Home » අලුත් යුද්ධය හා හාමතේ ජීවිතේ

අලුත් යුද්ධය හා හාමතේ ජීවිතේ

by Mahesh Lakehouse
October 21, 2023 12:30 am 0 comment

නුෂ්‍ය වර්ගයා ශිෂ්ටාචාරයට අවතීර්ණ වන්නේම යුද්ධය කරේ තබාගෙනය. එකිනෙකා අතර යුද වැදීමට පදනම් දෙකක් තිබේ. ඉන් පළමුවැන්න වන්නේ එක් පාර්ශ­්වයක් විසින් අනෙක් පාර්ශ්වයට භෞතික වශයෙන් කෙළවනු ලැබීමය. ඒ අතර දෙවනි පදනම වන්නේ එක් පාර්ශ්වයක් විසින් අනෙක් පාර්ශ්වයට කෙළවනු ඇතැයි යන සැකය ය. මේ න්‍යායාත්මක පදනම් දෙක ඇරුණු විට වෙන කිසිදු සමීකරණයක් යොදා යුද්ධය නිර්වචනය කළ හැකි නොවේ.

මිනිසා අත් අකුරු පහළ වීමට පෙරත් යුද්ධ කළේය. අත් අකුරු පහළ වීමෙන් පසුත් යුද්ධ කළේය. යුද්ධයට ලිඛිත ඉතිහාසක් තිබේ. අත් අකුරු පහළ වීමට කිට්ටුව ආසන්න අතීතයේදී කෙරුණු යුද්ධත් අත් අකුරු පහළ වීමෙන් පසු කෙරුණු යුද්ධත් ඒ ලිඛිත ඉතිහාසයට ඇතුළත්ය. මේ ඉතිහාසයේ පළමුවන සහ දීර්ඝතම යුද්ධය වන්නේ ක්‍රිස්තු වර්ෂ 718 දී මුස්ලිම් රටවල් සහ ක්‍රිස්තියානි රටවල් අතර පටන් ගත් Reconquista යන විශේෂ පදයෙන් හඳුන්වන සංග්‍රාමයයි. මෙය 1492 දී අවසන් විය. යුද්ධයට ගත වූ සම්පූර්ණ කාලය අවුරුදු 774 කුත් එක දවසකි. එංගලන්තය සහ අයර්ලන්තය අතර අවුරුදු 762 ක් දිග යුද්ධයක් තිබූ අතර එය 1921 දී අවසන් විය. කුරුස යුද්ධ ලෙස හඳුන්වන සංග්‍රාම පේළිය නිමවීමට අවුරුදු 602 යි මාස 5 ක් ගත විය. මේ අතර ඉතාම කෙටි කාලයක් තුළ අවසන් වූ සංග්‍රාම ද තිබේ. Anglo – Zanzibar යුද්ධය පැවතුණේ මිනිත්තු 38 ක් පමණි. මේ අවුරුද්දේ දී තුර්කිය සහ ආමේනියාව අතර ඇති Nagorno – Karabakh ප්‍රදේශයේ යුද්ධයක් ඇවිළී පැය 23 කින් අවසන් විය. මේ අනුව ලෝකයේ කෙටිම යුද්ධය ලෙස හඳුනා ගෙන ඇත්තේ Anglo – Zanzibar යුද්ධයයි. ඇෆ්ගනිස්ථානය, මධ්‍යම අප්‍රිකානු ජනරජය, ඉතියෝපියාව, ලිබියාව, මාලි, සෝමාලියාව, දකුණු සුඩානය, සිරියාව යන රටවල මේ මොහොතේදීත් සිවිල් යුද තත්ත්ව පවතී. මේ අතර පලස්තීනය සහ ඊශ්‍රායලය අතර හටගෙන තිබෙන මාරාත්මක යුද්ධය කෙරෙහි මේ මොහොතේදී සියලු දෙනාගේම අවධානය යොමුවී පවතී.

මනුෂ්‍ය වර්ගයා විසින් දන්නා ඉතිහාසයේ සිට ඊශ්‍රායලය නමැති රටක් හරියාකාරව ලෝකයේ පැවතුණේ නැත. එවැනි රටක් පැවතුණා නම් පැවතුණේ බයිබලය තුළ සහ ජනප්‍රවාදවල පමණි. ඊශ්‍රායලය නමැති රට නොමැති බැවින් එම රටට අයත් ජාතිය වූ යුදෙව්වෝ ලෝකයේ දසත විසිරී ශක්තිමත් සහ ධනවත් ඩයස්පෝරාවක් බවට පත්ව තිබිණ. 1948 මැයි 14 දා ඩේවිඩ් බෙන්ගූරියන් නමැති යුදෙව් දේශපාලනඥයෙක් බයිබලයේ සඳහන්ව තිබෙන ඊශ්‍රායලයේ මායිම් සැලකිල්ලට ගෙන ඊශ්‍රායලය නමැති රටක් ප්‍රකාශයට පත්කළේය. ඊශ්‍රායලයට අයත් ප්‍රදේශවල පදිංචිව සිටි පලස්තීන ජාතිකයෝ මෙයින් කෝපයට පත්ව අතට අසුවන සෑම ආයුධයක්ම ගෙන ඊශ්‍රායල භූමියේ පදිංචිව සිටින යුදෙව්වන්ට පහරදීමට පටන් ගත්හ. එහෙත් ඩේවිඩ් බෙන්ගූරියන් විසින් ඊශ්‍රායලය පිහිටුවා ඇති බව ඇසු සැණින් ලෝකය පුරා විසිර සිටි යුදෙව්වන් සියලුම දෙනා මේ අලුත් රටට සංක්‍රමණය වීමට පටන් ගත්හ.

සාමාන්‍යයෙන් බැලූ බැල්මට ඊශ්‍රායලය යනු වචනාර්ථයෙන්ම කාන්තාරයකි. ඉතා ස්වල්ප කලක් තුළ අති නවීන විද්‍යාත්මක ක්‍රම යොදා මේ කාන්තාරය සශ්‍රීක වගා බිමක් බවට පත්කිරීමට පිටරටවලින් පැමිණි යුදෙව්වන්ට හැකි විය. ඔවුන් පිට රටින් එන විට ඒ සඳහා අවශ්‍ය දැනුම ද, ධනය ද, ඊශ්‍රායලයට ගෙනවිත් තිබිණ. ඊශ්‍රායලයේ වැඩි කොටසක් අරාබි රාජ්‍යවලින් වටවී පවතී. එරට හැදූ දා සිට මේ අරාබි රටවල් ඊශ්‍රායලයට එරෙහිව යුද වදින්නට පටන් ගත්හ. 1967 දී ඊශ්‍රායලය වටේ සිටි සියලුම අරාබි රටවල් යුද්ධ ටැංකි සහ යුද ගුවන් යානා සමඟ ඊශ්‍රායලයට විත් පහරදීමට පටන් ගත්හ. මේ සටන දින 6 කින් පැරදවීමටත් බයිබලයේ සඳහන් ඊශ්‍රායලයේ පරණ මායිම්වලින් කොටසක් අල්ලා ගෙන ඒවායේ සිටි අරාබිකාරයන් පලවා හැරීමටත් යුදෙව්වන්ට හැකි විය. එරට සහ වටේ සිටින රටවල් අතර යුද්ධ සහ සංග්‍රාම අදටත් පවතී.

ඊශ්‍රායලය බිහිවී දශක කිහිපයක් ගතවන විට එම භූමියේ පදිංචිව සිටි ප්‍රධාන අරාබි ජනවර්ගය වූ පලස්තීන ජාතිකයන්ට යන එන මං නැති විය. ඒ සමඟම පලස්තීන විමුක්ති සංවිධානය නමැති සංග්‍රාමික පලස්තීන සංගමයක් බිහිවූ අතර එහි නායකයා බවට ලොව හොඳම අරාබි ගරිල්ලන්ගෙන් කෙනකු වූ යසර් අරෆත් පත්විය. එතැන් සිට පලස්තීන විමුක්ති සංවිධානය ඊශ්‍රායලයට පහර දෙන්නට පටන් ගත්තේය. මේ ප්‍රහාරවල විශේෂත්වයක් විය. එනම් එක යුදෙව්වකු මැරූ විට ඊශ්‍රායලය, පලස්තීනුවන් 10 ක් හෝ 15 ක් මැරීමය. මේ රට යුද අවි ශාස්ත්‍රයෙහි විශ්මය ජනක හැකියාවක් ඇති රටකි. ඔවුන් යුද අවි ශාස්ත්‍රය ඉගෙන ගන්නේ ඇමෙරිකන් ඉස්කෝලයෙනි. අන්තිමේදී එම ශාස්ත්‍රය වැඩි දියුණු කර ඔවුන් විසින් තනන ලද යුද අවි සහ යුද ගුවන් යානා මිලට ගැනීමට ඇමෙරිකාවට සිදු විය. පලස්තීනය සහ ඊශ්‍රායලය අතර සාමය ඇති කිරීම සඳහා වසර 2000 දී බිල් ක්ලින්ටන්ගේ මැදිහත් වීමෙන් සාම ක්‍රියාවලියක් ඇති වුව ද එය ඉතාම ඉක්මනින් විනාශයට පත් විය.

මේ අතර පලස්තීන විමුක්ති සංවිධානයට අරාබි රටවලින් විශාල මුදල් කන්දරාවක් ලැබී තිබිණ. යසර් අරෆත් ගේ මරණයෙන් පසු පලස්තීන විමුක්ති සංවිධානයේ සිටි නායකයෝ එම මුදල් අපහරණය කිරීමට පටන් ගත්හ. මේ නිසා එම සංවිධානයට විකල්පයක් ලෙස හමාස් සහ හිස්බුල්ලා යන ත්‍රස්තවාදී කණ්ඩායම් දෙකක් බිහි විය. හමාස් සංවිධානය ක්‍රියාත්මක වන්නේ පලස්තීන භූමිය තුළ සිටය. හිස්බුල්ලා කට්ටිය ලෙබනනයේ සිට ක්‍රියාත්මක වෙති. මෙය ලෙබනනයට මළ කරදරයකි. හිස්බුල්ලා කට්ටිය හිටපු ගමන් ඊශ්‍රායලයට මිසයිල ගහන අතර ඊශ්‍රායලය එයට ප්‍රති ප්‍රහාර දී ලෙබනනයෙන් කෑල්ලක් විනාශ කිරීමේ ක්‍රියාවලියක් ඇති විය. ලෙබනනයේ සිටින්නේ ද අරාබි ජාතිකයෝය. එහෙත් ඔවුහු ක්‍රිස්තියානිකාරයෝ වෙති. හිස්බුල්ලා සංවිධානයට එරෙහිව කට ඇරීමට ලෙබනනයේ තිබෙන ක්‍රිස්තියානි ආණ්ඩුව හැමවිටම බිය ය.

මීට දින 14 ට පෙර හිස්බුල්ලා සංවිධානය විසින් ගොඩබිමින්, අහසින් සහ සමුදුරෙන් පැමිණ ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරය පුදුම ප්‍රහාරයකි. එවැනි ප්‍රහාරයක් එන බව ඊශ්‍රායලයේ මොසාඩ් සංවිධානය දැන සිටියේ නැතිලු. පලස්තීනය සමතලා කිරීම සඳහා යුද්ධයක් සොයමින් සිටි ඊශ්‍රායලයට මොසාඩ් සංවිධානය මේ හදිසි ප්‍රහාරය ගැන දැනුම් දුන් නමුත් ඊශ්‍රායලය එය නොදන්නා ලෙස සිටි බවත් ප්‍රහාරය ඇතිවෙන්නට ඉඩදී තම දේශ සීමාවේ තිබෙන පලස්තීන ප්‍රදේශ සමතලා කිරීමට පටන් ගත් බවත් කියනු ලැබේ. පසුගියදා ඊශ්‍රායලය යුද තත්ත්වයක් ප්‍රකාශයට පත්කර යුද කැබිනට් මණ්ඩලයක් ද හදා පැය 48 ක් තුළ තම දේශසීමාවට යාබද ඇති පලස්තීන ප්‍රදේශවලින් ඉවත්ව යන ලෙස පලස්තීන ජනතාවට නියෝග කළේය. එම පැය 48 අවසන් වූ පසු ගාසා තීරය නමැති එම පලස්තීන ප්‍රදේශය සමතලා කරන බව ද ඊශ්‍රායලය කීවේය.

මේ සමඟම ඇමරිකන් යුද ගුවන් යානා නැවක් ඊශ්‍රාලය අසල මුහුදට පැමිණ ඊශ්‍රායලයට සහය දෙන බව කීවේය. අනෙක් පැත්තෙන් රුසියාවේ පුටින් විශාල අවි තොගයක් පලස්තීන පැත්තට එවීය. ජර්මනිය සහ ප්‍රංශය ඊශ්‍රායලය පැත්තේ සිටගත් අතර අරාබි රටවල් රැසක් ද ඉරානය ද පලස්තීනය පැත්තේ සිට ගත්හ. මේ යුද්ධයට ඉරානය පැටලෙන්නේ නම් එතැන් සිට තුන්වන ලෝක යුද්ධය ආරම්භ වනවා ඇත. ඉරානයට න්‍යෂ්ටික මිසයිල තිබේ. තුන්වන ලෝක යුද්ධය පටන් ගත්තොත් හාමතේ මිය යාමට ලංකාව වැනි රටවල්වලට සිදු වේ. එවැනි විටක කොපමණ සල්ලි තිබුණත් වැඩක් නැත. සල්ලි කොපමණ දුන්නත් යුද තත්ත්වය නිසා පිටරටවල් අපට කෑම බඩු හෝ බෙහෙත් ද්‍රව්‍ය එවන්නේ නැත.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division