ඉන්දියාවට ප්‍රේමකතාවලින් අඩුවක් නැත. සියවස් ගණනාවක් තිස්සේ එරට ජනතාව අතර රැව් පිළිරැව් දෙන මුම්ටාස් – සාජහන් වැනි ඓතිහාසික ප්‍රේම වෘතාන්තයේ පටන් මේ දක්වාම එවැනි පෙම් කතා එමටය. ඉන්දියාවේ ජීවමාන දෙවියා ලෙස එරට කෝටි සංඛ්‍යාත ජනතාව අතර පිදුම් ලබන සචින් ටෙන්ඩුල්කර්ගේ ආදර කතාවත් ඊට දෙවැනි නැති අවධානයකට සහ ජනප්‍රියත්වයකට ලක් වූවකි. මේ වන විට 50 හැවිරිදි වියේ පසුවන සචින්ගෙත්, 55 හැවිරිදි වියේ පසුවන අන්ජලීගෙත් ප්‍රේමකතාවට දැන් අවුරුදු 28කි. දශක තුනකට ආසන්න කාලයක් දුක සැප බෙදා හදාගෙන එක වහලක් යට ජීවත්වන මේ අපූරු පෙම් යුවළ දැන් ජීවිතයේ සැඳෑ සමයට පා තබමින් සිටිති. එහෙත් අදටත් එය ඉන්දියාවේ කවුරුත් කියවන්නට ආසා හිතෙන පෙම් කතාවකි. එය වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ‘Love at first sight‘ වර්ගයේ කතාවකි.
කටේ කිරි සුවඳ මැකී යෑමටත් පෙර ක්‍රිකට් පිත්ත අතට ගත් මේ හුරුබුහුටි ක්‍රීඩකයා 1987 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ එංගලන්තය අතර එවකට බොම්බේ නුවර පැවැති අවසන් පූර්ව තරගයේදී පිටියෙන් පිටතට ඇදී යන පන්දුව යළි පන්දු රකින්නන් වෙත ලබා දීමට තෝරා ගත් කුඩා ක්‍රීඩකයන් අතර සිටි බව දන්නේ අතළොස්සකි. ඔහු එදා ‘ball boy‘ ලෙස හතරේ සීමාවෙන් එපිට තණතිල්ලේ වාඩි වී බලා සිටියේ එවකට ලෝක ක්‍රිකට් පිටියේ නම් දැරූ පිතිකරුවන්ගේ දස්කම් ය. එතැන් සිට ඔහුට ඉන්දීය පිලට ඇතුළත් වීමට වැය වූයේ අවුරුදු 3ක් තරම් කෙටි කාලයක් පමණි.
සචින්ගේ සහ අන්ජලීගේ ප්‍රේම කතාව ඇරැඹෙන්නේ අනූව දශකයේ මුල් භාගයේදීය. එවකට ඇය අවසන් වසරේ වෛද්‍ය සිසුවියකි. සැබැවින්ම දෙදෙනාගේ පළමු හමුවීම අහඹු ලෙස සිදුවූවකි.
‘මම එයාව මුලින්ම දකින කොට එයාට අවුරුදු 17යි. ඒත් මම ඒක දැනගෙන හිටියේ නෑ. කොටින්ම එයා කවුද? මොනවද කරන්නේ ? කියලවත් මම දැනගෙන හිටියේ නෑ.‘ අන්ජලී සිය පෙම් කතාවේ ඇරඹුම ගැන සිහිපත් කරන්නේ සිනාමුසු මුහුණින් යුතුවය.
‘එදා මම මගේ මිතුරිය අපර්ණා එක්ක බොම්බේ එයාර්පෝට් එකට ගියේ අපේ අම්මාව එක්කරගෙන එන්නයි. අම්මා එංගලන්තයේ ඉඳලා පැමිණෙමින් සිටියා. සචින්ලාගේ ටීම් එක එංගලන්තයේ ඉඳලා අවෙත් ඒ ෆ්ලයිට් එකේමයි. අපි හිටියේ අමුත්තන් පිළිගන්න ඒ කාලයේ එයාර්පෝට් එකේ ඉදිකර තිබුණු දර්ශන මණ්ඩපයේ. “ඔන්න සචින්ලා එනවා“. මගේ යාළුවා අපර්ණා ඇහුවා ඔයා දන්නවද මෙයා තමයි ඉන්දියාවේ ‘Wonder boy Sachin‘ කියලා. එතකොට එයා එංගලන්තයේ මැන්චෙස්ටර්වලදී ටෙස්ට් සෙන්චරියක් ගහලා ටෙස්ට් ශතකයක් රැස් කරපු ඉන්දියාවේ ළාබාලතම පිතිකරුවා විදිහටත්, ලෝකයේ දෙවැනියා විදිහටත් වාර්තා පොතට එක්වෙලයි හිටියේ. ඒ නිසාම හැමෝම එයාව දැනගෙන හිටියා. මම ඇරෙන්න. මොකද මට ක්‍රිකට් ගැන කිසිම උනන්දුවක් තිබුණේම නෑ.‘
“මම එයාව දැක්කා. හරිම හුරුබුහුටියි. මට ආසා හිතුණා. ඉතින් මම එයා පස්සෙන් දිව්වා.“ ඇය සිය අනාගත සැමියා පසුපස හඹා ගියේ එලෙසිනි.
‘මට මගේ අම්මාව එහෙම පිටින්ම අමතක වුණා. මම ඔක්කොම පැත්තක දාලා “සචින් සචින්“ කියලා කෑගහගෙන එයා පස්සේ දිව්වා. හිනා යන වැඩේ කියන්නේ ඒ වෙලාවේ සචින්ගේ අයියලා අජිත් හා නිතිනුත් එයා එක්ක හිටියා. කොටින්ම සචින් ලොකු අපහසුතාවකට පත්වෙලයි හිටියේ. මම කෑගහගෙන එයා පස්සේ දුවන්න ගත්තු නිසා. කොහොම හරි සචින් නම් මා දිහා ඔළුව උස්සලා බැලුවේවත් නෑ. එයා බිම බලාගෙන ගිහින් කාර් එකට නැග්ගා.‘
අන්ජලීට මේ හුරුබුහුටි තරුණයා සමඟ කතාබහ කිරීමේ බලවත් ආසාවක් ඇති විය.
‘ඊළඟ දවසේ මම කොලේජ් ගිහින් මූෆි කියලා මගේ යාළුවකුට කතා කළා. එයත් වෛද්‍ය විද්‍යාව හැදෑරුවත් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවෙලයි හිටියේ. මම එයාට කිව්වා මූෆි ඔයා මට එක දෙයක් කරන්න ඕන. මට කොහොම හරි සචින්ගේ ටෙලිෆෝන් නම්බර් එක හොයලා දෙන්න ඕන කියලා. අන්තිමේදී ටෙලිෆෝන් නම්බර් එක එයා මට හොයලා දුන්නා. ඒ කාලේ මොබයිල් ෆෝන්ස් නෑනේ. මම සචින්ගේ ගෙදරට කතා කළා. පුදුමේ කියන්නේ සචින් කවදාවත් ටෙලිෆෝන් එකට ආන්සර් නොකළාට, එදා මම කෝල් කරපු වෙලාවේ ෆෝන් එක ගත්තේ එයා. ඒකට තමයි දෛවය කියලා කියන්නේ‘
‘හායි සචින්..! මගේ නම අන්ජලි. ඔයා මාව දන්නේ නෑ. ඊයේ එයාර්පෝට් එකේදි මම ඔයාව දැක්කා‘ ඇය සචින් ඇමතුවේ එලෙසිනි.
‘ඔව්..ඔව්..මට මතකයි‘ සචින් එසේ පිළිතුරු දී තිබිණි.
‘කොහොමද මතක ? හරි එහෙනම් කියන්න මම මොනවද ඇඳගෙන හිටියේ.?‘ අන්ජලී එසේ විමසා තිබිණි.
‘ඔයා ඇඳගෙන හිටියේ තැඹිලි පාට ටී ෂර්ට් එකක් වගේ මතකයි‘ සචින්ගේ පිළිතුර එය විය.
‘එහෙනම් ඔයාත් මං ගැන උනන්දු වෙලා තියෙනවා.‘ එසේ කියමින් අන්ජලී සිනාසුණාය.
‘ඊට පස්සේ අපි නිතර නිතර ෆෝන් එකෙන් කතා බහ කළා. එයා කිව්වා ගෙදර එන්න කියලා. ඒත් කොහොමද යන්නේ? එහෙම ගැහැනු ළමයි ගෙවල් ගාණේ යන්නේ නෑනේ. ඉතින් ඒකට සචින් ප්ලෑන් එකක් ගැහුවා. එයා කිව්වා ඔයා ජර්නලිස්ට් කෙනෙක් වගේ එන්න කියලා. ඔන්න ඔහොම තමයි මම මුලින්ම සචින්ලාගේ ගෙදර ගියේ. ඒ වුණාට එයාගේ අක්කට නම් මා ගැන සැක හිතෙන්න ඇති. එයා දොර රෙද්දට මුවා වෙලා මා දිහාවේ බලාගෙනමයි හිටියේ. එයා එහෙම බලන්න හේතු වුණේ ඊට කලින් ගැහැනු කෙනෙක් එයාව ඉන්ටර්වීව් කරන්න ඇවිත් තිබුණේ නැති නිසා.‘
‘අපි දෙන්නා ආදරය කරන කාලේ මොබයිල් ෆෝන්ස් තිබ්බේ නෑ. ඒ නිසා කෝල්ස්, එස්එම්එස් නෑ. ඉන්ටර්නෙට් නෑ. කම්පියුටර්ස් නැති නිසා ඊ මේල් නෑ. ඉතින් මට එයාට කතා කරන්න ඕන වුණාම රෑ දහයට විතර හොස්ටල් එකෙන් එළියට යනවා ‘ෆෝන් බූත්‘ එකක් හොයාගෙන. ඒක හරි අවදානම් ගමනක්. රෑට හැමතැනම එක එක විදිහේ පිරිමි අය ගැවසුණා. අනික තමයි බූත් එකෙන් කෝල් එකක් ගන්න ගියාම වෙලාව බල බලා කතා කරන්න ඕනා කොයිවෙලේ සල්ලි ඉවරවෙයිද දන්නේ නැති නිසා. ඒ නිසා අන්තිමට අපි දෙන්නා ලියුම් හුවමාරු කරගන්න පටන් ගත්තා. ඒකට සෑහෙන කාලයක් ගියා. මගේ ලිපිය එයාට ලැබිලා එයා ඒකට උත්තර එවන්න සති දෙකක් විතර ගියා. ඒ විදිහට තමයි අපි දෙන්නාගේ ආදරය ගලාගෙන ගියේ.‘ අන්ජලී සිය ආදර කතාව දිග හැරියේ එලෙසිනි.
ක්‍රිකට් ක්‍රීඩකයකුගේ බිරිය වීමෙන් හැම අතින්ම අංග සම්පූර්ණ ජීවන රටාවකට, ජනප්‍රියත්වයට හා ගෞරවාදරයට පාත්‍ර වන කාන්තාවක බවට පත්විය හැකි බවට සමාජයේ ඇති විශ්වාසය ගැන අන්ජලී කියන්නේ වෙනම කතාවකි.
‘හැමෝම හිතන්නේ ක්‍රිකටර් කෙනෙක් බැන්ඳම ජීවිතය සම්පූර්ණයි කියලයි. ඒත් ඇත්ත ඊට වඩා වෙනස්. ඒක හරි දුෂ්කරයි. එයා නිතරම ගෙදර නෑ. මට දරුවන්ගේ වැඩ, ගෙදර වැඩ හැමදේම මැනේජ් කරගන්න සිද්ධ වුණා. අපිට විනෝද ගමනක් යන්න… නිදහසේ ඇවිදින්න යන්න කිසිම අවස්ථාවක් ලැබුණේ නෑ. දරුවන්ගේ අනාගතය ගැන සැලසුම් කරන්න එයාට නිවාඩුවක් ලැබෙනකල් බලා ඉන්න සිද්ධ වුණා. එයා මැච් එකකදී පොඩි ලකුණු ගණනකට අවුට් වෙලා, ඉන්ඩියන් ටීම් එක නරක විදිහට මැච් එක පැරදුණාම මට එළියට යන්න ලොකු අපහසුතාවක් ඇතිවුණා. හරියට මගේ අතින් වැරැද්දක් වුණා වගේ හැඟීමක් දැනුණා. ඒ වගේ ප්‍රශ්න තිබුණා.‘ අන්ජලී එසේ කීවාය.
ෆවුස් මොහොමඩ්