ආදරණීය කඳුළ
නුඹ පමණයි කඳුළ මගෙ තනියට ඉන්නේ
ඇවිළෙන ගිනි කඳට දිය බිඳු ඉසමින්නේ
මට පිටුපෑව ලෝකෙක ජීවත් වෙන්නේ
මට පිටු නොපා නුඹ පමණයි ළඟ උන්නේ
නුඹ හට අකමැතිව සිටියත් පෙර දාක
නුඹගේ අගය වටහා ගමි ලෙස නේක
මගෙ සිත සුසුම්ලන දහවල මෙන් රෑක
නුඹගේ සිසිල අගයමි සිදුවුව කෝක
එතුවක් මෙතෙක් මා වෙත පැමිණිය කඳුළ
මට තනි රැක්කෙ නුඹ විතරයි මා අසල
මගෙ ජීවිතය දවසක වන තුරු නිසල
මා හැර නොයන් කඳුළේ මා කර සසල
ගාමිණී ලිවේරා
හිරුට කලින්
අල්ලෙන් වැටෙන දිය වැල බඳු සාරි පොටින්
අල්ලන් යන්න හිත් ලාලයි සැමට හොරෙන්
මුල්ලෙන් අරන් රැස් කළ පන් හිරුට කලින්
පල්ලන් බහිමු කන්දක් මතු හමු වුණදෙන්
ලින්ටන් හපුආරච්චි
සුන්දර ද කෙතරම්
සියුමැලි ද කොයිතරම් යන නොපෙනී නළ රැල්ල
සැනසුමකි හදවතට මුදු සිනිඳු සිතුවිල්ල
පියකරුයි නෙත සිතට ලෙෙළන පහනෙහි දැල්ල
සාමයේ සුවඳ මල පුබුදුවයි ඉවසිල්ල
සුන්දරයි උදාහිරු සමඟ පැමිණෙන දිනය
පියකරුයි තුරුලතා වෙළන සඳ සොමි ගුණය
වෙරළ සිඹ රළ නැෙඟයි මුදා හැර අසහනය
දිලෙන සෙවණැලි අඳුර ලස්සනයි මහ වනය
දුර ඈත කඳු මුදුනෙ හිම සේල එතෙනවා
කෙත් යායෙ රන් කරල් බර වෙලා නැවෙනවා
කවිගීත කොවුලන්ගෙ හඬ මිහිරි ඇහෙනවා
සොබාදම පරිසරය නිතර හැඩ කරනවා
කුරුඳුකුඹුරේ නන්දසිරි
සදාදර අම්මා
දස මසක් කුසෙහි දරා
තම ජීවිතය කැප කර
මා මෙලොවට වැදු අම්මේ
ජාති ජාතිත් රැස් වූ පිනෙන්
බුදුන් දැක නිවන් දකින්නට
වරම් ලැබේවි මේ භවයේ
ලෝකයාට පෙනෙන්නට සිනාසී
දරු දුක් තර කර
දිවිය දුන් ශ්රී කතට
සදා ණයගැතිය අප
ඩබ්ලිව්. ඒ. තියුමලී දිනිතිකා
මතු උපදින්න හිතවත
සිරි දෙව්දුව අප හට දුන් විජය
සීදුව ගම අමතක නොකළ විජය
මානව දයාව පෙරටුකොටගත් විජය
කිසි දිනෙක මුල අමතක නොකළ විජය
හද බැඳි රසික කැල වෙත පිදුව සෙනෙහස
රසික කැල ද ඔහු වෙත පිදුව සෙනෙහස
සැමදා සිතට වදින ඔබගේ දයාවට
දිගු ආයුෂ අරන් මතු ඉපදෙන්න හිතවත
අද බැරි වුණත් එක මවුකුස උපදින්න
මතු අත් භවයක අප එකතැන උපන් විට
උරෙනුර ගැටී බාධක මැඬ ජයගන්ට
උපදිනු සොයුර සොයුරෙක් වෙලා මට
ධම්මික ජයරංජන්
අතරමං වුවෙක්
ඝන රේඛාවකි
රිදී රේඛාවක් වසා යන
මලිත්තෙකි
ඔහේ ඔබ මොබ හැසිරෙන
රිදුමකි
පපු කුහරයෙහි නලියන
පෑනකි
තුඩින් අකුරට පන දෙන
මුලාවකි
දැක්ම හරිහැටි නොහදුනන
ඇතැමෙකි
කල්පනා ලෝකයෙහි ගැවසෙන
දිනුෂා ප්රබෝධනී කුමාරසිංහ
දියවෙච්චි හිත්
සමහරක් හිත්
උපරිමය දරාගද්දි
නිහඬ ගිනිකඳුත්
පුපුරනවා වෙලාව එද්දි…
සීමාව ඉක්මුවත්
තව තවත් ඉවසද්දි
කළු ගලක් උනන්
පුපුරනවා කාලයක් යද්දි…
සැනසීම වුණත්
එක දිගට නොලැබෙද්දි
හයියම හිත් පවා දියවෙනවා
පුපුරන්න ළං වෙද්දි…
නුවන්ති හංසිනී උත්පලා
තාත්තාට කියමි
ගී සින්දූ කවි බෙරපද අඩු නොවුණු
බාලවිය හැඩයි ඔබෙ තුරුලෙම රැඳුණු
පාරුඔරු දිගේ එගොඩට ගෙනියාපු
තාත්තේ ඇසෙනවද ලොකු දුව අද දුරලූ
උගනට වේ තවත් සිවුවසරක් මෙහි ම
දුරහිඳ කියමි ආදරයෙන් නුඹෙ නමට
බාලවිය තමා මට හැමදාමත් රසම
අම්මා එක්ක මං එනතුරු මඟ ඉන්න
යසුරි හසාරා බණ්ඩාරිගොඩගේ
වියෝවූ අම්මාට
හරිහැටි නොතේරෙන මා මගෙ ළපටි වියේ
අම්මා සමඟ ඈ ගිය හැම තැනම ගියේ
නිදියන විටදි ගැයු ගී මතකයෙහි තියේ
සංවේගයකි ඈ වෙනුවෙන් උපන් ළයේ
ගන්නෙමි කෙලෙස හෝ මම සෝදුක වාවා
ලෝදම වෙන්වීම බැහැ වළකනු මේවා
සදහම් අසා මෙත් සම්බුදු හිමි ගාවා
අම්මා අමා මහ නිවනින් සැනසේවා
ජී.ජී. කරුණාදාස
ගුරුබැති පුද
කිරිකැටි වියේ නොමදැන හය හතර එදා
ආවෙමි මව සමග දසඅත දෙනෙත විදා
ඇකයට වැදී මව හැර ඔබෙ දෙඅත බදා
ගත් හැටි නොවේ, අමතක මගේ දිවියෙ සදා
“ඉගෙනුම් – ඉගැන්නුම් කාරිය තරම් ලොවේ
හදවත අතගාන ඔසුවක් තවත් නොවේ”
ඒ ඔසු කරඬුවෙන් ලැබදුන් පරම සුවේ
ජීවක ඔබය, නැත අන් වෙදැදුරෙකු ලොවේ
අප දෙස බලා තුටු කඳුළැලි නඟන්නට
සිසු හද දෙවොලෙ දෙවියන් වී හිඳින්නට
අවසන් සුසුම් පොද සුවසේ හෙලන්නට
මෙම පින ඇත නොමැත වෙන පින් කරන්නට
පියවතී විතානගේ
බුකිය
කර නිගරු
බුකියට ගුරඟුන් දුවන
නෙත් දෙති දනෝ නිරතුරු
ෆේස් බුකියට…!
අස්ස බුකියට වඩා
ෆේස් බුකිය ඉස්තරම්
එබුකිකාරයෝ කියති රහසේ
හොඳ ස්මාර්ට් දුතයෙකු අතෙහි දිලිසේ
සුදුවකි මිතුරුකමද
දිනාගති හතුරුකම්
කියති මුණුපොත පෙරළමින්
සරත් කුමාර වික්රමගේ