– මෙරට ජනගහනයෙන් 19.4%ක් එනම්, 5 දෙනෙකුගෙන් 1 අයෙකුට විෂාදිමය රෝග ලක්ෂණ
– ක්‍රියාශීලීව සිටි දරුවෙක් එකවර නිහඬව පැත්තකට වී කල්පනා කිරීම මවුපියන් සැලකිලිමත් විය යුතු තත්ත්වයක්
– විෂාදය බොහෝ සියදිවි නසාගැනීම්වලට ප්‍රධාන හේතුවක්
ඉකුත් සැප්තැම්බර් මස අවසාන සතියේ තෙල්දෙණිය රෝහලෙන් වාර්තා වූ අවාසනාවන්ත පුවතකින් කියැවුණේ 17 හැවිරිදි පිරිමි දරුවකු රෝහලේ හය වැනි මහලෙන් පැන ජීවිතය නසාගත් බවය. වැඩිදුර විමසීමේදී දැනගන්නට ලැබුණේ දැඩි ලෙස ජංගම දුරකථනයට ඇබ්බැහි වීම හේතුවෙන් විශාදයට ලක්වී සිටි ඔහු එම තත්ත්වය උත්සන්න වීමෙන් ජීවිතය නසාගන්නට ඇති බවය.
පසුගිය අගෝස්තු මාසයේදී කුරුණෑගල සිරිගල ප්‍රදේශයේ 18 හැවිරිදි පාසල් සිසුවකු ද සියදිවි හානි කරගෙන තිබිණ. පසුගිය වසරේ පැවැති අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයෙන් A සමාර්ථ්‍ය 9ක් ලබාගෙන ඉහළින්ම සමත්ව ඇති එම සිසුවා උසස් පෙළ හැදෑරීමට කුරුණෑගල මලියදේව විද්‍යාලයට ඇතුළත්ව ඇත. එහෙත් මෙවර පාසල් වාර විභාගයෙන් තමාට 8 වැනි ස්ථානය හිමිවීම පිළිබඳ සිය දරුවා තුළ යම් පසුබෑමක් ඇතිවීම හේතුවෙන් ඔහු කනස්සල්ලෙන් පසුවූ බව එම සිසුවාගේ මවුපියන් මාධ්‍යයට පවසා තිබිණ. ඔහුගේ සියදිවි හානිකරගැනීමට හේතුව එම සිත්තැවුල වන්නට ඇතැයි අනුමාන කෙරේ.
ශ්‍රී ලංකාවේ පමණක් නොව ලොව පුරා දෛනිකව වාර්තා වන සියදිවි නසාගැනීම පිළිබඳ පුවත් බොහෝය. ඉකුත් සැප්තැම්බර් 18 වැනිදා කොලිවුඩ් සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පියකු මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයකු වන විජෙයි ඇන්ටනීගේ දියණිය වන 16 හැවිරිදි මීරා සියදිවි නසාගත් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය. චර්ච් පාර්ක් පාසලේ 12 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඇය කිසියම් මානසික ආතතියකින් පසුවූ බව නිරීක්ෂණය වූ බවත් නිවෙසේ විදුලි පංකාවේ එල්ලී සියදිවි හානිකර ගෙන තිබූ බවත් වාර්තා විය.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ සියදිවි නසාගැනීම් හේතුවෙන් වසරකට ලක්ෂ හතකට වැඩි පිරිසක් මිය යන බවත් ඊට මූලික හේතුවක් ලෙස මානසික අවපීඩනය හැඳින්විය හැකි බවත්ය. ලොව පුරා මිලියන 280කට ආසන්න පිරිසක් මානසික අවපීඩනයෙන් පෙළෙන අතර, එය පිරිමින්ට වඩා කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන තත්ත්වයකි. ලොව පුරා ගර්භනී කාන්තාවන් සහ අලුත දරුවන් බිහි කළ කාන්තාවන්ගෙන් 10% කට වැඩි පිරිසක් මානසික අවපීඩනයෙන් පෙළෙන බව සංඛ්‍යා දත්තවලින් අනාවරණය වී ඇත.
මානසික රෝග අතර විශාදය (Depression ) තත්ත්වයට මෙරට බොහෝ පිරිසක් ගොදුරු වී තිබෙන බව මෑතකදී හෙළි විය. ඒ ආන්දෝලනාත්මක හෙළිදරව්ව කර තිබුණේ ශ්‍රී ලංකා ළමා සහ යොවුන් මනස පිළිබඳ විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති හා කැලණිය විශ්වවිද්‍යාලයේ රාගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය මියුරු චන්ද්‍රදාස, කැලණිය විශ්වවිද්‍යාලයේ මනෝ වෛද්‍ය දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය අනුරාධ බැමිණිවත්ත හා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප්‍රජා වෛද්‍ය දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය ඉනෝෂ උදාර අල්විස් විසින් සිදු කළ ‘ශ්‍රී ලංකාව තුළ විශාදයේ පැවැත්ම හා එයට සම්බන්ධ සාධක: ක්‍රමානුකූල සමාලෝචනය හා පාර – විශ්ලේෂණය’ නම් වූ පර්යේෂණ පත්‍රිකාව මඟිනි. ඒ අනුවලංකාවේ ජනගහනයෙන් 19.4 % ක් එනම්, 5 දෙනෙකුගෙන් 1 අයෙකුට විශාදිමය තත්ත්වය පවතින බවයි. එය කෙතරම් සත්‍යයක් දැයි සනාථ වන්නේ දිනපතා වාර්තා වන සියදිවි නසාගැනීම් බොහොමයකට හේතුව විශාදය බව හෙළිවන නිසාය. මීට දෙමසකට පමණ පෙර මෙරට ප්‍රමුඛ පෙළේ ආර්ථික විද්‍යාඥයකු සිය දිවි නසාගෙන තිබුණේද විශාදය තත්ත්වයට ප්‍රතිකාර ලබමින් සිටියදී බව අනාවරණය විය. එම සිදුවීම ආසන්නයේදීම මෙරට තවත් වෛද්‍යවරුන් දෙදෙනකුම දිවි නසාගත් බව වාර්තා විය. විශාදය නමැති මානසික තත්ත්වයට තත්ත්වයක්, තරාතිරමක්, සමාජ මට්ටමක් බලපාන්නේ නැති බව ඒ මරණවලින් සනාථ වේ. සෙලීනා ගෝමස් සහ ලේඩි ගාගා වැනි ලොව ප්‍රකට බටහිර ගායිකාවෝ ද තමන් විෂාදයෙන් පෙළුණු බවත් එයින් මිදීම පිණිස ප්‍රබල අරගලයක යෙදුණු බවත් ප්‍රසිද්ධියේ හෙළි කර ඇත.
විෂාදයෙන් පෙළෙන අයකුට එයින් මිදීම පහසු කාර්යයක් නොවන බව එයින් පැහැදිලි වේ. තම සමීපතමයකු විෂාදයෙන් පෙළෙන බව හැඟෙන්නේ නම් ඔවුන්ට එම තත්ත්වයෙන් මිදීම සඳහා උපකාර කිරීම සියලු දෙනා සතු මානුෂීය මෙන්ම අත්නොහැරිය හැකි සමාජීය වගකීමක් බව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ විශේෂඥ මනෝ වෛද්‍ය වින්ද්‍යා විජයබණ්ඩාර පවසන්නේ ඒ නිසාය. විෂාදයෙන් පෙළෙන අයකුට එම තත්ත්වයෙන් මිදීමට නම් විෂාදය ඇතිවීමට හේතු සහ එහි ලක්ෂණ පිළිබඳ නිසි දැනුම්වත්භාවයක් තිබීම අත්‍යවශ්‍ය වේ. ඒ පිළිබඳ විශේෂඥ මනෝ වෛද්‍යවරිය මෙසේ පැහැදිලි කළාය.
“විෂාදය (Depression) කියන්නේ අපි සුලබව දකින තත්ත්වයක්. නමුත් අපි මේ තත්ත්වය හරියටම හඳුනා ගත යුතුයි. අපි ඕනෑම කෙනෙකුට ජීවිතය එපා වීමක්, කලකිරීමක්, වැඩ කරන්න ආශාව නැතිවීමක් ඇති වෙන්න පුළුවන්. නමුත් කෙටි කාලයක් තුළ ඒ සිතිවිලි ඉවත් වෙලා අපි සාමාන්‍ය තත්ත්වයට පත්වෙනවා. නමුත් කෙනෙක් තුළ දුක, කලකිරීම, එපාවීම වගේ සිතිවිලි දිගින් දිගටම පවතිනවා නම් සති ගාණක් තියෙනවා නම් ඒක සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. සායනික වශයෙන් කෙනෙක් තුළ පසුගිය සති දෙක තුළ මේ වගේ රෝග ලක්ෂණ දිගින් දිගටම තිබෙනවා නම් අපිට කියන්න පුළුවන් එම පුද්ගලයා විෂාදයෙන් පෙළෙනවා කියලා. හිතට සතුටක් නෑ, හැම වෙලාවෙම හිතට දුක දැනීම, වැඩ කරන්න ආශාවක් නැතිවීම සහ වැඩ කරන්න මානසික සහ කායික ශක්තියක් නොමැති වීම විෂාදයේ මූලික රෝග ලක්ෂණ විදිහට හඳුන්වන්න පුළුවන්. විෂාදය නිසා එදිනෙදා ජීවිතයේ වැඩවලට බාධා සිදු වෙනවා. නින්ද යන්නෙ නැහැ, කෑම කන්න හිතෙන්නෙ නෑ, වෙනදා අවධානයෙන් උනන්දුවෙන් කළ වැඩ කරන්න අමතක වෙනවා, මඟහැරෙනවා. මේ තත්ත්වය දිගින් දිගටම තියෙද්දි ජීවිතය ගැන කලකිරීමක්, එපාවීමක් දැනෙනවා. ඒ වගේම සියදිවි නසාගන්න සිතිවිලි ඇතිවෙනවා. ජීවත් වෙලා වැඩක් නැහැ කියලා හිතනවා. ඒ සිතිවිලි තවත් දුරට යද්දි හිතෙන්න පුළුවන් සියදිවි නසාගන්නේ කොහොමද කියලා, හිත ඇතුළෙන් සැලසුම් හදනවා. එතැනින් එහාට සැලසුම් කිරීමේ සිට ක්‍රියාත්මක කිරීම දක්වා බරපතළ වෙන්න පුළුවන්. විෂාදය තත්ත්වයේ උග්‍ර අවස්ථාව ලෙස එය හඳුන්වන්න පුළුවන්.”
විෂාදිමය තත්ත්වය මුල් අවස්ථාවේ සිට උග්‍ර අවස්ථාව දක්වා එක්වරම පැමිණෙනවා දැයි කෙනෙකුට සිතිය හැකිය. විශේෂඥ මනෝ වෛද්‍ය වින්ද්‍යා විජයබණ්ඩාර එය හඳුනා ගැනීම සඳහා ඉවහල් වෙන ලක්ෂණ ගැන මෙසේ පැවසුවාය.
“මුල් අවස්ථාවේ සිට උග්‍ර අවස්ථාව සඳහා ක්‍රමක්‍රමයෙන් පැමිණෙන රෝගියකුගෙන් අපි දකින තවත් රෝග ලක්ෂණයක් වන්නේ ඔවුන් තුළ ගොඩනැඟෙනවා තමන් විශාල වරදක් කළා සහ එය සමාව දිය නොහැකි වරදක් බවට. ඒ වරදකාරී හැඟීම එක්ක දැඩි කලකිරීමකුත් ඇතිවෙනවා, මේ වැරැද්ද නිසයි මට මෙහෙම වුණේ කියලා. නමුත් විමසා බැලුවම එහෙම වරදක් වෙලා නැහැ. නමුත් පදනම් විරහිත එවැනි හැඟීම් ගොන්නක් ඔහුගේ තදබල විශ්වාසය සමඟ බැඳී තිබෙනවා. ඒ වගේම තවත් එවැනි විශ්වාස ගොන්නක් වන්නේ, මට කන්න බැහැ, මගෙ ඇඟ වැඩ කරන්නෙ නෑ, කෑම කාල වැඩක් නෑ, මගෙ බැංකු පොතේ සල්ලි නැහැ, ගෙදර හැමෝම මාව දාලා ගිහිල්ලා, මම මානසික කායිකව දුර්වලයි කියන හැඟීම්. මේ හැඟීම් තදබල විශ්වාස විදිහට හිතේ පැලපදියම් වීමත් විෂාදයේ තවත් ලක්ෂණයක්. ඒ වගේම විෂාදය වැලඳුණු ඇතැම් පුද්ගලයන් ඉතාම කලහකාරියි. තමන්ගෙ ඒ තත්ත්වයට තවත් කෙනෙක් වගකියන්න ඕනේ කියන හැඟීම විශාල කෝපයක් බවට පත්වෙනවා. එවැනි තදබල විශ්වාස ගොන්නක් උග්‍ර තත්ත්වයේ විෂාදයෙන් පෙළෙන අය තුළින් දැකිය හැකියි. සියදිවි නසාගැනීම ගැන ප්‍රබල විශ්වාස ගොන්නක් ඇතිවෙන්නෙත් උග්‍ර තත්ත්වයේදියි.”
විෂාදය ඇතිවීමට මූලික හේතු ලෙස තමන්ට යමක් අහිමි වීම සහ එම අහිමි වීම දරාගැනීමට නොහැකි වීම පෙන්වා දිය හැකිය. සෑම පුද්ගලයන් දස දෙනකුගෙන් පස් දෙනෙකුම විෂාදීය රෝග ලක්ෂණ පෙන්වති. වත්මන් සමාජයේ ආර්ථික සහ සමාජීය ගැටලු හේතුවෙන් බොහෝ දෙනකු මනෝ සමාජීයව සහ කායිකව පීඩාවට පත්වී සිටීම ඊට මූලික හේතුවයි.
“වත්මන් සමාජයේ අපි හැමෝටම මානසිකව කඩා වැටෙන්න හේතු තියෙනවා. නමුත් එවැනි කඩාවැටීම් එක්ක අනිත් පැත්තට අපිට ඒ තත්ත්වයෙන් ගොඩ එන්න තියෙන සම්පත් මොනවද කියලා හිතන්න පුළුවන් මානසික මට්ටමක් තියෙනවා නම් විෂාදයට ගොදුරු නොවී ඉන්න පුළුවන්. නමුත් එක් එක් පුද්ගලයාගේ දරාගැනීමේ ශක්තිය අනුව ඒ හැකියාව අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම එවැනි මානසික පීඩාවක ඉන්න කෙනෙකුට එයින් ගොඩ එන්න අනිත් අයගේ උදව්ව අත්‍යවශ්‍යයි.”
විශේෂඥ මනෝ වෛද්‍ය වින්ද්‍යා විජයබණ්ඩාර පවසන්නේ අහිමි වීම් මෙන්ම ජානමය හැකියාව ද විෂාදය වැලඳීමේ ප්‍රවණතාව වැඩි කරන සාධකයක් බවයි. එනම් පවුලේ විෂාදය රෝගියකු සිටීම විෂාදය වැලඳීමට හේතුවක් විය හැකිය. විෂාදය රෝගයේදී ඇතැම් පුද්ගලයන් තුළ දක්නට ලැබෙන ලක්ෂණ සාමාන්‍ය ලෙස සලකා නොසලකා හැරීම නිසා උග්‍ර විෂාදයට පවා ලක්විය හැකි පුද්ගල කාණ්ඩ තුනක් අප සමාජයේ ජීවත් වන බව ද ඇය පවසන්නීය. “ඒක ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. අපි දන්නවා වියපත් වීමත් සමඟ නින්ද නොයෑම, කෑම අරුචිය, දුක, කලකිරීම, තනිකම වැනි ලක්ෂණ ඇතිවෙනවා. නමුත් බොහෝ අය හිතන්නේ ඒ වයසට ආවේණික ලක්ෂණ, එහෙමත් නැත්නම් ඒ ජීවිතේ හැටි කියලා. නමුත් අපි හඳුනගෙන තියෙනවා වයස අවුරුදු හැටට වැඩි වියපත් පුද්ගලයන් තුළ ඇතිවෙන ඒ ලක්ෂණ සාමාන්‍ය නැහැ. එය විෂාදයේ මූලික අවස්ථාව විය හැකියි. එවැනි අය විෂාදයට ලක්වූ පසු ජීවිත අවදානම වැඩියි. ඔවුන් වහාම ප්‍රතිකාර සඳහා යොමුකළ යුතුයි. ඒ වගේම පසු ප්‍රසූත අවධියත් බොහෝ දෙනකු නොසලකා හරින තත්ත්වයක්. දරු උපතකින් පසුව මවක් තුළ නින්ද නොයෑම, කෑම අරුචිය, මහන්සිය, හිතේ සතුටක් නැතිවීම වගේ ලක්ෂණ ඇතිවිය හැකියි. ගෙදර අය හිතන්න පුළුවන් මේක ලෙඩක් නෙවෙයි කියලා. ඒ තත්ත්වය දිගින් දිගටම තියෙනවා නම් එය විෂාදයේ රෝග ලක්ෂණයක් විය හැකි නිසා වහාම ප්‍රතිකාර සඳහා යොමුවිය යුතුයි.
එය මවට වගේම දරුවාගේ පෝෂණය සහ රැකවරණය සම්බන්ධයෙන් ගැටලු ඇති කරනවා වගේම ඇතැම් විට දරුවාගේ ජීවිතයට හානියක් වීමටත් පුළුවන්. ඒ වගේම දරුවන් ගැනත් විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි. ඉතා ක්‍රියාශීලිව සිටි දරුවෙක් එකවර නිහඬව පැත්තකට වෙලා ඉන්නවා නම් නිතර කල්පනා කරනවා නම් කෑම බීම ගැන උනන්දුවක් නැත්නම් වෙනදට වඩා කෝප වෙනවා නම් ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.” ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ මානසික ආබාධ සඳහා ඵලදායී ප්‍රතිකාර ක්‍රම තිබුණද අඩු සහ මධ්‍යම ආදායම්ලාභී රටවල පුද්ගලයන්ගෙන් 75%කට වැඩි පිරිසකට ප්‍රතිකාර නොලැබෙන බවයි. විෂාදය යනු නිසි ප්‍රතිකාර මඟින් සුව කළ හැකි රෝගයක් වුවත් ඒ පිළිබඳ නිසි දැනුම්වත්භාවයක් නොතිබීම නිසා ඇතැම් පුද්ගලයන් ප්‍රතිකාර සඳහා යොමු වන්නේ උග්‍ර විෂාදීය අවස්ථාවේදී වීම අවාසනාවන්ත තත්ත්වයක් බව විශේෂඥ මනෝ වෛද්‍ය වින්ද්‍යා විජයබණ්ඩාර පවසන්නීය.
“බොහෝ දෙනා මානසික රෝගයක් ගැන කතා කරන්න බයයි. ප්‍රතිකාර ගන්න බයයි. නමුත් නිසි විදිහට ප්‍රතිකාර ගන්නවා නම් පූර්ණ සුවය ලබන්න පුළුවන්. විෂාදයට ගොදුරු වූ අය වගේම තමන්ගේ සමීපතමයන් විෂාදයට ගොදුරු වී සිටින බව දන්නා අයත් ඒ ගැන දැනගෙන සිටීම ඉතා වැදගත්.
විෂාදයේ මූලික අවස්ථාවේදී කෙනෙක් ප්‍රතිකාර සඳහා යොමුවුණොත් සති දෙකක් තුළ සුවය ලබන්න පුළුවන්. උග්‍ර තත්ත්වයේ කෙනෙකුට වසරක් පමණ තෙරපි ප්‍රතිකාර කිරීමෙන් සුව කරන්න පුළුවන්. මතක තබාගත යුතු වැදගත්ම දේ ප්‍රතිකාර නිසි විදිහට නොකළොත් නැවත නැවත විෂාදයට ලක්වෙන්න පුළුවන් වගේම විෂාදයට ලක්වූ අයකුට තවත් රෝග ඇතිවීමේ තත්ත්වයකුත් තිබෙනවා. ඇතැම් විෂාදීය රෝගීන්ට වසර තුනක් දක්වා ප්‍රතිකාර කරන්න සිදුවෙන අවස්ථා තියෙනවා.
තවත් විශේෂ කරුණක් වන්නේ විෂාදයට ප්‍රතිකාර ලබන අයෙක් වෛද්‍ය උපදෙස්වලින් තොරව ප්‍රතිකාර නතර නොකළ යුතුයි.” වෛද්‍ය වින්ද්‍යා වැඩිදුරටත් අවධාරණය කරන්නේ මෙවැනි රෝගියකු පූර්ණ වශයෙන් සුවකර ගැනීමේ වගකීම රෝගියාට මෙන්ම ඔහුගේ සමීපතමයන්ට ද පැවරෙන බවයි.
“සමාජයේ ඇතැමුන් තුළ අදහසක් තියෙනවා, කෙනෙක් මැරෙනවා කිව්වට මැරෙන්නෙ නෑ කියලා. නමුත් බොහෝ අවස්ථාවල අපි දකිනවා සියදිවි නසා ගත්ත අය ඊට පෙර තමන්ගේ සමීපතමයන්ට ඒ ගැන ඇඟවීමක් කරලා තියෙනවා. ඒ නිසා එවැනි ඇඟවීම් නොසලකා නොහැරිය යුතුයි. තමන්ගේ සමීපතමයෙක් විෂාදයෙන් පෙළෙනවා කියලා ඔබට හැඟෙනවා නම් වහාම ඔහුව ප්‍රතිකාර සඳහා යොමු කළ යුතුයි. රට පුරා මූලික රෝහල්වල පිහිටුවා තිබෙන මානසික සෞඛ්‍ය ඒකක වෙත පැමිණ පහසුවෙන් උපදේශනය ලබන්න පුළුවන්. පුද්ගලයන්ගේ රහස්‍යභාවය පෞද්ගලිකත්වය රැකෙන විදිහට ඒ කටයුතු සිදුවෙනවා.
මානසික ගැටලු විසඳා ගැනීමේ මුල් පියවර ඒ ගැන කතා කිරීම. එහෙම කතා කරන්න අවශ්‍ය ඕනෑම කෙනෙකුට මානසික සෞඛ්‍ය ඒකකය හා සම්බන්ධ ‘මිතුරු පියස’ වෙත යොමු වෙන්න පුළුවන්. ඔබට ඍජුවම වෛද්‍යවරයෙක් සමඟ කතා කිරීමට පැකිලීමක් තිබෙනවා නම් කතාවට ප්‍රවේශයක් ලබා දීමට උදවු කිරීමට එහි හෙද නිලධාරිනියන්ගේ සහාය ලබාගත හැකියි. ඖෂධ ප්‍රතිකාරවලට අමතරව විෂාදය සඳහා මනෝ චිකිත්සාවන් ද සිදු කරනවා. එයට හේතුව විෂාදයට ලක්වූ කෙනෙකුට නැවත තමන්ගේ පරිසරයට අනුගත වීම සඳහා දැනුම්වත් කිරීමක් අවශ්‍ය වන නිසයි. නැතිනම් ඔහු නැවත විෂාදයට ලක්වෙන්න පුළුවන්. පාසලේදී දරුවන්ට උගන්වන ජීවන නිපුණතා පොතේ දැනුමට පමණක් සීමා නොවී ප්‍රායෝගික දැනුම ලබාදීමේ වැදගත්කමත් මෙහිදී අවධාරණය කළ යුතුයි.
අනෙක් වැදගත් කරුණ විෂාදයට ලක්වෙලා ප්‍රතිකාර ලබා නැවත සමාජයට එන පුද්ගලයා සමඟ සමාජය කටයුතු කරන්නේ කෙසේද යන්න. ඔහු නැවත සාමාන්‍ය පරිසරයට එනවා කියන්නේ තවදුරටත් ඔහු රෝගියෙක් නෙවෙයි කියලා ඔහු ඇසුරු කරන සමාජය පිළිගත යුතුයි. ඔහුව කොන් කිරීම,ප්‍රතික්ෂේප කිරීම සුදුසු නැහැ, ඒ වෙනුවට ඔහුත් දැන් අපි වගේම සාමාන්‍ය කෙනෙක් ලෙස පිළිගැනීම සහ ඒ පිළිගැනීම ඔහුට ඒත්තු ගැන්විය යුතුයි.
මානසික ගැටලු සම්බන්ධයෙන් විසඳුම් ලබා ගැනීමට මානසික සෙෞඛ්‍ය උපකාරක සේවාවේ 1926 ක්ෂණික ඇමතුම් අංකයට ඇමතිය හැකිය.
සුරේකා නිල්මිණි ඉලංකෝන්