Home » ආදිවාසීන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ජනමත විචාරණයක්

ආදිවාසීන් වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ජනමත විචාරණයක්

by Mahesh Lakehouse
October 7, 2023 12:30 am 0 comment

ඕස්ට්‍රේලියාවේ ආදිවාසීන් වන ඇබොර්ජියානුවරුන් හා ටෝරස් ස්ට්‍රේට්ස් දූපත් වාසීන් එරට ප්‍රථම ජන වර්ගය ලෙස පිළිගැනීම සඳහා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට ජනතාවගේ කැමැත්ත, අකමැත්ත විමසා ජනමත විචාරණයක් ඔක්තෝබර් 14 දා පැවැත්වීමට ඕස්ට්‍රේලියාවේ ෆෙඩරල් රජය කටයුතු යොදා ඇත.

වසර 24 කට පසු ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන මෙම ජනමත විචාරණයේදී එරට ආදීවාසීන් ප්‍රථම ජන වර්ගය ලෙස පිළිගන්නවා නම් ‘ඔව් (YES) යනුවෙන් ද එයට අකමැති නම් ‘නැත’ ( NO) යනුවෙන් ද ඡන්ද පත්‍රිකාවේ ඇති හිස් කොටුවල සටහන් කළ යුතුය.

ඇබොර්ජින්වරුන් හා ටෝරස් ස්ට්‍රේට්ස් දූපත් වාසී ජනයා වසර 65,000 කට පෙර අප්‍රිකානු මහාද්වීපයේ සිට ආසියාව හරහා ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති බව පුරාවිද්‍යඥයන් හා මානව විද්‍යාඥයන් විසින් තහවුරු කොට ඇත.

ඇබොර්ජින්වරුන් ඕස්ට්‍රේලියා මහාද්වීපය තුළ ද ටෝරස් ස්ට්‍රේට්ස් දූපත් වාසීන් ඕස්ට්‍රේලියාවට අයත් දූපත් 274 කද ජීවත් වූහ. ඔවුන්ගේ සාමකාමී නිදහස් ජීවිතවලට කණකොකා හැඬුවේ 1788 දී ආතර් පිලිප් නම් බ්‍රිකාන්‍ය ජාතිකයාගේ නායකත්වයෙන් පැමිණි ආක්‍රමණකයින් පිරිස ඇරැඹු ජනසංහාරය නිසාය. ආදි වාසී ඇබොර්ජින්වරු දහස් ගණනින් ඝාතනය කරමින් ඔවුන්ගේ ගම්, ගෙවල් දොරවල් ගිනිතබා විනාශ කරමින් සිදු කළ මෙම සමූල ඝාතනයෙන් දහස් ගණන් ජනයා මිය යද්දී සුළු පිරිසක් ඈත ප්‍රදේශවලට පලා ගොස් දිවි බේරා ගත්හ.

ආදී වාසි ජනතාව සතු ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගත් සුදු ජාතිකයන් ඒවා වගා කරමින් රළු පාලනයක් ගෙනගිය අතර දිවි බේරාගත් ඇබොර්ජින්වරුන් විශාල පිරිසක් ආහාර හා සෞඛ්‍ය පහසුකම් නොමැති වීම නිසා මිය ගිය බව ඇබෝර්ජිනල්වරුන්ගේ ඉතිහාසය පිළිබඳව පළවී ඇති ග්‍රන්ථවල දැක්වේ.

මේ අතර 1910 දී පමණ ඇබෝර්ජිනල් පවුල්වල දරුවන් බලහත්කාරයෙන් නිවෙස්වලින් පැහැර ගෙන ගොස් එම දරුවන්ගේ නම් මාරු කොට ඔවුන්ගේ මවුබස වෙනුවට ඉංග්‍රීසි බස උගන්වා ඇබෝර්ජින්වරුන්ගේ සංස්කෘතිය විනාශ කිරීමට කටයුතු කළ බවට ද ඕස්ට්‍රේලියානු රජයට චෝදනා එල්ල වී තිබුණි.

කෙසේ වුව ද බ්‍රිතාන්‍ය යටත්විජිත රටවලට ක්‍රම ක්‍රමයෙන් නිදහස ලැබෙද්දී තම රටේ ආදිවාසීන්ට ද යම් ප්‍රමාණයකට සහන ලබා දීමට ඕස්ට්‍රේලියානු රජයට සිදු විය.

ඒ අනුව තම මව්බිමේ මුල් පදිංචිකරුවන් වුව ද ඇබෝර්ජින්වරුන්ට හා ටෝරස් ස්ට්‍රේට්ස් දූපත් වාසීන්ට 1967 දී පුරවැසි භාවය සහ ඡන්ද බලය ලබා දීමට ඕස්ට්‍රේලියානු රජයට සිදු විය.

අතීතයේ සිටම මෙම ආදිවාසීන්ට සිදු වී ඇති අසාධාරණ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු අගමැති කෙවින්රඩ් 2008 දී ජාතියෙන්ම සමාව ඉල්ලා සිටියේය.

මේ අතර ඇබෝර්ජින් ජනයා සහ ටෝරස් ස්ට්‍රේට්ස් දූපත් වාසීන් විසින් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීම සඳහා ‘ආදිවාසී හඬ’ නමින් සංවිධානයක්ද පිහිටුවාගෙන ඇත. ආදී වාසීන්ගේ සෞඛ්‍ය, අධ්‍යාපන, රැකී රක්ෂා සහ නිවාස ඇතුළු අවශ්‍යතා ඉටුකර ගැනීම උදෙසා පිහිටුවා ගෙන ඇති මෙම සංවිධානයට සවන් දීමට මේ වන විට ඕස්ට්‍රේලියානු මධ්‍යම රජයට සිදු වී ඇත.

ඔක්තෝබර් 14 දා ඒ ජනමත විචාරණය පැවැත්වීමට යන්නේ ඒ සඳහා ජන අනුමැතිය ලබා ගැනීමටය.

“ඇබෝර්ජින්වරු සහ ටෝරස් ස්ට්‍රේට්ස් දූපත් වාසී හඬ” නමින් නව ආයතනයක් පිහිටු වීමෙන් ඔවුන් ඕස්ට්‍රේලියාවේ පළමු ජනතාව පිළිගැනීම සඳහා ව්‍යස්ථාව වෙනස් කිරීම මෙහි අරමුණයි.

ජනමත විචාරණය මගින් සිදු කිරීමට යෝජිත ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව සහ විපක්ෂව ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් විසින් දක්වා ඇති කරුණු ද ඡන්ද දායකයන්ට අවබෝධයක් ලබා දීම සඳහා මෙම පොත් පිංචට ඇතුළත් කොට ඇත.

මෙම ජනමත විචාරණ යෝජනාවට විරුද්ධ අය පවසන්නේ මේ මඟින් ඕස්ට්‍රේලියාවේ එක් පිරිසක් පමණක් ව්‍යවස්ථාව තුළ නියෝජනය වීම ඔස්සේ රට නිත්‍ය වශයෙන්ම බෙදෙන බවයි. මෙයින් යෝජනා කොට ඇති ‘ජනතා හඬ’ මඟින් රාජ්‍ය පාලන පද්ධතියට සැබෑ අවදානමක් ඇති වන බව ද මොවුහු පෙන්වා දෙති.

ඕස්ට්‍රේලියානු ව්‍යවස්ථාවේ සංශෝධනයක් සිදු කිරීම සඳහා පවත්වනු ලබන ජනමත විචාරණය රටේ ජනතාවගේ බහුතර ඡන්දයෙන් පමණක් සම්මත වීම ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා බටහිර ඕස්ට්‍රේලියාව, දකුණු ඕස්ට්‍රේලියාව, වික්ටෝරියාව, නිව්සවුත්වේල්සය, ක්වින්ස්ලන්තය හා ටැස්මේනියාව යන ප්‍රාන්ත රාජ්‍ය හයෙනි. රාජ්‍ය හතරක ජීවත්වන ජනතාවගේ බහුතර කැමැත්ත අවශ්‍ය වේ.

ඕස්ට්‍රේලියාව ෆෙඩරල් රාජ්‍යයක් බවට පත්වු 1901 වසරේ සිට මේ දක්වා ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වූ යෝජනා වෙනුවෙන් ජනමත විචාරණ 44 ක් පවත්වා ඇත. එහෙත් ඒවායෙන් ජන අනුමැතිය ලැබී තිබෙන්නේ යෝජනා 8 කට පමණි. එරට ප්‍රථම ජනමත විචාරණය 1906 දෙසැම්බර් 12 දා පැවැත්වී ඇති අතර අවසන් වරට ජනමත විචාරණයක් පවත්වා ඇත්තේ 1999 නොවැම්බර් 10 දාය. ඒ ඕස්ට්‍රේලියාව ජන රජයක් විය යුතු ද නැද්ද යන්න විමසීම සඳහාය. එහෙත් එය ජයගෙන නැත.

ඕස්ට්‍රේලියානු ඡන්ද දායකයන් අතර මෙම ජනමත විචාරණ පිළිබඳ උනන්දුවක් පෙනෙන්නට නැති බව වාර්තා වේ. එහෙත් සෑම මැතිවරණයකදීම ඡන්දය පාවිච්චි කිරීම එරට නීතියෙන්ම අනිවාර්ය කොට ඇති බැවින් සෑම දෙනාම ඡන්දය පාවිච්චි කරනු ඇත. යම් හෙයකින් ඡන්දය දීමට නොහැකි වුවහොත් දඩයකට යටත් වීමට ඔවුන්ට සිදු වේ.

විශේෂ ස්තුතිය – මෙම ලිපියට අදාළ ඇතුළු තොරතුරු සපයාදුන් ඕස්ට්‍රේලියානු මැතිවරණ නිලධාරියකු වශයෙන් දිගු කලක සිට කටයුතු කරන මෙල්බන්හි උදය ගෝවින්න මහතාට

දයා ලංකාපුර

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division