“ආයුබෝවන් ගුරුන්නාන්සේ!” මම ඔහුට එලෙස මගේ ආමන්ත්‍රණය වෙනස් කළෙමි. “ආයිබෝවන් මහත්තයා!” ඔහුගේ ප්‍රතිචාරය කාරුණිකය. ගෞරවනීයය. අඟහරුවාදා වනතුරු මම සිටියේ නොඉවසිල්ලෙනි. “මහත්තයා අපි ආයුබෝවන් කීවත් ආයු බොහෝ වේවා කීවත් ආයිබෝවන් කීවත් අර්ථය නම් එකයි. ඒත් නිතර නිතර කියන සමහර වචන අපේ ජීවිතවලට බලපානවා. ආයුබෝවන් කියපුවම ඒක ‘ගිනි ගණයේ’ වචනයක් ආයිබෝවන් කියපුවම භූමි ගණයේ වචනයක්… ලස්සන කරන්න කොහොම කීවත් ආයිබෝවන් කියන එක හොඳයි මහත්තයා… ඒවා දැනගන්න එක හොඳ නිසයි කීවේ.“
“එහෙමයි එහෙමයි ගුරුන්නාන්සේ“ මා යටහත් පහත්ව පැවසුවෙමි.
“අපි අපේ වැඩේ පටන් ගනිමු. තේ එකක් හිමීට එයි” කියු ඔහු බුදු මැදුර අසල තිබු කුටිය දෙසට ගමන් කළේ “මා පසුපසින් ඒවි” යැයි සිතුවිල්ලෙන් විය යුතුය.
නමෝ බුද්ධාය!
වක්‍ර කුණ්ඩ මහා කාය
සූර්ය කෝටි සමප්රභා
නිර්විඝ්නම් කුරුමේ දෙවා
සර්ව කාර්යේෂු සර්වදා
සරස්වතී නමොසතුභ්යං – වරදෙ කාම රූපිණී
විද්යාරමභං කරිශ්යාමි -සිධිර් භවතු මෙ සදා
නමස්කාරයෙන් පසුව ඔහුම සාකච්ඡාව ආරම්භ කළේය.
“මහත්තයා යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන්න ජ්‍යොතිෂය පිළිබඳ දැනුමකුත් ඕනා. ජ්‍යොතිෂයේ නැකත් ශාස්ත්‍රය ගැන හොඳ දැනුමක් තිබ්බොත් යන්ත්‍ර මන්ත්‍රවලින් බොහෝ ප්‍රයෝජනයි. සමහර ඒවට යන්ත්‍ර මන්ත්‍ර ඕනමත් නැහැ. විශේෂයෙන් මේ විෂය ඉගෙන ගනිද්දී ඇවතුම් පැවතුම් ටිකක් තියෙනවා. මහත්තයා ඒ ටික මතක තියාගත්තත් කමක් නැහැ. ලියාගත්තත් කමක් නැහැ.“ මා ඒවා ලියා ගත්තෙමි.
පිරිසිදු කම
පිරිසිදුකම අංග පහකි. කායික පිරිසිදුකම එකකි. බොහෝ දෙනෙකු ඒ ගැන දනී. මානසික පිරිසිදුකම සියල්ලට වඩා වටනේය. ස්ථානීය පිරිසිදුකම තුන්වැනිය. අදාළ යන්ත්‍ර මන්ත්‍ර කාරණා සිදු කරන ස්ථානය පිරිසිදුව පැවතිය යුතුය. දිශා පිරිසිදුකම විශේෂිතය. මන්ත්‍ර ජප කරන්නා සහ ආතුරයා සිටින ස්ථානය පිරිසිදු විය යුතුය. කාලයේ පිරිසිදුතාව ඊළඟ වැදගත් කාරණාවය. මේ කාරණා පහ ඉතාමත් පිරිසිදු නොවී නම් කරන කාර්යයේ පල නොලැබෙනු ඇත.
ඔහු විසින්ම මේවායේ අරුත් දහම් නොපැවසුයේ නම් ගුරුවරයෙකු වූ මා හටත් මේ කිසිවක් නොතේරුණ බව නම් සත්‍යය. “අනෙක් එක තමයි මන්ත්‍ර ස්නානය. මම මේක මෙතන කීවට ඒක ගොඩක් ගැඹුරු කරුණක්. ඒ ගැන පස්සෙ කතා කරමු. දැන් කමල් මහත්තය අපි නානකොට නාන බවවත් දන්නෙ නැහැ නේද? සමහර විටක මැෂින් වගේ වෙලා. මේක හොඳින් අහගන්න. කමල් මහත්තයා අපි කොයි දේ කරන්න ඕනිත් සිහියෙන්. විශේෂයෙන් ආධ්‍යාත්මික විෂයන් ඉගෙන ගන්න කොට ජල ස්නානයේදී ඉතා සිහියෙන් වැඩ කරන්න ඕනි. නාන ගමන් “නමෝ බුද්ධාය” වගේ පාඨයක් සිතෙන් මිමුණුවට කමක් නැහැ. වේද පොත්වල එහෙම එකක් නැහැ. මන් ඒක ආරම්භයක් වශයෙන් මන්තර ගැන හිතෙන් අත ඇරල “ආප් භූතයා (ජල භූතයා) මා කෙරෙහි ආකර්ෂණය වේවා” යන සිතිවිල්ල නානකොට තබා ගැනීමයි වැදගත්.“
මා ඊළඟ ප්රශ්නය නඟන්නට සූදානම් වන විට තේ ගෙන ආවේ මාටින් ගුරුන්නාන්සේගේ බිරිඳය. “අපි තේ එකක් බොමු” මාටින් ගුරුන්නාන්සේ කී නිසා ඊට යොමු විමි. ගඟේ ශබ්දයට සවන් යොමු කරමින් තේ රසය වින්දෙමි. තේ කෝප්පය පසෙක තබමින් මා ඊළඟ ප්රශ්නය ඇසුවෙමි. “එතකොට ගුරුන්නාන්සේ ඔය විදිහට ගින්දර – හුළඟ ගැනත් කරන්න පුළුවන් නේද?“ ඔහු තේ කෝප්පය පසෙක තබා පිළිතුරු දුන්නේය. “ඔව් කමල් මහත්තයා. ඔව් පුළුවන්. මේකට කියන්නෙ ‘භූත ශුද්ධිය’ කියල. ඒත් හිතුමනාපයට එහෙම කරන්න බැහැ. නරක ප්‍රතිඵල ලැබෙන්න පුළුවන්. මේ ජලය එහෙමත් නැතිනම් ‘ආප් භූතයා’ වසඟ කරගැනීම කාටත් වරදක් වෙන්නෙ නැහැ. නිකක් හිතන්න. කෙනෙක් නානකොට ආප් භූතයාව මෙනෙහි කරනවා. ළිප ළඟට ගිය වෙලාවට ගින්දර දිහා බලලා ගිනි භූතයාව මෙනෙහි කරනවා. දෙන්නට දෙන්න විරුද්ධයි. අවසානයේ පිස්සු හැදෙන්නත් පුළුවන්. පස්සෙ දියුණු වෙනකොට ඔය පස්දෙනාවම ආකර්ෂණය කරගන්න පුළුවන්. ක්‍රමවේදයේ තියෙනව ප්රශ්නය නරක නැහැ. ඒත් එහෙම කරන්න හොඳ නැහැ.“
එකක් කායික පිරිසිදුකම. අනෙක ජල භූත වසඟතාවය. මේක මෙහෙම කීවට ගොඩක් ගැඹුරු පාඩමක්. අපේ කාරණාවට අදාළ කොටස විතරයි මම කීවේ. මහත්තයට ඉතින් තව හොයල බලන්න පුළුවන්. යෝග භාවනා කරන අය යෝග භාවනා කරන්න කලින් මේ පිරිසිදු බව කියන එකේ කියපු කාරණා පහම විශේෂයෙන් බලන්න ඕනි. ස්වත්මාරාම යෝගිවරයාගේ ඉගැන්වීම් ගැන කියවෙන ‘හථ යෝග ප්රදීපිකාවෙ‘ කියනව යෝග භූමිය ගැන නොදන්න කෙනා මරුමුවට වුණත් පත්වෙන්න පුළුවන් කියලා. ඔය කීවේ අපි කතා කරපු ස්ථාන ශුද්ධිය, දිශා ශුද්ධිය කියන දෙක ප්‍රධාන කරල. මහත්තයට පරක්කු වෙන්නෙ නැත්නම් අපි තව එකක් දෙකක් කතා කරමු.“
“නෑ… නෑ… ගුරුන්නාන්සේ මම ඉතින් මේකටම ආශාවෙන්නේ ආවේ… පරක්කුවක් නැහැ.“ මම කීවෙමි.
පාරම්පරික ශාස්ත්‍රඥ හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු