සිය ගෙඋයනේ වටිනාම මල් ගසේ එකම මලක්වත් පිපෙනතුරු පෙරුම් පුරමින් බලා සිටියදී ඒ ගසේ එකවර මල් පොකුරක්ම පිපුණු විට දැනෙන සතුට කොතරම් අපූරුද? එය වදන්වලට මුසුකළ නොහැකි නිම්හිම් නැති සතුටකි. ඒ තුටින් හදවත පුරවාගත් ආදරවන්තයකු සතුට උතුරා යන වතින් අප හමුවේ සිටී. මේ වන විට රටම ඔහු හඳුනයි. දරු සම්පතක් ලැබෙන තුරු වසර 12ක් අපමණ පෙරුම් පිරූ ඔහුත් ඔහුගේ ආදරණීය බිරියත් ඉකුත් ඔක්තෝබර් 15 වැනිදා සය නිවුන් දරුවන්ගේ මවුපියෝ වූයේ මෙරට නිවුන් දරු උපත් ඉතිහාසය අලුත් කරමිනි. ඒ, මෙරට රජයේ රෝහලක් තුළ සිදුවූ පළමු සය නිවුන් දරු උපත සහ මෙරට සිදුවූ දෙවැනි සය නිවුන් දරු උපත ලෙස ඉතිහාසයට එක්වෙමිනි. ඒ වාසනාවන්ත යුවළේ පියා, ඉසුරු පෙරේරා (40)ය. මව මධුකි ලක්ෂිකා (37)ය.
“අවුරුදු 10ක් ආදරේ කරලයි අපි දෙන්නා විවාහ වුණේ. විවාහ වෙලා දැන් අවුරුදු 12ක්. අපි දෙන්නගෙ ආදර කතාවට දැන් අවුරුදු 22ක්. අවුරුදු 12ක්ම දරුවෙක් වෙනුවෙන් හීන දැකපු අපි දෙන්නට දෙවියො එකපාරටම වටිනා තෑග්ගක් දුන්නා. ඒක අපිට ලොකු සතුටක්. මේ සතුට මට ලැබුණෙ මගෙ ආදරණීය බිරිය නිසයි. ගතවුණු අවුරුදු දහය පුරා අපි අපේම දරුවෙක් හදාගන්න නොකරපු දෙයක් නැහැ. ඒකෙනුත් මේ වෙනුවෙන් වැඩිම කැපකිරීම් කළේ මධූ. අම්මා කෙනෙක් එක දරුවෙක් ලැබෙන්න ඉන්නකොට මොනතරම් කැපකිරීමක් කරනවද? දරුවො පස්දෙනෙක් ලැබෙන්න ඉන්නවා කියල දැනගත්ත දවසෙ ඉඳන් දරුවො ලැබෙනකම් එයා කරපු කැපකිරීම, විඳපු ශාරීරික වේදනාව ගැන කියන්න මට වචන නැහැ.” ඉසුරුගේ වදන්වලින් දෝර ගලා යන්නේ සිය බිරිය මධුකි පිළිබඳ සෙනෙහසයි.
මෙරට නිවුන් දරු උපත් ඉතිහාසය අලුත් කළ ඉසුරු සහ මධුකි ජීවත් වන්නේ වේයන්ගොඩ පත්තලගෙදර ප්රදේශයේය. කැලණිය වනවාසලදී 1983 ඔක්තෝබර් 02 වැනිදා උපන් ඉසුරු මූලික අධ්‍යාපනය ලබන්නේ වෙදමුල්ල මහා විද්‍යාලයෙනි. ඔහු උසස්පෙළ හැදෑරීමට ඇතුළත් වන්නේ වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයටය. වේයන්ගොඩ පත්තලගෙදරදී 1986 ජුලි මස 08 වැනිදා උපන් මධුකි ලක්ෂිකා ඒ වන විට එම විද්‍යාලයේ 9 වැනි වසරේ ඉගෙන ගනිමින් සිටියාය. ඉසුරුගෙත් මධුකිගෙත් දෛවෝපගත හමුවීම සිදුවන්නේ එම පාසලේදීය.
“පාසල් කාලෙදි අපි අතර ආදර සම්බන්ධයක් ඇතිවුණත් අපි ඉගෙනීමේ කටයුතුවලට බාධාවක් කරගත්තෙ නැහැ. මම උසස් පෙළින් පස්සේ පෞද්ගලික ක්ෂුද්‍ර මූල්‍ය ආයතනයක රැකියාවට බැඳුණා. මධු වේයන්ගොඩ බණ්ඩාරනායක විද්‍යාලයෙන් උසස්පෙළ කළා. මම පළමුවැනි රස්සාව කරන්න පටන්ගත්තට පස්සේ අපි අපේ සම්බන්ධය ගැන ගෙවල්වලට කිව්වා. පුංචි පුංචි අභියෝග ආවත් අපි අපේ ආදරේ ජය අරගෙන 2011 මාර්තු 16 වැනිදා විවාහ වුණා. මධුකි කියන්නේ හරිම අහිංසක ආදරණීය කෙනෙක්. එයාගේ මුළු ජීවිතේම මම විතරමයි. ඒක තමයි මම එයාගෙන් දකින හොඳම ගුණාංගය. විවාහ වෙච්ච දවසේ ඉඳන් අපි දෙන්නා ජීවත් වුණේ කුලී ගෙවල්වල. බැඳලා අවුරුදු දෙකක් විතර ගියාට පස්සේ අපි දරුවෙක් බලාපොරොත්තු වුණා. ඒ බලාපොරොත්තුව ඉටු නොවෙද්දි අපි ඒ වෙනුවෙන් නොකරපු වෙදකමක් නෑ. බලිතොවිල් වගේ ශාන්තිකර්ම පවා කළා. නොගිය පන්සලක් නෑ. මධූ මුල් කාලේ රස්සාවක් කළාට දරුවෙක් බලාපොරොත්තු වෙද්දී ඒ වෙනුවෙන් කරන දේවල්වලට බාධාවක් නිසා පස්සේ රැකියාවක් කළේ නැහැ. මම අවුරුදු හයක විතර ඉඳන් පෞද්ගලික ආයතනයත අලෙවි නියෝජිතයෙක් විදිහට වැඩ කරනවා. මට ලැබෙන්නේ පනස්දාහක විතර මාසික වැටුපක්. ගෙදර කුලී ගෙවන්න, කන්න බොන්න අමතරව හම්බකරන හැම සතේම අපි වියදම් කළේ දරුවෙක් හදාගන්න බෙහෙත්හේත්වලටයි.”
එහෙත් යුවතිපතින්ගේ පැතුම වසර දහයක්ම මිලින වෙමින් තිබිණ. ඒ අතරේ නළ දරු ගැබ් ගැන්වීම (IVF) ක්‍රමය ගැන ඉසුරුට දැනගන්නට ලැබුණේ සිය සමීපතම මිතුරකුගෙනි.
“ඒ වෙද්දි අපි බලාපොරොත්තු අතෑරලා හිටියෙ. බෙහෙත්වලට වියදම් කරන අතරේ බැඳපු දවසේ ඉඳන්ම කුලියට ඉන්න නිසා අපිටම කියලා ගේ පොඩ්ඩක් හදාගන්න ලක්ෂ පහමාරක් විතර මම ඉතුරු කරගෙන තිබුණා. ඒත් ගෙයක් වගේම දරුවෙක් ගැනත් අපි දෙන්නා අවුරුදු දහයක් තිස්සේ හීන දකින නිසා ඒ ක්‍රමයටවත් දරුවෙක් හදාගන්න තීරණය කළා. වාසනාවකට වගේ පළවැනි සැරේ තැන්පත් කරපු කලල දෙකම සාර්ථක වෙලා තිබුණා. අපි දෙන්නා ඒ ගැන ගොඩක් සතුටු වුණා. ඒත් වයිෆ්ට පළමු ස්කෑන් එක කරපු මැයි මාසේ 20 වැනිදා ඩොක්ටර් කිව්වා බබාලා පස්දෙනෙක් ඉන්නවා, සමහර වෙලාවට තව එක්කෙනෙකුත් ඉන්න පුළුවන් කියලා. මොකද වෝටර් බෑග් 4ක් තිබුණා. එකක සර්ව සම නිවුන්නු දෙන්නෙක් හිටියා. අනිත් තුන්දෙනා අනිත් වෝටර් බෑග් තුනේ හිටියෙ. ඇත්තටම ඒ ආරංචිය දැනගත්න ගමන්ම මම බය වුණා. දරුවො පස්දෙනෙක් හදාගන්න පුළුවන්ද කියන දේට වඩා මට මතක් වුණේ ඒකෙන් මගෙ වයිෆ්ගේ ජීවිතේට අනතුරක් වෙයිද කියලයි. මොකද මධූ කියන්නේ ලොකු ශරීර ශක්තියක් තියෙන කෙනෙක් නෙවෙයි. මම එකපාරටම ඩොක්ටර්ගෙන් ඇහුවෙ මේකෙන් වයිෆ්ගේ ජීවිතේට අනතුරක් වෙයිද? මේකට විසඳුමක් තියෙනවද කියලයි.”
එහෙත් මෙරට පවතින නීතිය අනුව කලලයක් මවු කුසෙන් ඉවත් කිරීම සිදු නොවන නිසා ඉසුරුටත් මධුකිටත් එකවර දරුවන් පස්දෙනකුගේ මවුපියන් වීමේ වාසනාව මෙන්ම ඒ සමඟ ආ දහසක් අභියෝග ද සම සිතින් භාර ගන්නට සිදු විය. ඒ අතරෙන් ගැබිනියක ලෙස මධුකිට විඳින්නට සිදුවූ අසීරුතා සුළුපටු නොවීය.
“ඩොක්ටර් මුලින්ම මධුට කිව්වා ඔයාට එන්නෙ එක දරුවෙකුට එන අපහසුතා නෙවෙයි පස් දෙනෙකුට එන අපහසුතා කියලා. ඇත්තටම මධුකි මුල් කාලේ ඉඳලම පුදුමාකාර අපහසුතා ගොඩකට මුහුණ දුන්නා. දරු ගැබට මාස පහක් විතර වෙද්දි එයාට මාස 9ක වගේ ලොකු කුසක් තිබුණා. ඇවිදගන්නවත් බැරි තරමට කකුල් ඉදිමුණා. ඒ නිසාම මම අපි ඒ වෙනකම් හිටපු කුලී ගෙදරින් වේයන්ගොඩ පත්තලගෙදර මධූගේ අම්මලා ජීවත් වෙන මහගෙදර පදිංචියට ආවා. අම්මයි, තාත්තයි නංගියි මධූව ගොඩක් ආදරෙන් බලාගත්තා. බබාලා ලැබෙන්න ඉන්නකොට මධූ වැඩිපුරම කෑවේ පලතුරු. එයා ඉස්සර මස් වර්ග කන්න ලොකු කැමැත්තක් තිබුණේ නැහැ. හැබැයි බබාලා ලැබෙන්න ඉද්දි මස් වර්ග කන්නත් ආසාවක් ඇතිවුණා” ඉසුරු පැවසුවේ සිය බිරිය දරුවන් වෙනුවෙන් කළ විසල් කැපකිරීම ගැන සිහිකරමිනි. උදේ හවා බුදුන් වදිමින් රටේ හැම අනුහස් ඇති පුදබිමකටම බාරහාර වෙමින් ඔවුන් දෙදෙනා සිය දරු පැටවුන් උපත ලබන තුරා පෙරුම් පුරමින් බලා සිටියහ. එහෙත් නියමිත ගැබ් කාලය සපුරන්නට පෙර හරියටම සති 26ක් වෙද්දී ඉකුත් ඔක්තෝබර් 15 වැනිදා මධුකිට දැනුණේ පෙර නොවූ විරූ තරම් ශාරීරික අපහසුතාවකි.
“එදා ඉරිදා උදේ පාන්දර හතරහමාරට විතර මධූට ටිකක් බ්ලීඩ් වුණා. මම උදේ මගෙ මල්ලිගේ ත්‍රිවිල් එකෙන් මධූව කොළඹ කාසල් රෝහලට එක්කගෙන ගියා. මුලින් කරපු ස්කෑන් එකේ කිසිම ගැටලුවක් තිබුණෙ නැති වුණත් මධූව නවත්ත ගත්තා, ඇයි බ්ලීඩ් වුණේ කියලා පරීක්ෂා කරන්න. පැය දෙකක විතර ලොකු ස්කෑන් එකකුත් කළා. මධූව නවත්තලා මම ගෙදර ඇවිත් ඉන්නකොට හවස 6ට විතර මධූ කෝල් කරලා කිව්වා එයාව තියටර් එකට ගත්තා සීසර් කරන්න කියලා. මම පුළුවන්තරම් ඉක්මනින් රෝහලට ආවත් ඒ වෙද්දි මධුව තියටර් එකට අරගෙන තිබුණා එයාගෙ ජීවිතේට අනතුරක් වෙන්න පුළුවන් නිසා”.
ඉන්පසුව ඉසුරුටත් මධුකිටත් අසන්න ලැබෙන්නේ ඔවුන් ජීවිතයේ ඇසූ විස්මයජනකම ආනන්දනීය පුවතයි. දරුවන් පස්දෙනෙකු ගැන බලාපොරොත්තුවෙන් සිටි ඔවුන්ට දරුවන් හය දෙනකුගේම මවුපියන් වීමට වාසනාව උදා විය.
“ඇත්තටම ඒක පුදුමාකාර සතුටක්. අවුරුදු 12ටම ඇතිවෙන්න අපිට දෙවියො දරුවො දීලා. ඉස්සර ඉඳලම මගේ හිතේ තිබුණා දරුවො කීප දෙනෙක්ම හදන්නෝනි කියලා. ක්‍රිකට් ටීම් එකකට, මියුසික් බෑන්ඩ් එකකට ඇතිවෙන්න දරුවො හදනවා කියලා. දරුවො හය දෙනාම පිරිමි දරුවො කියලා දැනගත්තම ඒ සතුට තවත් වැඩි වුණා. දරුවො පස්දෙනෙක් ලැබෙන්න ඉන්නව කියලා දැනගත්තම මධූ නම් කිව්වෙ එක දුවෙක් හරි හිටියොත් හොඳයි කියලා. ඒත් මම හිතුවේ දුවලා අඩුවෙලා පුතාලා වැඩිපුර ලැබුණොත් හොඳයි කියලා, එතකොට දුවලට පුතාලගෙන් ආරක්ෂාවකුත් තියෙන නිසා. කවුරු වුණත් මේ හැමෝම අපි දෙන්නගෙ දරුවො නිසා ඒක අපිට ලොකු සතුටක්. බබාලට තවම නම් දාලා නැහැ. 344, 345,346, 347, 348, 349 අංකවලින් තමයි තාම බබාලා අඳුන ගන්නෙ.”
එකවර පුතුන් සය දෙනකුගේ මවුපියන් වීමේ සතුට ඉසුරුටත් මධුකිටත් විඳින්නට ලැබුණේ දින දෙකකට නොඅඩු කාලයකි. උපතෙන් පසු දරුවන් පස්දෙනෙකු කොළඹ කාසල් රෝහලේ නව ජන්ම ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි අතර එක් දරුවකු කොළඹ රිජ්වේ ළමා රෝහලේ නව ජන්ම ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේය. ඉකුත් 17 වැනිදා පස්වරුවේ ඉසුරුගෙත් මධුකිගෙත් මල් පොකුරෙන් එක් කුසුමක් ගිලිහී වැටුණි. ඊට පසුදින ඒ කුසුම බොරැල්ල සුසාන භූමියේදී මිහිදන් වූයේ ඔවුන්ගේ සිත් දොම්නසින් බරකොටය. සෙසු දරුවන් තවමත් කාසල් රෝහලේ ප්‍රතිකාර ලබන අතර, මධුකි ද තවදුරටත් රෝහලේය. රෝහලේ සිට ඉකුත් 18 වැනිදා සිළුමිණට අදහස් දක්වමින් මධුකි පැවසුවේ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන දරුවන් සිය දෑතට ලැබෙන දිනක් ගැන නොඉවසිල්ලෙන් ඉන්නා බවයි.
“කාසල් රෝහලේ අධ්යක්ෂතුමා, සිසේරියන් සැත්කම කළ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය රත්නසිරි ප්රමුඛ වෛද්‍යවරු කණ්ඩායම සහ ඊට සම්බන්ධ වූ රෝහලේ සියලුම කාර්ය මණ්ඩලයට අපි දෙන්නා පින් දෙනවා. ඔවුන් දෙවිවරු වගේ මගේත් දරුවන්ගෙත් ජීවිත රැකලා දුන්නා. තවදුරටත් අපේ දරුවන්ව බලාගන්නවා. හිතුවෙ නැති සම්පතක් අපි දෙන්නට ලැබුණේ. මේ දරුවො ටික හොඳට හදාගන්න එක තමයි අපි දෙන්නගෙ බලාපොරොත්තුව” ඒ ඉසුරුගේත්, මධුකිගේත් පැතුමයි.
“අපි ලොකු ආර්ථික හයියක් තියෙන අය නෙවෙයි. මගෙ මාසික වැටුපෙන් මට දරුවො පස්දෙනා ජීවත් කරනවා තියා හිතන්නවත් බැහැ. අපි දැන් ඉන්නෙ වයිෆ්ගෙ මහගෙදර. ඒත් ඒ ගෙදර දරුවො පස්දෙනාටයි අපි දෙන්නටයි ජීවත් වෙන්න ඉඩ නැහැ. දැන් නම් මට ගෙයක් හදාගන්න එක හීනයක් විතරයි. අපිට පොඩියට හරි ගෙයක් හදාගන්න කවුරුහරි උදව් කරනවා නම් ඒක ලොකු උදව්වක්. ඊට අමරතව දරුවන්ගෙ කිරිපිටි, පැම්පර්ස්, බෙහෙත් හේත්වලට යන වියදම් කොච්චරක්ද කියලා හිතාගන්නවත් බැහැ. ඒ නිසා උදව් කරන්න කැමති ඕනෑම කෙනෙක්ගෙ උදව් අපි ගොඩක් ආදරෙන් භාර ගන්නවා. හැබැයි එක දරුවෙක්වත් ඉල්ලන්න නම් එපා. දරුවො ලැබෙන්න ඉද්දි මධූ විඳපු වේදනාව මතක් වෙද්දි එහෙම දෙයක් ගැන හිතන්නවත් බැහැ. ඉස්සර මම ඉඳලා හිටලා මත්පැන් බිව්වා. සිගරට් නම් කොහොමත්ම බිව්වෙ නැහැ. බබාලා ලැබුණු දවසෙ මම තීරණය කළා ආයෙ කවදාවත් මත්පැන් බොන්නෙ නැහැ කියලා. දරුවො වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරන්න ඕනේ කියලා මම අධිෂ්ඨාන කරගෙන ඉන්නෙ.” ඉසුරු පැවසුවේ හැඟීම්බරවය.
ඉසුරුට සහ මධුකිට පමණක් නොව ඔවුන්ගේ මවුපියන්ට ද මෙය මහා අසිරිමත් දරු උපතකි. සිය දියණියන් දෙදෙනාගෙන් වැඩිමහල් දියණිය වන මධුකිට ලැබුණු දරු සම්පත ගැන ඇයගේ මව අග්‍රා සමරදිවාකර(66) සහ පියා ටී.ඒ සෝමසිරි (68)අප සමඟ කතා කළේ තුටු කඳුළු අතරෙනි.
“දුව අම්මා කෙනෙක් වෙන්න පුදුමාකාර ආසාවකින් හිටියෙ. දුවට මුල් කාලේ ඉඳලම ගොඩක් අපහසුතා ආවා. රෑ එළිවෙනකම් නින්දක් නැහැ. ඇවිදින්න බැහැ. දුව විඳින වේදනාව දකිද්දි මමත් හිටියෙ ඇඬූ කඳුළින්. දුවත් දරු පැටවුනුත් ආරක්ෂා කරන්න කියලා අපි නිතර බෝධි පූජා තිබ්බා. හැමදාම ගෙදර බුදු පහන තිබ්බා. හැමදාම රෑට බුදුන් වැඳලා පිරිත් පොත කුස මත තියාගෙන තමයි දුව නිදාගත්තෙ. එහෙම ලැබුණු දරුවො ටික හොඳට හදාගන්න එක තමයි අපි හැමෝගෙම බලාපොරොත්තුව”.
ඒ සතුට එලෙසින්ම දරුවන්ගේ පියා වන ඉසුරුගේ මව බී.ඒ ඩිලන්ති (57)ගේ හදවතේ ද වේ.
“මේක වචනවලින් කියන්න බැරි තරම් සතුටක්. අවුරුදු 12ක් දරුවො නැතුව දුක් වින්ද මේ දරුවන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරලා දෙන්න කියල මම හැමදාම උදේ හවස දෙවියන්ගෙන් ඉල්ලුවා. අපිට මේ දරුවො ලෝකයක් වටිනවා. අපිට ලොකු ආර්ථික හයියක් නැහැ. ඒ නිසා මේ දරුවො හදාගන්න පුළුවන් උදව්වක් කරන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා.” දරුවන්ට ආදරය කරන, මනුදම් රකින යහපත් මිනිසුන් තවමත් මේ සමාජයේ දුලබ නොවේ. එවැනි උපකාර කිරීමට කැමති ඕනෑම අයෙකුට ඔවුනට සවියක් වීමටත් අවශ්‍ය දෑ ලබාදීමටත් පහත දුරකතනයෙන් ඇමතිය හැකිය. 070 221 8048
ඡායාරූප ශාන් රූපස්සර / වාසිත පටබැඳිගේ
කෘත්‍රිම දරු උපත් සම්බන්ධයෙන් නිසි නියාමනයක් අවශ්‍යයි
– ළමා රෝග වෛද්‍ය විශේෂඥ එල්. පී.සී. සමන් කුමාර
නව ළදරු ජන්ම දැඩිසත්කාර ඒකකය
කාසල් වීදිය කාන්තා රෝහල – කොළඹ
“මෙම දරුවන් හයදෙනා ලැබුණේ සති 26කින්… ඒ වගේම දරුවන්ගේ බර ග්‍රෑම් 400ත් 700ත් අතර. එහෙම දරුවෙක් ජීවත් කරවනවා කියන එක වෛද්‍ය කාර්ය මණ්ඩලයේ අපිට ලොකු අභියෝගයක්.
මේ දරුවන් හයදෙනාගේ කතාව ඇතුළේ අපි හැමෝම හිතන්නේ නැති සමාජය දැනුවත් විය යුතු ලොකු කතාවක් තියෙනවා. කෘත්‍රිම දරු උපත් සිදුකරනකොට ලෝකේ නියාමනයක් තියෙනවා. වෛද්‍ය ආචාර ධර්ම තියෙනවා. සාමාන්‍යයෙන් කෘත්‍රිම දරු උපතක් සිදුකරන කොට කලලයක් හෝ උපරිම වශයෙන් කලල දෙකක් තමයි තැන්පත් කිරීම සිදු කරන්නේ. ඒ නියාමනය අපේ රටේ සිද්ධ වෙන්නේ නෑ. ඒ නිසා කලල කිහිපයක් තැන්පත් කරනවා. එහෙම කලල කිහිපයක් තැන්පත් කළාම තමයි මේ වගේ විශාල ප්‍රමාණයක් දරුවන් බිහිවෙන්නේ. මේ පිළිබඳ සියලු දෙනා දැනුවත් විය යුතුයි වගේම මේ නියාමනය අපේ රටේ සිදුවිය යුතුයි.”
මේ පිළිබඳ නිවුන් අධ්‍යයන පිළිබඳ ජාත්‍යන්තර සංගමයේ මහ ලේකම් හා ශ්‍රී ලංකා නිවුන් ලේඛනාගාරය අයත් සෞඛ්‍ය හා සමාජීය පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ අධ්යක්ෂ, මහාචාර්ය අතුල සුමතිපාල පැවසුවේද නළ දරු ගැබ් ගැන්වීම (IVF) හෙවත් ගර්භාෂයෙන් පිටත සංසේචනය කළ කලල ගර්භාෂය තුළ තැන්පත් කිරීමේදී, ඒ සඳහා යොදාගත යුතු කලල සංඛ්‍යාව තීරණය කිරීමට සදාචාරාත්මක සහ යුක්තිසහගත ප්‍රතිපත්තියක් තිබිය යුතු බවයි. ඒ සඳහා වෛද්‍යමය ප්‍රතිඵලය, රෝගියාගේ කැමැත්ත, වියදම් වන මුදල සහ සැපයුම්කරුවන්ගේ වෙළෙඳපොළ ප්රවණතා යන කරුණු සලකා බැලිය යුතු බවයි. මේ අතර, ගර්භාෂයට පිටතින් සංසේචනය කළ කලල තැන්පත් කිරීමේ ප්‍රතිකාර සම්බන්ධයෙන් නියාමනය කිරීම සඳහා අවශ්‍ය වන නීති සම්පාදනය පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු කරන බව සෞඛ්‍ය ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්තා සඳහන් කළේය.
සුරේකා නිල්මිණි ඉලංකෝන්