ලෝකයේ අනාගතය සැලසුම් වන්නේ පවතින යථාව මත පිහිටා සිදු කරන විද්‍යාත්මක පුරෝකථන මඟිනි. බලශක්තිය මත පැවැත්ම කේන්ද්‍ර වූ ලෝකයක බලශක්ති අර්බුදයක් යනුම සමස්තය බිඳ වැටීමකි. තවමත් ලෝකයේ ප්‍රධානම බලශක්ති ප්රභවය පොසිල ඉන්ධනය. එහෙත් ඒ් මත යැපීම යනු තවත් සියවසකට මෙපිට කාලයක දී මානව ශිෂ්ටාචාරය බිඳ දමන නිශ්චිත අවදානමක් සලකුණු කිරීමකි. ලෝකය පුනර්ජනනීය බලශක්තිය විෂයෙහි නිශ්චිත සැලසුමක් සහිතව ගමන් කරමින් සිටින්නේ එබැවිනි. මේ බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රලපනාව ඒ් හා සම්බන්ධව කළ සාකච්ඡාවක් ඇසුරෙන් සකස් කරන ලද ලිපියකි.
ලෝකයම මේ මෙහොත වනවිට පුනර්ජනනීය බලශක්තිය කරා ගමන් කරමින් සිටී. සමහර රටවල් වේගයෙන් ඒ ඉලක්ක අත්පත් කරගෙන ඇත. තවත් රටවල ගමන මන්දගාමීය. අප ඒ බොහෝ මන්දගාමී කාණ්ඩයට වැටී ඇත්තේ විශේෂයෙන්ම පුද්ගල බද්ධ පසුගාමීත්වය මෙන්ම ජාතියක ප්රගමනය සම්බන්ධ අදහසකින් තොර අගතිගාමි ආත්මාර්ථය නිසා බව පෙනේ.
මක්නිසාද යත් මේ රටේ පිහිටීම, ස්වභාවික සම්පත් ප්‍රමාණය තක්සේරු කළහොත් නිශ්චිත සැලසුමක් සහිත වන්නේ නම් පුනර්ජනනීය බලශක්තියෙන් සියයට සියයක ආවරණයක් ලබා දිය හැකි විභවයක් රට තුළ ඇති බැවිනි දැනට ලෝකයේ බලශක්තිය ලබා ගන්නා ප්‍රධාන ප්‍රභවයන් තුනකි.
1. පොසිල ඉන්ධන මත යැපෙන බලශක්තිය. – ප්‍රධාන ලෙස පොසිල ඉන්ධන ලෙස භාවිත කරන්නේ ගල් අඟුරු, ඛනිජ තෙල්, සහ ස්වභාවික වායු (LNG) පොසිල වායුව (LPG) මේ යටතට ගැනේ. මෙම බලශක්ති ප්‍රභව ලබා ගන්නේ පොළොව යටිනි.
2. න්‍යෂ්ටික බලශක්තිය
3. පුනර්ජනනීය බලශක්තිය
දැව අඟුරු සහ දැව සහ ගින්දර ඇසුරින් බලශක්තිය උපදවාගෙන ශිෂ්ටාචාරය ආරම්භ කළ මිනිස්සු අනතුරුව පොසිල ඉන්ධන, න්‍යෂ්ඨික බලශක්තිය හරහා පුනිර්ජනනීය බලශක්තිය සිය ප්‍රධාන බලශක්ති ප්රභවය බවට පත් කරගැනිමේ අවස්ථාව වෙත පැමිණ සිටී. පුනර්ජනනීය බලශක්තිය යන පදයෙහිම ගැඹුරු බලාපොරොත්තුවක් තිබේ. එහි අර්ථයම කෙළවරක් නොමැති බලශක්ති ජනනයකි. නැවත නැවතත් ජනනය කළ හැකි නොසිඳෙන බලශක්තියකි. පොසිල ඉන්ධනය යනු සීමිත සම්පතකි. එය නිශ්චිත කාලයක නිමා වන්නේය. නමුත් සුළඟ, ඉරු එළිය, ජලය සම්බන්ධව බලශක්ති ජනනය ඊට වෙනස්ය. එහි සර්වකාලීන බවක් තිබේ.
දැනට ප්‍රධාන පුනර්ජනනී බලශක්ති ප්රභවය ජල විදුලිය ය. දෙවැනුව සූර්ය බලය ය. තෙවැනුව සුළං බලය ය. මුහුදු රළ මතින් වඩදිය බාදිය ස්වභාවික සංසිද්ධිය නිසා උපදින බලයෙන් විදුලිය උත්පාදනය කිරීම ද සිදු කරනු ලබයි.
පුනර්ජනනීය බලශක්තිය විෂයෙහි ලෝකයේ නැඹුරුව
මුලින් ප්‍රකාශිත ආකාරයට තවමත් ලෝකයේ වැඩිපුරම භාවිත කරන බලශක්ති ප්රභවය පොසිල ඉන්ධනය. කෙසේ වුවද පසුගිය පස් වසර තුළ ලෝක පරිමාණයෙන් ගතහොත් වැඩිම නැඹුරුව පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි යොමු වී තිබුණු ආකාරය නිරීක්ෂණය විය. පසුගිය පස් වසර සම්බන්ධව ලෝක මට්ටමින් කරන විමසීමක දී පෙනී යන්නේ පද්ධතිවලට අලුතින් එක්වන ජනන සියයට අසූවක් පමණ එක් වන්නේ පුනර්ජනනීය බලශක්ති ප්රභවයන්ගෙනි.
සෑම වසරකම පුනර්ජනනීය බල ශක්තිය ඉතා ශීඝ්‍රව ප්‍රතිශතයක් ලෙසත් පූර්ණ අගයක් වශයෙනුත් වැඩි වෙමින් ඇත. මීට අමතරව නිරීක්ෂණය වන වැදගත්ම පරිවර්තනය නම් ලෝකයේ දැනට ක්‍රියාත්මක පොසිල ඉන්ධනවලින් ක්‍රියාත්මක බලාගාර වෙනුවට පුනර්ජනීය බලශක්තිය උපදවන බලාගාර බවට පරිවර්තනය වීමය. වැඩි වශයෙන් දියුණු වෙමින් ඇත්තේ සූර්ය බලශක්ති ජනනය ය. සුළං බලාගාර තවත් පසෙකින් දියුණු වෙමින් තිබේ. මේ ප්‍රවණතාව මත ලෝකයේ අපට නිරීක්ෂණය කළ හැක්කේ පොසිල ඉන්ධන බලාගාර මෙන්ම න්‍යෂ්ටික බලාගාර වැසීගෙන යන ආකාරය ය. ලෝකය ඉතාම ශීඝ්‍රයෙන් කෙටි කාලයක් තුළ බලශක්තිය විෂයෙහි පරිවර්තනීය වෙනසකට ගමන් කරමින් ඇත. එය මියුරු සුබ ලකුණකි.
මේ වනවිට ඇතැම් රටවල් එම වෙනස තියුණු ලෙස සාක්ෂාත් කරගෙන තිබේ. උදාහරණයක් ලෙස ජර්මනිය මේ වනවිට වාර්ෂික විදුලි ජනනයෙන් සියයට පනහකට ආසන්න ප්‍රමාණයක් උපදවන්නේ පුනිර්ජනනීය බලශක්ති ප්රභවයන්ගෙනි. ඔස්ට්‍රේලියාවේ පුනර්ජනනීය බලශක්ති ජනනය වාර්ෂිකව සියයට හතරකින් වැඩිවී ඇත.
අපට පුනර්ජනනීය බලශක්තිය ප්‍රධාන බලශක්ති ප්රභවය කරගත හැකිද යන්න නොව, එය නියතවම අත් කරගත යුතු ඉලක්කයක් බව කිව යුතුව ඇත. ලෝකයම මේ මෙහොත වනවිට පුනර්ජනනීය බලශක්තිය කරා ගමන් කරමින් සිටී. සමහර රටවල් වේගයෙන් ඒ ඉලක්ක අත්පත් කරගෙන ඇත. තවත් රටවල ගමන මන්ඳගාමීය. අප ඒ බොහෝ මන්ඳගාමී කාණ්ඩයට වැටී ඇත්තේ විශේෂයෙන්ම පුද්ගල බද්ධ පසුගාමීත්වය මෙන්ම ජාතියක ප්රගමනය සම්බන්ධ අදහසකින් තොර අගතිගාමී ආත්මාර්ථය නිසා බව පෙනේ. මක්නිසාද යත් මේ රටේ පිහිටීම, ස්වභාවික සම්පත් ප්‍රමාණය තක්සේරු කළහොත් නිශ්චිත සැලසුමක් සහිත වන්නේ නම් පුනර්ජනනීය බලශක්තියෙන් සියයට සියයක ආවරණයක් ලබා දිය හැකි විභවයක් රට තුළ ඇති බැවිනි.
මධ්‍යම කඳුකරය හැරෙන්න අනෙක් හැම පළාතකටම තුන්සිය හැටපස් දවස පුරා හිරු එළිය තිබේ. සූර්ය බලශක්තිය කදිම ප්‍රභවයක් බවට පත් කරගත හැකිය. විශාල සූර්ය බලාගාර සඳහා ඉඩක් නොමැති නම් වහල මත සවිකරන සූර්ය පැනල, ජලාශ මත පාවෙන බලාගාර, මුහුදු දිය මත පාවෙන බලාගාර නිර්මාණය කළ හැකිය. සුළං බලය ගත්තොත් ලංකාවේ වයඹ පළාතේ සිට උතුරු පළාත දක්වාත් යළි නැඟෙනහිර පළාත දක්වාත් මුහුදු වෙරළ තීරයේ සුළං බලයෙන් විදුලිය ජනනය කළ හැකි කුඩා බලාගාර ඉදිකිරීමේ හැකියාවක් තිබේ.
මන්නාරම සිට පුනරීන් ආශ්‍රිතව සුළං විදුලි බලාගාර ඉදිකිරීමට ඉතාම උචිත ස්ථාන තිබේ. උතුරු මැද පළාත තුළත් එවැනි විභව ඇත. දකුණු පළාතේ මාතර හම්බන්තොට ආශ්‍රිතව සුළං විදුලි බලාගාර සඳහා කදිම බිම් හඳුනා ගත හැකිය. සුළං විදුලි බලාගාර සඳහා උචිත භූමි මධ්‍යම කඳුකරයෙත් පිහිටා ඇත. රට වටේම ඇත්තේ මුහුදය. මුහුද මත සවි කළ හැකි බලාගාර නිර්මාණය කළ හැකිය. ශ්‍රී ලංකාව යනු ජල විදුලිය උපරිම ධාරිතාවකින් භාවිත කරන රටකි. පුද්ගලික කුඩා ජල විදුලි බලාගාරවලින් ඇති කරන ජනනයත් සමඟ රටේ වාර්ෂික විදුලි ජනනයෙන් සියයට 40ක් නිෂ්පාදනය වන්නේ ජල විදුලියෙනි.
එසේ නම් අපට සියයට සියයක පුනර්ජනනීය බල ශක්තියට යෑමට ඇති සුවිශේෂ බාධාවක් නොපෙනේ. අවශ්‍ය අවංක අධ්‍යාශය සහ නිශ්චිත සැලසුමක් පමණි. රටේ සෑම කාලයකම පුනර්ජනනීය විදුලිය නිෂ්පාදනය කළ හැකි ප්‍රභව තිබේ. උදහරණයක් ලෙස වසරේ මේ වකවානුවේ සුළං සහ වර්ෂාව තිබේ. ජලය නොමැති අගෝස්තුව ගතහොත් සුළං මෙන්ම සූර්ය බලශක්තියත් ඇත. මාර්තු අප්‍රේල් වකවානුවේ සුළං සහ වර්ෂාව නොමැති වුවත් සූර්ය බලය තිබේ. එසේ නම් එය සිදු නොවන්නේ ඇයි?
ආකල්පමය ස්වරූපය
විශේෂඥයන්ගේ නිරීක්ෂණය අනුව ලංකාවේ පුන්ර්ජනනීය බලශක්තිය වැඩි දියුණු නොවීමේ ප්‍රමුඛතම බාධකය විදුලිබල මණ්ඩලයේ ආචීර්ණකල්පිත අදහස්වල ස්වරූපය ය. පුනර්ජනනීය බලශක්තිය විෂයෙහි කලක සිට විරෝධයක් මතු කළ ප්රමුඛ කණ්ඩායම විදුලිබල මණ්ඩලය තුළ වේ. ඔවුන්ගෙන් බහුතරය තවමත් ඒ ආකල්පයේම රැඳී සිටිති.
අපේ රටේ නෛතික රාමුව මත විදුලිය මිලට ගැනීම සහ ඒ සඳහා අනුමත ටෙන්ඩර් පටිපාටිය ක්‍රියාත්මක කළ යුත්තේ විදුලි බල මණ්ඩලය විසිනි. එම ටෙන්ඩර් පටිපාටිය උනන්දු සහගතව පුනර්ජනනීය බලශක්තිය විෂයෙහි ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව විදුලිබල මණ්ඩලයට චෝදනා එල්ලවී තිබේ. උදාහරණයක් වශයෙන් පහුගිය 2015 වසරේ සිට මෙගා වොට් 30 -40 දක්වා විදුලි ජනනයක් සිදු කරන සුළං බලාගාර ටෙන්ඩර් කිරීම ආරම්භ වූයේය. විදුලි බල මණ්ඩලයම මෙගාවොට් එකක 103ක බලාගාරයක් මන්නාරම ඉදි කළේය. එම බලාගාර අවසන් වන්නේ වර්ෂ 2023 දී ය.
සියඹලාන්ඩුවේ මෙගාවොට් 100 සූර්ය බලාගාරයක් ඉදිකිරීමට සැලසුම් කළේය. ඒ වර්ෂ 2017 දී ය ටෙන්ඩරය නිකුත් වන්නේ වර්ෂ 2023 දීය. ටෙන්ඩරයක් නිකුත් කිරීමට පමණක් අවුරුදු 06ක් ගත වී තිබිණි. ඉන් එපිට හෝ මෙපිට කිසිම පුනර්ජනනීය බලශක්ති සැලසුමක් නැත.
නමුත් වර්ෂ 2030 වනවිට රටේ බලශක්ති ජනනයෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තිය විය යුතු බවට කැබිනට් අනුමැතියක් සහිත යෝජනාවකින් රටේ ප්‍රතිපත්තිය ප්‍රකාශ වන්නේ වර්ෂ 2020 දී ය. නමුත් ඒ සඳහා අප යන ප්‍රායෝගික ගමන කුමක්දැයි ගැටලුවක් මතුවී තිබේ.
රජයේ ප්‍රතිපත්තිය අනුව සියයට හැත්තෑවක් පුනර්ජනනීය බලශක්තියෙන් පූරණය වීමට නම් තවත් මෙගාවොට් 3000ක සූර්ය බල ශක්තියක් සහ සුළං බලයක් එක් විය යුතුව ඇත. අප මේ ඉන්නේ 2023 අග භාගයේය. එසේ නම් තව වසර 07කින් එම ඉලක්කය සපුරා ගැනීම සඳහා වාර්ෂිකව මෙගාවොට් 450ක් සඳහා පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති රටේ ඇති කළ යුතුය. ඒ සඳහා මේ සඳහා නෛතික අධිකාරිය සහිත විදුලිබල මණ්ඩලයේ සැලසුම කුමක් ද? පසුගිය වසරේ කොපමණ ධාරිතාවක් සඳහා ටෙන්ඩර් නිකුත් කළා ද? මේ වසරේ කළේ කුමක් ද?ලබන වසරේ සැලසුම කුමක් ද? ටෙන්ඩර් තබා ස්ථානීය හඳුනා ගැනීම්වත් කර ඇති දැයි සැක සහිතය. අප තවමත් පුනර්ජනනීය බලශක්තිය වෙත ගමන් කර නැත්තේ මේ පසුගාමී හැසිරීම්වල ප්‍රතිඵලය ලෙසය.
නමුත් ලෝකය මීට වඩා වෙනස් බව කිව යුතුව තිබේ. වර්ෂ 2034 වනවිට ගිගාවොට් 450ක පුනර්ජනනීය විදුලි ජනනයට යෑමේ ඉලක්කයක් ඉන්දියාව සතුව ඇත. ඒ වෙනුවෙන් විශේෂ ආයතනයක් එහි පිහිටා තිබේ. ඔවුහු සෑම වසරකම ගිගාවොට් 30ක් ටෙන්ඩර් මඟින් ලබාදී විදුලි ජනනය සඳහා ආයෝජකයන්ට අවස්ථාව සලසති.
අපේ රට තුළ ප්‍රතිපත්තියක් ජාතික වශයෙන් හඳුන්වා දුන්න ද එය ක්‍රියාත්මක කිරීම සඳහා වූ බලගතු ක්‍රමවේදයක් නොමැතිකමේ අඩුව විද්වත්හු දකිති. මේ ප්‍රමාදය අවසාන වශයෙන් සිදු කරන්නේ පොසිල ඉන්ධන වැඩි වශයෙන් භාවිත කරමින් විදුලිය උත්පාදනය කර දරාගත නොහැකි විදුලි බිලක් පාරිභෝගිකයයන් මත පැටවීමය.
පුනර්ජනනීය බලශක්තිය වෙත රට ගමන් කළ යුත්තේ ඇයි?
ලෝකයේ ඕනෑම රටක ලාබම විදුලි ප්රභවය පුනර්ජනනීය බලශක්තිය ය. පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් පද්ධතියට එක් වනවිට එහි පිරිවැය අඩු වන්නේය. පාරිභෝගිකයකුට විදුලියට ගෙවීමට ඇති මිල අඩු වන්නේය.
සරල උදාහරණයක් දැක්විය හැකිය. දැනට මේ රටේ විදුලි ජනනයෙන් සියයට 10ක කොටසක් ලැබෙන්නේ සූර්ය බලය, සුළං බලය සහ ජල විදුලි බලයෙන් විදුලිය ජනනය කරන කුඩා බලාගාර හිමි ව්‍යවසායකයන් අතිනි. ඔවුන් ජනනය කරන විදුලි ඒකකයක මිල රුපියල් 19කි. ගල් අඟුරු බලාගාරයක නිපදවන විදුලිය ඒකක එකක වියදම රුපියල් 30කි. ඛණිජ තෙල් මඟින් නිපදවන විදුලිය ඒකකයක වියදම රුපියල් 50කි.
මේ තත්ත්වය තුළ කුඩා පුනර්ජනනීය බලාගාර හිමි ව්‍යවසායකයන්ගෙන් ජාතික පද්ධතියට එක් කරන සියයට 10ක විදුලිය සියයට 20ක් දක්වා පමණක් වැඩිකළොත් රටට ඉතිරි වන විදුලි ජනන පිරිවැය බිලියන 45කි. එම බිලියන 45ක වාසිය ඇත්තේ පාරිභෝගිකයන්ටය.
අනෙක් කාරණාව පොසිල ඉන්ධන එකක්වත් ලංකාවේ නැත. ඒ සියල්ල ආනයනය කළ යුතුය. පුනර්ජනනීය බලශක්තිය සවිමත් කළහොත් ඒ විදේශ විනිමය ලංකාවට ඉතිරි වන්නේය. තෙවනුව කුඩා පුනර්ජනනීය විදුලි බලාගාර ක්ෂේත්රයේ ආයෝජනය කීරීමට ප්‍රිය ව්‍යවසායකයෝ රට තුළ සිටිති. ඔවුහු ලංකාවේ නැති අවකාශ සොයාගෙන විදේශවලට යති. විනිවිද පෙනෙන ක්‍රමවේදයක් සලසන්නේ නම් මේ මුදල් ආයෝජනය වනු ඇත්තේ ලංකාවේය. මේ ආශ්‍රිතව දැවැන්ත රැකියා අවස්ථා නිර්මාණය විමේ නියත අවකාශයක් ඇත. මේ කාරණා තුන පමණක් ගැඹුරින් විමසන්නේ නම් සියලු දේ අත්හැර මේ සැලසුම් ප්‍රායෝගික කිරීමට තරම් වැදගත් ප්‍රමුඛතාවක් ඇති බව පෙනී යන්නේය.
යහපත් අනාගතයක් අපේක්ෂාවෙන් යෝජිත රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ අවකාශ නැවත වරක් රජයටම සොයන්නට වීම අභාග්‍යයක් බව ලියා තැබිය යුතුය.
ටානියා මෝසස්