මගේ ආශාව මහත් සේ දුටු නිසාවෙන්දෝ ඔහු උනන්දුවෙන් මට උගන්වනුයේ බොහෝ කාලයක සිට තිබු සම්බන්ධතාවක ප්‍රතිඵල පරිදිය. කෙසේ නමුත් මගේ සවන – මනස – නෙත් ඔහුට ඉලක්කගතව තිබේ. ඔහු සමහර විට මට ‘මහත්මයා‘ යැයි ආමන්ත්‍රණය කරයි. සමහර තැනක ‘ඉස්කෝලෙ මහත්තයා‘ යැයි කියයි. “අනේ ගුරුන්නාන්සේ මට කමල් කියා කියන්න”යැයි විටක මා ඔහුට පැවසිමි. ඔහු සිනාසුනා පමණකි.
“අපේ මහත්තයා අපි කතා කළේ කායික පිරිසිදුකම ගැන. ඒ පිරිසිදුකම රැකගන්න ගමන් කොහොමද විශ්වයේ පංච මහා භූත ශක්ති ආකර්ෂණය කරගන්නෙ කියන එක. ඊළඟට වැදගත්ම පිරිසිදුකම තමා. හිතේ පිරිසිදුකම. රාවණා රජ්ජුරුවො ලියුවයි කියන පොතක් තියෙනව ‘මෙරු තන්ත්රය‘ කියලා. මුද්‍රණය වෙච්ච පොතක් දෙකකුත් තියෙනවා. ඒත් මහත්තයා ඒකෙ මුල් පොත ගොඩක් ලොකු එකක් ඒ පොතේ කියැවෙනව අපේ පංචශීලය ගැනත්. ඒ වචන ඒ ආකාරයෙන්ම නැහැ. ඒත් අර්ථය එකයි.
“මහත්තය වේද පොත්වල තියෙනව ‘දීක්ෂා‘ කියල වචනයක්. මේ වචනය මහා විශාල අර්ථයක් තියෙන එකක්. මේකෙ එන සරල අදහස තමයි ‘දානය’ කියන එක. මෙතන දැනුම ලබාදීම තමයි අධ්‍යාත්මික ගමන් මාර්ගයේ පළමු අදහස. ඒ වගේම ප්‍රධාන අදහස. ඔය වචනෙට පොතක් ලියන්න වුණන් පුළුවන්. ඒත් අපි මතක තබාගන්න ඕන කරුණක් තියෙනවා. හැමදාම කාටහරි අවශ්‍ය උදවුවක් උපකාරයක් කරල සතුටු වෙන එක. අපේ බුදු හාමුදුරුවන් දස පාරමිතාවේදී මුලින්ම කියන්නෙ දාන පාරමිතාව ගැනනේ.“
රාත්‍රී කළුවර ටික ටික නැඟේ. රාත්‍රී 8ට අවසාන බස් රථය වේ. එය වැරදුණොත් කියා සිතිවිල්ලක් මා සිතේ විය. “මහත්තයට අටේ බස් එකේ යන්න පුළුවන්. වරදින්නේ නැහැ” ඔහු පැවසුවේ මගේ හිත කියවීමෙන්දෝ යැයි සැකයක් මා සිත තුළ පතිත විය. කෙසේ වෙතත් ඔහුගේ එම ප්‍රකාශය මට අස්වැසිල්ලක් විය. ඔහු නැවත කතාව අරඹයි. අද මා එන බව දන්නා නිසාවෙන්ම අකුරු කටයුතු ඔහු විසින් නවතා දැමු බව ගුරුන්නාන්සේ මට වේලාසනින්ම පැවසූ බව මට මතක් වේ.
“මහත්තය ගෙදර බුදුන් වඳිනවනේ… විෂ්ණු දෙවියන්ට පානකුත් තියන්න. කහ වතුර ටිකක් හදල සතියකට සැරයක්වත් එතනට ඉහින්න. වඳින පුදන තැන පිරිසිදුව තියාගන්න ඕනි. ඒ වගේම තමයි මහත්තය එදා දකින්න ඇතිනේ. අපි කහ කොතලයක් මතුරල ගේ හැම තැනට ඉස්සා. ඒ වගේම අපි මල් බුලත් තටුව හැදුවේ නිවසේ එක කොනකට වෙන්නනේ. මහත්මයට මතකද දන්නෙ නැහැ… අර සුමනාවතිලගෙ ගෙදර දෙහි පාලිය කරපු විදිහ.“ “මතකයි… මතකයි ගුරුන්නාන්සෙ… කහ වතුර ඉසීම ගැන නම් අදහසක් තියෙනවා. කිලිහරණය කරනවා කියා. ඒත් මල් බුලත් තටුව ගෙයි කොනක හැදුවෙ ඇයි කියල නම් අදහසක් නැහැ.“ මම පැවසුවෙමි.
“මහත්තය ගාව කිළිහරණ මන්තර තියෙනවද?“
“නැහැ ගුරුන්නාන්සේ. මා ඒක අහල දැකල තියෙනව මිසක්. එහෙම මන්තර නම් මා ළඟ නැහැ.“
“හොඳයි හොඳයි මම මන්ත්‍රයක් දෙන්නම්කො ලියාගන්නකො.“
මම මන්ත්‍රය ලියා ගැනීමට රූල නැති පොත අතට ගතිමි.
“ඕං ඊශ්වර ඉන්දු පුරුල් දම්රු දම්රු එදිරි එදිරි නිල්ල දේ ඕඩී පෝ වේ ශිවාකඃ”
“කහ වතුර එකක් හදල ඔය මන්තරෙන් 21ක් විතර මතුරල ඉස්සම කිලි කුණුවලින් ආරක්ෂාවක් ලැබෙනවා. ස්ථානීය පිරිසිදුකමක් එනවා. හොඳට පුරුදු වුණාම හත්පාරක් මැතුරුවත් ඇති. ඒත් ඔය මන්තරේ කිලි අයින් කරන්න විතරක් නෙවේ තව ගොඩක් දේට හොඳයි. ඒ ගැන මං පස්සෙ කියන්නම්. මන්ත්‍ර ශාස්ත්‍රය කරද්දි ස්ථාන පිරිසිදු බව තියෙන්න ඕනි “ඔහු සිනාසෙයි.
“මහත්තය… අපේ ගොඩක් අය ස්ථාන පිරිසිදුකම කියල හිතන් ඉන්නේ ඕක තමයි. ඒත් ඒක ගොඩක් ගැඹුරු කතාවක්. මන්ත්‍ර ශාස්තරේට විතරක් නොවෙයි යෝග අභ්‍යාස කරන අයටත් ඕක අදාළයි. ‘හත යෝග ප්‍රදීපිකාව‘ කියල යෝග සාස්තරයේ පොතක් තියෙනව. ඔය පොතේ තියෙනව කතාවක්. ‘යෝග භූමිය ගැන නොදන්නා යෝගියා මරුමුවට වුණත් පත්විය හැකිය‘ කියලා වාක්‍යයක්. ඕක අපේ මන්ත්‍ර ශාස්ත්‍රයටත් අදාළයි.
“මහත්තය දන්නවද… එක එක දවසට මරු ඉන්න විදිහ.“
ඒ ගැන පොතපතේ දැක ඇති බවත් එය මා නොදන්නා බවත් ඔහුට පැවසූ නිසා ඒ සටහන් කරගන්නා සේ පැවසුයෙන් මා එයද සටහන් කර ගත්තෙමි. ඉරිදාට උතුරේ මරුය, සඳුදාට වයඹේ සිටී, අඟහරුවාදාට බටහිරය, බදාදාට නිරිත දිගය, බ්‍රහස්පතින්දා දකුණේය, සිකුරාදා ගිනිකොන සිටී, සෙනසුරාදා මරු සිටින්නේ නැඟෙනහිරය, ඊසානෙහි මරු නැත, මා සිතේ ප්‍රශ්න රැසක් නැඟෙමින් තිබුණත් යා යුතු වේලාව කිට්ටු වෙමින් පවතී.
“අපි ඔය ගැන ලබන සතියෙ තව කතා කරමු ” ඔහු මට සමු දීමේ අටියෙන් කීවා විය යුතුය. බොහෝ පින් දී ඔහු පා නමැද මා ආපසු ඒමේ අටියෙන් පාරට පිය මනින විට ඔහුද මා පසුපසින් එන බව දුටිමි.
පාරම්පරික ශාස්ත්‍රඥ හෙක්ටර් පද්මසිරි ප්‍රනාන්දු