Home » කළොත් කට මට්ටු වේය බඩ මට්ටු

කළොත් කට මට්ටු වේය බඩ මට්ටු

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

– දිනකට ගත යුත්තේ ලුණු තේ හැඳි 1ක් සහ සීනි තේ හැඳි 6ට වඩා අඩුවෙන්
– බර අඩු කරගන්න ඕනේ නම් කට මට්ටු කරන ගමන් සිරුරට දැනෙන්න ව්‍යායාම කරන්න
– කාන්තාවකගේ ඉණ වට ප්‍රමාණය අඟල් 32ට වඩා වැඩි නම් සහ පුරුෂයකුගේ ඉණ වට ප්‍රමාණය අඟල් 36ට වැඩි නම් ඔහු උදරයේ ස්ථුලතාවෙන් පෙළෙන අයෙක්
– පැකට් කළ අර්ධ ඝන සහ ඝන ආහාර පාවිච්චියේදී වර්ණ සංඥා ගැනත් සැලකිලිමත් වෙන්න
– උදරයේ ස්ථුලතාව තරබාරුව ගැන කියන සාධකයක්
– බෝ නොවන රෝග වැඩි වීමට වැරදි ආහාර පුරුදු, මානසික ආතතිය සහ වායු දූෂණය හේතුවෙයි

“කළු කපුටා සුදු වන තුරු, මෝල් ගහේ දලුලන තුරු, එකසිය විස්සට දෙසිය විස්සක් ආයුබෝ වේවා” යන ප්‍රාර්ථනාව වර්තමානයේදී නම් සඵල වන්නේ කලාතුරකිනි. එයට හේතුව වසර සිය ගණන් ජීවත් වන මිනිසුන් වත්මන් සමාජයේ දුලබ නිසාය. වසරකට ලොව පුරා පුද්ගලයන් මිලියන 10ක් මිය යන බව වාර්තා වේ.

එතරම් විශාල මරණ සංඛ්‍යාවක් සිදුවන්නේ හදිසි අනතුරකින් හෝ ස්වභාවික ආපදාවකින් නොවීම අවාසනාවන්ත තත්ත්වයකි. එම අකල් මරණවලට හේතුව බෝ නොවන රෝග වන අතර එම රෝග වැලඳීමට ප්‍රධාන හේතුවන ලෙස දුම්පානය, ව්‍යායාම් නොකිරීම, සමබල ආහාර වේලක් නොගැනීම, මත්පැන් භාවිතය ආදී හේතු බව අනාවරණය වී ඇත. දියවැඩියාව, හෘද රෝග, පිළිකා, වකුගඩු රෝග ඇතුළු ප්‍රධාන බෝ නොවන රෝගවලට වැඩි වශයෙන් ගොදුරුව ඇත්තේ අඩු සහ මධ්‍යම ආදායම්ලාභී රටවල් වන අතර, ශ්‍රී ලංකාව ද එම අවදානමට මුහුණ දී තිබෙන රටකි.

බෝනොවන රෝග වැඩි වීමට ප්‍රධාන හේතුවක් ලෙස තරබාරුව සහ බර වැඩිකම පෙන්වා දිය හැකිය. 2021 වසරේදී මෙරට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය එක්ව සිදු කළ බෝ නොවන රෝග පිළිබඳ අවදානම් සාධක හඳුනා ගැනීමේ පරීක්ෂණයේදී ඒ පිළිබඳ වැදගත් තොරතුරු රැසක් හෙළි වී ඇත. රට පුරා වයස 18 – 19 වයසේ පුද්ගලයන් 7,000ක් පමණ යොදාගෙන කරන ලද එම පරීක්ෂණයේදී මෙරට ස්ත්‍රී, පුරුෂයන් අතර තරබාරුව සහ බර වැඩිකම ශීඝ්‍රයෙන් වැඩි වී ඇති බව හෙළි වී තිබේ. ඒ අනුව ශ්‍රී ලාංකිකයන් අතර බෝ නොවන රෝගවලට ගොදුරු වීමේ ප්‍රවණතාව ද ඉහළ ගොස් ඇත. 2015 වසරේ සංඛ්‍යා දත්ත අනුව සියයට 7ක් වූ දියවැඩියා රෝගීන් මේ වන විට සියයට 14.6 දක්වා ඉහළ ගොස් ඇති අතර, 2015දී සියයට 25%ක් වූ අධි රුධිර පීඩනයෙන් පෙළුණු රෝගීන් සංඛ්‍යාව මේ වන විට සියයට 54 දක්වා ඉහළ ගොස් ඇති බව හෙළි වේ. මෙය රටක් වශයෙන් බරපතළ ප්‍රශ්න රැසකට අත වනන අවාසනාවන්ත තත්ත්වයක් වන්නේ සෞඛ්‍ය පහසුකම් සහ ඖෂධ සඳහා රජයට විශාල මුදලක් අමතරව දැරීමට සිදු වන නිසාය. බෝ නොවන රෝගවලින් වැළකීම සඳහා කළ යුත්තේ සිරුරේ තරබාරුව සහ බර වැඩිකම මට්ටු කිරීමය. එය කරන්නේ කෙසේද? යන්න ඇතැමකුට ප්‍රශ්නයක් විය හැකිය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ කලක් සේවය කළ, ජාතික දියවැඩියා මධ්‍යස්ථානයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධනගෙන් අපි මේ පිළිබඳ විමසීමක් කළෙමු.

“බෝ නොවන රෝග අතර දියවැඩියාව සහ අධි රුධිර පීඩනය ඉහළ මට්ටමක තිබෙනවා. දියවැඩියාව රෝගය වැලඳෙනකොට රෝග ලක්ෂණ මතුවෙනවා. නමුත් හෘද රෝග එහෙම නෙවෙයි. එකවර මතුවෙන්න පුළුවන්. අපේ රටේ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ කවදාවත් රුධිර පීඩනය (පෙෂර්) පරීක්ෂා කර බලලා නැහැ. ඒ වෙද්දී බොහෝ ඉන්ද්‍රියන්ට හානිවෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා අපි සැලකිලිමත් විය යුත්තේ ලෙඩ හැදුණට පස්සේ ප්‍රතිකාර ගන්න නෙවෙයි, ලෙඩ නොවී ඉන්නෙ කොහොමද කියන කාරණාව ගැනයි. බෝ නොවන රෝගවලට ප්‍රධානම හේතුව සිරුරේ බර වැඩි වීම, උසට සරිලන බරක් පවත්වාගෙන නොයෑමයි. සිරුරේ බර වැඩිවෙන්න ප්‍රධානම හේතුව අපේ ආහාර රටාව සහ අපි ගන්නා ආහාරපානයි. ලුණු, සීනි සහ තෙල් අධික ආහාර ගැනීම, සිරුරට ව්‍යායාම නොමැති වීම, මත්පැන් සහ දුම් පානයත් ඊට හේතු වෙනවා.

ඊට අමතරව බෝ නොවන රෝග සඳහා මානසික ආතතිය සහ වායු දූෂණයත් ප්‍රධාන හේතු බව හඳුනා ගෙන තිබෙනවා. මේ නිසා අංශභාගය (ආඝාතය) සහ හෘද රෝග වැලඳීමේ අවදානම ඉහළ ගොස් තිබෙනවා. ”

පුද්ගලයකුගේ තරබාරු හෝ බර වැඩි බව අපට බැලූ බැල්මටම හඳුනා ගත හැකිය. එහෙත් එය නිවැරැදිව හඳුනා ගන්නා ක්‍රමය ශරීර ස්කන්ධ දර්ශකය හෙවත් BMI අගයයි. සරලව කියනවා නම් සිරුරේ උසට සරිලන බර පවත්වාගෙන යෑමයි.

“ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් සකස් කර ඇති BMI අගය පිළිබඳ ගණනය කිරීම්වලට අනුව එම අගය 18.5 – 24.9 අතර අගයක තිබීම සාමාන්‍ය වුවත් ආසියාතික රටක ජීවත් වන අපට ගැළපෙනම BMI අගය 23යි. එම අගය ඉක්මවා යෑමට නොදී පවත්වා ගැනීම සෞඛ්‍යයට හිතකරයි. සිරුරේ බර වැඩි වීම ගැන කියද්දි බොහෝ දෙනකු උදරයේ ස්ථුලතාවයෙන් පෙළෙන බව අපි දකිනවා. තන්තු සහ කෙඳි සහිත ආහාර ගැනීම අඩු වීම, ක්ෂණික සහ කෘත්‍රිම ආහාරපාන භාවිතය වැඩි වීම, තෙල්, සීනි සහ පිටි සහිත ආහාර වැඩිපුර ගැනීම නිසා ශරීරයේ මේදය තැන්පත් වෙනවා. ඒ විදිහට මේදය වැඩි වශයෙන් තැන්පත් වන්නේ උදරයේ. කාන්තාවක නම් උදරයේ ස්ථුලතාව, නැත්නම් ඉණ වට ප්‍රමාණය සෙන්ටිමීටර් 80ට (අඟල් 32ට)වඩා නොවැඩි විය යුතුයි. පිරිමි අයකුගේ උදරයේ ස්ථුලතාව, ඉණ වට ප්‍රමාණය සෙන්ටිමීටර් 90ට (අඟල් 36ට) වැඩි නම් ඔහු උදරයේ ස්ථුලතාවෙන් පෙළෙන අයෙක්. “විශේෂඥ වෛද්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරන්නේ සිරුරේ බර වැඩිවීම සඳහා ලුණු සහ සීනි අධික ආහාර ගැනීම හේතුවන බවය.

“දවසකට පුද්ගලයකු ගත යුතු ලුණු ප්‍රමාණය තේ හැඳි 1ක් නැතහොත් ග්‍රෑම් 5 නොඉක්මවිය යුතුයි. ඒ වගේම සීනි අධිකව ආහාර ගැනීමත් සුදුසු නැහැ. අප නිර්දේශ කරන්නේ දිනකට සීනි තේ හැඳි 6කට අඩු විය යුතු බවයි. විශේෂයෙන් ළමුන් කුඩා වියේ සිට සීනි අධික ආහාර ගැනීම සුදුසු නැහැ. පාසල් යන වයසේ ළමුන්ගෙන් සියයට 9කගේ පමණ බර වැඩියි. සාමාන්‍යයෙන් බිස්කට් එකක සීනි තේ හැන්දක් පමණ තියෙනවා. එම නිසා ඒ ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතුයි.”

තන්තු බහුල කෙඳි සහිත ආහාර වැඩිපුර ගැනීම, සමබල ආහාරවේලක් ගැනීමට අමතරව ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම (මෙහිදී පිපාසය දැනෙන තුරු නොසිට වතුර පානය කළ යුතුයි), දිනකට පැය හයකවත් නින්දක් ලබා ගැනීම, වැඩිහිටියකු නම් දිනපතා පැය භාගයක්වත් ව්‍යායාම්වල නිරත වීම, දරුවන්ට දිනකට පැයක් පමණ ක්‍රියාශීලී වීමට අවස්ථාව සලසා දීම, මානසික ආතතියෙන් මිදීම සඳහා දිනකට සුළු වේලාවක් හෝ තමා කැමති ක්‍රියාකාරකමක හෝ විනෝදාංශයක නිරත වීමෙන් ද සිරුරේ බර වැඩි වීම සහ තරබාරුව වළකාගත හැකි බව ද විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන පැවසුවාය. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම දියවැඩියාව, හෘද රෝග, ආඝාත හා පිළිකා වැනි බෝ නොවන රෝගවලින් ආරක්ෂා වීමට උපකාරී වුවද වේගවත් නාගරීකරණය තුළ අධික කාර්යබහුල ජීවන රටාව නිසා ජනතාවගේ ආහාර පුරුදු අහිතකර මට්ටමට ළඟා වී ඇත. ඒ හේතුවෙන් සීනි, තෙල් හා ලුණු අධික ආහාරපාන ගැනීම අධික වී ඇති අතර, බොහෝ දෙනෙක් ධාන්‍ය, පලතුරු, එළවළු හා අනෙකුත් සෞඛ්‍යසම්පන්න ආහාරපාන වෙතින් දුරස් වෙමින් සිටීම බෝ නොවන රෝග වැඩි වීමට හේතුවකි. වැඩිහිටියන් සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර ලෙස පලතුරු, එළවළු, රනිල භෝග (පරිප්පු හා බෝංචි), ඇට වර්ග සහ සම්පූර්ණ ධාන්‍ය ආහාරයට එක්කර ගැනීම සුදුසුය. සෑම අයකුම දිනකට පලතුරු හා එළවළු අවම වශයෙන් ග්‍රෑම් 400ක් හෝ වර්ග පහක් අනුභවයට ගැනීමෙන් බෝ නොවන රෝග වැලඳීමේ අවදානම අඩු කරගත හැකි බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය කලකට පෙර නිර්දේශ කළේය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් පැකට් කරන ලද අර්ධ ඝන හෝ ඝන ආහාර පැකැට්ටුවල ඉදිරිපස ලේබලයේ රතු, කොළ සහ කහ වර්ණ යටතේ ආහාර වර්ග කිරීමට රෙගුලාසි පනවා ඇත්තේ එම ආහාරවල අඩංගු සීනි, ලුණු සහ මේද ප්‍රමාණය අනුවය. ඒ අනුව අප ආහාර තෝරා ගැනීමේදී ප්‍රමුඛතාව දිය යුත්තේ කුමකටද යන්න පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම ද වැදගත් වේ. ඔබ ගන්නා ආහාර ද්‍රව්‍යයක ලේබලයේ රතු ලේබල් එකක් හෝ තිබෙනවා නම් එම ආහාර හැකිතරම් භාවිතය අවම කළ යුතු අතර කහ ලේබල් එකක් හෝ තිබෙනවා නම් එම ආහාර සීමා කළ යුතුය. කොළ පැහැති ලේබල් සහිත ආහාර භාවිතයට ගත්තද විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කරන්නේ හැකිතරම් ස්වාභාවික ආහාරපාන භාවිතයට හුරු වීම බෝ නොවන රෝග වැලඳීමේ අවදානම අඩු කරගැනීමට ඉවහල් වන බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් බීම වර්ග සඳහා මීට පෙර පනවා තිබෙන වර්ණ සංඥාවල සඳහන් අගයන් වෙනස් කරමින් නව රෙගුලාසියක් නිකුත් වී ඇති අතර, මෙම රෙගුලාසිය ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ ලබන වසරේ ජනවාරි මාසයේ සිටය.

ඒ අනුව කොළ වර්ණයෙන් සංකේතවත් වන්නේ සීනි ග්‍රෑම් 1.5ට අඩුවෙන් ඇති බීම වර්ගයි. කහ වර්ණයෙන් මිලිලීටර් 100ක සීනි ග්‍රෑම් 2.5 – 8ත් අතර ප්‍රමාණයක් අඩංගු වීම සංකේතවත් කරන අතර, මිලි ලීටර් 100ක සීනි ග්‍රෑම් 8ට වඩා අඩංගු බව රතු වර්ණයෙන් සංකේතවත් වේ. ඒ නිසා රතු වර්ණ ලේබලය සහිත බීම වර්ග භාවිතය හැකිතරම් අවම කළ යුතු අතර, කහ පැහැති ලේබල් සහිත බීම වර්ග ඉඳහිට භාවිත සුදුසුය. කොළ වර්ණයේ ලේබල් සහිත බීම වර්ග භාවිතයට සුදුසුය. මෙහිදී ද එවැනි බීමවර්ග පානය කිරීමට වඩා හැකි තරම් ස්වාභාවික බීම වර්ග පානය කිරීම සෞඛ්‍යයට වඩාත් හිතකර බව කිව යුතුය.

2025 වන විට ගෝලීය ජනගහනය තුළ ලුණු පාරිභෝජනය සියයට ප්‍රමාණය 30කින් අඩු කිරීමටත් ඒ තුළින් බර වැඩිවීම, දියවැඩියාව හා තරබාරුව පාලනය කිරීමටත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් තිරසර වැඩපිළිවෙළක් ගෙනයනු ලබයි. ශ්‍රී ලංකාව ද එම වැඩපිළිවෙළ හා එක්ව සිටින අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය මඟින් විශේෂ දැනුම්වත් කිරීම් රාශියක් මේ වන විටත් සිදු කරනු ලබයි. එහෙත් රජයකට කළ හැක්කේ ප්‍රතිපත්ති සැකසීම, ක්‍රියාත්මක කිරීම සහ පසුවිපරම පමණි.

විශේෂයෙන් සෞඛ්‍ය සම්බන්ධ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සඳහා මහජනතාවගේ දායකත්වය ප්‍රශස්ත මට්ටමක පැවතිය යුතුමය. එමෙන්ම තම පෞද්ගලික සෞඛ්‍යය රැක ගැනීම කෙරෙහි සෑම පුද්ගලයකුටම පෞද්ගලික වගකීමක් ඇත.

එහෙත් විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය මෙහෙය වන ‘සුව දිවි මධ්‍යස්ථාන’ දහසකට අධික සංඛ්‍යාවක් රට පුරා පිහිටි ග්‍රාමීය රෝහල්, පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන, දිස්ත්‍රික් රෝහල්වල ස්ථාපිත කර තිබුණද එයින් ජනතාව නිසි ඵල ලබන බවක් නොපෙනෙන බවයි.

එකී ‘සුව දිවි මධ්‍යස්ථාන’ මඟින් රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කිරීම, කොලෙස්ටරෝල් මට්ටම පරීක්ෂා කිරීම, උසට සරිලන බර පරීක්ෂා කිරීම, බර වැඩි වීම සහ තරබාරුව හඳුනා ගැනීම, පිළිකා කල්තියා හඳුනා ගැනීමට අවශ්‍ය සාධක හඳුනා ගැනීම, ව්‍යායාම සම්බන්ධ උපදෙස්, නිසි ආහාරවේල් ඇතුළු පෝෂණීය උපදෙස් ලබා දීම ආදී ඇතුළු සේවා රැසක් නොමිලේ ලබාගත හැකිය. වයස අවුරුදු 35ට වැඩි පුද්ගලයන් අනිවාර්යයෙන් සුව දිවි මධ්‍යස්ථාන වෙත යොමුවී එම පරීක්ෂා සිදුකර ගත යුතු බවත් බෝ නොවන රෝගවලින් පෙළෙන සහ ඒ සඳහා අවදානම් සාධකවලින් පෙළෙන, තරබාරු සහ බර වැඩි අවුරුදු 20 – 34ත් අතර වයසේ පසුවන්නන් ද ඉහත පරීක්ෂණවලට යොමුවිය යුතු බවත් විශේෂඥ වෛද්‍ය ශාන්ති ගුණවර්ධන පැවසුවාය.

සුව දිවි මධ්‍යස්ථානවලට අමතරව දියවැඩියා මධ්‍යස්ථානවලින් ද අඩු මුදලකට ඉහත පරීක්ෂණ සියල්ල සිදුකර ගත හැකි බැවින් බෝ නොවන රෝගයක ගොදුරක් වීමට පෙර තමන්ගේ සෞඛ්‍යය රැක ගැනීමට උනන්දු වීම වැදගත් බව ද වෛද්‍යවරිය අවධාරණය කළාය.

තරබාරුව හා බර වැඩිවීමෙන් වැළකීමට කළ හැකි පහසුම දේ තමන්ගේ “කට මට්ටුකර ගැනීම” යි. ඊට හේතුව බෝ නොවන රෝග රාශියකට හේතු වන්නේ ගුණ අගුණ ගැන නොහිතා, නොවිමසා ඕනෑම ආහාරයක් ගිල දැමීමේ නරක පුරුද්ද වන නිසාය. එමෙන්ම බර අඩු කර ගැනීමට සහ තරබාරුව මට්ටු කිරීමට සිරුරට දැනෙන පරිදි ව්‍යායාම කිරීමත් අත්‍යවශ්‍ය බව කිව යුතුය.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division