Home » අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන දෙහිවල  එස්. ද එස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය

අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන දෙහිවල  එස්. ද එස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment
විදු­හ­ල්ප­ති­ව­රයා ප්‍රමුඛ ආචාර්ය මණ්ඩ­ලය

කොළඹ දිස්ත්‍රික්කයට අයත් දෙහිවල ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශය වූ කලී අධිනාගරීකරණයට ලක් වූ ජනාකීර්ණ ප්‍රදේශයකි. එවන් වපසරියක සුන්දර රමණීය නිදහස් පරිසරයක් දක්නට ලැබුණේ නම් ඒ ඉතා කලාතුරකිනි. එවැනි වාසනාවන්ත අමිල සම්පතකට උරුමකම් කියන්නට දැයේ අනාගතය භාර ගැනීමට ඉන්නා දූ දරුවන් වාසනාවන්ත වේ නම් එය ඊටත් වඩා කලාතුරකින් සිදුවන්නකි. එවැනි වාසනාවකට උරුමකම් කියන්නට දෙහිවල එස්. ද එස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලයීය දූ පුත්තු භාග්‍යවන්ත වූහ.

දෙහිවල එස්. ද එස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලයේ ඉතිහාසය පිරික්ෂා බලන විට එය බ්‍රිතාන්‍ය පාලන සමය දක්වා දිව යයි. බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සියලු දෑ සිදු කෙරුණේ ඉංග්‍රීසි භාෂාවෙනි. ඉංග්‍රීසි දැනුම තිබීම එකල සමාජ ඉණිමඟේ ඉහළ නැඟීමට මහත් ආශිර්වාදයක් විය. එහෙත් ඉංග්‍රීසි ඉගෙනීමට සියලු දෙනාටම එක මට්ටමේ පහසුකම් නොතිබිණි. ඊට විකල්පයක් ලෙස ආචාර්ය සී.ඩබ්.ඩබ් කන්නන්ගරයන් ගෙනා යෝජනාවක් අනුව මධ්‍ය මහා විද්‍යාල ක්‍රමය ආරම්භ විය.

ඒ අනුව මෙම විදුහල ඇරඹෙන්නේ වර්ෂ 1942 වැල්ලවත්ත විහාර ලෙන් මාවත යාබද පිහිටි ඇලිතියා පාසලේදීය. මෙම පාසල කැතරින් හපුගල නමැති ප්‍රභූ කාන්තාවට අයත් පෞද්ගලික බාලිකා විදුහලක් විය. උදේ වරුවේ ඇලිතියා පාසලේ බාලිකාවන් ඉගෙනුම ලැබූ අතර පාසල අවසන් වූ පසු දහවල් 1.00 සිට පසුවරු 5.00 දක්වා මධ්‍ය මහා විද්‍යාලය පැවැත්විණි. මෙම ක්‍රමය සිසුන් පමණක් නොව ගුරු මණ්ඩලයද මහත් අසීරුතාවට පත් කර තිබුණි. ඇලීතියා විදුහලේ ශිෂ්‍යාවන් පාසලෙන් පිටවන තෙක් මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වන සිසුන්ට එහි දොර ළඟට වී බලාගෙන සිටිය යුතු විය.

මෙහි මුල්ම විදුහල්පතිවරයා වූයේ ජයවීර බණ්ඩාරය. රාජකීය විදුහලේ ගුරුවරයකුව සිට මෙහි පැමිණි හෙතෙම පාසලෙත් සිසුන්ගේත් විනය රකිනා දක්ෂ ගුරුවරයකු වූවා පමණක් නොව සිංහල, පාලි හා ඉංග්‍රිසි හොඳින් දැන සිටි නිසා භාෂා තුනෙන්ම සිසුනට අධ්‍යාපනය ලබා දීමට කටයුතු කළේය. සංස්කෘත ශ්ලෝක හා ග්‍රීක රෝමන් සාහිත්‍යයෙන් උදාහරණ ගෙන දක්වමින් සිසුන්ගේ දැනුම් මට්ටම වර්ධනය කළේය. එනිසා ඔහු සිටි කාලය තුළ මැදි විදුහලේ උගත් සිසුන් පසු කාලයේ රටේ කැපී පෙනෙන තැන්වල වැජඹිණි. මෙහි මුල්ම ගුරු මණ්ඩලය සාමාජිකයන් 7 දෙනකුගෙන් සමන්විත විය.

කාලයක් යන විට වැල්ලවත්තේ ඇලීතියා පාසලේ පිහිටි මධ්‍ය මහා විද්‍යාලය දෙහිවල සත්තුවත්ත ළඟ පිහිටි මනරම් භූමියකට ගෙනයෑමට තීරණය කෙරිණි. ඒ සඳහා අවශ්‍ය භූමිය රජයට පරිත්‍යාග කර තිබුණේ එලීනා රූපසිංහ ය. ඇය හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනයන්ගේ ප්‍රිය භාර්යාව වූවාය. රූපසිංහ පවුල දෙහිවල නැදිමාලේ ජීවත් වූ සුප්‍රකට ව්‍යාපාරික පවුලකි.

එලීනා රූපසිංහගෙන් හිමි වූ අක්කර නවයහමාරක මේ සුවිශාල ඉඩමේ දෙපසක ලෑලීවලින් තැනූ පොල් අතු සෙවිලි කළ පාඨශාලා දෙකක් ඉදි විය. එහි එක් කෙළවරක කුඩා නිවෙසක් ඉදි කෙරුණු අතර එහි විදුහල්පති කාර්යාලය පවත්වාගෙන ගියේය. 1946 නව විදුහල ආරම්භ වීමත් සමඟ දෙහිවල ගල්කිස්ස පමණක් නොව රත්මලාන, මොරටුව, පාණදුර ආදී දුර බැහැර ප්‍රදේශවලින්ද ඒ වෙත සිසුහු ඇදී ආහ. එහෙත් ඉතා අවාසනාවන්ත ලෙස ලෑලිවලින් තැනු පොල් අතු සෙවිලි කළ මෙම විදුහල 1953 අගෝස්තු 12 වැනිදා හර්තාලයෙන් මුළුමණින්ම ගිනිබත් විය. ඉතිරි වූයේ අළු ගොඩකි. ඒත් පසුව ඒ අළු මත ඉදිවූයේ ශක්තිමත් විදුහලකි. එතෙක් මෙතෙක් එහි උගත් සිසුහු නීතිඥවරුන්, රංගවේදීන්, මාධ්‍යවේදීන්, ව්‍යාපාරිකයන්, වෛද්‍යවරුන්, බැංකු නිලධාරීන්, ඉංජිනේරුවන්, දේශපාලනඥයන් ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක දක්ෂයෝ වූහ.

දෙහිවල මධ්‍ය විද්‍යාලය මෙම ස්ථානයේ ආරම්භ කිරිම සඳහා මූලික වූ හේතු ගණනාවක් විය. ඉන් ප්‍රධාන වන්නේ දෙහිවල ප්‍රදේශයේ අධික ජනගහනයක් වාසය කළත් දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලැබීමට ප්‍රධාන පෙළේ මිශ්‍ර පාසලක් නොවීමය. ඒ අනුව විශාල දරු පිරිසකට නිදහස් අධ්‍යාපනය ලැබීමේ වරම් මේ නිසා හිමි විය. හෙළ බොදු සංස්කෘතියක් සහිත සාරධර්මවලින් පිරිපුන් දරු පරපුරක් දායාද කිරීමද මෙහි තවත් එක් අරමුණක් විය.

එලෙස ආරම්භ කළ මෙම පාසල ක්‍රමයෙන් භෞතික හා මානව සම්පත් සමඟ සංවර්ධන මාවතකට පිවිසි අතර, පසු කාලයේදී ද්විතීක පාසල් 1000 අතරට එක් වීමත්, ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතියට ඇතුළත් වීමත් විශේෂ අවස්ථාය. මෙලෙස දිගු ගමනක යෙදෙන විදුහල් මාතාව වර්තමානය වන විට දෙහිවල කොට්ටාසයේ 1AB මිශ්‍ර පාසලක් ලෙස ගොඩනැඟෙන අතර, ඉන්පසු අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ 14/2021 චක්‍රලේඛය අනුව 2021 වර්ෂයේ සිට ජාතික පාසලක් ලෙස නම් කොට ඇත. ඒ අනුව වර්තමානයේදී පාසල හැඳින්වෙන්නේ කො/ එස්. ද එස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය (ජාතික පාසල) නමිනි. වසර 77ක අභිමානවත් ඉතිහාසයක් ඇති දෙහිවල එස්. ද එස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය විදුහල්පතිවරුන් 22 දෙනකුගේ නායකත්වය යටතේ පාලනය වී ඇත. භෞතික හා ගුණාත්මක සංවර්ධනය සමඟ කොට්ඨාස, කලාප හා පළාත් මට්ටමේ ජයග්‍රහණ රැසක් ද සමඟ දෙහිවල ගල්කිස්ස නගර සභා බල ප්‍රදේශයේ කීර්ති නාමයක් දිනාගෙන සිටින මෙම විද්‍යාලයට වර්තමානයේ නායකත්වය ලබා දෙන්නේ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2 වැනි ශ්‍රේණියේ නිලධාරියකු වන ආර්. එම්. ජේ. පී. බී. ඉඩමෙගමය. හෙතෙම 2019 වසරේ සිට මේ දක්වා මෙම විදුහලේ විදුහල්පති ධූරය හොඹවයි.

පාඨශාලාන්තර මලල ක්‍රීඩා ශූරතාව දිනාගත් පළමු මධ්‍ය විදුහල බවට කීර්ති නාමය දිනා ඇත්තේ ද ජයසිංහ විද්‍යාලය වන අතර ක්‍රිකට්, රගර්, පාපන්දු, වොලිබෝල්, නෙට්බෝල් යන ක්‍රීඩා මෙන්ම ගෘහස්ථ ක්‍රීඩා වන චෙස්, බොක්සින්, කැරම් සහ කරාටේ යන ක්‍රීඩාවලින්ද ඉදිරියට පැමිණ තිබේ.

විදුහල ලබාගත් මෑතකාලීන ජයග්‍රහණ අතර, වයස අවුරුදු 14න් පහළ දෙවන කාණ්ඩයේ රගර් තරගාවලියේදී තෙවැනි ස්ථානය ලබා ගැනීමද, ක්‍රිකට් ක්‍රීඩාවෙන් වයස අවුරුදු 15න් පහළ හා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් දෙවැනි වටය සඳහා සුදුසුකම් ලැබීමට සමත් වීමද, කණ්ඩායම් ක්‍රීඩා අතරින් කලාප ක්‍රීඩා තරගාවලියේදී බාලක එල්ලේ අනුශූරතාව ලබා ගැනීමද, 16න් පහළ බාලක වොලිබෝල් ශූරතාව ලබා ගැනීමද, 18න් පහළ බාලිකා වොලිබෝල් තෙවැනි ස්ථානය ලබා ගැනීමද, බාලිකා ක්‍රිකට් අනු ශූරතාවය ලබා ගැනීම, 16න් පහළ බාලිකා නෙට් බෝල් දෙවන ස්ථානය ලබා ගැනීමද, මලල ක්‍රීඩා තරගවලදී ආකාශනි මයුරංගි ශිෂ්‍යාව 18න් පහළ බාලිකා දුර පැනීම තරගයෙන් දෙවැනි ස්ථානය ලබා ගනිමින් පළාත් තරග සඳහා සුදුසුකම් ලබා ගැනීම හා තවත් ක්‍රීඩකයන් රැසක් කොට්ඨාස හා කලාප මට්ටමේ ජයග්‍රහණ අත්කර ගැනීමද කැපී පෙනේ.

මීට අමතරව වසර 13කට පසු පොලිස් ශිෂ්‍ය භට කාණ්ඩය බළඇණි මට්ටමින් දෙවැනි ස්ථානය ලබා පළාත් තරග සඳහා සුදුසුකම් ලැබීමද, බාලදක්ෂ කණ්ඩායම මොරටුව, පිළියන්දල 54 වැනි බාලදක්ෂ කඳවුරේදී පිවිසුම් දොරටුව සඳහා ප්‍රථම ස්ථානය ලබා ගැනීමද විෂය බාහිර ක්‍රියාකාරකම් යටතේ දැක්වූ ජයග්‍රහණ ලෙස දැක්විය හැකිය. ක්‍රීඩා ආචාරිනී අචලා ප්‍රියදර්ශනී හා ක්‍රීඩා පුහුණුකරු චතුරංග සිරිවර්ධන සිසුන් ජයග්‍රහණය කරා මෙහෙය වීමට කැපවීමෙන් කටයුතු කරයි.

ක්‍රීඩා අංශ තරගවල ජයග්‍රහණවලට අමතරව සෞන්දර්ය අංශයේ නැටුම් තරගවලින් සමස්ත ලංකා නර්තන තරගාවලියේ කලාප ප්‍රථම ස්ථානය හා පළාත් දෙවැනි ස්ථානයත්, සංගීත අංශයෙන් කලාප මට්ටමේ තරගයෙන් ප්‍රථම ස්ථානයත් ජයග්‍රහණය කර ඇත. මේ සඳහා මඟපෙන්වීම නර්තන ආචාරිනී එස්.එස්. ඒ. ගමගේ හා සංගීත ආචාරිනී යූ. එස්. එස්. ප්‍රියංකා විසින් සිදු කළහ.

විෂය දැනුම මෙන්ම පුද්ගල චරිත සංවර්ධනය සඳහා පාසල තුළ බෞද්ධ සංගමය, සාහිත්‍ය සංගමය, ඉංග්‍රීසි හා වාණිජ සංගමය, බටහිර තූර්ය වාදක කණ්ඩායම, ශිෂ්‍ය භට කණ්ඩායම, බාලදක්ෂ කණ්ඩායම, මාධ්‍ය ඒකකය හා පරිසර භට කණ්ඩායම විද්‍යාලය තුළ සක්‍රියව කටයුතු කරති.

සිසුන්ගේ නායකත්වය හා පෞරුෂය වර්ධනය සඳහා නායකත්ව කඳවුරු, මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, උපදේශන හා මාර්ගෝපදේශන වැඩසටහන් හා දරුවන් දහමෙන් පෝෂණය කිරීම සඳහා වාර්ෂික පිරිත් පින්කම හා මාසික පොහෝය දින වැඩසටහන් පාසල තුළ ක්‍රියාත්මක වේ.

වත්මන් අධ්‍යාපන දක්ෂතා පිළිබඳ අවදානය යොමු කිරීමේදී ජාතික මට්ටමේ විභාග ප්‍රතිඵලවලින් 2020 වසරේ වාණිජ අංශයෙන් සිසුන් තිදෙනෙක්ද, 2021 වර්ෂයේ තාක්ෂණික විෂය ධාරාවෙන් සිසුන් දෙදෙනකු ද, 2022 වර්ෂයේදී තාක්ෂණික විෂය ධාරාවෙන් එක් සිසුවකුද සරසවි වරම් ලබා ඇත.

මීට අමතරව අධ්‍යාපන සාධන මට්ටම ඉහළ නැංවීමට ලකුණු මට්ටම අනුව සිසුන් කාණ්ඩ කර අමතර පන්ති පැවැත්වීම, ගණිත විෂයට දුර්වල සිසුන් සඳහා විශ්වවිද්‍යාල සිසුන් මඟින් වැඩමුළු සංවිධානය කිරීම, ගුරුවරුන්ට සහ සිසුන්ට පෞද්ගලික මට්ටමෙන් ඉලක්ක ලබා දීම, සම්පත් දායකයන් යොදවා විවිධ විෂයයන් සඳහා සම්මන්ත්‍රණ පැවැත්වීම, සාක්ෂරතා පන්ති පැවැත්වීම, සුභග සිසුන් මඟින් දුර්වල සිසුන් සඳහා ඉගෙනුම අවස්ථා උදාකර දීම වැනි වැඩ සටහන් රැසක් පාසල තුළ ක්‍රියාත්මක වේ.

අ. පො. ස. (සාමාන්‍ය පෙළ) විභාගයෙන් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබන ප්‍රතිශතය 70% දක්වා වැඩි කිරීම හා උසස් පෙළ විෂය ධාරා තුළින් සරසවි ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබන ප්‍රතිශතය 25% දක්වා වර්ධනය කිරීම විද්‍යාලයීය ඉදිරි අභිමතාර්ථ වේ.

“ගුණ නැණ සපිරි නිර්මාණශීලී දූ පුතුන් ලක්මවට දායාද කිරීම” යන දැක්ම අනුව කටයුතු කරන බප/ පිළි ඇස්. ද අස්. ජයසිංහ මධ්‍ය විද්‍යාලය ඉදිරි වසර පහ තුළ පළාතේ හොඳම හරිත පාසල බවට පත් කිරීම, පිළියන්දල කලාපයේ හොඳම මිශ්‍ර ක්‍රීඩා පාසල බවට පත් කිරීම, කලාපයේ හොඳම පොලිස් භට කණ්ඩායම සහිත පාසල බවට පත් කිරීම, කලාපයේ හොඳම ආදර්ශ වගාවන් සහිත පාසල බවට පත් කිරීම හා ඉංග්‍රීසි මාධ්‍යයෙන් 6-11 ශ්‍රේණි සඳහා පන්ති ආරම්භ කිරීමට අපේක්ෂිතය.

 

රසික කොටුදුරගේ ඡායාරූප - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division