නිරිතදිග මෝසමට ඇද හැෙලන වර්ෂාව මාතර දිස්ත්‍රික්කයම යට කරමින් ගලා බසිමින් ඇත. දෙනියාය නගරය මධ්‍යයේ වන පාලමෙන් මෙගොඩට වැසි ජල කඳ නිල්වලා ගඟටත් එගොඩ වැස්සෙන් ගිං ගඟත් පිටාර යයි. මාතර අකුරැස්ස දියලපේ ගමට ද සති ගණනාවක් තිස්සේ මේ ධාරාණිපාත වැසි වැටෙයි. ඉකුත් බදාදා එළිය වැටෙන ජාමය වන විටත් වර්ෂාව පහව ගොස් නොතිබිණි. දියලපේ ගමේ තැන්නපිටහේන කඳු පාමුල ජීවත් වන සෝමදාසලා ඇතුළු ගැමියෝ මේ වර්ෂාවෙන් දැඩි පීඩා විඳින්නෝය. මේ දියලපේ මිනිසුන්ගෙන් බොහෝ දෙනෙකුගේ ජීවිකාව තේ දලු නෙළීමයි. තම ජීවිකාව කර ගැනීමට නොහැකිව ගැමියෝ දැඩි අසීරුවට පත් වූහ.
එදිනත් වෙනදා මෙන් වැසි දිනයකි. දියලපේ ජීවත් වෙන සෝමදාස වැසි නොතකා රෝහල වෙත ගොස් නැවත නිවෙස බලා එමින් සිටියේය. හදිසියේ ඔහුගේ ජංගම දුරකතනය නාද විය. එහි අනෙක් කෙළෙවරෙහි හඬ ඥාති නැගණියකගේය. ‘කන්ද උඩින් බොර වෙච්ච වතුර පාරක් එනවා’ ඇය පැවසූ දෙයින් සෝමරත්න කලබලයට පත් විය. තැන්නපිටහේන කන්ද අසල වන බස් නැවැතුමෙන් බැසගත් සෝමදාස අතොරක් නැතිව ඇද හැලෙන වර්ෂාව තුට්ටුවකට මායිම් නොකර අඩිය ඉක්මන් කරමින් ඇසිල්ලකින් තැන්නපිටහේන කන්ද පාමුලට පැමිණියේය.
සෝමදාස කන්ද උඩින් ගලා එන බොර වතුර පාර දිගේ කඳු මුදුනට නඟින්නට විය. අසීරුවෙන් කඳු මුදුනට නඟින සෝමදාසට වෙනදාට වඩා කන්දේ වෙනසක් දක්නට විය. අතරමැද තේ යායේ දලු කඩන ගැහැනු මිනිසුන්ට අව්වට වැස්සට අපූරු සෙවණක් වූ මැහෝගනී සහ ඇට්ටෝනිය ගස් කන්දේ මඳක් දුරින් හරහට පෙරළී පස්වලට හිරවී ඇත.
තැනින් තැන දිය සීරාවල් පහළට ගලාගෙන යයි. තවත් දුරක් යන්නට පෙර කඳු මුදුන දෙසින් කළුගල් කැබලි කැඩි හීයක වේගයෙන් පහළට විසි වෙයි. එම පෙරළෙන ගල් වලින් බේරී සීරුවට කඳු මුදුනට නඟින සෝමදාස ගසක එල්ලී සිදුවන සියල්ල විඩියෝ කළේය. පරිසරයේ සිදුවන මේ විපර්යාසය අනතුරක සේයාවක් බව සෝමදාස හොඳින් දැන සිටියේය.
ඔහු තමා පසුපස අසීරුවෙන් උඩට නඟින බිරිය සහා අනෙක් හතරදෙනාට කඳු මුදුනට ඒම වැළැක්වුවේය. නාය යෑමක මූලික ලක්ෂණ පෙන්නුම් කරන වීඩියෝ පටයත් සමඟ සෝමදාස වගකිවයුතු කිහිපදෙනෙකුටම මේ සිදුවීම කඳු මුදුනේ සිටම දුරකතනයෙන් දැනුම් දුන්නේය. ඉන් අනතුරුව ඔහු අඩිය ඉක්මන් කර කඳු පාමුලට පල්ලම් බැස නිවැසියන් සියල්ල දැනුම්වත් කළේය. ඔහු කන්ද මුදුනේ සිට පහළ දක්වා ඇති කුඩා නිවෙස්වල මිනිසුන්ට සිදුවීමට යන මහා විපත ගැන පැවැසුවේය. වගකිවයුතු නිලධාරීන් ද සෝමදාසගේ ඇමතුමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක විය. නිවෙස්වල සිටින පිරිස් එතැනින් ඉවත් කිරීමට ඔවුහු කටයුතු කළහ. කෙසේ වුවත් අකුරැස්ස දියලපේ ග්‍රාමසේවා වසමේ තැන්නේපිටහේන ගමේ පිහිටි කන්ද නාය යාමට පෙර ජීවිත 171ක් බේරා ගැනීමට 66 හැවිරිදි තල්ගහ ලියද්දගේ සෝමදාසට හැකි විය.
සෝමදාසගේ දැනුම්දීමෙන් පසු දෑස් ඉදිරිපිට එය සත්‍යයක් බවට පසක් කරමින් අකුරැස්ස, දියලපේ තැන්නපිටහේන කඳුයාය අවාසනාවන්ත ලෙස පැය කිහිපයකට පසුව නාය ගියේය. ඒ වන විට ඔහුගේ අනාවැකිය සත්‍යයක් වී හමාරය. සෝමදාස අදාළ වගකිවයුත්තන්ට නොකියා සිටියේ නම් අද තැන්නපිටහේන එකම සොහොන් පිටියක් වනු නොඅනුමානයි.
“කන්ද උඩින් බොර වතුර පාරක් එනවා මම දැක්කා අනතුරක් ද කියලා මට සැක හිතුණා. 2017දී අවුරුදු 06 කට ඉස්සෙල්ලා අපේ කන්දට වෙච්ච දේවල් මට මතක් වුණා. එදා බැරි වුණාට අද මම මේ ජීවිත ටික බේර ගන්න ඕන කියලා මට හිතුණා. මම රෝහලට ගිහින් මඟක් එද්දි තමයි මේ ආරංචිය ලැබුණේ. මම ඉක්මනින් ආවා.ඇවිත් මම මහන්සිය නොබලා කන්ද නැඟල පරීක්ෂා කරලා බැලුවා. එතකොටයි දැක්කේ කන්ද නාය යන්න පටන් අරගෙන තියෙන බව. මම හැමතැනටම ඒ බව දැනුම් දුන්නා.” සෝමදාස පැවසුවේය.
තැන්නපිටහේනේ ගැමියකු වන සෝමදාස නොසිටින්නට එහි පදිංචිව සිටින නිවැසියන් සියල්ලට සිදුවන්නට ගිය ඛේදවාචකය මෙතෙක් යැයි කිව නොහැකිය. නොඑසේ නම් දෑස් ඉදිරිපිට මේ ඛේදවාචකය දුටු සියල්ලන් සාක්ෂිකරුවන් පමණක් වනු ඇත. සිදුවීමට ගිය ඛේදවාචකය ගමට සහ වගකිවයුත්තන්ට දැනුම්වත් කළ ඔහු සැබෑ වීරයෙකි. නිකම්ම වීරයකු නොව ඔහු වටිනා මිනිස් ජිවිත ගණනාවක් බේරාගත් වීරයෙකි.
“මම ඉපදුණේ මේ ගමේ. තැන්නපිටහේන කන්දේ පොඩි දොල පාරවල් 03 ක් තියෙනවා. මට දැනුණා මේ ගලන්නේ ඒ දොලේ වතුර නෙවෙයි කියලා. මොකක් හරි විපත්තියක් කියලා මට හිතුණා. මමයි අපේ නෝනයි, තව ගෑනු ළමයි දෙන්නෙකුයි පිරිමි ළමයි දෙන්නෙකුයි එක්ක ඔක්කොම අපි 06 දෙනෙක් කන්දේ මොනවද වෙලා තියෙන්නෙ කියලා බලන්න කන්දට නැග්ගා. මම මැද දොළ පාරෙන් ගියා. අනිත් අයට කිව්වා අයිනෙන් එන්න කියලා. ටිකක් උඩට යනකොට මම දැක්කා ඇට්ටෝනිය ගහක් කඩාගෙන වැටිල කන්දේ පස්වලට හිරවෙනවා. දිය සීරාවල් තැනින් තැන ගලාගෙන පහළට ගියා. ඒ වතුර ඔක්කොම මඩ පාටයි. කිරිමැටි දිය කරලා වගේ. මගේ සැකය වැඩි වුණා. මම අනිත් අයට එන්න එපා පහළට යන්න කියල කිව්වා. ඒගොල්ලෝ ආපහු ගියා.
මම කිට්ටුව තිබුණ ගහක එල්ලිලා ෆෝන් එකෙන් වීඩියෝ කළා. වීඩියෝ කරලා එතන ඉඳලම අපේ ගමේ කෘෂි පර්යේෂණ නිලධාරී – දියලපේ මනෝජ් මහත්තයට යැව්වා. ඒ වෙද්දි වෙලාව දවල් 11.30 ට විතර ඇති. මනෝජ් මහත්තයා දියලපේ පන්සලේ ඉලුප්පැල්ලේ චන්දවිමල ලොකු හාමුදුරුවන්ට කිව්වා. අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා සහන සේවා නිලධාරී යූ.ජී. සම්පත් ඒ මහත්තයාටත් මම කිව්වා. ඒ මහත්තයා අපිට එදා 2017 නාය ගිය වෙලාවේ ඒ ටෙලිෆෝන් අංකය දීලයි තිබුණේ. මම ඒ මහත්තයටත් කිව්වා. අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වගේම පොලිසියේ ස්ථානාධිපතිවරයා වන ප්‍රධාන පොලිස් පරික්ෂක සුදත් සුදසිංහ මහත්තයාටත් කිව්වා. හාමුදුරුවෝ අපේ ගෙවල් ළඟට ආවා, තවත් කට්ටිය එක්ක. එදා හවස් වෙනකොට මම හිතුව විදිහටම කන්දේ උඩ කොටස නාය ගියා.
කන්ද නාය යන බව ඔහු විසින් නිරීක්ෂණය කර ඒ බව මුලින්ම දැනුම්දී ඇත්තේ ගමේ ගොවි නියාමකටය. ඉන් අනතුරුව අකුරැස්ස ආපදා සහන සේවා නිලධාරී යූ. ජී. සම්පත්ටත්, අනතුරුව ග්‍රාම සේවකටත්, ගමේ පන්සලේ නායක හිමියන්ටත් පොලිසියටත් දැනුම්දී ඇත. කන්ද පාමුල පදිංචි පිරිස් ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත්තේ ඒ අනුවය.
“මම කිව්වා දේ නිසා 04 වැනිදා උදේ ප්‍රාදේශීය ලේකම් නෝනා, සම්පත් මහත්තයා, පොලිසියේ ලොකු මහත්තයා එක්ක ආවා. ඇවිත් ගෙවල් 22ක ඉන්න අයට ඉක්මනින්ම වුවමනාම දේවල් අරගෙන දියලපේ පන්සලට එන්න කියල අපි ඔක්කොම පන්සලට ගියා. ඉන්පස්සේ අපිව දියලපේ ඉස්කෝලේ නැවැත්තුවා.ඔක්කොම අපි ඒ වෙද්දි 75යි හිටියේ. ඊට පසුවෙනිදා තවත් කන්දේ කොටසක් නාය ගියා. ඊට පස්සේ ආයෙමත් ඒ කණ්ඩායම හිටපු පවුල් 18ත් අයින් කරලා අපි හිටපු ඉස්කෝලෙම නැවැත්තුවා. පෝරඹ පන්සලේ සුගතවංශ හාමුදුරුවෝත් අපිට සෑහෙන උපකාර කළා. පොලිසියේ සුදුසිංහ ලොකු මහත්තයා අනිල් කියලා සාජන්ට් මහත්තයෙක් එවලා තත්ත්වය බලාගෙන ගියා. අවදානම ඒ මහත්තයා කිව්වාම පොලිස් ස්ථානාධිපති මහත්තයයි, ප්‍රාදේශීය ලේකම් නෝනයි සම්පත් මහත්තයයි ඇවිල්ලා අපිව ඉස්කෝලේ නැවැත්තුවේ නැත්නම්, අපේ කට්ටිය ළමයි එක්ක වතුර පාරවල් බලන්න ගිහින් ජීවිත නැති කර ගන්නවා“. ඔහු අප සමඟ පැහැදිලි කළේය.
ඉඩම් හිමි වැවිලිකරුවකු වන 66 හැවිරිදි තල්ගහ ලියද්දගේ සෝමදාස තේ, කුරුඳු වගාවට හපනෙකි. ඔහු විවාහ වී සිටින්නේ හොරගොඩ ප්‍රදේශයේ කාන්තාවක සමඟිනි. එම දෙපළට දියණියන් තිදෙනෙකි. වැඩිමහල් දියණිය ගොඩපිටිය ජාතික පාසලේ උසස් පෙළ හදාරන්නීය. අනෙක් දියණියන්ගෙන් වැඩිමහල් දියණිය දියලපේ විද්‍යාලයෙ 8 වසරේ සහ බාල දියණිය පළමු වසරේ ඉගෙනුම ලබයි. උපන්දා සිට සෝමදාස ජීවත් වන්නේ මේ නාය ගිය කඳු පාමුල කුඩා නිවෙසකය. 2017 මෙම කන්ද නාය යන අවස්ථාවේදී ද ඔහු ජීවත් වූයේ මෙම නිවෙසේමය.
අකුරැස්ස පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුදත් සුදසිංහ සඳහන් කරන ආකාරයට සිදුවීම සැලවූ වහාම ප්‍රාදේශීය ලේකම් දැනුම්වත් කළ ස්ථානාධිපතිවරයා තම නිලධාරීන් සමඟ ක්‍රියාත්මක වී එම නිවෙස්වල සිටින ජනතාව අදාළ ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත. “තැන්නපිටහේන කන්දෙන් දිය සීරාවක් ගලාගෙන යනවා ඉක්මන් කර ඇවිත් බැලුවොත් හොඳයි. කන්දේ ඉහළින් පස් කඩා වැටුණා කියන පණිවුඩය මට ලැබුණා. ඇමතුම ලද සැණින් මම අපේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් අනෝජා මහත්මිය දැනුම්වත් කළා. ඒ අවස්ථාවේදී පළමුව කළ යුතුව තිබුණේ පිරිස එතැනින් ඉවත් කිරීමයි. අකුරැස්ස ප්‍රාදේශීය ලේකම්වරියත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආපදා නිලධාරියාත් ඇතුළු නිලධාරීන්ගේ සහාය ඇතිව නාය යාමේ අවධානයට ලක්ව තිබුණු කන්ද පාමුල තිබුණු ගම්මානයේ වැසියන් දියලපේ කනිෂ්ඨ විද්‍යාලයට රැගෙන ගියා. අකුරැස්ස පොලිස් ස්ථානාධිපති සුදත් සුදුසිංහ අප සමඟ පැවැසුවේය.
“මෙම නාය යෑමෙන් එක් නිවෙසකට පමණක් අර්ධ හානියක් සිදුවී ඇත. අවදානම කලින් හඳුනාගත් නිසා ජීවිත හානි කිසිවක් සිදුවී නැත. අනෙකුත් කිසිදු නිවාසයකට කිසිදු හානියක් සිදුවී නොමැත. පිරිස එම ස්ථානවල රැඳී සිටියා නම් ජලය ගලන ආකාරය සහ ගස් ඇද හැලෙන ආකාරය නැරඹීමට ගොස් ජීවිත හානිකර ගැනීම සිදුවිය හැකි නිසා මම කිසිවකුට ඒ දෙසට යාමට නොහැකි වන සේ මාර්ග බාධක යෙදීමට කටයුතු කළා. පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
“අපි ඉක්මනින් තැන්නපිටහේනට ගියා. සෝමදාස කිව්වේ නැත්නම් මහා විනාශයක් වෙන්න තිබුණා. අපි පුළුවන් තරම් ඉක්මනින් අධි අවදානම් තත්ත්වයේ සිටිය පවුල් 22කට තාවකාලික නවාතැනක් සූදානම් කළා. ඒ අනුව අපි මේ පිරිස දියලපේ පාසැලට අරගෙන ගියා. එසේ නොවන්නට මෙම නාය යාමෙන් මෙම නිවාසවල සිටි විශාල පිරිසකට ජීවිත හානි සිදුවීමට ඉඩ තිබුණු බව අකුරැස්ස ආපදා සහන සේවා නිලධාරී යූ. ජී. සම්පත් පැවැසීය.
“ඒ අවස්ථාවේදී ප්‍රාදේශීය ලේකම්වරිය දැනුම්වත් කර තැන්නපිටහේන කන්ද පාමුල පදිංචි පවුල් 41න්, පවුල් 22ක් පිරිස වහා එම ස්ථානයෙන් ඉවත් කර කඳවුරු ගත කිරීමට පියවර ගැනීමට පොලිස් ස්ථානාධිපතිවරයා කටයුතු කර ඇත. අකුරැස්ස ප්‍රදේශයේ පීඩාවට ලක්ව සිටින පිරිස්වලට තාවකාලික නවාතැන් දීමට තෝරාගෙන තිබුණේ අකුරැස්ස, දස මහා බෝධි සෙනසුණයි. පිරිස ඉවත් කළ නිසා කන්ද දෙස බලා සිටීමට හැර වෙනත් කිසිවක් කරන්නට තිබුණේ නැත. 04 වැනි දින සවස 4.00 ත් 5.00 ත් අතර කන්දේ තවත් කොටසක් නාය යන්නට විය.
මාතර/හම්බන්තොට ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ පර්යේෂණ කාර්යාංශය මේ ස්ථානය නිරීක්ෂණය කර මෙම කන්ද තම නිරීක්ෂණයට ලක් කරමින් ඉදිරි පැය 04 ක කාලය තුළදී කන්ද නාය යාමට හැකියාව ඇති බවට තම නිරීක්ෂණය ඉදිරිපත් කළේය.
ඒ අනුව අනෙක් නිවාසවල පිරිසත් දියලපේ විහාරස්ථානයේ නායක ස්වාමීන්වහන්සේ වන ඉලුප්පැල්ලේ චන්දවිමල හිමියන්ගේ ඉල්ලීම පරිදි අවදානමට ලක්වූ පිරිස් 129 දෙනා මාර/දියලපේ කනිටු විදුහලේ තාවකාලිකව පදිංචි කිරීම සිදුවිය.
“සෝමදාස අපිට කිව්ව ගමන් අපි වගකිවයුතු නිලධාරීන්ව සම්බන්ධ කරගෙන ජීවිත හානි වළක්වා ගත්තා. අපිට පුළුවන් විදියට ලේකම් කාර්යාලය එක්ක එකතු වෙලා පොලිසියේ ස්ථානාධිපතිවරයාත් හවුල් කරගෙන ආහාර පාන ලබාදුන්නා. අපි ඕනම වෙලාවක ගමේ මිනිසුන්ට පිහිට වෙනවා.”
ඉලුප්පැල්ලේ චන්දවිමල හිමියෝ මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සඳහන් කළේ අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කේ. ජී. ඩී. අනෝජා, අපදා කළමනාකරණ නිලධාරී සම්පත්, අකුරැස්ස පොලිස් ස්ථානාධිපති සුදුසිංහත් සමඟ කඩිනම් පියවර නොගත්තේ නම් ජීවිත හානි සිදුවන්නට ඉඩ තිබූ බව අකුරැස්ස ආපදා සහන සේවා නිලධාරී යූ. ජී. සම්පත්
සිළුමිණට කීය.
සෝමදාස මහතාගේ දැනුම්දීමත් සමඟ අපි කඩිනමින් කන්ද පාමුල පදිංචිකරුවන් පිරිස ඉක්මනින්ම ඉවත් කිරීමට පියවර ගත්තා. පොලිසියේ ද සහය අපිට ලැබුණා. එක් නිවාසයකට හැර නිවාස හානි වුණේ නැහැ. සුනාමිය වෙලාවේ මුහුද ඈතට ගිය එක බලන්න ගියා වගේ නැරඹීමට ගියා නම් ලොකු විනාශයක් වෙන්න තිබුණා. හොඳ වෙලාවට අපිට මිනිස් ජීවිත ගණනාවක් බේරා ගන්නට ලැබුණා. චන්දවිමල ස්වාමීන් වහන්සේ පැවසූහ.
සෝමදාස වැනි පරාර්ථකාමී මිනිසුන් පිළිබඳ අපි ඇගැයිය යුතුමය. අවධානය පිළිබඳව නිරතුරුව විමසිලිමත් ව සිටිමෙන් මෙවැනි ව්‍යසන වළක්වා ගත හැකි බව සෝමදාස රටටම කියා දුන්නේය. මේ ඛේදවාචකය එතකින් නිමාවට පත්වුව ද මාතර වසින වැසි අඩුවීමක් දක්නට නැත. යළිත් නිල්වලා ගඟ දෙගොඩතලා ගලා යනු ඇත.
සුභද්‍රා දේශප්‍රිය