– කතුරු මිතුරු රූප රාමුවක් දකින වාරයක් පාසා මනෝ අයියා එක්ක වැඩ කරපු හැටි මතක් වෙනවා
– රටේ තියෙන ආර්ථික අර්බුද එක්ක රංග පාසලක් පවත්වාගෙන යන එක පහසු නැහැ බැරිම වුණොත් නතර කරන්නත් වෙනවා
– ක්ෂේත්‍රයට එන්න තුන්දෙනාගෙන් එක් කෙනෙක්ගේවත් කැමැත්තක් නැහැ
– තාත්තාගේ යුගය වෙද්දී හිටිය සිනමාවේ දැවැන්තයන් එක්ක තාත්තට එහෙම හිතුණ එකත් සාධාරණයි
කාලාන්තරයක් තිස්සේ ප්‍රේක්ෂක හදවත් තුළ රැඳෙන චරිත කරමින් සිය රංගන වෘත්තිය තුළ නොමැකෙන මතක තබමින් චරිතාංග රංගන ශිල්පියෙක් ලෙස පැවතීම ලෙහෙසි පහසු නැහැ. උපතින් අරන් එන කලා හැකියාවන් සතතභ්‍යාස තුළින් ඔපමට්ටම් කරමින් රංගනය යනු හැදෑරිය යුතු විෂයක් බව මනාව පසක් කරමින් අපේ කලා ක්ෂේත්‍රයට තවත් දක්ෂයින් බිහිකරමින් ඉන්න කලා ලොවේ “ලොකු අයියා“ සමඟයි අද මේ කතාබහ. මේ ආදරණිය “ලොකු අයියා“ අන් කවරෙකුත් නොව අපිට සිටින දක්ෂ ප්‍රවීණ සම්මානිත රංගන ශිල්පී මහේන්ද්‍ර පෙරේරා නම් සොඳුරු රංගවේදියායි. කලාවට සහ සිය වෘත්තිය රංගන ජිවිතයට ඇති කැපවීම සහ ආදරය නිසා එදා සේම අදත් ප්‍රේක්ෂක ආදරය එක සේ නොඅඩුව ලබන්නට වාසනාවන්ත වී තිබෙනවා. මේ දිනවල සාර්ථකව තිරගත වන කතුරු මිතුරු හි සැම්සන් වන්නේත් ඔහුයි. මේ කතාබහ මේ දිනවල ඔහුගේ කලා ලොවේ වැඩකටයුතු ගැනයි.
රිවස්ටන් පැත්තට වෙලා මොකද මේ කරන්නේ
මේ දවස්වල ලලිත් රත්නායකගේ අධ්‍යක්ෂණයෙන් සහ ප්‍රභාත් රෝෂණගේ නිෂ්පාදනයෙන් සහ කැමරාකරණයෙන් නිර්මාණය වන චිත්‍රපටයක රූපගත කිරීම් මැද ඉන්නේ. රන්දික ගුණතිලක, ප්‍රියන්ත සිරිකුමාර සහ ශ්‍යාම් ප්‍රනාන්දු මම තමයි ඉන්නේ. අපි හතර දෙනා තමයි මේ චිත්‍රපටයේම ඉන්නේ. වාහනයක් ඇතුළේ වෙන වෙනස්ම ගැඹුරු සුන්දර කතාවක්. ඉදිරියේදී තව විස්තර කියන්නම්.
කොහොමද රිවස්ටන් පැත්තේ කාලගුණය එහෙම?
හවසට නම් පොඩ්ඩක් වැස්ස තියෙනවා. සීතලෙන් නම් අඩුවක් නැහැ. රිවස්ටන් කියන්නේ ලංකාවේ තියෙන සුන්දරම පැත්තක්නේ. පොඩි පොද වැස්ස මීදුම මැද අපි අපේ නිර්මාණයේ වැඩ ටික කරගෙන යනවා.
මලයාලම් ෆිල්ම් එකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා නේද?
ඔව්. පැරඩයිස් චිත්‍රපටය. ප්‍රසන්න විතානගේට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඔහුගේ අධ්‍යක්ෂණයෙන් නිර්මාණය වූවක්. මගේ ජීවිතේ මුල්ම වතාවට ඉන්දියාවේ කේරළයේ රංගන ශිල්පීන් දෙපළක් එක්ක රඟපාන්න අවස්ථාව ලැබුණේ. රෝෂන් මැතිව් හා දර්ශනා රාජේන්ද්‍රන්. ඒ වගේම මම ඇතුළු තව අපේ ශිල්පීන් කිහිප දෙනෙක්ටම මේ අවස්ථාව උදා වුණා.
කොහොමද ඉන්දීය ශිල්පීන් සමඟ වැඩ කිරීම පහසුද?
ජීවිතේට ලැබුණු හොඳ අත්දැකීමක් කිව්වොත් නිවැරදියි. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙතැනදී ප්‍රසන්න විතානගේගේ අධ්‍යක්ෂණය ගැන. ඔහු පුදුමාකාර විදියට අපි තුළින් අපේ චරිත ගොඩනඟා ගන්න සමත් වුණා. මට මගේ චරිතය තුළ තිබුණු අහුමුළු කොන් හොයාගන්න පුළුවන් වෙලා ඒ ඔස්සේ නාඩි වට්ට ගන්න පුළුවන් වුණා කියලා හිතෙනවා. ඒ වගේම රාජිව් රවී කියන අතිදක්ෂ ඉන්දීය කැමරාශිල්පියා මෙහි කැමරාකරණය කළේ. ඔහු සමඟ වැඩ කිරීමත් වෙනමම අත්දැකීමක් වුණා. ඔහු සමඟ වැඩ කිරීම හරි පහසුයි. මෙහි මගේ භූමිකාව සාජන් බණ්ඩාර. පොලිස් චරිතයක් වුණාට මට ලැබුණු සුවිශේෂී චරිතයක්. එක එක වෙලාවට ඔහුගේ හැසිරීම් වෙනස්. ඒ වගේම ඔවුන් අපේ ලංකාවේ ශිල්පීන්ව සෑහෙන්න අගය කළා. ඒ අගය කිරීමත් අපිට ලොකු ශක්තියක් ධෛර්යක් වුණා. නුදුරු දිනකදී පැරඩයිස් චිත්‍රපටය බලද්දී ප්‍රේක්ෂක ඔබටත් දැනෙයි ඒ චරිතය. මේ චිත්‍රපටයේ ජාත්‍යන්තර මංගල දැක්ම පසුගිය දා පැවති බූසාන් චිත්‍රපට උලෙළේ දී පැවැත්වුණා.
ලංකාවෙත් දැන් ඉන්නවා මලයාලම් සිනමාවටම වෙන් වුණු රසිකයින්, ඒ අයට නම් මේ පැරඩයිස් චිත්‍රපටය අලුත් අත්දැකීමක් වෙයි?
මලයාලම් සිනමාව කියන එක පසුගිය කාලය තුළ අපි හිතන්නේ නැති තැනකට ආවා. අපි කාටවත් හිතා ගන්න බැරි විදියට ඉතා උසස් තලයකට ඔවුන් ඔවුන්ගේ සිනමාව ගෙනාවා. මමත් මලයාලම් චිත්‍රපට බලලා තියෙනවා. ඔවුන්ගේ නිර්මාණ තුළ තියෙන කතා ශෛලීන් සහ රඟපෑමේ ශෛලීන් එක්ක මලයාලම් සිනමාව වෙනස්ම තලයකට ගෙන යනවා කියන එක දැනෙනවා. ඒ නිසා එවැනි සිනමාවක ඉන්න නළු නිළියන් සමඟ රඟපාන්න ලැබීමත් ලොකු අවස්ථාවක්. චිත්‍රපටයේ චරිත සඳහා තෝරා ගැනීම් කරපු දමයන්ති ෆොන්සේකාටත් සහාය අධ්‍යක්ෂණය කළ දමින්ද මඩවලටත් විශේෂයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ දෙන්නා තමයි ප්‍රසන්න එක්ක එක්වෙලා මේ නිර්මාණයට ගැලපෙන චරිත තේරීම කළේ.
අනිත් අතට මේ දවස්වල කතුරු මිතුරු නිසා අතිශය ජනප්‍රිය වෙලා ඉන්නේ. ඒ ගැන කිව්වොත්?
පුදුමාකාර ප්‍රේක්ෂක ආදරයක් දිනා ගනිමින් රට පුරා ‘හවුස් ෆුල්‘ වෙමින් තිරගත වෙනවා. අපි කතුරු මිතුරු චිත්‍රපටය කරලා අවුරුදු පහක් වෙනවා. රටේ ප්‍රශ්න සහ කොරෝනා ප්‍රශ්න එක්ක කල් ගියා. දැනුත් ප්‍රශ්නවල නම් අඩුවක් නැහැ. නමුත් දැන් තමයි වෙලාව ආවේ ප්‍රේක්ෂකයින්ට කතුරු මිතුරු භාර කරන්න. මට හිතෙනවා මේක හරි වෙලාව සහ හොඳම වෙලාව කියලා. මොකෝ නෑ කියනවද? (හිනා…)
කතුරු මිතුරු ගැන කිව්වොත් ?
මුලින්ම ස්තුවන්ත වෙන්න ඕනේ ගිරිරාජ් කෞෂල්‍යයට මේ තරම් විශාල ප්‍රේක්ෂක පිරිසක් සිනමාශාලා වෙත කැඳවන්නට හැකි චිත්‍රපටයක් කිරීම ගැන. ගිරා මේ චිත්‍රපටය කළේ ඔහුගේ අනිත් නිර්මාණ වලට වඩා වෙනස් තැනකින්. ඒක හරි රසවත්. කොහොමත් ගිරා කියන්නේ කොමඩි හරි රහට ලියන්න හැකියාවක් තියෙන කෙනෙක්. චිත්‍රපටයේ සාර්ථකත්වයට තව හේතුවක් තමයි මෙහි රඟපෑ සියලුම දෙනාගේ දායකත්වය. මුල සිටම හාස්‍ය කියන එක පවත්වාගෙන නිර්මාණයක් කිරීම ලෙහෙසි නැහැ. මෙහි ලස්සන සිදුවීම් නිර්මාණය කරලා තිබුණා. ඒ නිසා තමයි පටන් ගත්ත වෙලාවේ ඉඳන් ප්‍රේක්ෂකාගාරයට හිනාව නතර කර ගන්න බැරි වෙන්නේ. ඒ එක්කම අවසානයට හිනාව අතරින් යම් භාවමය තැනකට ගෙනැත් ඇහැට කඳුළක් එකතු කරනවා. බලපු ගොඩක් අය කිව්වා කඳුළක් ආවා ලොකු අයියා ඇස් දෙකට කියලා. ඒකත් ලේසි වැඩක් නෙවෙයි. ගිරාගේ ඔළුවේ ඇතුළෙම තිබ්බ ලියවිල්ලක්. ඒ නිසා ඒ හැමදේටම ගිරිරාජ් ට ස්තුතිවන්ත වෙන ගමන් අනිත් පැත්තෙන් බාසුරු සිරිවර්ධන කියන අපේ නිෂ්පාදකතුමාට ස්තුතිවන්ත වෙනවා. කිසිම ඇඟිලි ගැහීමක් නැතුව හැමදේම සපයලා දීලා සියලු බරපැන දරාගෙන නිර්මාණය කළා. ඒ නිසයි මේ තරම් සාර්ථක නිර්මාණයක් බිහි වුණේ.
අපි මතක් කළොත් ජයලත් මනෝරත්නයන් ගැන, ඔහු ගැන කියන්න නම් ඔබට බොහෝ දේ ඇති නේද?
කතුරු මිතුරු රූප රාමුවක් දකින වාරයක් පාසා මනෝ අයියා එක්ක වැඩ කරපු හැටි මතක් වෙනවා. ඒ හැම වෙලාවකම පුදුම වේදනාවක් එන්නේ අනේ මේ මනුස්සයා අපි අතර නැහැ නේද කියන එක මතක් වෙද්දී. රඟපෑම විතරක් නෙවෙයි විශාල දැනුම් සම්බාරයක් තිබුණු ඉතා සුවිශේෂී කලාකරුවෙක්. ඒ අහිමි වීම නම් විශාල පාඩුවක්. චිත්‍රපටය කරන කාලේ පුදුම රසවත් හැන්දෑවන් ගත කළා. මනෝ අයියා කියන්නේ ඕනෙම විදියේ චරිතයක් කරන්න හැකි අපිට හිටිය ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියෙක්. මෙතැනදීත් හාස්‍යය කියන එක ඉතා සියුම් විදියට මතු කළා. ලේසි නැහැ ඒ රංගනය ගැන චිත්‍රපටය බලපු ප්‍රේක්ෂකයින් සමාජ මාධ්‍යය තුළ සාක්ෂි දරලා තියෙනවා විදිය දැක්කම.
කතුරු මිතුරු හවුස්ෆුල් කරන ප්‍රේක්ෂකයින් ගැන මොකද හිතන්නේ?
එහෙම එන්න එක හේතුවක් මේ වෙලාවේ අපි හැමෝම ඉන්නේ ප්‍රශ්න වලින් මිරිකිලා. ඒකත් එක්ක බලපුවාම මිනිස්සු කියන අය ටික වෙලාවකට හරි හිනා වෙන්න ඕනේ. හිනා වෙන්න ආසයි සන්තෝෂ වෙන්න ආසයි. ඒ නිසා මොහොතකට හෝ ප්‍රශ්න අමතක කරලා හිනාවෙන්න පුළුවන් කියන එක ප්‍රේක්ෂකයින්ට වැටහිලා තියෙනවා. ඒකත් එක්ක ප්‍රේක්ෂකයන් ඒ රසවින්දනය සැහැල්ලුව ලබා ගන්න සිනමා ශාලා වෙත එනවා. ඒ ගැන කලාකරුවන් විදියට අපි සතුටු වෙනවා. කලාව සිනමාව කියන්නේ රසවින්දන මාධ්‍යයක්නේ.
මේ නිර්මාණ හැරුණම සිනමාවෙන් එන්න තියෙන නිර්මාණ මොනවද?
චිත්‍රපට නම් 8ක් 10ක් එන්න තියෙනවා. ඒ අතරින් අරුණ ජයවර්ධන අධ්‍යක්ෂණය කළ 1970 ලව් ස්ටෝරි චිත්‍රපටය ළඟඳීම තිරගත වෙයි. තව ඔහුගේ මමාරියා චිත්‍රපටයෙත් මම රඟපෑවා.
ඔබේ ඇක්ටින් ස්කුල් එකේ වැඩ කටයුතු එහෙම කොහොමද?
ඔක්තෝබර් අග එහි අලුත් කණ්ඩායම බඳවා ගැනීම් සිදු වෙනවා. ඇත්තම කිව්වොත් ඒකත් අමාරුවෙන් කරගෙන යන්නේ. රටේ තියෙන ආර්ථික අර්බුද එක්ක රංග පාසලක් පවත්වාගෙන යන එක පහසු නැහැ. පුළුවන් තරම් දුරට කරගෙන යන්න උත්සාහ කරනවා. බැරිම වුණොත් නතර කරන්නත් වෙනවා.
ඔබට සතුටු වෙන්න පුළුවන් ගෝල පරම්පරාවක් හදලා නේද තියෙන්නෙ?
ඒ හින්දා තමයි දැන් නවත්තන්න පුළුවන් කියලා හිතේ පොඩි හරි සංතෝෂයක් තියෙන්නේ. දෙයක් කරන්න උත්සාහ කළා. ඒ දේ කළා ඇති කියලා හිතෙනවා. අනිත් අතට අපි රංගනය ගැන නිවැරදිව ඉගැන්නුවට, උගන්වලා කොහාටද යවන්නේ කියන ප්‍රශ්නයත් තියෙනවා. අපේ වගේ රටක මේ දේ කරන්න වෙන්නේ ඉතාම සුළු මුදලක් අරගෙන. මම දකින්නේ ඉතාම දක්ෂතා සපිරි සුළු පිරිසක් තෝරාගෙන නේවාසිකව රංගනය ගැන වගේම ඉංග්‍රීසි දැනුම සහ හැම පැත්තක්ම උගන්වන්න ඕනේ. එහෙම ප්‍රගුණ කරලා ගන්න කෙනෙක්ව තමයි සම්පූර්ණයි කියලා අපිට එළියට දාන්න පුළුවන් වෙන්නේ.
මහේන්ද්‍ර අයියටත් ඉන්නවා කොල්ලොම තුනක්, ඒ අය කලාවට එන එකක් නැද්ද?
උවින්, නවීන්, ප්‍රවීන්. ඒ අය ෂූටින් බලන්නවත් අද වෙනකම් එන්නවත් අහලා නැහැ. ඒ අය කලාව රස විඳිනවා. ගිටාර් ගහනවා සින්දු කියනවා. ඒවා කරනවා. නමුත් රඟපැම ගැන එහෙම ලොකු උනන්දුවක් නැහැ. ක්ෂේත්‍රයට එන්න තුන්දෙනාගෙන් එක් කෙනෙක්ගේවත් අදහසක් නැහැ. ඒ අය තෝරාගත් මාර්ග ඔස්සේ ගමනක් යනවා. මමත් ඒ අයට ඒ අයගේ නිදහසේ කැමති මාර්ගවල යන්න දීලා මට ලබා දෙන්න පුළුවන් සහයෝගය ලබා දුන්නා. මේ වෙද්දී දෙවැනියා ඉන්නේ ඔස්ට්‍ර්ලියාවේ. අනිත් දෙන්නා නම් ඉන්නේ ලංකාවේ. පොඩි එක්කෙනා ආයතනයක interior design කරනවා. ලොකු පුතා එයාගේ රස්සාව කරන් ඉන්නවා.
ඔබේ තාත්තා කිව්වේ දොඩම් ගෙඩි දෙකක් තරම් උස නැහැ, කොහේ රඟපාන්නද කියලා. එදා එහෙම කිව්වට අද ඉන්න තැන ගැන මොකද හිතෙන්නේ?
මේ ආපු ගමන ලෙහෙසි නැහැ. හිතේ සතුටක් තියෙනවා. ඒ ඒ වෙලාවේ හම්බවුණ හැමදෙයක්ම රසවිඳගෙන කැපවීමෙන් මහන්සියෙන් අවංකව සොයාගෙන ගියා. තාත්තාගේ යුගය වෙද්දී හිටිය සිනමාවේ දැවැන්තයින් එක්ක තාත්තට එහෙම හිතුණ එකත් සාධාරණයි. සක්විති ගාමිණි ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, ඩොමී ජයවර්ධන ඒ වගේ අය දිහා බලද්දී මගේ සයිස් එකත් එක්ක මට ගොඩ නැෙඟන්න පුළුවන් වෙයිද කියන කාරණාව තමයි ආවේ. ඔය හැමදේටම වඩා මට දැඩි විශ්වාසයක් තිබ්බා. ඒ නිසා මහන්සියෙන් සොයා යෑම සහ හැදෑරීම කියන දේ කොයිම වෙලාවකවත් නැවැත්තුවේ නැහැ. ඒ තුළින් මම මගේ ගැන විශ්වාසය ගොඩනඟාගෙන ගමනක් ආවා.
අනුෂා රණසිංහ ජායාරූප - කල්ප මේනක