Home » පනාපුත්‍ර කුහුඹු පැණියා (වෝහාරික වාර්තාව)

පනාපුත්‍ර කුහුඹු පැණියා (වෝහාරික වාර්තාව)

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

ජැක්සන් ඇන්තනි යළි කිසිදාක ආපසු නොඑයි. ඒ නිසා ඔහු ගැන යළි කිසි කලෙකත් කතු වැකියක් ලිවීමට අපට ඉඩ ලැබෙන්නේ නැත. සොක්‍රටීස්ගේ ඇතැම් ගෝලයෝ බාගෙට අදේවවාදී අය වූහ. එනම් ඔවුහු බාගෙට දේවවාදීය. සොක්‍රටීස් මරණයට පත්වූ කල්හි ඔහුගේ ආත්මය ඔහුගේ ශාස්ත්‍රාලය තුළ සැරිසරමින් තමන්ට මගපෙන්වනු ඇතැයි ඒ ගෝලයෝ කල්පනා කළහ. බෙබඳු කල්පනාවකට කිසියම් අයකු පුරුදු වූ විට එක්තරා පන්නයක ආවේශයක් ඔහු තුළ හටගනී. මෙසේ ආවේශ වූ ඒ ශිෂ්‍ය පරම්පරාව සොක්‍රටීස්ගේ දැනුම ඉක්මවන යම් දේ ස්වෝත්සාහයෙන් සොයාගෙන එහි ගෞරවය සොක්‍රටීස්ට පුද කළහ. මේ ශිෂ්‍ය පරම්පරාව cult එකක් ලෙස හඳුන්වන ලදි. එකී ලබ්ධියට අයත් නැති සොක්‍රටීස්ගේ අදේවවාදී ශිෂ්‍ය පිරිස සොක්‍රටීස් ඉගැන්වූ දෙය පමණක් මෙනෙහි කරමින් එතනින් එහා නොගොස් පරලෝකප්‍රාප්ත වූහ. මේ නිසා සොක්‍රටීස්ගෙන් පසු අලුත් දෙයක් ඉදිරිපත් කරන්නේ ඔහුගේ අර්ධ අදේවවාදී කල්ලියේ කට්ටිය පමණි.

ජැක්සන් ඇන්තනී සම්බන්ධයෙන් ද මේ ක්‍රියාවලිය ආදේශ කළ නොහැකිද යන කාරණය මතු වේ. ජැක්සන් ඇන්තනී යනු බරින් ඉතා වැඩි විශ්ව කෝෂයකි. මේ විශ්ව කෝෂය තුළ රංග කලාව, ඉතිහාසය, අධ්‍යක්ෂණය, ගවේෂණය ඇතුළු බොහෝ දේ තැන්පත් කිරීමට ඔහුට හැකි විය. ජැක්සන්ගේ එම විශ්ව කෝෂය සිසාරා ගොස්, සොක්‍රටීස්ගේ අර්ධ අදේවවාදී කල්ලිය කළාක් මෙන් තවදුරටත් ඉදිරියට යාම මේ රටේ ඊළඟ තරුණ පරම්පරාවේ පරමාර්ථය විය යුතු බව අපි යෝජනා කරමු. තාත්තාට වඩා ලොක්කකු වීමට පුතාට හැකි වෙතොත් එහි ගෞරවයෙන් කොටසක් තාත්තාට ද හිමි වේ. පනාපුත්‍ර කුහුඹු පැණියාගේ පුත්‍ර පරම්පරාව ඔහුට වඩා අඩි කිහිපයක් ඉස්සරහින් ගියොත් එහි ගෞරවයෙන් කොටසක් කුහුඹු පැණියාට ද හිමි වෙනවා ඇත. ජැක්සන් ඇන්තනී මිය පරලොව යන්නේ ස්වභාවධර්මයත් වෛද්‍ය විද්‍යාවත් එකිනෙක ගැටීම නිසා හටගත් සංකූලතාව නිසා බව අපට සිතාගත හැකිය. අලියා වාහනේ ගැටුණු පසු එතැනින් ඉවත් කරගත් ජැක්සන් පාරේ අයිනේ නිදිකර සිටියදී එතැනට පැමිණි සෝමරත්න දිසානායකට ජැක්සන් කතා කළේය. “සෝමේ මට අමාරුයි” යනුවෙන් ජැක්සන් කීවේය. අපට හැඟෙන පරිදි ඒ මොහොතේදී සිදුව තිබුණේ වාහන අනතුරේ අධික පීඩනය නිසා කිසියම් තැනකින් ජැක්සන්ගේ සුෂුම්නාව කැඩී තිබූ බවය.

සුෂුම්නාව කැඩුණු මිනිසා සනීප කරගත් විට සුෂුම්නාව යළි හා නොවුණ ද ඔහු රෝද පුටුවක තබා හෝ නිර්මාණාත්මක කාරියකට යොමු කරගත හැකිය. අනුරාධපුර රෝහලේදී ද, කොළඹ මහ රෝහලේදී ද ජැක්සන් කතා කළේය. ඉන්පසු ඔහුට හදිසි සැත්කමක් සිදුකරන ලදි. එම සැත්කමෙන් පසු ඔහුගේ ශරීරය තුළ කිසියම් ශල්‍ය බටයක් තැන්පත් කරන ලද බවත් එහිදී සිදුවූ වරදක් හේතුවෙන් ඔහුගේ මොළය මියගිය බවත් කියනු ලැබේ. මොළයට රුධිර සැපයුම නැතිවූ විට ද ප්‍රමාණවත් ඔක්සිජන් නොලැබුණු විට ද එම මොළය මියයයි. එහෙත් ජැක්සන්ගේ හදවත සහ පෙණහලු වැඩ කළේය. මියගිය මොළයකට යළි පණ දිය නොහැකිය. එහෙත් කිසියම් පුද්ගලයකු මියගිය බව වෛද්‍ය විද්‍යාත්මකව අර්ථ නිරූපණය කෙරෙන්න එම පුද්ගලයාගේ හෘදය ද නිෂ්ක්‍රිය වූ පසුය. මේ නිසා ජැක්සන් දිගටම රෝහලේ දැඩි සත්කාර ඒකකයෙහි තබා ගැනීම නීත්‍යනුකූල විය.

මේ අතර ඇහිඳගෙන කෑමෙන් බඩ පුරවා ගන්නා යූටියුබ් කාරයන් එකෙක් දෙන්නෙක් ජැක්සන් දැඩි සත්කාර ඒකකයෙන් ඉවත් කර ඔහුට ඔක්සිජන් දීම පිණිස සවි කරන ලද වෙන්ටිලේටරය වෙනත් රෝගියකුට දිය යුතු බව කියන්නට පටන් ගත්හ. අන්තර්ජාලය යනු බූරුවන් අශ්වයන් බවට පරිවර්තනය කරන තැනකි. මෙසේ අශ්වයෙක් බවට පත්වූ බූරුවකුත් නොවන කොටලුවෙක් ජැක්සන් වහාම ගෙදර ගෙන යන්නැයි කුමාරිගෙන් (ජැක්සන්ගේ බිරිය) ඉල්ලමින් වීඩියෝ දෙක තුනක්ම අන්තර්ජාලයට මුදාහැරියේය. එහෙත් එම වෙන්ටිලේටරය ජැක්සන්ගේ ඥාතීන් විසින් මිලට ගෙන ජැක්සන් වෙනුවෙන්ම එම රෝහලේ සවිකරන ලද්දක් බව මේ කොටලුවා දැන සිටියේ නැත. මෙවැනි අවස්ථාවලදී කොටලු සන්දර්ශන රැසක් පැවැත්වෙයි. මේ සන්දර්ශන සඳහා ලැබ් එකේ රුධිර සාම්පල් චෙක් කරන කෙනෙක් වූ රවී කුමුදේශ් සිය විශේෂඥ මතය ඉදිරිපත් කළේය. එසේම කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ දොස්තර රුක්ෂාන් බෙල්ලන සිය දාර්ශනික මතය ඉදිරිපත් කළේය. මේ කොටලු හඬවල් සියල්ල ජැක්සන්ගේ මෘත දේහය අඩංගු පෙට්ටිය වළට දමද්දී ඒ සමඟම පස් දමා යට කරන ලදි.

ජැක්සන් ඇන්තනී රංග කලාව පිළිබඳ කිසිදු ශාස්ත්‍රාලයීය පෙරහුරුවක් ලැබූ කෙනෙක් නොවේ. එහෙත් ඔහු කීර්තිමත් රංගධරයෙක් බවට පත්විය. චිත්‍රපට අධ්‍යක්ෂණය පිළිබඳ ඉන්දියාවේ පූනේ විද්‍යායතනයේ උපාධියක් හෝ American school of Movie making ආයතනයේ හෝ අධ්‍යාපනයක් ජැක්සන්ට තිබුණේ නැත. ඉතිහාසය පිළිබඳ ආචාර්ය උපාධියක් ඔහුට තිබුණේ නැත. ඒත් ඔහු ලංකා ඉතිහාසය වඩාත් විචක්ෂණ ලෙස ප්‍රශ්න කළ කිහිපදෙනාගෙන් කෙනෙක් විය. සංචාරකයකු ලෙස මඟට බට ඔහු ඉබන් බතූතා ගිය මගෙහි ද ෆාහියන් භික්ෂුව වැඩම කළ මගෙහි ද සංචාරය කළේය. දොන් කරෝලිස් හේවාවිතාරණගේ පුත්‍රයා වූ ඩේවිඩ් හේවාවිතාරණ සිය නම වෙනස් කරගෙන අනගාරික ධර්මපාල බවට පත්විය. වරක් ජැක්සන් ඇන්තනී යන නම වෙනුවට ඉතා සුගම සිංහල නමක් ගෙතූ උගතෙක් ඒ නමින් පෙනී සිටින ලෙස ජැක්සන්ට දැන්වීය. දින දෙකක් අලුත් නම භාවිත කළ ජැක්සන් තුන්වන දිනයේදී තම පැරණි නමින් පෙනී සිටින්නට පටන් ගත්තේය. පිටරට ආයතන හා එක්ව විදේශවල ජීවත් වෙමින් නිර්මාණ කරන්නට ඔහුට අවස්ථා කිහිපයක් ලැබුණ ද ඔහු එම අවස්ථා එකක්වත් භාර ගත්තේ නැත.

විඥානවාදයට අයත් පාරභෞතිකවාදයට (paranormal) අනුව අපගේ පනාපුත්‍ර කුහුඹු පැණියා මේ වෙලාවේ ගත කරන්නේ ගන්දබ්බ කාලයකි. භෞතිකවාදයට අනුව ඔහුගේ සිරුර පොළවට පස් වෙමින් පවතී. මරණය යනු අනියත දෙයක් බව මේ කවර හෝ වාදයකින් කියනු නොලැබේ. අපි ඉතා සාම්ප්‍රදායික ලෙස මේ කතුවැකිය නිමා කරමු.

“ජැක්සන් ඇන්තනී කළ දේවල් තව බොහෝ කාලයක් පවතිනවා ඇත”.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division