Home » චිත්තවේග ක්‍රියාකරන ආකාරය දැකිය හැකි පරීක්ෂණාගාරයක්

චිත්තවේග ක්‍රියාකරන ආකාරය දැකිය හැකි පරීක්ෂණාගාරයක්

by Mahesh Lakehouse
October 21, 2023 12:30 am 0 comment

පාදය සම්බන්ධ චලනයන් කොටස්වලට වෙන්කර ගන්නා අයුරු අපි ඉගෙන ගතිමු. චලනයන්ට හුරුපුරුදු වීම සඳහා සෑම පියවරක්ම මනසින් පහත පරිදි සනිටුහන් කර ගැනීම ආරම්භ කරන්න.

“ඔසවනවා, පැද්දෙනවා, පහළට හෙලනවා, පොළව ස්පර්ශ කරනවා, අඩිය බිම තබනවා” වැනි මානසික සටහන් ඇතිකර ගන්න. මෙම පුහුණුවීම, චලනයේ සමස්ත අනුක්‍රමය පිළිබඳව ඔබව දැනුවත් වීමට හා කිසිවක් ඔබට මඟ නොහැරෙන ලෙසට වගබලා ගැනීමට වෙයි. නිමක් නොමැති සියුම් සිදුවීම්වලට අවදි වන ඔබට වචන සඳහා කාලයක් නැති වෙයි. අඛණ්ඩව ගලායන චලනයේ දැනීම තුළ ගිලීයන බව ඔබ වටහා ගනියි. පාදයේ අඩිය ඔබගේ මුළු විශ්වය බවට පත්වෙයි. ඔබගේ සිත දුවන විට ඒ බව දැනගෙන ඔබගේ අවධානය සක්මන් කිරීම වෙත ගෙන එන්න. මේ සියල්ල කරන අතරතුර ඔබගේ දෙපා දෙස බැලීම හෝ ඔබගේ පාදය පිළිබඳව චිත්තරූප පවත්වා ගැනීමට නොසිතන්න. දැනීම පමණක් පවත්වා ගන්න. පාදය පිළිබඳ සංකල්පයක් හෝ පින්තූර ඔබට අවශ්‍ය නොවේ. ගලායන සංවේදනා ඒ මොහොතේම සනිටුහන් කරගන්න. ආරම්භයේදී සමහරවිට, ඔබට සමතුලිතතාවය පිළිබඳ ප්‍රශ්න ඇතිවීමට ඉඩ ඇත. ඔබ පාදයේ මාංශ පේශීන් නව ආකාරයකට පාවිච්චි කරන බැවින් ඉගෙනුම් කාලයක් ඇතිවීම ස්වභාවිකය. ඉච්ඡාභංගත්වය නැඟුනවිට ඒ බව දැකගෙන ඒවාට යන්න හරින්න. අනෙක් සියලු දේ පසෙකට තල්ලු කර ඔබගේ උඩුසිත සරල සංවේදනාවලින් පිරවීම සඳහා පිරවීම සඳහා විපස්සනා සක්මන් භාවනා ක්‍රමය සැලසුම් කර ඇත. එහි සිතිවිලි සඳහා ඉඩක් නැති බැවින් ආවේග හෝ හැඟීම්වලට ද ඉඩක් නොලැබේ. අල්ලා ගැනීමට හෝ ක්‍රියාවක් සංකල්පයකට නැඟීමට හෝ වෙලාවක් නැත.

තමා යන හැඟීම ඇතිකර ගැනීමට ද අවශ්‍යතාවයක් නැත. එහි තිබෙන එකම දෙය ස්පර්ශ කළ හැකි චාලක සංවේදනා පිළිබඳ පූර්ණ අවබෝධය හා නිමක් නැති නොකඩවා වෙනස්වන අත්දැකීම් ධාරාවකි. යථාර්ථය මඟ හැරීමට නොව යථාර්ථය තුළට වැදීමට අපි මෙහිදී ඉගෙන ගනිමු. මෙහිදී ලබා ගන්නා කවර හෝ අත්දැකීමක් මතවාදයන්ගෙන් පිරි අපගේ ජීවිතයට ඍජුවම අදාළ වෙයි.

භාවනා සම්බන්ධ ඉරියව්

අපගේ පුහුණුවේ අරමුණ වන්නේ අපගේ අත්දැකීම්වල සියලු පැතිකඩම අඛණ්ඩව මොහොතින් මොහොත ගලායන සැටි පූර්ණ අවදියෙන් බැලීමයි. අප කරන බොහෝ දේ හා අපගේ අත්දැකීම් බොහොමයක් අවධානයකින් තොරව සිදුවෙයි. මනස මුළුමනින්ම වෙනතක යොමුවී තිබෙයි. දවල් සිහින හා බාහිර කල්පනාවෙන් පිරුණු සිතැතිව අපි ස්වයංක්‍රීයව දුවන රථයක් මෙන් අපගේ කාලයෙන් වැඩි කොටසක් ගතකරමු.

අප බොහෝවිට සැලකිල්ලක් නොදක්වන ජීවිතයේ අංගයක් වන්නේ අපගේ සිරුරේ ක්‍රියාකාරිත්වයයි. හිතේ දුවන වෛවර්ණ කාටූන් සංදර්ශනය අප ආකර්ශනය කර ගන්නා විට ශාරීරික සංවේදනාවලින් අපගේ අවධානය ඉවත යයි. සෑම තත්පරයකදීම ස්නායු හරහා මොළයට තොරතුරු ගලා ගිය ද අපි එය බොහෝ විට අපගේ දැකීමෙන් වෙන්කර තබමු. මනසේ පහළ කොටසට පමණක් ළඟාවන එය ඉන් ඔබ්බට නොයයි. වාන් දොරටු හැර, එයට දැනීම වෙත ළඟාවීම සඳහා බෞද්ධයන් විසින් අභ්‍යාසයක් සකස් කර ඇත. එය තවත් ආකාරයක අසිහිය සිහිගැන්වීකි. (අවිඥානය, විඥානික කිරීමකි)

එක් දිනක් තුළදී ඔබගේ සිරුර සිට ගැනීම, වාඩිවීම, හාන්සිවීම, නැමීම, දිවීම, බඩගෑම, අතපය විහිදීම වැනි නොයෙක් පෙරළිවලට බඳුන් වෙයි. මෙම නිරන්තර නර්තනය ගැන සිහියෙන් සිටීමට අපට භාවනා ගුරුවරු උගන්වති. දවස ගෙවන අතර ඔබගේ ඉරියව් ගැන පරීක්ෂාකර බැලීමට විනාඩි කීපයක් වැය කරන්න. එය විනිශ්චයකින් තොරව සිදුකරන්න. මෙය ඔබගේ ඉරියව්ව නිවැරදි කිරීමේ හෝ ඔබගේ පෙනුම වර්ධනය කිරීමේ අභ්‍යාසයක් නොවේ. ඔබගේ අවධානය සිරුර වෙත යොමු කර එය සිටින ඉරියව්ව ගැන දැනීමක් ඇති කර ගන්න. “වාඩිවී සිටීම” හෝ “ඇවිදීම” හෝ “වැතිරී සිටීම” හෝ “සිටගෙන සිටීම” හෝ මනසින් පවසන්න. මෙය ඉතාමත් සරල ලෙස හැඟුන ද එය සුළුකොට නොතකන්න. මෙය ප්‍රබල අභ්‍යාසයකි. ඔබ සත්‍ය වශයෙන්ම මෙම මානසික පුරුද්ද දියුණු කර ගත්කල ඔබගේ අත්දැකීම්වල පෙරළියක් සිදුවෙයි. මුළු මහත් සංවේදනා තලයම ඔබට විවෘත වන විට අන්ධව සිට නැවත පෙනීම ලැබුවාසේ ඔබට දැනෙනු ඇත.

මන්දගාමී ක්‍රියා

ඔබ සිදුකරන සෑම ක්‍රියාවක්ම වෙන්වූ කොටස්වලින් සැදී ඇත. පාවහන් යුගලයේ ලේස් පටිය ගැට ගැසීම වැනි ඉතා සරල ක්‍රියාවක් සියුම් චලන සංකීර්ණයකින් සෑදී තිබේ. සිහිය ඇතිකර ගැනීමේ පුරුද්ද ඇති කර ගැනීමේ අරමුණින් ඔබගේ ක්‍රියාවන් ඉතා සෙමෙන් සිදුකරන්න.

මේසයක් ඉදිරියේ වාඩිවී, තේ කෝප්පයක් පානය කිරීම උදාහරණයක් ලෙස ගනිමු. එහි අත්දැකීමට බොහෝ දේ ඇත. ඔබ වාඩිවී සිටින ඉරියව්ව දැකගෙන කෝප්පයේ අඬුව ඇඟිලි තුඩුවලින් ස්පර්ශ කරන්න. තේ කෝප්පයේ සුවඳ ආඝ්‍රාණය කර කෝප්පය, තේ, ඔබගේ අත හා මේසය තිබෙන අන්දම දකින්න. අත එසවීමට සිතෙහි ඇති කැමැත්ත දැක, අත එසවී කෝප්පය තොල්පෙති ස්පර්ශ කිරීම හා තේ කට තුළට පිවිසීම දැනගන්න. තේ රස බලා අත පහත හෙලීමේ අභිප්‍රාය සිතේ නැඟෙන අයුරු දැක ගන්න. සියුම් සංවේදනා සිතිවිලි හා හැඟීම් ධාරාව වෙත නොබිඳුණු අවධානය සහමුලින්ම යොමු වූ විට, මෙය සුන්දර හද බැඳ ගන්නා අත්දැකීමක් වෙයි.

මෙම උපක්‍රමය ඔබගේ බොහෝ දිනපතා කටයුතුවලදී පාවිච්චි කළ හැක. සිතාමතා සෙමෙන් සිතීම, කථාකිරීම හා චලනය මඟින් ඒවායේ ගැඹුරට යාමට ඔබට හැකිවෙයි. ඔබ එහිදී සොයාගන්නා දේ පුදුම සහගතවනු ඇත. පටන් ගැන්මේදී මෙලෙස සිතාමතා මන්දගාමීව කටයුතු කිරීම අසීරු වුවද කාලයක් ගතවන විට ඔබ එම නිපුණත්වය අත්කර ගනු ඇත. වාඩිවී භාවනා කරන විට ප්‍රබල අවබෝධයන් ලැබෙනු ඇත. නමුත් එලෙස එදිනෙදා කටයුතු මධ්‍යයේ ද අපගේ ඇතුළාන්ත ක්‍රියාවලිය පරීක්ෂා කිරීමේදී ද එවන් ප්‍රබල අවබෝධවීම් පහළ විය හැක.

අපගේ ම චිත්තවේග හා තද ආශාවන් ක්‍රියාකරන ආකාරය නියමාකාරයෙන් දැකිය හැකි පරීක්ෂණාගාරය මෙයයි. අපගේ තර්කනය කොතරම් විශ්වාසවන්ත ද යන්නත්, අපගේ සැබෑ චේතනාව හා අපත් අනෙක් අයත් රැවටීම සඳහා මතුපිටින් පෙන්වන මවාපෑම අතර තිබෙන වෙනසත් මැන බැලෙන තැනද මෙයයි.

මෙහිදී හමුවන තොරතුරුවලින් සමහරක් විශ්මයජනක හා අනෙක්වා සිත් කරදරයට ද හේතු විය හැක. එහෙත් ඒ සියල්ල ප්‍රයෝජනවත්ය. පිරිසිදු අවධානය මනසේ සැඟවුණු මුළුවල ගොඩගැසී තිබෙන කුණු කන්දල් පිළිවෙළකට සකසයි. එදිනෙදා කටයුතු මධ්‍යයේදී ඔබ පැහැදිලි අවබෝධයක් ලබා ගන්නා අතර අහේතුක මානසික අහුමුළුවලට සිහියේ ආලෝකය දල්වා ශාන්ත බව හා බුද්ධිමත්ව ජීවත්වීමට හැකියාව ලබා ගනියි.

(රැවටිලි හා වැරදි පවිත්‍ර කරන ගින්න ගැන මීළඟ ලිපියෙන් බලාපොරොත්තු වන්න)

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division