපති සාකච්ඡාවට අසුන් ගත්තේ සම්මේලනය පැවැත්වීමට තිබෙන සූදානම ගැන විමසමිනි.
මන්ත්‍රීවරුන් ජනපති වටකර ගත්තේ ඇයි?
ජනපති බදාදා පෙවරුවේ පාර්ලිමේන්තු සංකිර්ණය වෙත ගියේ සෑම පාර්ලිමේන්තු සතියකම එක් දිනයක් පාර්ලිමේන්තු යාමේ ජනපති වැඩපිළිවෙළ අනුවය. ජනපති සභාව වෙත ගියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කරන කතාවන් අසා සිටීමෙන් අනතුරුවය. ඉරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා ජනපතිගෙන් කළ විමසීමකට පිළිතුරු දෙමින් ජනපති කීවේ හැමෝම එකතු වෙලා වැඩ කළොත් ඉක්මණින් රට ගොඩගත හැකි බවය.
ජනපති සභාවේ සිට ලොබිය වෙත පැමිණෙද්දී සුපුරුදු පරිදි මන්ත්‍රීවරුන් ජනපති වටකර ගත්තේ ජර්මන් මාධ්‍ය ආයතනයක් සමඟ කළ කතාව ද ඇද ගනිමිනි. රට වෙනුවෙන් මෙන්ම ආසියාව වෙනුවෙන් කළ කතාව සැවොම අගය කළේය.
“ශ්‍රීමත්” ගරු නාමය ගැන කතාබහක්
“සුදු හම දැක්කම ඔක්කොම බය වෙනවා. හැබැයි ජනාධිපතිතුමා සෘජුව කිව්වා අපිව දෙවෙනි පන්තියට තුන්වෙනි පන්තියට දාන්න එපා කියලා. එය ඉතාම අගය කළ යුතුයි.” මධුර විතානගේ මන්ත්‍රීවරයා කීවේය.
“ජනාධිපතිතුමා විදේස් රටවලට ගිහින් ලංකාව ගැන කතා කරනකොට විපක්ෂයේ අයගේ ඇස්වල කටු අනිනවා වගේ. හැබැයි ඔබතුමා ජර්මනියේදිම කිව්වා ශ්‍රීමත් ගරු නාම භාවිතා කරන්නේ නෑ කියලා. හැබැයි ශ්‍රීමත් භාවිතා කළ කෙනාගේ පුතා තමයි අද ගොඩක් කලබල වෙලා තියෙන්නේ.” මන්ත්‍රී දොළවත්ත කියද්දී සැමට සිනහව නතර කර ගත නොහැකි විය.
මන්ත්‍රීවරියන් පිරිසක් පැමිණ ජනපතිට පැමිණිල්ලක් ඉදිරිපත් කළේ බැංකු ඇතුළු සමහර රාජ්‍ය ආයතනවල සභාපතිවරු කිහිපදෙනෙක් හිතු මනාපෙට වැඩ කරමින් ඒ ආයතන කඩා වට්ටන බව කියමිනි.
හොර මත්පැන් වැඩිවුණේ කොහොමද?
“සර් මේ සීල් අරක්කුවල මිල වැඩි කරලා නිසා දැන් හුඟදෙනෙක් හොර මත්පැන්වලට ගිහිල්ලා. මේ ගැන මට කාන්තාවෝ රැසක් පැමිණිලි කළා. අනෙක් පැත්තෙන් රටට ආදායමක් එන්නෙත් නෑ.” ඇමති ප්‍රසන්න රණවීර කියද්දී එහි සිටි සෙසු මන්ත්‍රීවරු “දැන් මෙතුමත් අමද්‍යප වෙලා” යැයි කියද්දී සැවොම කොක් හැඬලූහ.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගැටලු ගැන මන්ත්‍රීවරු විමසද්දී ජනපති කීවේ අපට ජනතාව මත තවත් බර පැටවිය නොහැකි බවකි. “ජනතාව කැප කිරීම් කරලා තියෙනවා. නමුත් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තමන්ගේ රාජකාරිය හරියට ඉටු කරලා නෑ. මේ ආයතන දැනගන්න ඕනේ තමන්ගේ රාජකාරිය හරියට ඉටු කරන්න. 2024 ඉඳලා ආදායම් එකතු කරන හැම ආයතනයකටම මම ඉලක්කයක් දෙනවා.” ජනපති කීවේ දැඩිවය.
විපක්ෂ නායක කාර්යාලයේ වියදම ගැන කතා කරයි
“අපේ මන්ත්‍රීවරු එක්සත් ජාතීන්ගේ සම්මේලනයට රජයේ මුදල් වියදම් කරගෙන ගියා කියලා විපක්ෂ නායකතුමා බොරු කියනවා. හැබැයි රාජ්‍ය මුදල් වැඩියෙන්ම නාස්ති කරන්නේ එතුමා. විපක්ෂ නායක කාර්යාල වැය ශීර්ෂය යටතේ වෙන් කරන මුදල් මාස 6 න් ඉවරයි. ඒ නිසා ඔබතුමා කමිටුවක් දාලා හරි විපක්ෂ නායක කාර්යාලයේ වියදම් ගැන හොයන්න.” මධුර විතානගේ මන්ත්‍රීවරයා කියද්දී ජනපති සිනාසෙමින් හිස සැලුවේය.
වජිරගෙන් ජනපතිට විශේෂණ නාමයක්
“ජනාධිපතිතුමාගේ කියුබා විදේශ සංචාරයේ සිට එක්සත් ජාතීන්ගේ සම්මේලනයට යාම හා බර්ලීන් සමුළුවට යාම දක්වා විදේශ සංචාර බැලුවම ජාත්‍යන්තරය ඉදිරියේ ලංකාව පෙරමුණට ඇවිල්ලා තියෙනවා. එදා ලංකාව ගැන තිබුණ වැරැදි මත මේ නිසා නැති වුණා. එතුමගේ කතා අහපු විදේශ නායකයෝ කිව්වේ ආසියාවේ හා අප්‍රිකාවේ රන් හඬ වෙලා තියෙන්නේ එතුමා කියලා. වොයිස් ඔන් ඒෂියා ඇන්ඩ් අප්‍රිකා කියලා තමයි ඔවුන් කියන්නේ.” මන්ත්‍රී වජිර කියද්දී සැවොම හිස සැලුවේය.
එදින සවස බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාව වෙත ජනපති පැමිණියේ කොතලාවල ආරක්ෂක පීඨයේ සම්මාන ප්‍රදානෝත්සවයට එක්වීමටය. ජනපති උපදෙස් මත එදින සවස කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක හා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් සූම් සාකච්ඡාවක් ගනිමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් හා කතා බස් කර තිබුණි.
බ්‍රහස්පතින්දා පෙරවරුවේ ජනපති රනිල් ෂැන්ග්‍රිලා හෝටලය වෙත ගියේ ආසියා පැසිෆික් කලාපයේ අමාත්‍යවරුන්ගේ හා පරිසර බලධාරීන්ගේ 05 වැනි සංවත්සරයට සහභාගීවීමටය. ඊට සහභාගී වී පැමිණෙද්දී ජනපති රනිල් ආසියානු ක්‍රිඩා උලෙළේ මිටර් 800 ඉසව්වෙන් රන් පදක්කමක් හිමිකර ගත් පාසැල් ශිෂ්‍යාව වන තරුෂි කරුණාරත්නට දුරකතන ඇමතුමක් දී සුබ පැතුවේ ඇය දිරි ගන්වමිනි.
ඇමරිකාවේ සිට ප්‍රසන්නගෙන් ජනපති ලේකම්ට ඇමතුමක්
මේ අතරවාරයේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක වෙත අෙමරිකාවේ සංචාරයක නිතරව සිටින ඇමති ප්‍රසන්න රණතුංගගෙන් දුරකතන ඇමතුමක් ලැබුණි. ඔහු කියා තිබුණේ ජනපතිගේ ජර්මන් රූපවාහිනි වැඩසටහන නැරඹු විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් රැසක් එය අගය කරමින් කතා කළ බවය.
නාමල් ගැන මහින්ද කීවේ මොනවාද?
මේ දිනවල වැඩි වශයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පිළිබඳව විශාල කතාබහක් සමාජයේ නිර්මාණය වී ඇත.පසුගිය කාලය පුරාම නිහඬ පිළිවෙතක් අනුගමනය කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ නැවත කාර්යබහුල වී ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් නියොජිතයින් ද හමුවෙමින් පවතියි.
පසුගිය සතියේ රුමේනියාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශාඛාවේ සභාපතිවරයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මුණ ගැසීමට පැමිණියේය. මෙම හමුවීමට නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ද සහභාගී විය.මෙහිදී පොහොට්ටුවේ සංවිධානය කිරීම් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. මෙහිදී රුමේනියාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශාඛාවේ සභාපතිවරයා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගෙන් නාමල් ගැන විමසීය.
“සර් ඔබතමා එදා කැලණි පන්සලට ගිය වෙලාවෙ කිවුවා නාමල් මන්ත්‍රීතුමාට නායකත්වයට එන්න කල් තියෙනවා කියලා“
“ඔව් මම කිවුවා නාමල්ට තව කල් තියෙනවා කියලා “ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පිළිතුරු බැන්දේය.
“ ඇත්තටම ලෝකයේ බහුතරයක් ඉන්නෙ තරුණ නායකයින් බලන්න නවසීලන්තෙ හිටපු අගමැතිනි ජසින්ඩා ආර්ඩන්, ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන්, කැනඩාවෙ ජස්ටින් ටෲඩෝ, ෆින්ලන්තයේ හිටපු අගමැතිනි වයස අවුරුදු 40ට අඩුයි. ඉතින් ඇයි නායකත්වයට එන්න තව කල් තියෙනවා කියන්නෙ. දැන් ලෝකයේ බහුතරයක් ඉන්නෙ තරුණ නායකයින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ “රුමේනියානු ශාඛාවේ සභාපති වරයා පැවසීය.
“නාමල් මගෙ පුතා. තාත්තා කෙනෙකුට තමන්ගෙ දරුවන්ව හැමදාම පේන්නෙ පොඩියි කියලා. නාමල්ට ජනතාවගේ කැමැත්ත වගේම පක්ෂයෙන් කැමැත්ත තියෙනවා නම් රටේ නායකත්වයට එනවට මගෙ කිසිම විරුද්ධත්වයක් නෑ “මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දුන්නේය.
අනුර යාපා – ලන්සා බරටම වැඩ
නව සන්ධානයේ පෙර පාසල් ගුරු සංගමයේ දිස්ත්‍රික් නියෝජිත හමුව සහ ඉදිරි අය වැයට ඔවුන්ගේ යෝජනා ලබා ගැනීමට අදාළ විශේෂ සාකච්ඡාවක් පසුගියදා පාර්ලිමේන්තුවේ කමිටු කාමර අංක 3 හිදී පැවැත්වුණේ අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, නිමල් ලාන්සා සහ එම සංගමයේ සභාපති අසංක ශ්‍රීනාත් මහත්වරුන්ගේ සහභාගිත්වයෙනි.
හමුව අවසානයේ පිරිස සුහද කතාබහකද නිරත වූහ.
“ඇමතිතුමා..අපි මෙච්චර කල් පොහොට්ටුවේ ගුරු සංගමයේ හිටියා,හැබැයි කවදාවත් මෙහෙම අපිව ගෙනල්ල යෝජනා ගත්තේ නෑ” පෙර පාසල් ගුරුවරියක් නිමල් ලාන්සා මන්ත්‍රීවරයාට කිවේය.
“අපි වෙනස් විදියකට අපේ සන්ධානයේ වැඩ කරන්නේ, ඉස්සරහට බලා ගන්න පුළුවන්” ලන්සා සිනාසෙමින් කිවේය.
“පොහොට්ටුවේ කට්ටිය වගේ අපිව අමතක කරන්නේ නෑ නේද”තවත් ගුරුවරියක් එසේ කියද්දී ලාන්සා කීවේ “ඔයගොල්ලොත් කරන්නේ මේ සමාජයට උතුම් කාර්යක්, ඒ නිසා අපිට ඔයාලගේ සේවය අවශ්‍යයි වගේම අපේ සන්ධානේ කටයුතුවලටත් ඔයාලව වටිනවා” කියාය.
මේ අතර මෙවර පාර්ලිමේන්තු සතියේ සෑම දිනකම පාර්ලිමේන්තු ලොබියේ මන්ත්‍රීවරුන් සිදු කරන සෑම කතාබහක් අතරම අනුර යාපා සහ නිමල් ලන්සා සිටිනු දක්නට ලැබුණි.
වේගයෙන්ම ඇවිදින මන්ත්‍රී කවුද?
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් වේගයෙන්ම ඇවිදින මන්ත්‍රීවරයා කවුරු විය හැකිද? ඔහු හිටපු ක්‍රීඩා අමාත්‍යවරයෙකු මෙන්ම දක්ෂ ක්‍රීඩකයෙකු ද වන නිසා එම මන්ත්‍රීවරයා වේගයෙන් ඇවිදීම පුදුමවීමටද හේතුවක් නැත.
මෙම මන්ත්‍රීවරයා එස්.බී. දිසානායකයි. පසුගිය 06 වැනිදා එස්.බී. දිසානායක පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුළු වූයේ සුපුරුදු වේගයකිනි.
“මොකද? මන්ත්‍රීතුමා මෙච්චර වේගයෙන් දුවන්නේ”පැරිස් ඔලිම්පික් එකටවත් පුහුණු වෙනවාද? “යනුවෙන් පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් එස්.බී.ගෙන් විමසුවේය.
“මං කොහොමත් එහෙම තමයි බං. පොඩි කාලේ ඉඳලා වේගයෙන් ඇවිදිනවා”යනුවෙන් සිනහවෙමින් පිළිතුරු ලබාදුන්නේ එස්.බී.ය
මන්ත්‍රීතුමා, ඔබතුමා හිටපු ක්‍රීඩා ඇමතිවරයෙක්. ඒෂියන් ගේම් එකේදී මීටර් 800 රන් පදක්කම දිනපු තරුෂිට ඔලිම්පික් පදක්කමක් ගන්න පුළුවන් වෙයිද? එතන සිටි තවත් නිලධාරියෙකු විමසීය.
“මොකද? බැරි අනිවාර්යයෙන්ම පැරිස් ඔලිම්පික් උලෙළේ පදක්කමක් ගන්න පුළුවන් . හැබැයි දැන්ම ඉඳන්ම ඒ තරුෂි ළමයයි එයාගේ පවුලේ අයයි, ඒ කියන්නේ අම්මගේ තාත්තගේ ඉඳලා හොඳින් බලාගන්න ඕන. එහෙම කරපු නිසා තමයි සුසන්තිකාලා,දර්ශලා,ශ්‍රියානිලා,සුගත්ලා අපේ රටට පදක්කම් ගෙනාවේ. මම දන්නවා කරන්න ඕන දේ.ඒත් ඉතින් අපිට වගකීමක් පවරලා නෑනේ” යනුවෙන් කියාගෙනම එස්.බී. දිසානායක පාර්ලිමේන්තුවේ පුස්තකාලයට යන්නට ගියේය.
කුමන්ත්‍රණයක් ගැන බන්දුලගෙන් හෙළිදරව්වක්
රට අස්ථාවර කරමින් ජනතාව ප්‍රකෝප කරවීමට අන්තවාදී බලවේගයන් මෙහෙයවන කුමන්ත්‍රණ ප්‍රවාහන ක්ෂේත්රයේ වර්ජන හරහා හිස ඔසවන්නට හදන අයුරු ගැන ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවක දී පසුගියදා හෙළි කළේය.
ප්‍රවාහන ක්ෂේත්රයේ සමහර සුළු සිද්ධි ලොකුවට අරන් ඒවා වර්ජන දක්වා ගෙනිහින් ජනතාව අවුස්සලා ආයිමත් රට අරගලයකට ගෙනයන්න කුමන්ත්රණකාරීන් අර අඳිනවා. බලන්න එක පාරටම දුම්රිය සේවකයෝ වර්ජනය කළාම දුම්රිය දුවන්න බෑ. එතකොට ජනතාව අපහසුතාවට ලක් වෙලා රජයට චෝදනා කරනවා.
මේවා අස්සේ ඉඳන් අරගලය පසුපස හිටපු බලවේග තමන්ගේ අය දාලා ජනතාව කුපිත කරවන්න හදනවා . ඒ අස්සේ ඉඳන් පහර දෙන්න සැලසුම් කරනවා. මේ ගැන බුද්ධි අංශත් තොරතුරු හොයාගෙන තියෙන්නේ.
දුම්රිය දුවන්නේ නැති වුණාම ස්ථානාධිපතිවරුන්ගේ ඉඳන් ආයතන මෙහෙයවන නිලධාරීන්ට ප්‍රහාර එල්ල කරන්න සැලසුම් කරලා රට නැවත අස්ථාවර කරන ක්‍රියාදාමයට මුල පුරන්න තමයි මේ අය හදන්නේ. ඒ නිසා ජනතාවට කල්පනාවෙන් ඉන්න කියන එක අපි කියන්න ඕනෑ’ යැයි ද ඇමැතිවරයා මෙහිදී කීවේය.
සජිත්ගෙන් සජබ මන්ත්‍රීවරුන්ට ලැබුණු උපදෙස
ගෑස්, ජලබිල්, විදුලි බිල ඉහළ ගොස් ඇති බැවින් එමඟින් රටේ පොදු මහජනතාව මත බර පැටවී ඇති බවත් එම නිසා ජනතාවට යම් සහනයක් ලබාදීම වෙනුවෙන් හඬ නඟන ලෙස විපක්ෂ නායක සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස විසින් තම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට උපදෙස් ලබාදෙන ලදී.
පසුගිය පාර්ලිමේන්තු සතියේදී මෙම කරුණු ගැන වැඩි අවධානයක් යොමු කරන ලෙසත් ජනතාවට යම් සහනයක් සලසන ලෙසට ආණ්ඩුට බල කරන ලෙසටත් සජිත් තම පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමෙන් ඉල්ලා සිටියේය.
වජිරගෙන් මාධ්‍ය පාඩමක්
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රාදේශීය මන්ත්‍රීවරුන්ට, ආසන සංවිධායකවරුන්ට සහ බලයලත් නියෝජිතවරුන් සඳහා මාධ්‍ය හැසිරවීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා වූ විශේෂ වැඩමුළුවක් පසුගිය සිකුරාදා උදෑසන එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැත්විණි.
“ජනාධිපතිතුමා කියුබාවේ සිට G77 සමුළුව අමතමින් ශ්‍රී ලංකාවේ අනාගතය පිළිබඳ විශේෂ කාරණා කිහිපයක්ම ප්‍රකාශ කළා. එම කරුණු කාරණා ජයග්‍රහණය කර ගැනීම සඳහා අවශ්‍ය කරන මාර්ගයද එතුමා සකස් කරගෙන තිබෙනවා.
එතුමා එම වැඩපිළිවෙළ පැහැදිලිව අපේ රටේ ජනතාවට වගේම අපිට උදව් කරන විදේශ රටවල් පවා දැනුවත් කර තිබෙනවා. අද රටේ බලය ඉල්ලන වෙනත් කිසිදු නායකයෙක්ට මේ මොහොත වන තෙක් පවා තමන් සතුව යම් වැඩපිළිවෙළක් තිබෙනව නම් රට ගොඩනැඟීමට එය රටට ලෝකයට ඉදිරිපත් කරන්න බැරි වෙලා තිබෙනවා.
මෙන්න මේ කාරණා පිළිබඳ අපි ජනතාව දැනුවත් කළ යුතුයි. ඒ විතරක් නෙමෙයි රටේ තරුණ පරම්පරාවට කොහොමද ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් තරුණ පරම්පරාවක් හැටියට නැඟී සිටින්නේ සහ ලෝකයේ පවතින තාක්ෂණික මෙවලම් භාවිතා කරන්නේ කෙසේද යන්න පිළිබඳව G77 සමුළුවේදී රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉතා පැහැදිලිව ප්‍රකාශ කර තිබුණා.
ලෝක බැංකු සභාපති ජනපතිට ප්‍රශංසා කළේ ඇයි?
ඒ වගේම ලෝකයේ බංකොලොත් වූ වෙනත් රටවල් ගත්තම ඇතැම් රටවල්වලට තාමත් එම අර්බුදයෙන් මිදෙන්න බැරි වෙලා තිබෙනවා. නමුත් අපේ රටේ තත්ත්වය වෙනස්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට පුළුවන් වුණා රට ගමන් කළ මාර්ගය ඉතාමත් ඉක්මනින් වෙනස් කරන්න. මේ ගැන ලෝක බැංකු සභාපතිවරයා එතුමන්ගේ ස්තූතිය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා වෙත පළ කර තිබුණා.
ඒ වගේම දකුණු කොරියානු ජනාධිපතිවරයාවත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මුණ ගැසුණා. දකුණු කොරියානු ජනාධිපතිවරයා සුවිශේෂී කරුණු කාරණා ගණනාවක් ප්‍රකාශ කර තිබුණා. ඒ වගේම ශ්‍රී ලංකාවට නැඟී සිටීමට අවශ්‍ය සහයෝගය ලබාදෙන බවත් එතුමා ප්‍රකාශ කර තිබුණා.
තරුෂිට පාර්ලිමේන්තුවේ සුබ පැතුම්
චීනයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා තරගාවලියේදී කාන්තා මීටර් 800 ඉසව්වෙන් රන් පදක්කම දිනාගෙන වසර 21කට පසුව ආසියානු ක්‍රීඩා තරගාවලියකින් රන් පදක්කමක් මෙරටට ගෙනදුන් තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව වෙනුවෙන් සුබ පැතුම් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ විසින් පිරිනමන ලදී.
පසුගිය 04 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී තරුෂි කරුණාරත්න වෙනුවෙන් සුබ පැතුම් එක්කරමින් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ කියා සිටියේ තරුෂි ශ්‍රී ලංකාවට ලබාදුන් කීර්තිය වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් සුබ පැතුම් තරුෂි කරුණාරත්නට පිරිනමන බවයි.
පාර්ලිමේන්තු භෝජනාගාරයේදී තරුෂි ගැන කතාවූ අවස්ථාවකදී එම කතාබහට ආණ්ඩු පක්ෂයේත් විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයෝ කිහිපදෙනෙක්ම එක්ව සිටියහ.
“තරුෂි ශිෂ්‍යාව මීටර් 800 දිනපු වෙලාවේ එයාගේ දක්ෂතා බලලා විස්තර විචාරකයින් කිව්වා. මීළඟ ඔලිම්පික් උලෙළේදී දක්ෂතා අතරට එන්න පුළුවන් ක්‍රීඩිකාවක් කියලා. ඒක නිසා දැන් ඉඳන්ම අදාළ වගකිවයුතු අංශ නිවැරැදිව ක්‍රියාත්මක වුණොත් අපේ රටට ඔලිම්පික් පදක්කමක් ගන්න පුළුවන්” යනුවෙන් අජිත් රාජපක්ෂ නියෝජ්‍ය කථානායකවරයා කියපු කතාව එතන සිටි ආණ්ඩු පක්ෂයේත්, විරුද්ධ පක්ෂයේත් ජනතා නියෝජිතයෝ අනුමත කළහ.