ඉතිහාසය යනු අතීතය සහ වර්තමානය අතර නිරන්තර ප්‍රතික්‍රියාත්මක ප්රවණතාවකි. ඉතිහාසඥයා සමකාලීන තත්ත්ව අතීතයට ආරෝපණය කරයි”. මේ නිසා ඉතිහාසය හැදෑරීමට පෙර ඉතිහාසඥයා හදාරන්නැයි ඊ. එච්. කාර් නමැති සුප්‍රකට ඉතිහාසඥයා තම “අතීතය යනු කුමක් ද?” (What is History?) යන කෘතියෙන් තම සිසුනට උපදෙස් දෙයි. ඉතිහාසය යනු හුදු අලස ගණිත අභ්‍යාසයක් නොව බන්දේසියක් මත ඇති නෙක වර්ණයෙන් සහ හැඩතලයෙන් යුත් පබළු සමූහයකට සමාන ය. මේ එක් එක් පබළුව පිළිබඳ අප ගෙන එන ආඛ්‍යානය රඳා පවතිනුයේ මිනිස් පරිකල්පනය මත ය.
අප මෙහෙයවනු ලබන මිථ්‍යා සහ අදහස් මත ය. ජාතිය යනු කුමක් ද? ජාතික ඉතිහාසය යනු කුමක් ද? තමන් කිසියම් සුවිශේෂී වූ ජන කණ්ඩායමක් හෝ ජාතිකයක් ලෙස හඳුනා ගැනීමට යොදා ගන්නා නිර්ණායකය කුමක් ද? ඩයස්පෝරාවක්, ජාතිකයක් හෝ ආගමක් යනු කුමක් ද? මේ කිසිවක් සත්‍ය නොව ප්‍රකෘතිය මත අප විසින් ගොඩනඟා ගත් හුදු මිථ්‍යා විශ්වාස පමණකි.
දැන් අප අපගේ මාතෘකාවට එනම් ඊශ්‍රායලය දෙසට යොමු වෙමු. ගත වූ දෙසතිය මැදපෙරදිග කලාපයට අතිශයින් ප්‍රචණ්ඩකාරී කාලසීමාවක් බවට පත් විය. ඔක්තෝබර් මස 7 වන දින හමාස් සටන්කාමීන් සිය ගණනක් ඊශ්‍රායලයට කඩා වැදී හැකි තරම් යුදෙව්වන් පිරිසක් ඝාතනය කිරීමේ හෝ පැහැරගෙන යාමේ අරමුණක් අප දුටිමු. එහි ප්‍රතිඵලය වූයේ දෙවන ලෝක සංග්‍රාමයේ හොලෝකෝස්ට් නමින් හඳුන්වන ලද නට්සිවාදීන් විසින් යුදෙව්වන් සංහාරය කළ අවදියෙන් පසු එක් දිනක් තුළ සිදු වූ දරුණුතම යුදෙව් ජීවිත විනාශයයි. ඊශ්‍රායල ඉතිහාසයේ දරුණුතම ත්‍රස්ත ප්‍රහාරයෙන් පුද්ගලයන් 1,400කට වඩා මිය ගිය අතර 199 දෙනකු ප්‍රාණ ඇපකරුවන් බවට පත් විය.
“ප්‍රහාරය අශිෂ්ට නම් ප්‍රතිප්‍රහාරවල ශිෂ්ටත්වය මැනීමෙන් වළකින්න” යැයි කියමනක් තිබේ. ඊශ්‍රායලයේ ප්‍රතිචාරය එබඳු ය. අවම වශයෙන් පලස්තීනුවන් 3,000ක් මරා දමමින් ඊශ්‍රායලය ගාසා තීරයට දරුණු ගුවන් ප්‍රහාර එල්ල කරන අතර, ගොඩබිම් මෙහෙයුමක් දියත් කිරීමට සියලු කටයුතු දැන් සූදානම් ය. දැන් යුද්ධයේ දුමාරය විසින් සත්‍යයේ හඬ යටපත් කරමින් සිටී.
ගාසා තීරයේ යුද ගැටුම සහ ඒ හා බැඳුණු සිදුවීම් පෙළ සරලව විස්තර කිරීම කළ නොහැක්කකි, සෑම කතාවක්ම ඊශ්‍රායලය සහ හමාස් අතර සටනකට වඩා එහි කථකයා ගැන බොහෝ දේ හෙළි කරයි. පසුගිය කොලමේ කියූ පරිදිම බොහෝ දෙනා තමන් නිවැරදි යැයි සිතන දෙයට සාක්ෂ්‍ය සපයා ගනු වස් මාධ්‍ය අවකාශයට පිවිසෙති.
අද වන විට, සිදුවීම් සරලව විස්තර කිරීම කළ නොහැක්කකි, සෑම කතාවක්ම ඊශ්‍රායලය සහ හමාස් අතර සටනට වඩා එහි කථකයා ගැන බොහෝ දේ හෙළි කරයි. නිදසුනක් වශයෙන්, ඇතැමුන්ට අනුව ඊශ්‍රායල ජාතිකයන් සමූහ ඝාතනය කිරීම “යුදෙව් විරෝධයක්” ලෙස හැඳින්වීම “ජාතිවාදී” ක්‍රියාවකි. තවත් කෙනකුට අනුව, හමාස් සංවිධානය කළ අපරාධයට පලස්තීන ජනතාව දඬුවම් විඳිය යුතු ය. මේ සංවාදයේ පැති දෙකකි. එකක් නම් ඊශ්‍රායලය යනු නීති විරෝධී ජනපද රාජ්‍යයක් වන අතර එය පලස්තීන සිතියමෙන් අතුගා දැමිය යුතු ය. “ජෝර්දාන නදියේ සිට මහ සයුර දක්වා පලස්තීනය නිදහස් කරගත යුතු ය” – මෙය ජාතික විමුක්ති අරගලයක් නොව, ඊශ්‍රායලය මුලිනුපුටා දැමීමේ ඉල්ලීමකි. හමාස් සංවිධානයේ ප්රඥප්තියට අනුව පලස්තීන ප්‍රදේශවල සියලු යුදෙව්වන් ඝාතනය කළ යුතු ය. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය යොආව් ගෝලන්ට් ට අනුව තම රජය “මිනිස් තිරශ්චීනයන් පිරිසකට එරෙහිව” තමන් සටනක නිරතව සිටී. ඊශ්‍රායල ජනාධිපති ඉසාක් හර්සොග් ප්‍රකාශ කරන අන්දමට ගාසා තීරයේ අහිංසක යැයි සැලකෙන කිසිදු පුරවැසියකු නොමැත. යටත්විජිතවාදයේ සහ ජාතිවාදයේ කාචය හරහා සෑම දෙයක්ම කොටු කළ යුතු යැයි කෙරෙන අවධාරණයකට වඩා උමතු දෙයක් තවත් තිබිය හැකිද?
ගාසා ගැටුම කලාපීය යුද්ධයක් දක්වා වර්ධනය වීමේ අවදානම දිනෙන් දින උග්‍ර වන අතර බයිඩන් පාලනය ඊශ්‍රායලය දක්වන ප්‍රතිචාරය අනුමත කරමින් සිටී. මීට පෙර සිදු වූවාක් මෙන්, බටහිර මාධ්‍ය සහ බටහිර දේශපාලන සංස්ථා ඊශ්‍රායලයට “ආරක්ෂා වීමට අයිතියක් ඇත” යන්න හුවා දක්වමින් ගාසා තීරයට ගොඩබිමෙන්, ගුවනෙන් සහ සයුරින් කෙරෙන මෙහෙයුම් සාධාරණීකරණය කරමින් සිටී. එහෙත්, නෛතික අතින් ගත් කල මේ නිගමනය වැරදි ය: ආරක්ෂා වීමට ඊශ්‍රායලයට අයිතියක් ඇති නමුත්, වරක් බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන් පැවසූ පරිදි ලොව විශාලතම “එළිමහන් සිර කඳවුර තුළ” ගාල් කරනු ලැබ සිටින පලස්තීන සාමාන්‍ය වැසියන්ට එරෙහිව යුද අපරාධ සිදු කිරීමේ අයිතියක් නැත.
ගාසා තීරයේ ජන ජීවිතයට අත්ව ඇති ඉරණම බෙහෙවින්ම හද කම්පා කරවන සුළු ය. ඊශ්‍රායල පාලනය යටතේ ගාසා තීරයේ ජනතාවට ආහාර සැපයුම සිදුවනුයේ නිශ්චිත කැලරි ප්‍රමාණය ගණනය කිරීමෙනි. “එහි අදහස නම්”, ඊශ්‍රායල රජයේ උපදේශක ඩොව් වෙයිස්ග්ලාස් පවසන්නේ “ජනතාව නිරාහාරව තබන නමුත් ඔවුන් සාගින්නෙන් නොමරා සිටීමයි”. ගාසා තීරයේ ජලයෙන් 90% ක්ම බීමට නුසුදුසු තත්වයක පවතී.
ඔක්තෝබර් 07 හමාස් ප්‍රහාරය අනාගත සංග්රාමයන් හි ස්වරූපය මුළුමනින්ම පාහේ වෙනස් කරනු නිසැකය. විස්මයජනක තාක්ෂණික දක්ෂතාව පිළිබඳව අපට ඕනෑවට වඩා විශ්වාසයක් තැබිය නොහැකි බව එය ලොවට යළිත් වරක් පෙන්වා දෙයි. විශාල හමුදා සහ මිල අධික අධි තාක්ෂණික අවි සෑම විටම විසඳුම බවට විශ්වාසයක් දිගින් දිගටම පවතී. නමුත් යථාර්ථය නම් ලාබදායී, අඩු තාක්ෂණික ආයුධ සහිත කුඩා හමුදා විසින් ලෝකය දිගින් දිගටම අස්ථාවරකරණයට ලොව සුපිරි යුද බලවතා වන අමෙරිකා එක්සත් ජනපදය ඩොලර් ට්‍රිලියන ගණනක වියදමින් පවත්වාගෙන යන යුද-කාර්මික-සංකීර්ණය ඕනෑම යකඩ බඩු කඩයක විකිණීමට ඇති ඩොලර් 5ක පෙට්ටි කපන යන්ත්‍ර මඟින් යටපත් කළ හැකි බව අපි දුටිමු. ඊශ්‍රායලයේ නවයයි එකොළහ ප්‍රහාරය, ඩොලර් 60ක් වටිනා සෙල්ලම් ඩ්‍රෝන යානයක්, ඩොලර් 600ක රොකට්ටුයන් සහ ඩොලර් 6,000ක පැරාමෝටරයක් යොදා ගනිමින් ඊශ්‍රායලයේ ඩොලර් බිලියනයක යකඩ ඩෝමය ද ඇතුළුව ලොව ප්රබලතම ආරක්ෂාව යටපත් කළ හැකි බව අපි දුටිමු.
අඟහරුවාදා දහවල් ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් මධ්‍යම ගාසා බළකායේ ප්‍රධානියකු මරණයට පත්විය. ජෙහාඩ් මෙහිසන් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඝාතනයට ලක්වූ බව හමාස් සංවිධානය ද පිළිගෙන තිබේ. හමාස් සාමාජිකයන්ට යටත් වීම සහ මරණය යන දෙකෙන් එකක් තෝරා ගත යුතු බවට ඊශ්‍රායල ආරක්ෂක ඇමතිවරයා අනතුරු අඟවයි. ගාසා තීරයේ වර්තමානයේ උද්ගතව ඇති සිදුවීම් පෙළ සමස්ත මැදපෙරදිග කලාපයට, ලෝකයට මෙන්ම රටක් ලෙස අපට බලපාන්නේ කෙසේ ද යන්න කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. ප්‍රධානම කාරණය නම් ගැටුම විසින් ඇති කරන ආර්ථික බලපෑමයි. ගාසා ගැටුම විසින් ලෝක ආර්ථිකයට ඇති කරන බලපෑම තවමත් අවම මට්ටමක පවතින නමුත්, ගැටුම දිග්ගැස්සීම සහ භූගෝලීය වශයෙන් තවදුරටත් ප්‍රසාරණය වීම ලෝක ආර්ථිකය අඳුරු පැහැ ගන්වනු ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසයි. විශේෂයෙන්ම තෙල් මිල සහ ගෝලීය ආර්ථික වෘද්ධියට එවැනි තත්ත්වයක් මඟින් දැඩි බලපෑම් සිදු කෙරෙනු නිසැකය.
යුද ගැටුම ගාසා තීරයට පමණක් සීමා වුවහොත් දැනට අමෙරිකානු ඩොලර් 93ක මට්ටමක පවතින තෙල් බැරලයක මිලෙහි වැඩි වෙනසක් සිදු නොවනු ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදල සිදු කළ තක්සේරුවලට අනුව, බොරතෙල් මිල සියයට 10කින් වැඩි වුවහොත් ගෝලීය ආර්ථික වෘද්ධිය 0.15%කින් අඩු වන අතර එළැඹෙන වසරේ ගෝලීය උද්ධමනය 0.4කින් ඉහළ යනු ඇත. හමාස් ප්‍රහාරයෙන් අනතුරුව ලෝක වෙළෙඳ පොෙළ් බොරතෙල් මිල 10%කින් වැඩිවී තිබේ.
ඔක්තෝබර් 07 ප්‍රහාරය හුදෙක් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර යුද ගැටුමකට පමණක් සීමාවනු ඇතැයි බොහෝ විශ්ලේෂකයන් මුලදී අපේක්ෂා කළ ද ඊශ්‍රායලයේ උතුරුදිග ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය වැනි සන්නද්ධ කණ්ඩායම්, රුසියාවේ වැග්නර් කණ්ඩායම සහ කලාපීය බලවතකු වන ඉරානය ද ගැටුමට එක්වුහොත් මෙය පුළුල් යුද ගැටුමක් බවට පත්වනු ඇත. අමෙරිකා එක්සත් ජනපද ගුවන් යානා ප්‍රවාහන නෞකා කණ්ඩායම් නැගෙනහිර මධ්‍යධරණී සාගර කලාපයේ ස්ථානගත වෙමින් සිටී. ගාසා ගැටුම මුළුමහත් මැදපෙරදිග කලාපය අස්ථාවරකරණයට ලක් කරන මහා පරිමාණයේ යුද ගැටුමක් බවට පත්වනු දැකීමට අමෙරිකා එක්සත් ජනපදයට, ඉරානයට, ඊශ්‍රායලයට මේ මොහොතේ වුවමනාවක් පවතින බැව් සිතිය නොහැකි ය. එවැනි ගැටුමක් තෙල් වෙළෙඳපොළ අස්ථාවර කොට, අන්තවාදයේ ගිනි දලු අවුළුවමින් යුක්රේනය කෙරෙහි අවධානය වෙනතකට යොමු කරනු ඇති බවට වොෂිංටනයට බියක් පවතී. මැද පෙරදිග පුළුල් කලාපය ද යුද්ධය තවදුරටත් තීව්ර වීමක් අපේක්ෂා නොකරයි. ජෝර්දානය සහ ඊජිප්තුව වැනි අරාබි රටවල් මේ වන විටත් දරුණ සමාජ-ආර්ථික ගැටලු රැසකට මුහුණපා සිටී. පලස්තීන සරණාගතයන් රට තුළට ගලා ඒම එම තත්ත්වය දෙගුණ තෙගුණ කරනු ඇත. ගල්ෆ් කලාපයේ රටවලට ද පැතිර යන යුද්ධයක් තම ආර්ථික අපේක්ෂාවන් බිඳලනු ඇත.
නමුත් ඔක්තෝබර් 17 වන දින ගාසා නගරයේ අවතැන් වූ පලස්තීනුවන් රැඳී සිටි අල්-අහ්ලි රෝහලට එල්ල කෙරුණු ප්‍රහාරයත් සමඟ ගැටුම වඩාත් දිග්ගැස්සෙන ලකුණු දක්නට ලැබේ. ඊශ්‍රායලය ප්‍රහාරයට සම්බන්ධ නැති බවට වොෂිංටනය පැවසුව ද, බහරේනය, ඊජිප්තුව, ජෝර්දානය, මොරොක්කෝව, කටාර්, සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන කලාපයේ සෙසු සියලු රටවල් පාහේ පිපිරීම ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් සිදුවූවක් බවට චෝදනා කරයි. ප්‍රහාරයට විරෝධය පළ කරමින් මැද පෙරදිග ජනතා උද්ඝෝෂණ පැන නැඟී තිබේ. ඔක්තෝබර් 15 දා අල් ජසීරා ප්රවෘත්ති සේවය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඉරාන විදේශ ඇමැති අනතුරු ඇඟවූයේ ගාසා තීරයේ ඊශ්‍රායලයේ මෙහෙයුම් දිගටම පවතින තාක් කල්, “අනෙක් බොහෝ පෙරමුණු විවෘතව තැබීමට බොහෝ දුරට ඉඩ කඩ ඇත” යනුවෙන් ය. ඊශ්‍රායලය “ගාසා තීරයට ඇතුළු වීමට තීරණය කළහොත්, ප්‍රතිරෝධී නායකයින් එය ඊශ්‍රායල සොල්දාදුවන්ගේ සොහොන් පිටියක් බවට පත් කරනු ඇත”, ඉරාන උත්තරීතර නායක අලි කමේනි තර්ජන කරන අතර, ගාසා තීරයට ඊශ්‍රායල ප්‍රහාර දිගටම පැවතුණහොත් ඉරානය තම සටන්කාමීන් වළක්වනු ඇතැයි “කිසිදු අපේක්ෂාවක්” තබා ගත යුතු නැතැයි අවධාරණය කරයි.
Capital Economics නමැති පර්යේෂණ ආයතනයේ ආර්ථික විද්‍යාඥ නිකොලස් ෆාර් පවසන අන්දමට “ඉරානයේ සහාය ලත් හිස්බුල්ලා සංවිධානය ලෙබනනයේ සිට ඊශ්‍රායලය සමඟ මිසයිල ප්‍රහාර හුවමාරු කර ගනිමින් සිටින අතර, ගැටුමේ නව පෙරමුණක් විවෘත වීමේ අවදානමක් පවතී. ඉරානය යුද්ධයට ඇද දැමුවහොත් එමඟින් ලොව බලශක්ති සැපයුම කඩාකප්පල් වීම සහ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් විශාල ගෝලීය අවදානමක් නිර්මාණය කරනු ඇත. LNG (ද්‍රව ස්වභාවික වායු) අපනයනයට බාධාවක් සිදුවුවහොත් ස්වාභාවික ගෑස් මිලට ද එමඟින් බලපෑම් ඇති විය හැකිය.
OMFIF චින්තන පර්ෂදයට අදහස් පළ කරමින් මෙග්නාඩ් දේසායි නමැති ප්‍රකට ආර්ථික විද්‍යාඥයා කියා සිටින්නේ ලෙබනනය, ඊජිප්තුව සහ සිරියාව මෙන්ම අනෙකුත් අරාබි රාජ්‍ය පැටලි ඇති පුළුල් කලාපීය ගැටුමක් උද්ගත වීමේ අවදානමක් පවතින බවයි. එවැනි තත්වයක් තුළ, එක්සත් ජනපදයේ සහ යුරෝපයේ උද්ධමනය යළිත් ඉලක්කම් ද්විත්වයකට යවමින් තෙල් බැරලයක මිල ඩොලර් 150 දක්වා ළඟා විය හැකි බව දේසායි පවසයි. ගෝලීය අවපාතයක තර්ජන හමුවේ මහ බැංකුවලට සිය පොලී අනුපාත අඩු කිරීමට සහ ප්‍රමාණාත්මක ලිහිල් කිරීමේ වැඩසටහන් යළි ආරම්භ කිරීමට සිදුවනු ඇත.
තෙල් බැරලයක මිල ඩොලර් 150 දක්වා ළඟා වීමට නම්, ගෝලීය වෙළඳපොළ වෙත බොරතෙල් ගලා යාමට බාධා සිදු විය යුතු අතර, එය බොහෝ විට ලොව තෙල් සැපයුමෙන් 20% ක් පමණ දිනපතා ගලා යන හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමෙන් සිදු විය හැකිය. ලොව විශාලතම තෙල් අපනයනකරු සහ ඔපෙක් සංවිධානයේ ප්‍රධානතම රට ලෙස සෞදි අරාබියට එහිලා තීරණාත්මක කාර්යභාරයක් පැවරෙනු ඇත. සෞදි අරාබියට තෙල් මිල ඉහළ මට්ටමක පවත්වා ගෙන යාමේ අභිලාෂයක් පවතින නමුදු එය ගෝලීය අවපාතයක් ඇති කරන තරම් ඉහළ මට්ටමකට නොයා යුතු බැව් සෞදි බලධාරීහු දනිති. මක්නිසා ද යත්, එවැනි තත්වයක් තෙල් මිල කඩා වැටීමකට හේතුවනු ඇති බැවිනි.
අවසාන වශයෙන්, මැදපෙරදිග කලාපයේ ආතතීන් ප්‍රයෝජනයට ගනිමින් චීනය තායිවානයට එරෙහිව අවහිරතාවක් පැන වුවහොත් මැද පෙරදිග ගැටුම තුන්වන ලෝක යුද්ධයක් බවට පරිවර්තනය වනු ඇතැයි ඉතිහාසඥ නියෝල් ෆර්ගියුසන් අනතුරු අඟවයි. න්‍යෂ්ටික අවිවලින් බැහැරව සාම්ප්‍රදායික ක්‍රමවලින් සටන් කළ ද, ලොව විශාලතම ආර්ථික දෙක අතර යුදමය ගැටුමක් ගෝලීය සැපයුම් දාම බිඳ වැටීමට තුඩු දෙනු ඇත. එවැනි තත්වයක් 1930 දශකයේ ලොව මුහුණ දුන් මහා අවපාතය බඳු දෙවන මහා අවපාතයක් දක්වා අප රැගෙන ගොස් ඇතුළුව ව්‍යසනකාරී ආර්ථික ප්‍රතිවිපාක ජනිත කරනු ඇත.