වාරියපොළ කොළඹගම ශ්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී
නේපාලයේ ලුම්බිණි නුවර නේපාල ශ්‍රී ලංකා මහා විහාරයේ භාරකාර විහාරාධිපති
සම්මානිත ආචාර්ය පූජ්‍යපාද ගල්ලැහැපිටියේ පේමරතන හිමි
(කොළඹගම පොඩි හාමුදුරුවෝ)
සිළුමිණ ඉසිවර පින්වත් පාඨක ඔබ වෙත අප අද තිලිණ කරනු ලබන මෙම ‘ෂඩාක්ෂර විද්‍යාව‘ නම් වූ අප්‍රකට පිරිත් දැහැන මෙම මහා භද්‍ර කල්පයෙහි ලොව පහළ වූ බුදුරජාණන් වහන්සේලා සත්නම විසින්ම අනුදැන වදාරා ඇති බව ඉපැරණි පොතපතෙහි සඳහන්ව ඇත. යම් පැහැදිලි කිරීම්වලදී සුළු සුළු වෙනස්කම් දැකිය හැකි නමුත් අප මෙවර ඉදිරිපත් කරනු ලබන මෙම පිරිත් දැහැන සත්‍යය දැහැනම බව අප ඉතා විශ්වාස කටයුතු ලෙස යම් ක්‍රමයෙකින් දැනගත්තෙමු.
කිසිම ගුරු මුෂ්ටියක් හෝ රහසක් ඉතිරිකර නොගෙන ඒ අයුරින්ම අප මෙය පළ කරන අතර ජීවිතයේ පළමුවැනි වතාවට ලැබෙන මෙම දැහැන තම යහපත උදෙසා නිතර සජ්ඣායනා කරන්න. සිල් ගුණ රකිමින් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව උපදවාගෙන හැකිනම් පමණක් නිර්මාංශ වී මෙය කියවා කරනු ලබන ප්‍රාර්ථනා ඒ අයුරින්ම ඉටු වේ. මෙය මහානුභාවසම්පන්න මහායාන මන්ත්‍රයකින් විකාශය වූවක්ද විය හැකිය. කෙසේ වෙතත් මෙය කියවන ඔබ ඔබගේ හිතවත් සහ අසල්වැසි සැම කෙනෙකුටම කියවා පාඩම්කර ගෙන පිහිට ලබා ගැනීමට ඉඩ සලසා දෙන්න. මෙහි පහත සඳහන් පුරාණ නිධාන කතාවෙහි මෙයින් ගත හැකි ප්‍රයෝජන සඳහන්ව ඇත.
පළමුව මේ ගාථාව තෙවරක් කියන්න
ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහී
උද්ඝෝසයුං දේව ගණා පසන්නා
එතේන සච්චේන ජයස්සු මය්හං / තුය්හං
තමාට කියන විට මය්හං ද අනුනට කියන විට තුය්හං ද යොදන්න.
දෙවනුව ෂඩාක්ෂර විද්‍යාව තෙවරක් කියන්න
ආණ්ඩරේ පාණ්ඩරේ කාරණේඩ් කේයුරේඊචි හස්තෙ ස්වර
ශ්‍රී බන්දුමතී වීරමතී ධරවිධ චිලිමලේ විලෝඩය විෂාණි
ලෝකේ විෂ වල චල ගෝලමති ගණ්ඩවිලේ චිලි මිලේ
සාර්ථ නිමේන යථා සංවිහකෙත ගෝලමතී ගණ්ඩ විලාශෛ
ස්වාහඃ
නිධාන කථාව
තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ ස්වකීය ධර්ම භාණ්ඩාගාරික වූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙසේ වදාරන සේක.
ආනන්දය, ඔබට කියමි මා මේ දෙසා වදාරන ෂඩාක්ෂර විද්‍යාව අසන්න. දැනගන්න. කටපාඩම් කරගන්න. නිතර නිතර ප්‍රගුණ කරන්න
හෙවත් භාවිත කරන්න. උපාසක උපාසිකාවනට ද කියා දෙන්න. ඔවුන් ලවාද ප්‍රගුණ කරවන්න. එය ඔබගේත් උපාසික උපාසිකාවන්ගේත් හිතසුව පිණිසම හේතු වන්නේය. ෂඩාක්ෂර විද්‍යාව වූ කලී පෙර විසූ බුදුරජාණන් වහන්සේලා සයනමක් විසින් ද, සාක්‍ය මුනින්දා සක්‍ර දේවේන්ද්‍රයා විසින් ද සහම්පතී මහ බඹු විසින් ද, සතර වරම් දෙවි මහ රජ දරුවන් විසින් ද, දෙසා අනුදැන වදාරන ලද්දකි. ෂඩාක්ෂර විද්‍යාවෙන් පිරිත් කියා රක්ෂා කරන ලද්දහු වධයට පාත්‍ර වුවහොත් වධයෙන් මිදේ. භයට පාත්‍ර වුවහොත් භයෙන් මිදේ. දඬුවමට පාත්‍ර වුවහොත් දඬුවමෙන් මිදේ. තැළුම් පහර කනු ලදුව මරණයට පත් කරන්නට නියම වුවහොත් තැළුමකින් කා ඉන් මිදේ. එක තැළුමකින් කෑමේ දඬුවම යටත් වුවහොත් ඇඟ ලොමු දැහැ ගැන්මකට යටත්ව ඉන් මිදේ.
ආනන්දය.
ෂඩාක්ෂර විද්‍යාවෙන් පිරිත් කියා රක්ෂා කරන්නාහු අභිනවනය කිරීමට ඉක්මවා යාමට (පෙර කර්ම විපාකයට හැර) හැකි සමතෙක් මේ ශ්‍රමණ, බමුණු, දේව, මාර, බ්‍රහ්ම, මනුෂ්‍ය, අමනුෂ්‍ය යන පිරිස අතර සිටින බවක් මට නොපෙනේ.