‘කාර්ය බහුල ලෝකයක දිවි ගෙවන මනස නිරතුරුවම ව්‍යාකූලය. එම ව්‍යාකූල බවින් මිදී සිත පහසුවෙන් දියුණු කර ගැනීමට භාවනාව උපකාරී වුව ද ආචාර්ය ඇසුරකින් තොරව භාවනාව නිසි ලෙසින් වැඩිය නොහැකිය. ලෝකයේ භාවනාවට අවධානය යොමු කරන බොහෝදෙනා ෙරවාදී නිකායන්ගේ භාවනානුයෝගීත්වය මහත් සේ අගය කරති.
ඒ අතරෙන් ගුරුවරයකු සේ භාවනාව පහසුවෙන් වැඩීමට උපයෝගී කර ගත හැකි කෘතියක් ලෙස ලොව පිළිගැනෙන්නේ ආචාර්ය හේනේපොල ගුණරතන මහ නාහිමි විසින් රචිත Mindfulness In plain English (සතිමත් බව වැඩීම) කෘතියයි. එම කෘතිය භාෂා 32කට පරිවර්තනය වී ඇති අතර, අෙමරිකාව තුළ පමණක් මුද්‍රිත පිටපත් ලක්ෂ 100ක් ඉක්මවා අලෙවි වී ඇත. උන්වහන්සේගේ සතිමත් බව වැඩීමේ ලිපි පෙළ සතිපතා කොටස් වශයෙන් සිළුමිණෙහි පළ වන අතර, මේ එහි තිස්තුන්වැනි කොටසයි.
ආශාවන් හා ලෝභයන් ඔබ පසුපස ලුහු නොබඳින බවත් ඔ ඔබ බෙලහීන කරන සිතේ පැලපදියම් වී සිටින පීඩාකාරී සිතිවිලිවලින් මිදී ජීවිතය ගත කළ හැකි ආකාරයත් පසුගිය කලාපයෙන් උගත්තෙමු.
ඔබ ක්‍රියාශීලීව භාවනාව ජීවිතයට ඈඳා නොගතහොත් මෙම දැක්ම ඉටුනොවනු ඇත. වාඩි වී සිටි කොට්ටය මතින් නැඟිට සිටීම භාවනා පුහුණුවේ ඉතාම වැදගත් මොහොතයි. භාවනාව අවසානයේදී සමස්ත ක්‍රියාවම අතහැර දැමීම හෝ එම නිපුණතාවන් ජීවිතයේ අනෙක් කටයුතුවලට රැගෙන ඒම ඔබට කළ හැකිය.
භාවනාව යනු කුමක්ද යන්න හරිහැටි අවබෝධ කර ගැනීම වැදගත්ම කටයුත්තකි. එය විශේෂ ඉරියව් සමූහයක් හෝ හුදෙක්ම මානසික අභ්‍යාස ගොන්නක් නෙවේ. භාවනාව යනු සිහිය දියුණු කර ගැනීම හා දියුණු වූ සිහිය එදිනෙදා ජීවිතයේදී ප්‍රයෝජනයට ගැනීමයි. භාවනාවේ යෙදීමට වාඩිවීම අවශ්‍ය නැත. පිඟන් සෝදන අතරතුරේදී ඔබට භාවනා කළ හැකිය. ජල ස්නානය කරන අතර හෝ ලිපියක් ලියන විට ද ඔබට භාවනා කළ හැකිය. භාවනාව යනු අවදිමත් බව බැවින් එය ජීවිතයේ සෑම කාර්යයකදීම භාවිතා කළ හැකිය. නමුත් මෙය පහසු නොවේ. අප සාමාන්‍යයෙන් නිශ්චල පරිසරයක වාඩි වී සිහිය දියුණු කර ගැනීමට උත්සුක වන්නේ එවිට එය පහසුවෙන් කළ හැකි බැවිනි. චලනය වන විට භාවනා කිරීම වඩාත් අසීරුය. ශබ්ද සහිත වේගයෙන් කරන කර්තව්‍යයන්හිදී ද භාවනාව තවත් දුෂ්කරය. ප්‍රේමාන්විත ක්‍රියාවලදී හෝ තර්ක කිරීමේදී වැනි මමත්වය උච්ච අවස්ථාවන්හිදි භාවනා කිරීම පරම අභියෝගයක් වනු ඇත. ආරම්භකයෙක් ඔහුගේ මනස පීඩාකාරි ක්‍රියාවන්වලින් තොරව හෝ අවම මට්ටමක පවත්වා ගත යුතුය.
එහෙත් පුහුණුවේ අවසාන අරමුණ වන, පීඩාකාරී සමාජයේදී පවා නොවෙනස් වන මට්ටකට සමාධිය හා සිහිය වර්ධනය කර ගැනීම එසේම පවතී. ජීවිතය අභියෝග ගොන්නක් ඉදිරිපත් කරන අතර, සැබෑ භාවනානුයෝගියා කිසිදාක එයින් විඩාපත් නොවේ.
භාවනාව ඔබගේ සාමාන්‍ය ජීවිතයට ගෙන ඒම පහසු කටයුත්තක් නොවේ. උත්සාහ කර බලන්න. ඔබගේ වාඩි වී කරන භාවනාවේ අවසානය හා “සාමාන්‍ය ජීවිතය” පටන් ගැනීම අතර, සංක්‍රමණික මොහොත ඉතා දිගු පිම්මකි. අප බොහෝ දෙනෙකුට එය ඉතා දිගුය. සමාධිය හා ශාන්ත බව විනාඩි ගණනක් තුළදී දියැවී ගොස් අප කලින් සිටියා වැනි තත්ත්වයටම පැමිණේ. මෙම පරතරය දුරලීම සඳහා වසර සිය ගණනක් මුළුල්ලේ බෞද්ධයෝ මෙම සංක්‍රමණය පහසු කරවන අභ්‍යාස මාලාවක් සකස් කළහ. ඒවා එම දිගු පිම්ම කුඩා පියවර සමූහයකට කඩා දමයි. සෑම පියවරක්ම තනි තනිව පුරුදු කළ හැකිය.
සක්මන් භාවනාව
අපගේ එදිනෙදා ජීවිතය චලනයන් හා ක්‍රියාවන්ගෙන් පිරී ඇත. පැය ගණනක් නිශ්චලව වාඩි වී සිටීම අපගේ සාමාන්‍ය ජීවිතයට සහමුලින්ම ප්‍රතිවිරුද්ධ වූ හැසිරීමකි. සම්පූර්ණ නිසල බව තුළින් අප ඇති කර ගැනීමට උත්සාහ දරන ශාන්ත බව හා පැහැදිලිකම අපගේ සිරුර චලනය කිරීමත් සමඟම දියැවී යයි. එබැවින් චලනය වන අතරතුරේදී ද සන්සුන් බව හා සිහිය පවත්වා ගැනීමේ නිපුණතාව පුහුණු කරන සංක්‍රමණික අභ්‍යාස ඉගෙනීම අවශ්‍ය වේ. නිශ්චලව සිටින ඉරියව්ව හා චලනය වීම අතර සංක්‍රමණය සඳහා සක්මන් භාවනාව උපකාරී වෙයි. එය චලන භාවනාව ලෙස ද හැඳින්වීමට පුළුවන. එය බොහෝවිට වාඩි වී කරන භාවනාවට විකල්පයක් ලෙස යොදා ගනියි. විශේෂයෙන් ඔබ බොහෝ නොසන්සුන් වී සිටින අවස්ථාවල සක්මන් කිරීම ඉතා උචිත ක්‍රියාවකි. පැයක් සක්මන් භාවනාවේ යෙදීම ඔබගේ නොසන්සුන් බව දුරුකර මානසික පැහැදිලි බව ඇති කිරීමට ඉවහල් වෙයි. ඉන් ඉක්බිතිව වාඩි වී භාවනාවේ යෙදීමෙන් විපුල ප්‍රයෝජන නෙලා ගැනීමට ඔබට හැකිවනු ඇත.
වාඩිවී කරන භාවනාවට උපකාරයක් ලෙස ධර්ම විවේකයන්හි යෙදීමට බෞද්ධ භාවනා පුහුණු වීම විසින් නිරතුරුව ඔබ උනන්දු කරයි. ධර්ම විවේකයක් යනු භාවනාව සඳහාම වෙන්වූ දීර්ඝ කාලසීමාවකි. සාමාන්‍ය ගිහි ජනතාව සඳහා එක්දින හෝ දෙදිනක ධර්ම විවේක බහුලව පවත්වයි. ප්‍රවීණ භාවනානුයෝගීහු මාස කිහිපයක් ආරණ්‍ය ගතව භාවනාවේ යෙදෙති. මෙවන් දැඩි පුහුණුව සඳහා විශාල ප්‍රමාණයක ශාරීරික හා මානසික ශක්තියක් අවශ්‍ය කරයි. අවුරුදු ගණනාවක පළපුරුද්ද නොමැති විට මෙවන් ධර්ම විවේකයකින් යමකු ලබන ප්‍රයෝජනය සීමිත විය හැකිය. පැය දහයක් වාඩි වී භාවනා කිරීම ආධුනිකයකුට ඔහුගේ චිත්ත ඒකාග්‍රතාව ඉක්මවා යන කටුක අත්දැකීමක් විය හැකිය. එබැවින් ඵලදායී ධර්ම විවේකයක් සැලසුම් කරන විට ඉරියව් වෙනස් කිරීම් හා චලනය කිරීම් අඩංගු කළ යුතුය. සාමාන්‍ය ක්‍රමය, වාඩි වී කරන භාවනා කාලයක් අතරට සක්මන් භාවනා කාලයක් එකතු කිරීමයි. පැයක සක්මන් භාවනාව හෝ වාඩි වී භාවනාවකට පසු කෙටි විවේකයක් ලබා දිය යුතුය. සක්මන් භාවනාව සඳහා අවම වශයෙන් අඩි 10ක දිග තීරු බිමක් තිබීම අවශ්‍ය වේ. ඔබ මෙසේ ඉදිරියට හා ආපස්සට ඉතා සෙමින් එදිනෙදා ජීවිතයෙන් වෙන්වී ගමන් කිරීම බොහෝ දෙනෙකුට කුතුහලය ගෙන දෙන දසුනක් වීමට ඉඩ ඇත. බොහෝ දෙනකුගේ අවධානය යොමුවන ඔබගේ ඉදිරිපස ගෙවත්තේදී මෙය කිරීම සුදුසු නැත. පෞද්ගලික ස්ථානයක් මේ සඳහා තෝරා ගැනීම සුදුසුය.
ප්‍රායෝගික උපදෙස් ඉතා සරලය. බාධා නැති ප්‍රදේශයක එක කොනකින් පටන් ගන්න. විනාඩියක් පමණ සාවධානව එක ස්ථානයක නැවතී සිටින්න. ඔබට පහසු ආකාරයකට දෑත ඉදිරියෙන්, පිටුපසින් හෝ සිරුර දෙපසින් තබා ගන්න. හුස්ම ඉහළ ගන්නා අතරම එක පාදයක විලුඹ ඔසවන්න. පහතට හෙළන හුස්ම සමඟම එම එසවූ අඩියේ ඇඟිලි මත පතුල රඳවා ගන්න. ඊළඟ හුස්ම ඉහළට ගැනීම සමඟ එම පාදය ඔසවා ඉදිරියට ගෙන ගොස් හුස්ම පහළ හෙළීම සමඟ එය බිම තබන්න. අනෙක් පාදය සඳහාත් මෙලෙසම විනාඩියක් නැවතී සිට නැවතත් ආපස්සට හැරී ගමනේ යෙදෙන්න. මෙම ක්‍රියාවලිය නැවත නැවත කරන්න. ඔබගේ හිස කෙලින් හා ගෙල සැහැල්ලුව තබාගන්න. සමතුලිත බව රැකගැනීම සඳහා ඔබගේ දෑස් විවෘතව තබාගන්න. එහෙත් විශේෂ දෙයක් දෙස නොබලන්න. ස්වභාවික ආකාරයට ගමන් කරන්න. අවට පරිසරයට අවධානය යොමු නොකර ඔබට පහසු ඉතා අඩු වේගයක් පවත්වා ගන්න. ශරීරයේ ගොඩ නැඟෙන ආතති දෙස බලා ඒවා නැඟෙනු දකින අවස්ථාවේදීම මුදාහරින්න. ප්‍රසන්න ලෙස සිටීමට උත්සාහ නොගන්න. සුන්දර ලෙස පෙනෙන්නට වෙර නොදරන්න. මෙය මලල ක්‍රීඩාවක් හෝ නර්තනයක් නොවෙයි. මෙය සිහිය දියුණු කර ගැනීම සඳහා අභ්‍යාසයකි. ඔබේ අරමුණ සම්පූර්ණ සෝදිසියක් ඇති කර ගැනීම, සංවේදීතාව දියුණු කර ගැනීම හා ගමන් කිරීමේ අත්දැකීම මුළුමනින්ම ලබා ගැනීමය. ඔබගේ පාදයේ ඇතිවන සංවේදනා කෙරෙහි සම්පූර්ණ අවධානය යොමු කරන්න. චලනය වන පාද සම්බන්ධව හැකි පමණ තොරතුරු මතක තබා ගැනීමට උත්සාහ කරන්න. සක්මන් කිරීමේදී ඇතිවන ශුද්ධ සංවේදනා තුළට වැදී එම චලනයේදී ඇතිවන සෑම සියුම් වෙනසක් ම දකින්න. චලනය වන සෑම පේශියක්ම දැනගන්න. පාදය පොළවට තදවන මොහොතේ ඇතිවන හා දැනෙන සංවේදනා සියල්ල අත්දැක නැවත පාදය ඔසවන්න.
සුමට සේ පෙනෙන මෙම චලනයන් සංකීර්ණ කුඩා ගැස්සීම් මාලාවකින් නිර්මාණය වී ඇති ආකාරය දැකගන්න. කිසිවක් මඟ නොහරින්න. ඔබගේ සංවේදීතාවය වර්ධනය කර ගැනීම සඳහා චලනයන් කොටස්වලට වෙන්කර ගන්න. සෑම පියවරකදීම පාදය ඉහළට එසවීමක්, ඉදිරියට ගෙන යෑමක් හා පහතට හෙළීමක් ඇත. සෑම කොටසකටම පටන් ගැනීමක්, මධ්‍යයක් හා අවසානයක් ඇත. චලනයන්ට හුරුපුරුදුවීම සඳහා සෑම පියවරක්ම මනසින් සනිටුහන් කර ගැනීම ආරම්භ කරන්න.
(භාවනා සම්බන්ධ ඉරියව් ගැන විශේෂ උපදෙස් මීළඟ කලාපයෙන් බලාපොරොත්තු වන්න)