තානායමේ සියළු සේවකයන් මෙන්ම අද දින පැවැත්වෙන විවාහ සම්භාෂණයේ සංවිධාන කටයුතුවලට පිටතින් දායකවන පෝරුව සෙටිබෑක් මල් සැරසිලි ශිල්පීන්ද, සංගීත කණ්ඩායමේ ශිල්පීන්ද කඩියන් මෙන් මහා මෙහෙයුමකය.
මේ මොහොතේ සිදුවන්නේ උඩරට ඇඳුමෙන් සැරසුනු මනාල යුවල උඩරට නැට්ටුවන්ගේ නර්තනයන් පෙරදැරිව තානායම් වැලි මිදුල මතින් තානායම් පෝටිකෝව හරහා සම්භාෂණ ශාලාව වෙත කැඳවාගෙන ඒමය.
සූසැටක් අබරණ පැළඳ, උඩරට කුමාරිහාමි කෙනෙකු මෙන් සැරසුන මනාලිය සැබැවින්ම පියකරුය.
එසැනින් තානායම් සම්භාෂණ ශාලාව ඇතුළතින් ඇසෙන්නට වූයේ මහා ගාල ගෝට්ටියකි.
තවමත් බාහිර ආරාධිතයන්ගෙන් පරිපූර්ණ නොවූ විවාහ උත්සවයට දැනට පැමිණ සිටින්නේ දෙපාර්ශවයේම පවුලේ සමීපතමයන් පමණය. එනිසාම ඔවුන්ගේ කටහඬවල් ගෙදරදී මෙන් තරමක් ශබ්දයෙන් යුතුය.
“මොකද්ද කේස් එක..”
“ඇතුළෙ වලියක්ද?”
සියල්ලන්ගේම මුහුණු වල ප්‍රශ්නාර්ථයකි.
තානායම්පල්ලා එසැනින් එය කුමක්දැයි විමසීමට ශාලාව තුළට දිව යන්නේ අවසානයේදී සියල්ලේ වගඋත්තරකරුවා වන්නේ තමා නිසාය.
“මැනේජර් මහත්තයා.. වෙඩින් එකේ ජයමංගල ගාථා කියන්න ආපු ගෑනු ළමයෙක් ආවේශ වෙලා..”
“මොනවා..? ආවේශ වෙලා…?”
“ඔව් මහත්තයා.. මේ ජෝඩුව කැන්දාගෙන එන පෙරහැරේ බෙර සද්දෙට.. ඒ දැරිවි ආවේශ වෙලා..”
එසේ කියමින් තානායම්පල්ලා සමඟම සම්භාෂණ ශාලාව තුළට දිව යන්නේ ඔහු අසලම සිට නව යුවල කැන්දාගෙන එන පෙරහැර නරඹමින් සිටි විවාහයේ අශ්ඨක ගායනා කිරීමට පැමිණි අශ්ඨක ගුරුන්නාන්සේය.
“ෂුවර්ද? ආවේශ වෙලාය කියලා.. වෙන අසනීපයක්වත්ද?..”
“හරි..කෝ දැන් ඒ දරුවා?..”
තානායම්පල්ලා තමාම කළමණාකාරීත්වය උසුලනා තානායමේම මොහොතක් අතරමං ව වටපිට බැලුවේය.
“කපල් එකට දීපු චේන්ජින් රූම් එකට එක්කන් ගියා සර්..”
වෙල්කම් ඩ්‍රින්ක් බන්දේසියක් අතැති වේටර් ප්‍රියන්ත කඩිමුඩියේ කියාගෙන ගියේය. තානායම්පල්ලා පය ඉක්මන් කළේය. මනාල යුවලගේ රූපලාවන්‍ය කටයුතු සඳහා තානායමෙන් ලබාදී ඇති කාමරයේ ඊස් මීස් නැත. විවිධ වයසේ කාන්තාවන් එහි පිරී සිටිති. තරුණ කෙල්ලන් අත නානා මාදිලියේ සෙල්ෆෝන්ය.
“මොකද්ද වුණේ.. කරුණාකරලා අනවශ්‍ය අය එළියට යමුද?..”
තානායම්පල්ලා උස් හඬින් කීවේය.
“ජයමංගල ගාථා ළමයි ඔක්කොමලා ඉස්කෝලෙ මගේ පන්තියේ.. මේ වෙඩින් එකේ බ්‍රයිඩ් මගේ රිලේෂන් කෙනෙක්..” රෝස පැහැති ළමා සාරියකින් සැරසුනු ආවේශ වූ දැරිවියට වයස දොළහක් දහතුනක් පමණය. පැහැපත් වැඩුණු සිරුරකින් යුතු ඇය දැන් සිටින්නේ තද නින්දේය.
තානායම්පල්ලා කාමරයේ ඇතුළත සිසාරා තියුණු බැල්මක් හෙළුවේය. මනාලියට ඇඳුම් මාරු කර ගැනීමට සහ ඇයට රූපලාවන්‍ය සැරසිලි කරවා ගැනීමට ලබා දෙන කාමරයේ දැන් ගොඩගසා තිබෙන්නේ මනාලියගේ නොව මනාලයාගේ කළමණාය.
මෙයා දවසක් ඉස්කෝලෙ ඩාන්සින් රූම් එකේදි බෙර සද්දෙකටත් ආවේශ වුණා.. එදා නම් හැබැයි ටක් ගාලා සනීප වුණා.. අදනම් තවම නෝමල් නෑ..”
“ඉතින් මොකටද ටීචර් ඒ වගේ ලෙඩ දරුවෝ මේ වගේ තැන් වලට එක්ක එන්නේ.” යැයි කීමට කටට ආවද තානායම්පල්ලා ගොළුවත රැක්කේය.
“ඉන්න… මම වාහනයක් සෙට් කරන්නම්..” තානායම්පල්ලා කාමරයෙන් පිට වෙමින් කියා සිටියේය.
“දැන්ම යමු අපි මහණ වීමට අසුන් පනවැයි කී බෙලෙන්… බුද්ධ රතනේ අනුහසින් වෙයි ඔබට ජයසිරි මංගලම්..”
තානායම් සම්භාෂණ ශාලාව සිසාරා දෝංකාර දෙන්නේ යුවල පෝරු මස්තක කරවීමත් සමඟ කරනා අශ්ඨක ගුරුන්නාන්සේ ගේ අශ්ඨක ගායනය ය.
කණ්ඩායමේ යෙහෙළියක හදිසියේ අසනීප වුවද ජයමංගල ගාථා ගායනයට පැමිණි දැරියන් අශ්ඨක ගුරුන්නාන්සේ අසලම පේවී සිටින්නේ තැතිගත් මුහුණෙන් වටපිට බලමිනි.
යුවල පෝරුවට නැංවූ එසැනින් අශ්ඨක ගුරුන්නාන්සේ තානායම්පල්ලා සොයා ආවේය. “තවම දරුවා නෝමල් නෑ අශ්ඨක අංකල්.. මම බලන්නේ වාහනයක දාලා ඉසපිරිතාලෙට යවන්නයි..”
“පිස්සුද මැනේජර් මහත්තයා.. ආවේශ වෙච්ච ලෙඩ්ඩු කවුද ඉස්පිරිතාලෙට බාර දෙන්නේ.. ගෙනැත් දෙන්න මට එක නැට්ටෙ දෙහි ගෙඩි තුනකුයි.. ගිරයකුයි.. පොල්තෙල් පොඩ්ඩයි.. පීරිසි තටුවයි.. වදකහ කෑල්ලයි..
මම තෙල්ටිකක් මතුරලා දැරිවිගේ ඔලුවෙ ගාපු හැටියෙ දිස්ඨිය සනීපයි.. ජෝඩුව පෝරුවෙන් බස්සපු හැටියෙ මං වැඩේ කරන්නම්.. ඉක්මනට මට කළමණා ටික අතට දෙන්න..” අශ්ඨක ගුරුන්නාන්සේ ගේ නියෝගයට අනුව එම අඩුම කුඩුම සොයාදීමේ වගකීම අතින් අත ගොස් අවසානයේ පැවරුණේ විවාහ සාදයේ සංගීතයට ඩාන්ස් කරන්නට පැමිණි කොණ්ඩය පාට කළ යොවුන් තරුණයන් දෙදෙනෙකු හටය.
“අපි හිතුවෙ සර්.. ජමංගල ගාථා කියන්න ආපු නංගි කෙනෙක් බිග් ගර්ල් වෙලාය කියලා..” තරුණයන් දෙදෙනා කීවේ බිම බලාගෙනය. “එතකොට දෙහි අවුලක් නෑ කියමුකෝ.. මේ මොකද්ද බං ගිරය කියන්නේ.. අර ටෙලියක තිබිච්ච අඬුව වගේ ගැජට් එක නේද?.. එතකොට මොනාද බං වදකහ කියන්නේ..” කොණ්ඩය පාට කළ තරුණයන් දෙදෙනා හිස කසමින් ළං වන්නේ අශ්ඨක ගුරුන්නාන්සේ වෙතටය. “එස්කියුස්මී සර්.. කිචන් එකේ පොල්තෙලුත් පොඩ්ඩක්වත් නෑලු.. තියෙන්නෙ වෙජිටබල් ඔයිල් විතරලු..”
සහායක අරක්කැමි සමරණායක බයාදු හඞින් කීවේය. තානායම්පල්ලාද කොණ්ඩය පාටකළ තරුණයන් දෙදෙනො මෙන් හිස කැසුවේය.
රන්ජන් ගාමිණී ජයවර්ධන