Home » බස් එකෙන් ඇවිත් නිට්ටඹුවේ හා මදුරන්කුලියෙන් කෝටි ගණන් සල්ලි ඉස්සූ ATM හොරු

බස් එකෙන් ඇවිත් නිට්ටඹුවේ හා මදුරන්කුලියෙන් කෝටි ගණන් සල්ලි ඉස්සූ ATM හොරු

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

සිය ගනුදෙනුකරුවන්ගේ පහසුව වෙනුවෙන් බැංකු ශාඛාවලට අමතරව ගමක් නගරක් පාසා රට පුරා විහිදුණු ටෙලර් යන්ත්‍ර ජාලයකින් ද බොහෝ බැංකු අද වන විට ශක්තිමත්ය. මදුරන්කුලිය 10 කණුවේ පිහිටි ඉන්ධන පිරවුම්හලට යාබදව ස්ථාපිත කර ඇති ටෙලර් යන්ත්‍රය ද අයත් වන්නේ මෙකී ගොන්නටය. දැනගන්නට ඇති ආකාරයට අනුව එම ටෙලර් යන්ත්‍රය මුදල් ලබාගැනීමට මෙන්ම මුදල් තැන්පත් කිරීමේ පහසුකම්වලින් ද සමන්විතය.

පසුගිය 07 වෙනිදා රාත්‍රී 11.32ට පමණ මෙම සී. ඩී. එම්. යන්ත්‍රය ස්ථාපිත කර ඇති කුටිය වෙත යතුරුපැදි හිස් ආවරණ පැලඳගත් දෙදෙනෙක් පැමිණෙනුයේ ඉන්ධන පිරවුම්හල මැදින් පා ගමනිනි. ඒ අය මුව ආවරණ ද පැලඳ සිටියේය. ඔවුන්ගෙන් එක් අයෙක් ඉන්ධන පිරවුම් හලේ සේවකයන් වෙත කිට්ටු වෙමින් “ මැෂින් එකේ ෆෝල්ට් එකක් පෙන්නනවා. ඒක හදන්නයි ආවේ“ යැයි කියමින් සී. ඩී. එම්. යන්ත්‍රය පිහිටි කුටියේ පිටුපස පැත්තේ දොර විවෘත කරගෙන ඒ තුළට රිංගුවේය. ඒ ඔවුන් රැගෙන ආ දොරෙහි අගුල් විවර කිරීමට අවශ්‍ය යතුරු ආම්පන්න වලින් දොරගුළු පමණක් නොව, ටෙලර් යන්ත්‍රය ද විවෘත කරමිනි. ඒ අය කුටියට රිංගා කරන්නේ කුමක්දැයි කියා ඉන්ධන පිරවුම්හලේ සේවකයින්ට එතරම් විශේෂත්වයක් නොවීය. ඒ මෙම යන්ත්‍රයට මුදල් ඇතුළු කිරීමටත් මෙහි ගනුදෙනුකරුවන් විසින් තැන්පත් කරන මුදල් රැගෙන යාමටත් දෝෂයක් ඇතිවූ විට එය නිවැරදි කිරීමටත් බැංකුවට සම්බන්ධ බලයලත් විවිධ පුද්ගලයන් මේ ආකාරයට පැමිණීම සාමාන්‍ය තත්ත්වයක් වූ බැවිනි.

එහෙත් මෙය එවන් සාමාන්‍ය තත්ත්වයක් නොවන බව ඉන්ධන පිරවුම්හලේ සේවකයන්ට පසක් වන්නේ මදුරන්කුලිය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණි වික්‍රමසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් ජිප් රථයක් පුරවාගෙන ඉන්ධන පිරවුම් හල වෙත ඒත් එක්කම වාගේ පැමිණීමත් සමඟිනි. ඒ අය ජිප් රථය කෙළින්ම ගොස් නතර කරනු ලබන්නේ ටෙලර් යන්ත්‍රය පිහිටි කුටිය අසලින්මය. ජිප් රථයෙන් බැස ගන්නා පොලිස් නිලධාරීන් ටෙලර් යන්ත්‍රය වටකර ඒ තුළට රිංගා හැම අස්සක් මුල්ලක්ම නෑර පරීක්ෂා කරන්නට ගත්තේය. ඉන්ධන පිරවුම්හලේ සේවකයන් මේ හැම දෙසම බලා සිටින්නට වූයේ තෘෂ්නිම්භූතවය.

“ජැකට් දාගත්තු දෙන්නෙක් දැන් ටිකකට ඉස්සරින් මේකට රිංගුවද“ යැයි පොලිස් ස්ථානාධිපතිවරයා ඉන්ධන පිරවුම්හල් සේවකයකුගෙන් විමසුවේ සෙසු නිලධාරීන් යම් සෝදිසියක නිරතව සිටියදීය.

“ ඔව් සර්, මැෂින් එක කැඩිල කියල දෙන්නෙක් ආවා, ඒක හදන්න කියලා“ යැයි සේවකයා කීවේය.

මදුරන්කුලිය පොලිස් ස්ථානාධිපති ගාමිණි වික්‍රමසිංහ ඇතුළු නිලධාරීන් මෙහි එන්නේ ජැකට් දාගත් දෙදෙනා ටෙලර් යන්ත්‍රයට ඇතුළු වී විනාඩි 10ක් ගතවන්නටත් මත්තෙනි. ඒ වන විටත් ඔවුන් දෙදෙනා අතුරුදන්ය. ඒ යන්ත්‍රයේ තිබුණු රුපියල් කෝටියක මුදලකට ද වැඩේ දෙමිනි. ඒ රුපියල් 1000 සහ 5000 නෝට්ටුවලිනි. ඒ වන විටත් ඔවුන් දෙදෙනා ආගිය අතක් සොයා ගන්නට පවා නොවීය. ඔවුන් මෙම ටෙලර් යන්ත්‍රයේ මුදල් සොරාගෙන තිබුණේ පිටතින් හෝ ඇතුළතින් කිසිදු හානියක් නොකර එහි අගුල් විවර කර වීම විශේෂිතය.

මෙසේ මෙරට බැංකු පද්ධතිය හා සම්බන්ධ ටෙලර් යන්ත්‍රයක් සොරුන්ගේ ග්‍රහණයට ලක්වන දෙවැනි අවස්ථාව වන්නේ මෙයය. ඊට පෙර මේ ආකාරයට ටෙලර් යන්ත්‍රයක් සොරුන්ගේ ග්‍රහණයට ලක්වන්නේ නම් ඒ නිට්ටඹුව නගරයේ පිහිටි බැංකු ශාඛාවක් හා යාබදව පිහිටි ටෙලර් යන්ත්‍රයකිනි.

එම සොරකම සිදුවන්නේ පසුගිය සැප්තැම්බර් 16 වෙනි සෙනසුරාදා අලුයම් කාලයේදීය. එම ගේම ගසන්නේ ද මේ ආකාරයටමය. ඒ පොඩි වෙනසක් ඇතිවය. මදුරන්කුලියේ මෙන් දෙදෙනාම නිට්ටඹුවේ ටෙලර් යන්ත්‍රය පිහිටි කුටියට ඇතුළු වන්නේ නැත. මුලින්ම යන්ත්‍රය පිහිටි කුටිය ඇතුළට පිටුපස දොර විවර කරගෙන යන්නේ එක් අයෙකි. ඔහු යන්ත්‍රයේ අගුල් මුලින්ම විවෘත කරනු ලබන්නේ ඔහු අත වූ සුවිශේෂී යතුරකිනි. එම යතුරු ඇත්තේ මෙවන් යන්ත්‍ර විවෘත කිරීම සඳහා පමණි. එම යතුරු ඇත්තේ අදාළ යන්ත්‍ර නඩත්තු කරන ආරක්ෂක සමාගම් සතුවය. නැතිනම් යන්ත්‍ර නිෂ්පාදන සමාගම් සතුවය. පිටස්තරයෙක් අතට යතුරක් පත්වන්නේ නම් එය පත්විය යුත්තේ මෙම සමාගම් සේවකයන් මඟිනි. එසේ යතුරක් තිබූ පමණින් මෙවැනි යන්ත්‍ර විවෘත කර ඒ තුළ ඇති මුදල් සොරා ගන්නට බැරිය. ඒ මෙම යන්ත්‍ර තුළ මුදල් තැන්පත්කර ඇත්තේ යම් ක්‍රම වේදයකට අනුව වූ බැවනි. එසේම අගුල් විවෘත කළ යුතුව ඇත්තේ ද යම් රටාවකටය. එම රටාවෙන් පිට අගුල් විවෘත කළ නොහැකිය. අගුල් විවෘත කළ පසු මුදල් ගබඩාකර ඇති කුටි විවෘත කළ යුතු වන්නේ යැයි කියැවෙන්නේ මුරපදයක් සටහන් කරමිනි. එම කුටි විවෘත කිරීමට නම් අනිවාර්යෙන්ම මුරපදය දැනගෙන සිටිය යුතුමය. මුරපදය දන්නේ එම යන්ත්‍රවල ආරක්ෂාව භාරකර ඇති ආරක්ෂක සමාගම් සහ එම සමාගම්වල සේවයේ නිරත සේවකයන් පමණි. මුරපදය පිටතට ගියේ නම් යා යුතු වූයේ ඒ අයගෙනි. නැතිනම් මේ ගේමට එම සමාගම්වල සේවය කරන හෝ සේවය කර ඉවත්ව ගිය යමකුගේ සම්බන්ධයක් තිබිය යුතුය. එසේ නොමැතිව එම කුටි පහසුවෙන් මුරපද නොමැතිව විවෘත කළ නොහැකිය. බලහත්කාරයෙන් එය විවෘත කිරීමට ගියහොත් සිදුවන්නේ අනතුරු ඇඟවීමේ සංඥාවක් නිකුත් වීමය. නිට්ටඹුවේත් මදුරන්කුලියේත් ටෙලර් යන්ත්‍රවලින් එවැනි අනතුරු ඇඟවීමේ සංඥාවක් නිකුත් වූ බවක් නම් මෙතෙක් අනාවරණය වන්නේ නැත. ඒ අනුව සිදුවී ඇත්තේ කුමක්දැයි පැහැදිලිය.

නිට්ටඹුවේ ටෙලර් යන්ත්‍රය පිහිටි කුටියට දෙවැන්නා රිංගන්නේ පළමුවැන්නා ඔහුගේ කාර්ය අවසන් කර පිටතට පැමිණීමෙන් අනතුරුවය. ඔහුගේ කාර්ය වන්නේ කුටීර තුළ තැන්පත් කර තිබුණු මුදල් ටික ගමන් මල්ලක දමා ගැනීමය. මෙවැනි යන්ත්‍රවල සියලුම මුදල් එකවර ලබාගතහොත් සිදුවන්නේ ද අනතුරු ඇඟවීමේ සංඥා නාදවීමකි. ඒ එසේ මුදල් සියල්ලක්ම ලබා ගැනීමක් සිදුවන්නේ සොරුන්ගේ ග්‍රහණයට ලක්වීමකදී බැවිනි. එවැනි අනතුරු ඇඟවීමේ සංඥාවක් එදා නිකුත් වී තිබුණේ නැත. මුදල් ද රැගෙන යන්නේ නැවතත් එම යන්ත්‍රය තිබුණු ආකාරයටම වසා දමාය. එවිට වේලාව අලුයම 1.20ට පමණ ඇත.

මෙම යන්ත්‍රය තුළ තිබුණු මුදල් සොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇතැයි මෙම යන්ත්‍රයට මුදල් තැන්පත් කිරීමේ වගකීම භාරව සිටින ආරක්ෂක සමාගම පවා දැනගන්නේ සැලකිය යුතු කාලයක් ගතවීමකින් අනතුරුවය. ඒ ගනුදෙනු මඟින් යන්ත්‍රයේ මුදල් හමාරවී ඇතැයි සිතා 16 වෙනිදාත් මුදල් තැන්පත් කිරීමකින් ද අනතුරුවය.

නිට්ටඹුවේ පිහිටි බැංකුවේ ටෙලර් යන්ත්‍රය සොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇතැයි මුලින්ම සැකයක් මතුවන්නේ නිසි ක්‍රමවේදය ඔස්සේ මුදල් නිකුත් කර නොමැතිව තිබියදී යන්ත්‍රයේ මුදල් අඩුවීමක් දත්ත පද්ධතිය මඟින් පෙන්නුම් කරන්නට වූ බැවිනි. ඒ බව පැහැදිලිවම තහවුරු වන්නේ ආරක්ෂක කැමරා පද්ධතිය පරීක්ෂා කිරීමේදීය. හැම දෙයක්ම ටෙලර් යන්ත්‍රයේ ආරක්ෂක කැමරා පද්ධතියේ සටහන්ව තිබුණේය. එම ටෙලර් යන්ත්‍රයේ තිබුණු රුපියල් හැත්තෑඅට ලක්ෂයකට අධික මුදලක් සොරා ගැනීමකට ලක්ව ඇති බවට නිට්ටඹුව පොලිසියේ පැමිණිල්ලක් සටහන් වන්නේ ඒ අනුවය. ඒ අදාළ ටෙලර් යන්ත්‍රයේ මුදල් තැන්පත් කිරීම භාරව සිටින ආරක්ෂක සමාගමේ ආරක්ෂක කළමනාකරුවකු මඟිනි. ඒ සැප්තැම්බර් 18 වෙනිදාය.

මුල් කාලයේදී ATM යන්ත්‍රය තුළ ඇති මුදල් සොරා ගත්තේ මෙම යන්ත්‍රවලින් ගනුදෙනු කරන්නට නොදත් අහිංසකයන්ව රවටා ඒ අයගේ බැංකු ගිණුම්වල මුදල් කාඩ්පත්වලින් සොරාගෙනය. ඒ මුල් කාලයේදීය. පසුකාලයේදී මෙම යන්ත්‍රය ඇතුළේ ඇති මුදල් සොරා ගන්නට ඇතැම් පිරිස් උත්සාහ දැරුවේ යන්ත්‍රයට හානි කරමිනි. එහෙත් ඝන තහඩුවකින් වටවුණු එම යන්ත්‍රය තුළ ඇති මුදල් සොරා ගැනීම හෝ කොල්ලකෑම යන්ත්‍රයට පහරදීමකින් කරන හානියකින් පහසු සිදුකළ හැකි කටයුත්තක් නම් නොවීය. ඒ නිසාම අපරාධකරුවෝ ඒ සඳහා අලුත් ක්‍රම අත්හදා බැලුවෝය.

පිටරට ගොස් අධ්‍යාපනය ලැබූ භාෂා 06ක් හැසිරවිය හැකි මෙරට ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාලයක බාහිර කථිකාචාර්යවරයෙක් ඇතුළු කණ්ඩායමක් 2017 වසරේ බිබිල මැදගම පිහිටි රාජ්‍ය බැංකුවක ටෙලර් යන්ත්‍රයක් ගෑස් ලාම්පුවකින් කපා රුපියල් ලක්ෂ 57ක් කොල්ලකෑවේ ඒ අනුවය. ඒ මහ රෑ මෝටර් රථයකින් බැංකුව අසලට ගොස් ටෙලර් යන්ත්‍රයේ ගන තහඩුව ගෑස් ලාම්පුවකින් පුළුස්සා සිදුරු කර එම සොරකම සිදු කර තිබුණේ එවැනි සොරකමක් මෙරට සිදු කළ පළමු අවස්ථාව එය බව සටහන් කරමිනි. ඒ සඳහා මෙම කල්ලියේ දක්ෂ පෑස්සුම්කරුවෙක් ද සිටියේය.

නැවතත් ටෙලර් යන්ත්‍ර සිදුරු කර මුදල් සොරා ගැනීමේ අලුත් ක්‍රමයක් වාර්තා වන්නේ 2021 වසරේ සැත්තැම්බර් 26 වෙනිදා උතුරු මැද පළාතෙනි. ඒ මින්නනේරිය යුද හමුදා කඳවුර ආසන්නයේ පිහිටි රථ ගාල අසල ඇති රාජ්‍ය බැංකුවකට අයත් ටෙලර් යන්ත්‍රයකි. මහා දවාලේ එම ගේම ගසන්නේ හමුදා සෙබළුන් පවා බලා සිටියදී චිකාගෝ පන්නයටය. ඒ එම ටෙලර් යන්ත්‍රය අලුත්වැඩියා කිරීමේ මුවාවෙනි. කුඩා ජෙනරේටරයක් පවා රැගෙන විත් එම ටේලර් යන්ත්‍රයේ තිබුණු රුපියල් ලක්ෂ 76ක් සොරාගෙන යන්නේ ග්‍රයින්ඩරයකින් ටෙලර් යන්ත්‍රයේ තහඩුව කපාය. ග්‍රයින්ඩරයකින් ටෙලර් යන්ත්‍රයක් කපා මුදල් සොරාගන්නා මෙරට පළමු අවස්ථාව ලෙස සටහන් වන්නේ එයයි.

මෙම සොරකම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ පොලිසිය විදූෂ ඉඳුනිල් නැමැති තරුණයකු අත්අඩංගුවට ගත්තේ එම වසරේ ඔක්තෝබර් මාසයේදීය. එප්පාවල පදිංචිකරුවෙක් වූ ඔහුව අත්අඩංගුවට ගන්නේ අනුරාධපුර පොලීසියේ අපරාධ අංශයේ නිලධාරීන්ය. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කෙරෙන්නේ ඔහු විසින් සිදු කර තිබුණේ සුළුපටු සොරකමක් නොවූ බැවිනි. වැඩිකලක් ඔහු බන්ධනාගාරයේද සිටියේ නැත. රෝගී තත්ත්වයකට පොලොන්නරුව රෝහලට රැගෙන ආ විට රෝහල් වැසිකිළියට ගොස් එහි ජනේලයකින් පනින්නේ 2022 වසරේදීය. එසේ පැනගත් ඔහු නැවතත් මෙම වසරේදී පොලිසියට කොටුවන්නේ හැත්තෑපස් වෙනි නිදහස් දින සැමරුම අභිමානවත් ලෙස සමරමින් සිටියදී කුරුණෑගල ගැට්ටුවාන හන්දියේ පිහිටි රාජ්‍ය බැංකුවක ටෙලර් යන්ත්‍රය මහා දවාලයේ ග්‍රයින්ඩරයකින් කපා ලක්ෂ 90ක මුදල් සොරාගැනීමක් සම්බන්ධයෙන් කුරුණෑගල පොලිසිය විසින් කළ පුළුල් විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි. මෙම වසරේ ජනවාරි මාසයේදී බිංගිරියේ පිහිටි බැංකුවක ටෙලර් යන්ත්‍රයක් ද ඒ විදිහටම ඔහු විසින් ග්‍රයින්ඩරයකින් කපා රුපියල් 37,500ක මුදලක් සොරාගෙන ඇතැයි හෙළිවන්නේද ඔහුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදීය.

ටෙලර් යන්ත්‍ර මේ ආකාරයට කපා මුදල් සොරා ගැනීම්වලට අමතරව මෙම වසරේ ගම්පොළින් වාර්තා වන්නේ ටෙලර් යන්ත්‍රයක් එය සවිකර ඇති කුටියෙන් ගලවාගෙනම පැහැරගෙන යාමකි. පොලිස් පොත්වල එය සටහන් වෙන්නේ ටෙලර් යන්ත්‍රයක් පැහැර ගත් පළමු අවස්ථාව එය ලෙසිනි. මෙම පැහැර ගැනීම සිදුවන්නේ ජනවාරි 25 වෙනිදාය. කුලියට ගත් වෑන් රථයකින් පැමිණි කොල්ල කල්ලියක් සී.ඩී. එම්. වර්ගයේ ටෙලර් යන්ත්‍රය පැහැර ගෙන රැගෙන යන්නේ දෙල්තොට පැත්තේ කැලෑබද ප්‍රදේශයකටය. ඒ රුපියල් ලක්ෂ 76ක් සමඟිනි. මෙම සොරකමත් අපේ රටේ අපරාධ ඉතිහාසයේ සටහන්ව ඇත්තේ ටෙලර් යන්ත්‍රයක් පිටින්ම සොරාගත් පළමු අවස්ථාව ලෙසිනි.

මේ අතර ටෙලර් යන්ත්‍රවලට කිසිදු හානි නොකර තාක්ෂණික ක්‍රම ඔස්සේ ටෙලර් යන්ත්‍රයේ දත්ත පද්ධතියට රිංගා එහි ඇති මුදල් කොල්ල කෑමක්ද මෑතකදී මෙරටින් වාර්තා විය. නීතිය ආරක්ෂා කිරීමට බැඳී සිටින පොලිසියක ඉහළ නිලයක් දරන නිලධාරියකුගේ ද සහය ඇතිව හික්කඩුව, කරාපිටිය සහ බද්දේගම පිහිටි රාජ්‍ය බැංකු ශාඛා තුනක ටෙලර් යන්ත්‍ර 03කට තාක්ෂණයෙන් වැඩේ දෙන්නේ බල්ගේරියානුවන් දෙදෙනෙකි. ඒ එම යන්ත්‍ර තුනෙන් රුපියල් ලක්ෂ 110ක් සොරා ගනිමිනි. මෙම මුදල් සොරකම මෙරට අපරාධ ලේඛන අතර සටහන් වන්නේ මෙරට සිදු වූ මෙවැනි පන්නයේ පළමු බැංකු සොරකම එය බවටය.

මෙරට බැංකු පද්ධතිය හා සම්බන්ධ ටෙලර් යන්ත්‍ර කඩමින් සිදුවූ මේ හැම ආරකම සිදුවූ සොරකමක්ම පාහේ වැඩිකල් යන්නට මත්තෙන් පොලිසිය අනාවරණය කර ගත්තේය. අපරාධකරුවෝ නීතිය හමුවට ද ගෙන ආවේ එම අපරාධය සිදුකරන්නට මුල්වූ වස්තු බීජ පවා එළියට දමමිනි.

එහෙත් තවමත් නිට්ටඹුවේ සහ මදුරන්කුලියේ ටෙලර් යන්ත්‍ර දෙකට වැඩේ දුන් අය සිටින්නේ නිදැල්ලේය. මෙම ටෙලර් යන්ත්‍ර දෙකටම වැඩේ දුන්නේ එකම කණ්ඩායමක් ද නැතිනම් කණ්ඩායම් දෙකක් ද යන්න නිශ්චිත ලෙස පැහැදිලි නැතත් විශ්වාස කිරීමට හැකියාව ඇත්තේ නම් දෙකටම වැඩේ දුන්නේ එකම කණ්ඩායමක් විය හැකි බවය. මෙම සොරකම පවා මෙරට ඉතිහාසයේ මෙයට පෙර සිදු නොවූ ආකාරයේ සොරකමකි. ඒ නිසාම බැංකු පද්ධතියේ ටෙලර් යන්ත්‍රවල ආරක්ෂාව සම්බන්ධයෙන් නැවත වරක් සිතා බැලීමට එම ටෙලර් යන්ත්‍රවල ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන සමාගම්වලට පවා දෙවරක් සිතන්නට පවා සිදුවූයේය. ඒ නිට්ටඹුවේ පිහිටි ටෙලර් යන්ත්‍රයට හොරු ඇතුළුවීමත් සමඟිනි. මදුරන්කුලිය ටෙලර් යන්ත්‍රයට හොරු ඇතුළු වී සිටියදී ඒ ගැන ආරක්ෂක සමාගමේ නිලධාරීන් පවා දැනගන්නේත් පොලිසිය එතැනට එන්නේත් ටෙලර් යන්ත්‍රවල ආරක්ෂාව සම්බන්ධයෙන් ආරක්ෂකයන් වඩාත් අවධානයෙන් සිටීම හේතු කොටගෙනය.

නිට්ටඹුවේ ටෙලර් යන්ත්‍රයට සොරු ඇතුළුවීමෙන් අනතුරුව ටෙලර් යන්ත්‍ර ආරක්ෂක කැමරා පද්ධතියේ දර්ශන කෙරෙහි ඒ සම්බන්ධයෙන් පැය 24 පුරාම නිරීක්ෂණයේ නිරතව සිටින පුද්ගලික ආරක්ෂක සමාගමේ ආරක්ෂකයන් සිටින්නට වූයේ නිරන්තර අවධානයෙනි. යතුරු පැදි හිස් වැසුම් හා ජැකට් පැලඳි පුද්ගලයන් දෙදෙනෙක් මදුරන්කුලියේ පිහිටි ටෙලර් යන්ත්‍රය පිහිටි කුටියට එහි පිටුපස දොරින් ඇතුළු වන අයුරු එම කැමරා දර්ශන නිරීක්ෂණය කරමින් සිටි ආරක්ෂක නිලධාරීන්ට නිරීක්ෂණය වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. එම ආරක්ෂකයන් ඒ බව සිය ප්‍රධානීන් දැනුවත් කරනු ලබන්නේ හිස් ආවරණ, මුහුණු ආවරණ, ජැකට් පැලඳ ටෙලර් යන්ත්‍ර තුළට මුදල් තැන්පත් කිරීමට පවා ඇතුළු වීම තහනම් කරමින් මුදල් තැන්පත් කිරීමට යන ආරක්ෂක සමාගමේ නිලධාරීන්ට පවා නියෝගයක් නිකුත් කර තිබුණු බැවිනි. ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කරන ආරක්ෂක සමාගමේ ප්‍රධානීන් මෙහිදී වහාම ක්‍රියාත්මක වෙමින් ටෙලර් යන්ත්‍රවලට මුදල් තැන්පත් කිරීම් හා අලුත්වැඩියා කිරීම්වලට සම්බන්ධ ආරක්ෂක සමාගමට ඇමතුමක් දෙමින් පරීක්ෂාවක් කරනු ලබන්නේ ඔවුන්ගේ නිලධාරීන් මදුරන්කුලියේ ටෙලර් යන්ත්‍රයට ඒ වන විට ගොස් තිබේදැයි කියාය. මදුරන්කුලිය 10 කණුවේ පිහිටි ටෙලර් යන්ත්‍රයට හොරු ඇතුළු වී සිටින බව හෙළිවන්නේ එසේය.

119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ඒ ගැන දුරකථන පණිවුඩයක් යොමු වන්නේත් මදුරන්කුලිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ගාමිණි වික්‍රමසිංහ ඇතුළු නිලධාරින් ටෙලර් යන්ත්‍රය අසලට යන්නේත් ඒ අනුවය. ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමේදී පෙනී යන්නේ ටෙලර් යන්ත්‍රයේ ඇති කෝටියක මුදලක් රැගෙන ඔවුන් පළා ගොස් ඇත්තේ පොලිස් නිලධාරීන් එහි එන්නට විනාඩි තුනකට පමණ පෙර බවය. ටෙලර් යන්ත්‍රයට ඇතුළුවූ මොහොතේ සිට පළායන මොහොත දක්වා ගතවූ කාලය ගණනය කිරීමේදී පොලිස් විමර්ශකයන්ට නම් පෙනී ගොස් ඇත්තේ විනාඩි 07ක් වැනි කෙටි කාලයක් තුළ හැම දෙයක්ම අවසන් කර ඔවුන් දෙදෙනා පළාගොස් ඇති බවය.

මේ අය යතුරු පැදි ආරක්ෂක හිස් වැසුම් හා ජැකට් පැළඳ පැමිණි බැවින් මුලින් අනුමාන කරනු ලබන්නේ ඔවුන් දෙදෙනා යතුරු පැදියකින් පැමිණි ඇති බවය. ටෙලර් යන්ත්‍රය අසල ඔවුන් පැමිණෙන විට යතුරු පැදියක්ද නතර කර තිබී ඇත. විමර්ශනවලින් හෙළිවී ඇත්තේ එම යතුරු පැදිය ටෙලර් යන්ත්‍රයට ආ ගනුදෙනුකරුවකුගේ බවය. ටෙලර් යන්ත්‍රයට වැඩේ දුන් අය පැමිණ ඇත්තේ යැයි පෙනී ගොස් ඇත්තේ මගී බස් රථයක නැගීය. ඔවුන් පළා ගිය ආකාරය ගැන ද තොරතුරු රැසක් මේ වන විට හෙළිවී හමාරය. ඒ ගැන වැඩි යමක් මෙහි සටහන් තැබිය නොහැකිය. ඒ මදුරන්කුලිය පොලිසිය දැනටමත් ඒ ඔස්සේ ඔවුන් දෙදෙනා කොටු කර ගැනීමට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බැවිනි. ඒ අනුව වැඩිකල් නොගොස් අලුත් තාලයකට ටෙලර් යන්ත්‍ර කැඩූ මෙම අලුත් සොර රැල ද පොලිසිය විසින් කොටු කර ගනු ඇත. මෙතරම් පහසුවෙන් ටෙලර් යන්ත්‍රවලට ඇතුළුවී මුදල් සොරා ගැනීමට ඔවුන්ට හැකිවුණු රහස් ගොන්නක්ම එහිදී අනාවරණය වනු ඇතැයි පොලිසියේ විශ්වාසයයි.

ගයාන් කුමාර වීරසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division