ඒ විශිෂ්ට වෘත්තිකයන් කණ්ඩායමක් වෙළෙඳ ලෝකයේ අලුත් දැක්මක් සහිත දේශීය නිෂ්පාදකයකු සමඟ එක්ව සාධනීය ගැඹුරක් සහිත නව ප්‍රවේශයක් විවර කර තිබූණි. ඔවුන් අප සැමටම ආරාධනා කර තිබුණේ මහා අර්බුදයක් හමුවේ වැළලෙන්නේ නැතිව එයින් මිදී ගොඩ එන විදිහ ගැන අලුතින් හිතන්නටය.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ (IBMBB) මහාචාර්ය සමීර ආර්. සමරකෝන් ප්‍රමුඛ පර්යේෂණ කණ්ඩායම ඔබට අමතක නැතැයි සිතමි. මීට වසරකට පෙර පිළිකා සෛල නැසීමේ හැකියාව පර්යේෂණාත්මකව තහවුරු කරන ලද Vernolac පෝෂක ඖෂධය, අකලට හිස කෙස් වැටීම, ජානමය තත්ත්වයන් නිසා තට්ටය ඇති වීම පාලනය කරමින් හිසකෙස් වර්ධනය කිරීමේ අද්විතීය ගුණයෙන් හෙඹි Satiny ඖෂධීය ශීර්ෂාලේපය, සන්ධි ආශ්‍රිත වේදනා සහ කැක්කුම් වහා සමනය කිරීමේ මනා හැකියාව විද්‍යාත්මකව තහවුරු කරන ලද ශාකසාර අමුද්‍රව්‍ය භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද Ortho Shield ආලේපනය, ස්ථුල භාවය පාලනය කරමින් අමතර මේදය බැහැර කරමින්, ආහාර පාලනයටත් ශරීරයේ හැඩය මනාව පවත්වා ගැනීමටත් ඉවහල් වන Bio Shape පෝෂක ඖෂධය හඳුන්වා දීමේ විද්‍යාත්මක පදනම දැම්මේ මේ පර්යේෂකයන්ය.
ලංකාවේ ප්‍රමුඛතම දේශීය සමාගමක් වන ෆැඩ්නා සමාගම් සමූහයේ අනුබද්ධිත සමාගමක් වන ෆැඩ්නා ලයිෆ් සයන්ස් සමාගම සහ ගිවිසුම්ගතව සිය පර්යේෂණ ප්‍රතිඵල නිෂ්පාදනයක් සේ සමාජගත කර අතිශය සාර්ථක ප්‍රතිඵල අත්කරගත් මේ කණ්ඩායම ගැන යළිත් අලුත් වටයකින් සංවාදයක් උපදින්නට ප්‍රස්තුත නිර්මාණය වී ඇත. මේ විද්‍යාඥයන් සිදු කළ විද්‍යාත්මක සොයාගැනීම්වල ආර්ථික ඵලය දැන් කොළඹ සරසවියට ලැබෙමින් තිබේ. එහි වාර්ෂික කර්තෘ භාගය පසුගිය 27 වැනිදා ෆැඩ්නා සමාගමේ අධිපති චමේන්ද්‍ර සෝමතුංග විසින් කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති එම්.ඩී. කරුණාරත්න වෙත භාර දුන්නේය. එහි අගය රූපිත මුදලට වඩා බෙහෙවින්ම එහා ගිය නව සංකල්ප ප්‍රවේශයකි. කොළඹ විශ්වවිද්‍යාලයේදී ප්‍රායෝගික වූ එම අදහස නව බලාපොරොත්තු දල්වන්නේය.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජෛව රසායන අණුක ජීවවේද සහ ජෛව තාක්ෂණ ආයතනයේ (IBMBB) මහාචාර්ය සමීර ආර්. සමරකෝන් සමඟ යළිත් කෙටි සංවාදයකට අප පොළඹවන්නේ ඒ දැල්වෙන බලාපොරොත්තුවය. අපට විමසන්නට අවශ්‍ය වූයේ මෙවැනි නිෂ්පාදන කාර්යකදී රටට ලැබෙන දීර්ඝ ඵලදායීතාව පිළිබඳ මහාචාර්යවරයාගේ අදහසය.
“විශ්වවිද්‍යාලයේ පර්යේෂණ සමාජගත කර ලංකාවේ තිබෙන ප්‍රශ්නවලට උත්තර හොයන්නයි අප උත්සාහ කළේ. මේ වනවිට අප එවැනි නිෂ්පාදන හතරක් සමාජගත කර තිබෙනවා. පිළිකා සඳහා හඳුන්වා දුන් පිළිකා පෝෂණ සත්කාර කරල එයින් එකක්. අනෙක හන්දිපත් අමාරුවට හඳුන්වා දුන් ඖෂධ වට්ටෝරුව. තුන්වැනුව තරබාරුව අඩු කිරීමට උපකාර වන දේශීය ඖෂධ නිෂ්පාදනය. සිවුවැනුව මේ හිසකෙස් යෑම පාලනය කරන හිස ගල්වනය. මේ සියල්ල දෙශීය බෙහෙත් වට්ටෝරු ඇසුරින් කළ නිෂ්පාදන. මෙම නිෂ්පාදන හතරම ෆැඩ්නා සමාගම හා ගිවිසුම්ගතව වෙළෙඳපොළට යොමු කළා. මේ වගේ දෙයක් ප්ලෑන් කළේ අයි.ඩී.එම්.ඩී.පී. ඒ කියන්නේ කොළඹ සරසවියේ ජෛව රසායන හා අනුක ජීව විද්‍යා සහ ස්වභාවික තාක්ෂණ ආයතනයෙන්. වර්ෂ 2014දී තමයි අපි ව්‍යාපාර සංවර්ධන ඒකකයක් පටන් ගත්තේ. එහිදී අපට ඕනෑ වුණා අපේ ආයතනය රජයෙන් දෙන මුදල් ප්‍රමාණය අඩු කරමින් ස්වාධීනව පවත්වා ගන්න පදනමක් හදා ගන්න. නමුත් ඒ කාලයේ අපට දෙන්න දෙයක් තිබ්බේ නෑ. ඒ නිසා අපේ මූලික පරීක්ෂණ යන අතරේ අපි නිෂ්පාදන සඳහා වන පර්යේෂණ ඉලක්ක වෙත ගියා. මගේ සංකල්පයක් විදිහට තමයි ඒක කරගෙන ආවේ. එහෙම ඇවිත් තමයි අපට අවුරුද්දකට විතර කලින් නිෂ්පාදන එළිදක්වන්න පුළුවන් වුණේ.
නිෂ්පාදන එළිදැක්වුවත් ඒ නිෂ්පාදන ගැන මිනිස්සු දැනගෙන හිටියෙ නෑ. මාධ්‍ය සද්භාවයෙන් යුතුව මැදිහත් වෙලා කළ හඳුන්වා දීම් එක්ක තමයි මේ නිෂ්පාදන ගැන මිනිස්සු දැනගත්තේ. මිනිස්සු දැනගත්තට පස්සේ ඒ නිෂ්පාදන විකිණෙන්න ගත්තා. පිළිකාවලට භාවිත වන Vernolac කියන සප්ලිමන්ට් එකයි, කෙස් යන එකට හඳුන්වා දුන් Satiny කියන ඖෂධයයි, හන්දිපත් රුදාව සඳහා භාවිත කරන Ortho Shield කියන ඖෂධයයි ජනප්‍රිය වුණා. මේ සියලුම ඖෂධ පර්යේෂණ මඟින් ප්‍රතිඵල සාධනය කළ දේශීය ශාකසාර ඖෂධ. මේ නිෂ්පාදන හඳුන්වලා දීලා අවුරුද්දක් වුණාට ඇත්තටම හොඳම අලෙවිය සිද්ධ වුණේ පහුගිය මාස දෙකේ. ඒ විකුණපු නිෂ්පාදනවල කර්තෘ භාගය තමයි පසුගිය 27 වැනිදා විශ්වවිද්‍යාලයට ලැබුණේ. මේක හොඳ ප්‍රවේශයක්. අපි බලාපොරොත්තු වෙන්නේ තවත් පර්යේෂණ කරලා එයින් ලැබෙන මුදලින් පර්යේෂණ ක්ෂේත්‍රය වැඩි දියුණු කරගන්නයි. අදටත් දියුණු රටවල සියලුම ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල පවත්වා ගන්නේ ඔවුන්ගේ නිෂ්පාදන සහ පේටන්ට් අයිතිය මාර්කට් කරලා ගන්න මුදල්වලින්. යුරෝපය විතරක් නෙමෙයි, ඉන්දියාවත් එහෙම තමයි. දියුණු විශ්වවිද්‍යාලයක් ලෙස පවතින්න පුළුවන් ඒ විදිහටයි.
ලංකාවේ මේ සංකල්පය ලොකුවට තිබුණේ නෑ. වර්ෂ 2015දී යම් සංකල්පීය පිබිදීමක් සිද්ධ වුණත් කිසිම විශ්වවිද්‍යාලයක ලොකුවට සාර්ථක වුණේ නෑ. කොළඹ විශ්වවිද්‍යාලයේ අවුරුදු 07කට කලින් බයෝ ක්ලීන් කියන නිෂ්පාදනය වෙළෙඳපොළට දැම්මා. ඒක තමයි මුලින්ම ගොඩක් සාර්ථක වුණේ. ඊට පස්සේ ගොඩක් ලොකුවට සාර්ථක වුණු ටික තමයි මේ අපේ නිෂ්පාදන ටික.”
ඒ සාර්ථකත්වය ගැන මහාචාර්යවරයා කතා කරන්නේ සතුටිනි. මේ කර්තෘ භාගයෙන් කොටසක් වෙන් වන්නේ කොළඹ විශ්වවිද්‍යාලය මඟින් මේ වනවිට කරගෙන යන පිළිකා සම්බන්ධ පර්යේෂණ මාලාව පවත්වා ගැනීම සඳහාය.
“මේ මුදලින් කොටසක් පිළිකා පර්යේෂණ සඳහා වෙන් වෙනවා. මේ පර්යේෂණ අංශය මෙතෙක් ප්‍රධාන වශයෙන්ම පවත්වාගෙන ගියේ පරිත්‍යාගවලින්. අපේ සම්මතයන්ට අනුව එම අංශයෙන් පර්යේෂණ කරන්නේ පිළිකා ගැන පමණයි. වෙන මුකුත් කරන්න බෑ. රටේ පවතින තත්ත්වය අනුව දැන් ලංකාවේ කිසිම අරමුලක් පර්යේෂණ සඳහා වෙන් වන්නේ නෑ. මේ විදිහට ගියොත් ඇත්තටම අපට සරසවි වහලා නිකම් ඉන්න වෙනවා. ඒ සඳහායි අප විකල්ප සෙවිය යුත්තේ. මේ දැවැන්ත ආර්ථික ප්‍රශ්නය ඇවිත් දැන් අවුරුදු තුනක් වෙනවා. ඒත් ඒ කිසිම අවස්ථාවක අපි අපේ පර්යේෂණාගාරය වැහුවෙ නෑ. රටේ ගොඩක් විශ්වවිද්‍යාලවල පර්යේෂණ සියයට අනූවක් නැවතිලා තියනවා. සමහර පර්යේෂණාගාර වහලා දාලා තියනවා. සමහර ඒවා කරකියා ගන්න බැරිව අමාරුවෙන් ඇදගෙන යනවා. තව අවුරුදු 05ක් මේ තත්ත්වය තිබුණොත් ගොඩදාගන්න බැරි තැනකට අපි වැටෙනවා. භාවිතයෙන් තොවර තිබෙනවිට යන්ත්‍රෝපකරණ පවා කල් ඉකුත් වීම සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපි අලුතින් හිතමින් අලුත් ප්‍රවේශ සොයා ගත යුත්තේ.”
මහාචාර්යවරයා පවසන්නේ ඊළඟ අවුරුද්දේ තවත් නිෂ්පාදන 04ක් එළි දැක්වීමට අවශ්‍ය විද්‍යාත්මක පදනම නිෂ්පාදකයන් වෙත ලබා දී ඇති බවය. ඒ සියල්ලම සෞඛ්‍යයට සම්බන්ධ ඒවාය. ඒ නිෂ්පාදන මොනවාද යන්න මාධ්‍යයකට ප්‍රකාශ කිරීමට කල් වැඩි බව ඔහු පැවසුවේ සිනාසෙමිනි.
“දැනට තියන කර්මාන්ත කීපයක් එක්ක අපි වැඩ කළා. ඔවුන් අපි එක්ක ලොකු විශ්වාසයකින් වැඩ කරන්නේ. පවතින ක්‍රමවේදයේ ගැටලු මෙන්ම ආර්ථිකයේ ස්වරූපය අනුවත් විශ්වවිද්‍යාලයකට කර්මාන්තයක් දිනා ගැනීම කියන්නේ හරිම අපහසු වැඩක්. එහෙම ක්‍රමවේදයක් විශ්වාසනීය පරිසරයක් හැදිලා නෑ රටේ. දැන් අපේ ඉලක්කය මේ නිෂ්පාදන අපනයනය කරමින් රටට ඩොලර් ටිකක් ගේන එක. මම ලංකාවේ කර්මාන්තකරුවන්ට ආරාධනා කරන්නේ අපි එක්ක විතරක් නෙමෙයි. ඇවිත් අනෙක් සරසවි එක්කත් එකතු වෙන්න කියලයි. ලංකාවේ ඉහළ දැනුමක් තියන විද්වත් පර්යේක්ෂයන් ඉන්නවා. නමුත් ඔවුන්ගේ මෙම නිෂ්පාදන සංවර්ධන සංස්කෘතිය ගොඩනැඟිලා නෑ. ඒක තමයි ගැටලුව.
මම මේ වැඩේට සම්බන්ධවෙනකොට මට බැන්නා. ඖෂධ කම්පැනිවල අයගෙන් ප්‍රශ්න ආවා. වෙන විද්වත් කොටස්වලින් ප්‍රශ්න ආවා. මම ඒවා ඇහුණෙ නෑ වගේ හිටපු නිසා සහ ඒවා කළමනාකරණය කරගත්ත නිසා අපි සාර්ථක වුණා. ගොඩක් අය බයයි මොනවා හරි එළියෙ කියන්න. නම සවුත්තු වේවි, ජොබ් එක නැතිවේවි කියලා හිතනවා. අලුත් දෙයක් කරනකොට බාධක එනවා, ඒ බාධක ජය ගන්න අවශ්‍යයයි. අපි අපේ කරන වැඩේට වඩා ඉස්සරහට ගිහින් මොනවත් කළේ නැතිනම් ඉස්සරවෙලා විශ්වවිද්‍යාල ටික වහන්න වෙනවා. ඊට පස්සේ රට වහන්න වෙනවා.”
මහාචාර්යවරයා එසේ සිහිපත් කළේ මේ මොහොතේ පුරවැසි වගකීමය.
ෆැඩ්නා සමාගමේ අධිපති චමෙන්ද්‍ර සෝමතුංග අප දකින්නේ අපේ රටට අලුත් බලාපොරොත්තුවක් විවර කළ අලුත් දැක්මක් සහ විශ්වාසයක් සහිත ව්‍යවසායකයකු ලෙසිනි. ඔහු අප හා කතා කරන්නේ ව්‍යාපාර ජාලයක හිමිකරුවකු ලෙස නොව, තෘප්තිමත් මනුෂ්‍යයකු ලෙසය.
“මුලින්ම අපට තිබුණේ විශ්වවිද්‍යාලවල තියන දැනුම යොදාගෙන ඒ අයගේ පරීක්ෂණ ප්‍රතිඵල එළියට ගෙනියන්න ඕන කියන අදහස. එතකොට අපේ නිෂ්පාදනත් ඒවත් එක්ක දියුණු කරගන්න පුළුවන් කියන අවබෝධය මා සතුව තිබුණා. අපි මේ නිෂ්පාදන දැනුම විද්‍යාත්මක තහවුරු කිරීම් හරහා ලබා ගැනීම මුලින්ම පටන් ගත්තේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සාගරිකාත් එක්ක. ඊට පස්සේ සබරගමුව විශ්වවිද්‍යාලය එක්ක සම්බන්ධ වුණා. කොළඹ විශ්වවිද්‍යාල එක්ක එකතු වෙලා කටයුතු කළේ ඊට පස්සේ. ඒ අයගේ පර්යේෂවල සොයා ගැනීම් සහ දත්ත එක්ක අපේ නිෂ්පාදන දියුණු කරගන්නේ කොහාමද කියන එක අපි නිරන්තරව අභ්‍යාස කළා. ඒකෙ එක් ප්‍රතිඵලයක් තමයි කොළඹ විශ්වවිද්‍යාලයේ මේ නව නිෂ්පාදන හතර බිහිවන්නෙ.
ඇත්තටම අවුරුදු 10ක් විතර අත්දැකීමක් අපට සරසවි සමඟ වැඩ කිරීමෙන් තියනවා. කොළඹ විශ්වවිද්‍යාලය එක්ක අවුරුදු 06ක් වැඩ කළා. නිෂ්පාදන 04ක් හැදුවා. ඒ නිෂ්පාදන සංවර්ධනය කරලා එහි ස්ථාවරත්වය පිළිබඳ පර්යේෂණ කරගෙන ඇවිත් ඒ පර්යේෂණ හරහා නිෂ්පාදනය ඉහළ ප්‍රමිතියකට අරන් පහුගිය අවුරුද්දේ තමයි එළි දක්වන්න පුළුවන් වුණේ. දැන් තමයි එහි ප්‍රතිඵල එන්නේ.”
චමේන්ද්‍ර සෝමතුංග කියන්නේ මේ නිෂ්පාදන අලෙවිය එක්වරම මහා පිබිදීමක් ලබන්නේ මීට මාස දෙකකට පෙර සිට බවය. එතෙක් අලෙවිය තිබුණේ අතිශය සීමිතව බව ඔහු පැවසුවේය.
“මේ නිෂ්පාදන පෙළ සම්බන්ධව මුලින්ම ලොකු ප්‍රතිචාරයක් ලැබුණෙ නෑ. ඕතොෂීල්ඩ් තමයි ඇඩ්වයිස් කරන්න ගත්තේ. නමුත් ෂෝෂල් මීඩියාවලින් අමුතු ප්‍රතිචාරයක් ලැබුණා. මහාචාර්ය සමීරගේ ඉන්ටර්විව් එකක් වයිරල් වුණාට පස්සේ එක දවසකට අපිට හිතා ගන්න බැරි තරම් ඉල්ලුමක් ආවා. එය අපට පාලනය කරන්න පුළුවන් තත්ත්වයත් ඉක්මවා ගියා.
ඒක විශේෂ අත්දැකීමක් වුණා. පිළිකා සඳහා ලබා ගන්නා සප්ලිමන්ට් එකට ලැබුණ ප්‍රතිචාරයත් සමඟ අපට මුල් කාලයේ ඒ ඉල්ලුම සපුරා ගන්න බැරි වුණා.” ඔහු කියන්නේ තවමත් මැකී නොගිය විස්මයෙනි.
අවසන් වශයෙන් අප මෙම ව්‍යවසායකයාගෙන් ඇසුවේ විශ්වවිද්‍යාලයකින් පර්යේෂණ ලෙස එළිදක්වන නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමේදී නිෂ්පාදන ආයතනයක් සතු වගකීම පිළිබඳය.
“පළමුවැනි දේ අපට බලන්න තියෙන්නේ කොච්චර හොඳ සොයා ගැනීමක් වුණත් ඒ සොයා ගැනීම කොච්චර දුරට පාරිභෝගිකයාට වැදගත් වෙනවද කියන එක. ජීවිතේ තියන අවශ්‍යතාවක් වෙනුවෙන් කරන නිෂ්පාදනයක් ද කියන එක. ඒ කාරණා දෙකම සම්පූර්ණ වුණත් එය වාණිජව නිෂ්පාදනය කරන්න පුළුවන් එකක් ද කියලත් බලන්න ඕන. සමහර ඉතා හොඳ සොයා ගැනීම් තිබුණත් ඒවා නිෂ්පාදනය කරන්න අමාරුයි. සමහර ඒවා ඉතාම මිල අධිකයි. එතකොට අපට ඒවා මිල කරන්න බෑ. ඒ වගේම නිෂ්පාදකයා සහ විද්වත් පර්යේෂකයා කියන දෙපාර්ශ්වයටම පහසුවෙන් වැඩ කළ හැකි පරිසරයක් තිබීම වැදගත්. කොළඹ විශ්වවිද්‍යාලයේදී අපි ඒ අවබෝධාත්මක අත්දැකීම සහ ගෞරවය ලැබුවා. මට මෙතැනදී දෙයක් අවධාරණය කරන්න අවශ්‍යයයි. විද්වත් පර්යේෂකයන් තමන්ට කැමති දේ පර්යේෂණ මූලයන් ලෙස සලකනවාට වඩා මිනිස්සුන්ට අවශ්‍ය දේ ඔස්සේ තමන්ගේ පර්යේෂණ ක්ෂේත්‍රය මෙහෙය වනවා නම් අපට විශාල අනාගතයක් තියේවි. අපට නිෂ්පාදකයන් විදිහට ඉහළ ප්‍රමිතියක් සහිත නිෂ්පාදන වැඩි දියුණු කර විශ්වාසනීය ප්‍රවේශයකින් ලෝකයේ වෙළෙඳපොළට තරගකාරීව ඉදිරිපත් කරන්න පුළුවන් වේවි.”
විද්වත් පර්යේෂකයකුගේ සහ ව්‍යවසායකයකුගේ පුළුල් චින්තන පරාසයන් එක් මොහොතකදී හෝ සමපාත වන්නේ නම් එතැන අසිරිමත් වෙනසක් වන්නේය. මේ ප්‍රායෝගික වී ඇත්තේ ඒ මොහොතය. බිඳ වැටීමක් යනු සියල්ල අවසානයේ සොහොන් වීමක් නොවේ. නව මානයකින් ස්ථාවරව ගොඩනැඟීම සඳහා ලෝකයට නව චින්තන ප්‍රවේශ විවර කරන්නේ සුන්නද්ධූලි වී ගිය ආකාරයේ ව්‍යසනයන්ය. අප දකින්නේ මහා අන්ධකාරයේදී පවා දීප්තිමත් පහන් දැල්වෙමින් ඇති බවය.
ටානියා මෝසස්, ඡායාරූප - වාසිත පටබැඳිගේ