Home » ගොවිතැනට කෙම් ක්‍රම

ගොවිතැනට කෙම් ක්‍රම

by thanushika
October 14, 2023 12:35 pm 0 comment

අතීතයේදී පෙරදිග ධාන්‍යාගාරය බවට පත්ව තිබු අප රට එලෙස ගොවීන් කටයුතු කරලීමේදී මෙන්ම එදිනෙදා ජීවිතයේ අපේක්ෂා කරන මෙන්ම විවිධ ප්‍රශ්න ගැටලු නිරාකරණය කරගැනීම සඳහා ද විවිධ කෙම් ක්‍රම භාවිත කර ඇත. අතීතයේදී අපේ මුතුන්මිත්තන් ආගමට සහ ජ්‍යොතිෂයට මුල් තැන දෙමින් ඉපැරණි යන්ත්‍රමන්ත්‍ර මෙන්ම විවිධ කෙම් ක්‍රම ද අනුගමනය කරමින් තම අවශ්‍යතා ඉටුකර ගැනීම සිදු කරගෙන ඇත.

මිනිසා කෘෂිකර්මාන්තයට අදාළව කටයුතු කිරීමේදී ජ්‍යොතිෂ තුළින් පෘථිවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලයට අයත් ඒ ඒ ග්‍රහයන්ගේ හැසිරීම් රටාව ඉතා සියුම් ලෙස අධ්‍යයනය කර ඒ ඒ ග්‍රහයන්ගේ කිරණයන් සහ දෘශ්‍ය වර්ණාවලින් පෘථිවි තලයට පතිත වන්නාවූ කාලයන් මොනවාද ඒවායේ කෝණයන් මොනවාද යන්නද විමසා අධ්‍යයනය කෙරිණි. ඉන් ඒ ඒ ග්‍රහයන්ගේ ගුණාගුණ සත්ත්වයින් මෙන්ම ගහකොළ පිළිබඳව දක්වන ප්‍රතිචාර පිළිබඳ අවබෝධය මත ග්‍රහයන්ගේ රාශි ගතවීම තුළින් සිදුවන පාරම්පරික වෙනස්කම් මත විවිධ ශාක වර්ගවල වැඩීම මල් ගෙඩි කරල් ආදිය හටගැනීම මේරීම, පැසීම සිදුවන අතර ඒ අනුව කෘෂිකර්මාන්තයේ දී බිම් සකස් කිරීමට බීජ සහ පැළ සිටුවීමට තවන් දැමීමට අස්වැන්න නෙළා ගැනීමට ද අස්වැන්න ආරක්ෂා කරගැනීමට ද විවිධ කෙම් ක්‍රම භාවිත කර ඇත.

අතීතයේදී කෘෂිකර්මාන්තයේ දියුණුවට ආරක්ෂාවට අදාළව කර ඇති විවිධ කෙම් ක්‍රම මෙහිලා සඳහන් කර ඇත. එමෙන්ම එදිනෙදා ජීවිතයේදී විවිධ රෝගවලදී භාවිත කළ විවිධ කෙම් ක්‍රම අතර විශේෂිත කෙම් ක්‍රම පිළිබඳව දක්වා ඇත. කෘෂිකර්මාන්තයට අදාළව කුඹුරු ආශ්‍රිතව වී වැපිරීමේදී තම අස්වැන්න වැඩිකර ගැනීමට විවිධ කෘමි සතුන්ගෙන් ඇති වන්නා වූ වගා හානි වැළැක්වීමට කෙම් ක්‍රමයක් විය. එහිදී වී වැපිරීමට අවශ්‍ය බිත්තර වී සේරුවක්ද, සාම්බ්‍රාණි රාත්තල් භාගයක් ද පුහු ළිඳකින් ලබාගත් වතුර භාජනයක් පලතුරු වර්ග 07ක් ද, සුදුපාට කපුරු පෙති 04ක් ද බුලත් කොළ 07ක් ද පඬුරු 07ක්ද, සුදුපාට මල් පිනිදිය කුප්පි එකක් කෙසෙල් පතුරු උපයෝගී කරගෙන සාදා ගත් මල් බුලත් පුටුවද දෙහි කොළ නවයකින් යුක්ත දෙහි කොළ අතු කැබැල්ලක් ද කලින් සූදානම් කරගෙන මල් බුලත් පුටුවක පිරුවටයක් දමා මස් මාංශ කෑමෙන් වැළකි තමන් නා පිරිසිදුවී සුදු වස්ත්‍රයක් හැඳ සුවඳ දුම් අල්ලා පුහු ළිඳකින් ලබාගත් වතුර බඳුන නැවුම් කළයකට දමා පිනිදිය මල් බුලත් පුටුවට ඉසීම කරන්න.

ආරම්භයේ සිට මේ සියල්ලම පිටස්තර කිසිවකු සමඟ කතා නොකර පහන දල්වා ප්‍රදේශයට අධිපති දෙවියන් සිහිකර මෙම බිත්තර වී තබා මෙහි සඳහන් මන්ත්‍රයෙන් 108 වර මතුරා ජීවම් බල පිහිටුවාගෙන පසුව දෙහි කොළ අත්ත ගෙන පැන් බඳුන තුළ ඇති වතුර ගෙට නිවසට ඉසීම කරන්න. සරුසාර අස්වැන්නක් ලැබෙනු ඇත.

(ඉපැරණි කෙම් ක්‍රමය)

මන්ත්‍රය – ඩිං හ්‍රීං හ්‍රීං හ්‍රීං පුන්තු හාල්

චන්දපුම් චන්ධානුම් (චන්දැනුම්) තෛරේඩි

ඉතින් ද තුර්ඩාම් පේයුම් ක්ලියුම් අනියුම් ශිව ශිවාය

නම නම යුම් ක්ලියුම් ශිව පුම් සිද්ධි සිද්ධි ඒස්වාහඃ

මෙම මන්ත්‍රයෙන් ජීවම් බල පිහිටුවා ගත් බිත්තරවී කුඹුරට ඉසීමට ඇති බිත්තර වීවලට කලවම් කර පසු දින අලුයම හෝ එම වේලේම ඉසීම (වැපිරීම) කරන්න.

එමෙන්ම කිරි වැදීගෙන එන ගොයමට ඉහත ආකාරයට පුහු ළිඳකින් කිසිවකු සමඟ කතා නොකර වතුර ගෙන සුබ දිනක සුබ හෝරාවක වතුර බඳුන පහත සඳහන් මන්ත්‍රයෙන් 108 වරක් ජීවම් බල පිහිටුවා කුඹුරට ඉසින්න. දුම්මල මිටවල් තුනක් ගෙන එම මන්ත්‍රයෙන්ම 108 වරක් ජීවම් කර කුඹුර මැද වළ දමන්න. පැන් ඉසීම දෙහි කොළ අත්තකින් කරන්න.

වගාව පාළු කිරීමට එන සතුන්ගෙන් ආරක්ෂා වීමට හානි වැළැක්වීමට මෙම මන්ත්‍රයෙන් ජීවම් කර අලුයම කිසිවකු සමඟ කතා නොකර ඉසීම කරන්න. මුහුදු වතුර හෝ ගඟකින් හෝ ගලාගෙන එන ඇළක වතුර ගෙන මේ ආකාරයට මෙම මන්ත්‍රයෙන් 108 වරක් ජීවම් කරගෙන කුඹුරට අලුයම කතා නොකර ඉසින්න. වන සතුන්ගෙන් කෘමි උවදුරු දුරු වීමට යොදාගත හැකි ඉපැරණි කෙම් ක්‍රමයකි.

මන්ත්‍රය – ඕං හනුමා ජහරේ හනුමා පෝ අප්පා හනුමා පෝ

ජීං යං කිංචි ලෝකේ විජ්ජාච‍රණෙ ස්වාහඃ

ගම්මිරිස් වගාවේ කරල්වල ඇට පුහුවීම වැළැක්වීමට එම ගම්මිරිස් වැලේ නැටි කිසිවකු සමඟ කතා නොකර කඩාගෙන සෙනඟ ගමන් කරන පාරේ විසුරුවා දමන්න. මෙය පැඟීමෙන් වැල්වල ඇට නියමාකාරයෙන් සැදේ.

ගොළුබෙල්ලන්ගේ හානි වැළැක්වීමට කිසිවකු සමඟ කතා නොකර තැනින් තැන රතුළුණු සිටුවන්න. ගොළුබෙල්ලන් කෑම නවතී.

වී වගාවට හෝ වෙනත් වගාවනට ඌරන්, ගවයන්, අලින් හෝ වන හානි වැළැක්වීමට වගාව වටේ ඇති ගස්වල අතු එකිනෙකට තැන් තැන්වලින් එකට එක්කර කතා නොකර ගැට ගසන්න. සිංහ කරනං දිවි කරනං ඇති වේලාවක කරන්න.

හිසේ උදුගොව්වා කනවාට – අලුයම හිරු උදාවීමට පෙර කිසිවකු සමඟ කතා නොකර මුත්‍රා කර ස්වල්පයක් ගෙන අදාළ ස්ථානයේ ගාන්න.

හිස්හොරි නැති වීමට – කතා නොකර සැවැන්දරා මුල්, සුදු හඳුන්, උළුහාල් තල තෙල් සමඟ ළිප තබා රත්කර එම තෙල හිසට දින කිහිපයක් ගාන්න. හිස්හොරි නැති වේවි.

බෝවන විවිධ රෝගවලින් ආරක්ෂා වීමට – වද කහ, කොහොඹ කොළ, සුවඳ කොට්ටම්, ගුගුල් අගිල්, දේවදාර, වරා කොළ, සාම්බ්‍රාණි සමව ගෙන කුඩු කර කිසිවකු සමඟ කතා නොකර නිවස තුළට පිටතට දුම් අල්ලන්න.

ඉදිමීම් තැල්මට – පරණ ගොරකා තම්බා එම වතුරට බිම් දුම්මල, හීනටි හාල්, කළු දුරු, සුදු දුරු, අබ, දුඹුලු, වියළි කහ එක පමණට ගෙන අඹරා කිසිවකු සමඟ කතා නොකර අදාළ ස්ථානයේ තබා බඳින්න.

පාඩම් සිහි වීමට – වතුර වීදුරුවකට අලුයම පිටස්තර අය සමඟ කතා නොකර මෙම මන්ත්‍රයෙන් 21 වරක් මතුරා හිස්බඩ බොන්න. දිනපතා මතක ශක්තිය ඇති වේ.

මන්ත්‍රය – ඕං හ්‍රීං වල්ලි අම්මා පේසනී පේසහාසිනි ප්‍රේසනී

ක්‍රෝස පේසනි හරි හරිප් විලාඹා සූනියම් ඉල්ලා පෙරඑම

ඔරු නයිරේ හ්‍රීං හ්‍රීං මංකර විභුෂනි මන්ත්‍ර යන්ත්‍ර ප්‍රවාසනී

කඩකයිරේ ගිනිසුං සුං

ප්‍රවීණ ජ්‍යොතිර්වේදී එම්. එම්. රූපසිංහ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division