Home » වැස්සත් එක්ක එන වසංගත අවදානම ගැන පසු විපරමක්

වැස්සත් එක්ක එන වසංගත අවදානම ගැන පසු විපරමක්

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

අයහපත් කාලගුණයෙන් පීඩා විඳිමින් සිටින ජනතාව තවත් පීඩාවට ලක් කරමින් විවිධ රෝග කිහිපයක් ද මේ දිනවල නැවත හිස ඔසවා ඇති බව වාර්තා වේ. ඒ අතර ඩෙංගු රෝගය සහ දිවයිනේ ප්‍රදේශ කිහිපයක පැතිර යන ඇස් රෝගයක් ගැන වැඩිපුර අසන්නට ලැබේ. ඇස් රෝගය නිසා ඉකුත් සතියේ කොළඹ කොටහේන මධ්‍ය මහා විද්‍යාලය වසන්නට සිදු වූයේ සිසුන් 50කට අධික පිරිසක් එම පාසලෙන් හඳුනා ගැනීම නිසාය. ඒ අනුව රෝගය තවදුරටත් ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා අදාළ පාසල නොපවත්වන ලෙස බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා උපදෙස් ලබා දී තිබිණ.

වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ සිළුමිණට පැවසුවේ මේ පිළිබඳ ජනතාව අනියත බියක් ඇතිකර නොගත යුතු වුවත් රෝගය පැතිර යෑම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමේ වගකීම මහජනතාව සතු බවය. මෙම අක්ෂි රෝගය කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව ආදී ශ්වසන රෝග සමඟ බෝවන්නක් විය හැකි බවත් කාලයෙන් කාලයට ඇස් රෝග පැතිරෙන බවත් වයිරස් උණ සමඟ පැතිරෙන ඇස් රෝග ද තිබෙන බවත් හෙතෙම පැවසුවේය.

පාසල් දරුවන් අතර මෙම ඇස් රෝගය පැතිර යෑමේ වැඩි අවදානමක් දැකිය හැකි බැවින් රෝග ලක්ෂණ සහිත දරුවන් රෝගය සුවපත් වන තෙක් පාසල් නොයවා නිවෙසේ තබා ගැනීම, පොදු ස්ථානවලට නිරාවරණය වැළැක්වීම සහ පොදු ප්‍රවාහන සේවා භාවිතයෙන් වැළකී සිටීමෙන් රෝගය පැතිර යෑම වළක්වා ගත හැකි බවද හෙතෙම පැවසුවේය.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මධ්‍ය විධායක සභික, මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් කුමාර පැවසුවේ අක්ෂි පටල ප්‍රදාහය නමින් හඳුන්වන මේ ඇස් රෝගය වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ මහජනතාව දැනුම්වත්ව කටයුතු කළ යුතු බවයි. ඇස කැසීම, ඇස්වල වේදනාව, ඇස් විවෘත කිරීමේ අපහසුතාව, කඳුළු සහ කබ ගැලීම, ආලෝකය දෙස බැලීමේදී අපහසුතා ඇතිවීම මෙම රෝගයේ ලක්ෂණ බවත් රෝගී ඇසක ‍ශ්‍රාවයන් නීරෝගි ඇසක ස්පර්ශ වීමෙන් රෝගය බෝවීමේ හැකියාව ඇති බවත් හෙතෙම පැවසීය.

රෝගය බෝවීම පාලනය කර ගැනීම සඳහා මුහුණ ඇල්ලීමෙන් වැළකී සිටීම, ඇස් හෝ මුහුණ අල්ලන්නේ නම් සබන් යොදා අත් සෝදා අත් පිරිසිදුව තබා ගැනීම සහ රෝගීන් ස්පර්ශ වීමෙන් වැළකී සිටිය යුතු බව ද හැකි හැම අවස්ථාවකම විෂබීජ නාශක සේදුම් දියර යොදා අත්පිරිසිදු කරගැනීම වැදගත් බව ද මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් කුමාර පැවසුවේය. රෝග ලක්ෂණ පවතී නම් අත් බෙහෙත් හෝ ගොඩවෙදකම් කිරීමෙන් රෝගය උත්සන්න වීම සහ වෙනත් ආසාදන ඇති වීමේ අවදානමක් පවතින බව ද හෙතෙම අවධාරණය කළේය. මේ අතර දින ගණනාවක් තිස්සේ පැවති අධික වර්ෂාව කෙමෙන් අඩු වෙමින් යද්දී ඩෙංගු රෝගය යළි හිස එසවීම සාමාන්‍ය ‍ෙයන් සිදුවන්නකි. ඒ බව සනාථ කරමින් ඉකුත් සතියට සාපේක්ෂව ඔක්තෝබර් 2 වැනිදා සිට 8 දක්වා ගතවූ සතියේදී ඊට පෙර සතියට සාපේක්ෂව රට පුරා වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සියයට තිහකින් ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නවතම සංඛ්‍යා දත්තවලින් අනාවරණය වේ.

ඒ අනුව ඉකුත් සතියේදී වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 644ක් වන අතර, ඊට පෙර සතියේ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 526කි. ඉකුත් සතියේ ද වැඩිම රෝගීන් ප්‍රතිශතය වූ 43.3%ක් වාර්තා වී තිබුණේ බස්නාහිර පළාතෙන් වන අතර, ඒ කොළඹ දිස්ත්‍රික්කයෙන් 14.5%ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් 17.7%ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් 4.2%ක් ලෙසිනි. ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස අතර පිළියන්දල, මොරටුව, අත්තනගල්ල, කැලණිය,දොම්පේ, රාගම, ගම්පොළ, කුණ්ඩසාලේ, උඩුනුවර, මාතලේ සහ බදුල්ල ප්‍රමුඛ වේ. මේ වසරේ මේ දක්වා රට පුරා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 65694ක් වන අතර මරණ සංඛ්‍යාව 39කි.

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division