Home » සතියක් ඇතුළත පොලිස් පොඩ්ඩන් තිදෙනෙක් බිලිගත් මගමරුවෝ

සතියක් ඇතුළත පොලිස් පොඩ්ඩන් තිදෙනෙක් බිලිගත් මගමරුවෝ

by Mahesh Lakehouse
October 14, 2023 12:30 am 0 comment

රණය සිදු වන්නේ කවදා කොතැනකදී කුමන ආකාරයෙන්දැයි කියා කල් තියා දැනගත හැකි ක්‍රමයක් ඇත්නම් තම සමීපතමයන් මරුවාගෙන් ආරක්ෂා කරගැනීමට නොසිතන කිසිවකු මේ මිහි මත සිටිය නොහැකිය. ඉකුත් සතියේදී රට පුරා වාර්තා වූ හදිසි මරණ අතරෙන් නොහික්මුණු රියැදුරන්ගේ අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවෙන් රටට අහිමි වූ වටිනා ජීවිත කිහිපයක්ම විය.

නීතියත් සාමයත් ආරක්ෂා කරන්නටත් ඒ මඟින් මහජනයාට සුබසෙත සලසන්නටත් මහමඟ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරින් කිහිප දෙනකුම ඉකුත් සතියේදී මඟමරුවන්ට බිලි වූ අතර, මේ ඔක්තෝබර් මස 5 වැනිදා සහ 10 වැනිදා අතර වූ දවස් පහ තුළ සිදුවූ අනතුරු 3කින් පොලිස් කොස්තාපල්වරු දෙදෙනකු සහ කොස්තාපල්වරියක රටට අහිමි විය. මේ අතරෙන් පොලිස් කොස්තාපල්වරු දෙදෙනාම රටට අහිමි වූයේ සිය රාජකාරියේ නිරතව සිටියදීය.

ඒ අතරෙන් පළමු බිල්ල වූයේ ඉකුත් 5 වැනිදා කොළඹ කුරුඳුවත්ත නිදහස් මාවතේ වටරවුමේදී රථ වාහන හැසිරවීමේ රාජකාරියේ නිරතව සිටියදී සුඛෝපභෝගී මෝටර් රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 6 වැනිදා උදෑසන මිය ගිය වලස්මුල්ල ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි ආධුනික පොලිස් කොස්තාපල් අගම්පොඩිගේ මනෝජ් ප්‍රියංකර (19498) ය.

කොළඹ නෙළුම් පොකුණ රඟහල දෙසින් කොළඹ නිදහස් චතුරස්‍රය දෙසට පිවිසෙන මාර්ගයේ වේගයෙන් පැමිණ මෝටර් රථය කුරුඳුවත්ත පොලිසිය ආසන්න වටරවුමේ රථ වාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියා ද යට කරගෙන වටරවුමේ පිහිටි පොකුණට වැටෙන අයුරු ඒ අසල පිහිටි සීසීටීවී කැමරාවල සටහන්ව තිබිණ. හිසට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් පොලිස් කොස්තාපල්වරයාගේ මරණය සිදුව ඇති බවට පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත. මෙසේ අවාසනාවන්ත අයුරින් ජීවිතයෙන් සමුගත් පොලිස් කොස්තාපල් මනෝජ් 97/3, පොල් කොරටුව, කෑරදෙණිය, කිරම ලිපිනයේ පදිංචිව සිටි අයෙකි. මිය යන විට ඔහු කොළඹ රථ වාහන කොට්ඨාසයට අනුයුක්තව කුරුඳුවත්ත පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරියේ නිරතව සිටියේය. දරුවන් සිවුදෙනකුගෙන් යුතු පවුලේ වැඩිමහල් දරුවා ලෙස උපන් ඔහුට බාල සහෝදරයකු සහ සහෝදරියන් දෙදෙනෙකි.

සිය පවුලට මිණි පහනක් වූ මනෝජ්ගේ හදිසි වියෝව ඔහුගේ මවුපියන්ට දැරිය නොහැකි වේදනාවකි. රාජකාරියේ නිරතව සිටියදී ජීවිතයෙන් සමුගත් ආධුනික පොලිස් කොස්තාපල් මනෝජ් පොලිස් සැරයන් නිලයට උසස් කර ඔහුගේ මවුපියන්ට මූල්‍යමය පරිත්‍යාග සිදු කිරීම ඉකුත් දා පොලිස්පතිවරයා අතින් සිදු විය. සිය පුතුගේ වියෝවෙන් කිසිදා දුරු නොවන දුක්බර අගාධයක සිය පවුලම ගිලුණු බව මනෝජ්ගේ පියා පැවසුවේ දැඩි කම්පාවෙනි.

අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කර පොලිස් නිලධාරියකු මරණයට පත්කිරීමේ චෝදනාව යටතේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සැකකරු නාරාහේන්පිට පදිංචි ඩී. ඒ නුවන්ත අල්විස් නමැති 27 හැවිරිදි මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. ඔහුගේ පියා පොලිස් සේවයේ නිරතව සිටි උසස් පොලිස් නිලධාරියකු බවත් එම නිසා මේ පිළිබඳ පරීක්ෂණවලට බාධාවක් සිදුවිය හැකි බවටත් ඇතැම් සමාජ මාධ්‍ය ජාලාවල පළවන පුවත් සම්බන්ධයෙන් සිළුමිණ කළ විමසීමේදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පැවසුවේ ඒවා පදනම් විරහිත අසත්‍ය පුවත් බවය. අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවරයාගේ පියා මීට බොහෝ කලකට පෙර ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයකු ලෙස පොලිස් රෝහලේ ස්වේච්ඡාවෙන් සායන පවත්වා ඇති බවත් එම ගරු කටයුතු සේවය වෙනුවෙන් ඔහුට ඒ කාලයේදී පොලිස් උප සේවයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුර ලබාදී ඇති බවත් පසුව ඔහු එම ස්වෙච්ඡා සේවය හැරගොස් ඇති බවත් හෙතෙම සඳහන් කළේය. ඔහුගෙන් මෙම පරීක්ෂණ සඳහා කිසිදු මැදිහත්වීමක් හෝ බලපෑමක් සිදුවී නොමැති බව පැවසූ පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, පොලිස් දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් අපක්ෂපාතීව පරීක්ෂණ පවත්වන බව ද අවධාරණය කළේය. මාර්ග රාජකාරී සඳහා යොදවනු ලබන නිලධාරියකු පුහුණු කිරීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විශාල මුදලක්, කාලයක් වැයකරන අතර, එවැනි නිලධාරියකු අහිමි වීම දෙපාර්තමේන්තුවට මෙන්ම රටට ද දැරිය නොහැකි පාඩුවක් බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සඳහන් කළේය.

ආධුනික පොලිස් කොස්තාපල් මනෝජ්ගේ මරණයේ උණුසුම මැකෙන්නටත් පෙර තවත් පොලිස් කොස්තාපල්වරයකුගේ රුධිරයෙන් පොල්ගහවෙල මහ පොළොව තෙත් විය. ඒ ඉකුත් 9 වැනිදාය. මඟමරුවකු විසින් බිලිගත් ඔහු එදින රාත්‍රියේ මහමඟ රාජකාරියේ යෙදී සිටියදී පොල්ගහවෙල අලව්ව මාර්ගයේ පුහුරිය මංසන්දියට ආසන්නයේ සිදුවූ රිය අනතුරක් හේතුවෙන් ජීවිතයෙන් සමුගත් පොලිස් කොස්තාපල් (95236) අයි. එම්. නන්දන සුමිත් කුමාර ඉලංගරත්න ය. පොල්ගහවෙල පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටියදී අවාසනාවන්ත අයුරෙන් එසේ ජීවිතයෙන් සමුගත් ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පොලිස් උත්තමාචාර වෙඩිමුර මැද ගිරාඹේ පොදු සුසාන භූමියේදී ඉකුත් 12 වැනිදා සිදු කෙරුණේ උසස් පොලිස් නිලධාරීන් ඇතුළු මහා ජනකායකගේ සහභාගීත්වයෙනි.

“සුමිත් කවදාවත් කිසිම කෙනකුගේ හිත රිදෙන්න කතා කරපු කෙනෙක්වත් නෙවෙයි. එයා ගොඩක් සංවේදී කෙනෙක්. එයාගෙන් උදව්වක් ඉල්ලගෙන ආව කාට වුණත් එයා තමන්ට කරන්න පුළුවන් උපරිමයෙන් හැම උදව්වක්ම කළා. කාටවත් නෑ, බෑ කීවේ නෑ. ඒ වගේම එයා මටත් දරුවන්ටත් ගොඩක් ආදරේ කරපු, අපි ළඟින්ම හිටපු කෙනෙක්. එහෙම ජීවිතයක් තමයි අද මේ නැති වෙලා තියෙන්නෙ. මං මේ රටේ ඉන්න හැම රියැදුරෙක්ගෙන්ම ඉල්ලන්නේ තමන් පාරක තොටක වාහනයක යනව නම් තමන් ගැන වගේම පාරේ ඉන්න අනික් අය ගැනත් හිතන්න. එහෙම නොවුණොත් අසරණ වෙන්නෙ අපි වගේ අහිංසක අයයි. වාහනය ඔයාලට සෙල්ලම් බඩුවක් වුණාට මිනිස්සුන්ගේ ජීවිත සෙල්ලම් බඩු නෙවෙයි” සුමිත් කුමාරගේ බිරිය විනීතා ගමගේ කඳුළු අතරෙන් හඬ අවදි කළේ සිය දයාබර සැමියාගේ වියෝව දරාගත නොහැකි වේදනාවෙනි.

කොස්තාපල් සුමිත් කුමාර ඉලංගරත්න (45) පොල්ගහවෙල, ගිරාඹේ, බලහැරගමුව පදිංචිකරුවෙකි. සහෝදර සහෝදරියන් සිවු දෙනෙකුගෙන් යුත් පවුලක දෙවැන්නා ලෙස ඔහු උපත ලැබුවේ 1978 වසරේ මැයි 29 වැනිදාය. සුමිත් සහ ඔහුගේ පිරිමි සහෝදරයන් දෙදෙනකුම ආරක්ෂක අංශවලට සම්බන්ධ වූවන් වීම විශේෂත්වයකි. සුමිත්ගේ වැඩිමහල් සොයුරු විශ්‍රාමික ‍නාවුක හමුදා නිලධාරියෙකි. සුමිත්ගේ බාල සොහොයුරු ප්‍රදීප් කුමාර පොල්ගහවෙල පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙකි. සුමිත් හා බාල සොයුරු ප්‍රදීප් පොල්ගහවෙල පොලිසියේ රාජකාරියට එක්ව ඇත්තේ මීට වසරකට පමණ පෙරදීය. ප්‍රදීප් සිය සොහොයුරා සුමිත් ගැන මතකය අවදි කළේ වේදනාවෙනි.

“අයියගේ එකම අභිප්‍රාය වෙලා තිබුණේ ජීවිතේ තියෙන තුරු හිතට එකඟව රට වෙනුවෙන් සේවය කරලා රටට ණය නැති කෙනෙක් විදියට මිය යන්න තිබුණොත් ඇති කියන අදහසයි. එයා හැම වෙලේම මටත් කීවේ එහෙමයි. අයියා මේ අනතුරට ලක්වෙන කොට මම නිකවැරටිය පොලිස් පුහුණු විද්‍යාලයේ විශේෂ පුහුණුවීමකට ගිහින් හිටියේ. එයා තමන්ගේ සේවය වෙනුවෙන් පුදුම විදිහෙ කැපවීමක් කරපු කෙනෙක්. මටත් හැම වෙලේම කිව්වේ පුළුවන් තරම් මිනිස්සුන්ට උදවු කරගෙන ජීවත් වෙමු කියලා. එහෙම කෙනෙක් තමයි මේ අපට නැති වුණේ.”

බලහැරගමුව කනිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ සුමිත් කුමාර ද්විතීක අධ්‍යාපනය ලබා ඇත්තේ රත්මල්ගොඩ මහා විද්‍යාලයෙනි. 1998 වසරේදී පොලිස් සහායකයකු ලෙස පොලිස් සේවයට බැඳුණු සුමිත් කුමාර පොලිස් කොස්තාපල්වරයකු ලෙස මේ වන විට 25 වසරක් සපුරා තිබිණ. සුමිත් කුමාර සිවුදරු පියකු වන අතර, ඔහුගේ බාලම දරුවාගේ වයස මාස එකොළහකි. ආදරණීය සැමියකු, පියකු වූ සුමිත් පිළිබඳ මතකය විනීතා අවදි කළේ නිමක් නැති කඳුළු අතරෙනි.

“මගේ ගම බණ්ඩාරවෙල. මට මුලින්ම සුමිත් හම්බ වෙන්නේ දුම්රියේදී. අපි කොළඹ ඉඳලා ගමේ යනකොට මහත්තයත් ඒ කෝච්චිය පොල්ගහවෙලට ආවා. ඒ එන අතරමඟදි මට ඉඳගන්න සීට් එක දුන්නේ මහත්තයා. එහෙම කතාබහ කරලා අඳුන ගත්ත මහත්තයා එදා පොල්ගහවෙලින් බහින්නේ නැතිව මගෙත් එක්ක බණ්ඩාරවෙල දක්වාම ගියා. ඊට පස්සෙයි අපි යාළුවෙලා විවාහ වුණේ. මහත්තයා අහිංසක වගේම ගොඩක් කරුණාවන්ත කෙනෙක් නිසයි මම එයාට කැමති වුණේ. මටත් දරුවන්ටත් මහත්තය හරිම ආදරෙයි. ලබන මාසේ අපේ බාලම දරුවගෙ අවුරුද්දේ උපන් දින උත්සවේ ගන්න මහත්තය ගොඩක් ආශාවෙන් හිටියේ. එහෙම රත්තරන් මහත්තයෙක් තමයි මට මේ නැති කළේ.”

මෙම අනතුර සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට ගෙන ඇති ටිපර් රථයේ රියැදුරු පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත. සිය රාජකාරිය අතරතුර අනතුරට ලක් වීමෙන් අවාසනාවන්ත ලෙස මරණයට පත් වූ පොලිස් කොස්තාපල් සුමිත් කුමාරගේ සේවය අගයනු වස් ඔහු සැරයන් තනතුරට උසස් කිරීම නව පොලිස්පතිවරයාගේ පත්වීමෙන් පසුව ඉදිරි දින කිහිපය ඇතුළත සිදු කෙරෙන බවත් අවමංගල සභාව අමතමින් කතා කළ කුරුණෑගල කොට්ඨාස හතර භාර සහකාර පොලිස් අධිකාරී එල්. කේ. එස්. යූ. ලියනගමගේ විසින් දැනුම් දෙනු ලැබිණ.

ඉකුත් 10 වැනිදා මඟමරුවකු විසින් තවත් පොලිස් කොස්තාපල්වරියක් බිලි ගත්තේය. එදින පෙරවරුවේ දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල තලකිරියාගම ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් බරපතළ තුවාල ලැබූ ඇය දඹුල්ල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 11 වැනිදා අලුයම ජීවිතය හැර ගියාය. ඒ අවාසනාවන්ත ඉරණමට ලක්වූයේ පේදුරුතුඩුව පොලිසියට අනුයුක්තව සේවය කරමින් සිටි දඹුල්ල පොලිස් බල ප්‍රදේශයේ ඇතාබැඳිවැව පදිංචි චන්දිමා ගිම්හානි දිල්රුක්ෂි නමැති 25 හැවිරිදි අවිවාහක පොලිස් කොස්තාපල්වරියකි. නිවාඩු ලබා සිය නිවෙසට පැමිණි සිටි ගිම්හානි දඹුල්ල සිට ගලේවෙල දෙසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී ගලේවෙල ප්‍රදේශයේ සිට දඹුල්ල දෙසට පැමිණි ටිපර් රථයක් සමඟ තලකිරියාගම විහාරස්ථානය ආසන්නයේදී මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය පැවසීය. අනතුරින් තුවාල ලැබූ ගිම්හානි දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇයගේ එක් පාදයක් ඉවත් කළ බවත්, අතක් ඉවත් කිරීමට සැත්කමක් සිදු කිරීමට අවශ්‍ය බවත් රෝහල් බලධාරීන් ප්‍රකාශ කර තිබියදී ගිම්හානි සිය වටිනා ජීවිතයේ නිමාව සටහන් කරමින් මෙලොව හැර ගියාය.

වැඩිමහල් සහෝදරයන් දෙදෙනකුගේ නැඟණිය ලෙස උපත ලැබූ ගිම්හානි කුඩා වියේ සිට ක්‍රීඩාවට දස්කම් පෑවාය. තලකිරියාගම පාසලෙන් මූලික අධ්‍යාපනයත් ගලේවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයත් ලැබූ ඇය සිහින මැවුවේ ගුවන් හමුදාවේ පැරෂුට් අංශයට එක්වී ගුවනේ දස්කම් පාන්නටය. සහෝදරයන් ආරක්ෂක අංශයට සම්බන්ධ රැකියාවල නියුතු වීම ද ඊට හේතුවක් වන්නට ඇත. එහෙත් ගිම්හානිගේ පියා ඊට අකමැති වූයේ අහසේ විකුම් පාන්නට ගොස් සිය එකම දියණියගේ ජීවිතයට අනතුරක් වේ යැයි බියෙනි. පියාගේ හිත රිදවනු නොරිසි වූ ගිම්හානි අවසානයේ සිය සිහිනය සැබෑ කරගන්නේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට එක්වෙමිනි. 2020 වසරේදී පොලිස් සේවයට බැඳුණු ගිම්හානි හොඳම යතුරුපැදි ධාවන ශූරියක ලෙසත් වෙඩික්කාරියක ලෙසත් පිහිනුම් ශූරියක ලෙසත් පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී වෙසෙස් දස්කම් පෑවාය. පේදුරුතුඩුව පොලිසියට අනුයුක්තව සේවය කළ ඇය නිවාඩු ලබා නිවෙසට පැමිණ ඇත්තේ අනතුර සිදුවීමට පෙර දිනයේදීය.

ගිම්හානිගේ මව වන ඩබ්ලිව්.එම්. හීන්මැණිකේ ඒ අවාසනාවන්ත මොහොත වදන්වලට පෙරළා ගත නොහැකිව නිමක් නැති කඳුළු සයුරක අතරමං වී සිටියාය. එදින උදෑසන ගිම්හානි යතුරුපැදියෙන් දඹුල්ල නගරයට ගොස් තිබුණේ සිය සහෝදරයන්ගේ දරුවන්ට සෙල්ලම් බඩු සහ නිවෙසට අවැසි කළමනා කිහිපයක් රැගෙන ඒමටය. එහෙත් ටිපර් රථයේ සැඟවී පැමිණි මරුවා ගිම්හානිගේ තුරුණු සිතේ පිරී තිබුණු සුන්දර පැතුම් සියල්ල සමඟ සැහැසි ලෙස ඇයගේ ජීවිතයම උදුරා ගත්තේය. ගිම්හානි මීට පෙර කවදාකවත් සිය උපන් දිනය සමරා නොතිබුණු බවත් ඉකුත් දා යෙදුණු ඇයගේ උපන් දිනය පොලිස් ස්ථානයේ හිතමිතුරන් විසින් සංවිධානය කළ ‘ සප්‍රයිස් සාදයකින්’ සැමරූ බවත් ඒ ගැන ගිම්හානි ඉතා සතුටින් සිටි බවත් ඇයගේ මිතුරු මිතුරියන් සිහි කළේ වේදනාවෙනි. කාටත් හොඳ හිත පෑ, නිතර සතුටින් සැහැල්ලුවෙන් දිවි ගෙවූ සුන්දර යුවතියක වූ ගිම්හානි අවසන් නින්දට වැටී සිටි අවමඟුල් සයනයේ පසෙක ඇය කවදත් ප්‍රිය කළ ටෙඩී බෙයා කෙනෙකු ද තබා තිබිණ. ඉකුත් 12 වැනිදා සැදෑවේ ගිම්හානි ඇතාබැඳිවැව පොදු සුසාන භූමියේදී අවසන් ගමන් ගියේ බොහෝ දෙනකුගේ නෙත්වල දුක් කඳුළු රඳවමිනි.

මහජනතාවට ආරක්ෂාව සහ පහසුකම් සැලසීම වෙනුවෙන් රථ වාහන රාජකාරියේ යෙදී සිටින පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් හා ඔවුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සියලු රියැදුරන් සුවිශේෂ අවධානයක් යොමු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව පැවසීය. විශේෂයෙන් මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ තම සුවපහසුව සහ ජීවිත අවදානම නොතකා රාජකාරියේ නිරත වී සිටින රථ වාහන පොලිස් නිලධාරීන් ඇතුළු සියලු නිලධාරීන් කෙරෙහි රියැදුරන් සහ මහජනතාව ද මානුෂීයව සිතා කටයුතු කිරීම අවශ්‍ය බව ද ඔහු සඳහන් කළේය. එමෙන්ම මහමඟ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන් සිය ජීවිත ආරක්ෂාව පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කිරීමේ අවශ්‍යතාව ද ඔහු සිහිපත් කළේය.

සුනිල් එස්. පැල්ලන්දෙණිය කුරුණෑගල 
කේ. කේ. ආරියදාස දඹුල්ල
එච්.ඒ.පී. සමරවික්‍රම
මැලමුලන සමූහ

සුරේකා නිල්මිණි ඉලංකෝන්

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division