විවිධ දක්ෂතා ඇති versatile පුද්ගලයෝ ලොව කොතෙකුත් සිටිති. ශ්‍රී ලංකාවේ ද එමටය. එකිනෙකට හාත්පසින්ම වෙනස් ක්ෂේත්‍ර ඔස්සේ එක හා සමානව ලොව ජයගත් එවැනි පුද්ගලයන් ගැන අන්තර්ජාලයේ තොරතුරු රැසකි. ඒ අතුරින් එක් පුද්ගලයකු විශේෂිතව නම් කළ නොහැකිය. කෙසේ වුවත් ඉතිහාසයේ විශිෂ්ටතම බුද්ධිමතා නොඑසේ නම් versatile හෝ genius පුද්ගලයා ලෙස ජාත්‍යන්තරයේ පිළිගැනීමට ලක් වී සිටින්නේ ලියනාඩෝ ඩා වින්චි ය. හෙතෙම චිත්‍ර හා මූර්ති ශිල්පියකු ලෙස ප්‍රකට වූව ද, ඉතාලි ජාතික මහා ප්‍රාඥයා ලෙස කීර්තියට පත් වූයේ ගෘහ නිර්මාණ ශිල්පියකු, සංගීතඥයකු, ගණිතඥයකු, නව නිපැයුම්කරුවකු සහ තවත් ඉසව් ගණනාවකින් පරතෙරටම යෑමෙනි.
වැඩි දෙනකු නොදන්නා හංගේරියානු ගණිතඥයකු වන පෝල් වොන් නියුමන් ද එවැනි ප්රතිභාවන්තයෙකි. පරිගණක සඳහා භාවිත කළ හැකි වොන් නියුමන් ආකෘතිය ලොවට හඳුන්වා දුන් මේ ගණිතඥයා ඉතිහාසයට එක් වී සිටින්නේ ඉලෙක්ට්‍රොනික ඩිජිටල් පරිගණකය ලොවට හඳුන්වා දීමේදී තීරණාත්මක භූමිකාවක් ඉටු කිරීමෙනි. එහෙත් ඔහු ගෘහ නිර්මාණ ශිල්පියකු, භෞතික විද්‍යාඥයකු, පරිගනත විද්‍යාඥයකු සහ ඉංජිනේරුවරයකු බව දන්නේ අතළොස්සකි.
එවැනි එකිනෙකට හාත්පසින්ම වෙනත් ක්ෂේත්‍ර ඔස්සේ හැකියාවන් විදහා දැක්වූ ප්‍රතිභාපූර්ණ පුද්ගලයන්ගෙන් ශ්‍රී ලංකාවට ද අඩුවක් නැත. එවැනි ප්රතිභාවන්තයන් පිළිබඳ මෙරට ජනතාව අතර ජනප්‍රිය පුද්ගලයෝ වෙති. සිය ප්‍රධාන ක්ෂේත්රය හා සබැඳුණු වෙනත් ක්ෂේත්රවලින් මෙන්ම ඊට හාත්පසින්ම වෙනස් ක්ෂේත්‍ර ඔස්සේ ඉහළට ගිය කීර්තිමත් පුද්ගලයෝ ශ්‍රී ලංකාවේ බොහෝ වෙති.
හැත්තෑව දශකයේ මෙරට ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රිකට් ක්‍රීඩක සුනිල් වෙත්තිමුණි ඊට කදිම නිදසුනකි. ගුවන් යානා පදවන ක්‍රිකට් ක්‍රීඩකයන් පිළිබඳ එතෙක් කාලයක් අසා නොතිබුණු ශ්‍රී ලාංකියන් අතර සුනිල් වෙත්තිමුණු අසාමාන්‍ය චරිතයකි. 1975 වසරේ එංගලන්තයේ පැවැති මංගල එක්දින ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ සුනිල් වෙත්තිමුණි පසුකලෙක 1996දී අර්ජුන රණතුංගගේ නායකත්වයෙන් එක්දින ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පාකිස්තානයේ සිට කොළඹට පියාසර කළ ගුවන් යානය පදවාගෙන පැමිණියේ සුනිල් වෙත්තිමුණිය.
ඒ හැරුණු විට ගීත ගයන වෛද්‍යවරු සහ පොලිස් නිලධාරින්, පොත් ලියන විනිසුරුවරු මෑත ඉතිහාසයේ අඩුවක් නැත. අහසට පොළොව මෙන් හාත්පසින්ම වෙනස් ක්ෂේත්‍ර ඔස්සේ එසේ නිම් වළලු පුළුල් කරගත් ජනප්‍රිය ශ්‍රී ලාංකිකයන් අතර බොහෝ දෙනකු නොදන්නා අපූරු ප්‍රතිභාවන්තයෝ ද අපමණ වෙති.
පිට්සා ඔස්තාර්ලා රජ කරන ඉතාලියේ විශිෂ්ටතම පිට්සා සූපවේදියා ලෙස පසුගිය වසරේදි සම්මානයට පාත්‍ර වී ජාත්‍යන්තර පිට්සා තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනූ ශ්‍රී ලාංකික අමල් සතරසිංහ එවැනි ප්‍රතිභාසම්පන්න අප්‍රකට පුද්ගලයෙකි. සූප ශාස්ත්‍රය ඔහුගේ ක්ෂේත්රය වුවද හෙතෙම ඉතාලි ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලියාපදිංචි නොම්මර එකේ ක්‍රිකට් විනිසුරුවරයෙකි. කොළඹ නාලන්දා විදුහලෙන් ක්‍රිකට් පිටියට බිහි වූ ඔහු කලක් සංගීත කණ්ඩායමක ගායකයකු ලෙස ද කටයුතු කළේය.
එසේ වුවත් ක්‍රිකට් ඇතුළු ක්‍රීඩා ක්ෂේත්‍ර ගණනාවකින් දස්කම් දක්වමින් ද, නාට්‍ය හා රංග කලාවෙන්, ගායනයෙන් සිය හැකියාවන් උරගා බලමින් ද, ජායාරූපකරණයෙන් ජාත්‍යන්තර සම්මාන දිනා ගනිමින් ද ක්ෂේත්‍ර ගණනාවකින් නිම් වළලු පුළුල් කරගත් භූ භෞතික විද්‍යඥයකු වන නිමල් තරේන්ද්ර අබේධීර ජයවික්‍රම ගැන දන්නේ අතළොස්සක් පමණි. මේ ප්රතිභාවන්තයා එවකට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ භූ භෞතික විද්‍යාඥයකු ලෙස වසර 35ක සේවා කාලයක් ගත කිරීමෙන් පසු සිය ජීවිතයේ සැඳෑ සමයේදී සාහිත්‍ය ක්ෂේත්රයටත් පිවිසි සිටී. ඔහුගේ නවතම කෘතිය ‘ටකරන් මඩුව‘ කාව්‍ය සංග්‍රහය දොරට වැඩියේ ඊයේ පෙරේදාය.
ඔහු පවුලේ සහ හිතමිතුරන් අතර ප්රකටව සිටියේ ‘බනී‘ නමිනි. එය ඔහු බහ තෝරන වියේදී කී පළමු වදන විය. මාතර, වලස්මුල්ලේ උපන් ‘බනී‘ ගාල්ලේ මිහිඳු විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනයට මහින්ද විදුහලට ඇතුළත් වීමෙන් පසු කැපී පෙනෙන සිසුවකු බවට පත් වූයේ ද මේ අපූරු හැකියාවන් මුවහත් වීම නිසාය.
පාසලේදී අධ්‍යාපනයට පමණක් නොව ක්‍රීඩාවටත් එකසේ දස්කම් පෑ හෙතෙම හැටේ දශකයේ අගභාගයේදී පාසලේ පළමු පෙළ ක්‍රිකට් පිලේ ආරම්භක වේගපන්දු යවන්නා බවට පත් විය. ඔහු 1967 වසරේ රිච්මන්ඩ් – මහින්ද ‘ආදරවන්තයන්ගේ සටන‘ මහා ක්‍රිකට් තරගයේදී සිය වේගපන්දුවෙන් කඩුලු 4 ක්ම දවාලමින් මහින්ද විදුහල් පිල පරාජයෙන් බේරා ගත්තේ තරගයේ දක්ෂතම පන්දු යවන්නා බවට ද පත්වෙමිනි. ඩී. එල්. එස්. ද සිල්වා, අතුල සමරසේකර, ජයනන්ද වර්ණවීර, උපුල් චන්දන, ලසිත් මාලිංග වැනි විශිෂ්ට ක්‍රීඩකයන් ජාතික තලයට බිහි කළ මහින්ද විදුහල් පිලේ ගෞරවය රැක දුන් බනී ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව පාපන්දු, මලල ක්‍රීඩා, රග්බි වැනි ක්‍රීඩාවලින් ද සිය විදුහලට කීර්තියක් අත්කර දුන්නේය.
ඔහුගේ ක්‍රීඩා දස්කම් වැඩිපුර කතාබහට ලක් වූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්වීමෙන් පසුවය. එහිදී ඔහු ජිම්නාස්ටික්, මල්ලවපොර සහ කරාටේ ක්‍රීඩාවෙන් ද විශිෂ්ට දස්කම් පෑ අතර, හෙල්ල වීසි කිරීමෙන් වාර්තා දෙකක් ද පිහිටුවීමට සමත් විය. ඔහු 1973 වසරේදී රුසියාවේ මොස්කව් නුවර පැවැති විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළ නියෝජනය කළ ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල කණ්ඩායමේ නායකත්වය දැරූ අතර, එම වසරේදීම පිලිපීනයේ පළමුවරට පැවැති ආසියා මලල ක්‍රීඩා ශූරතාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ඇතුළත් වූයේ එම වසරේදී හෙල්ල වීසි කිරීමෙන් සමස්ත ලංකා පළමු ස්ථානය දිනා ගත් බැවිනි. ඔහු විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබූ අවධියේදී සරා කුසලාන ක්‍රිකට් තරගාවලියට මෙන්ම ක්ලිෆර්ඩ් කුසලාන රග්බි තරගාවලියට ද ක්‍රීඩා කළේය. ඔහු 1973 වසරේදී මොස්කව් නුවර විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළට එක් වූයේ මල්ලවපොර තරගයකදී අතක් විසන්ධි වී ප්‍රතිකාර ගනිමින් සිටියදීය.
විශ්වවිද්‍යාලයේදී ක්‍රීඩා ක්ෂේත්‍ර 7කින් දස්කම් පෑ බනී ඉන් ක්‍රීඩා පහකටම වර්ණ දිනා ගැනීමට සමත්වූ අතර, ඔහුගේ ක්‍රීඩා දිවියේ ස්වර්ණමය සටහන වන්නේ 1985 වසරේ සිංගප්පූරුවේ පැවැති ප්රවීණයන්ගේ මලල ක්‍රීඩා උලෙළේදී හෙල්ල වීසි කිරීමේ තරග ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගැනීමය.
ඔහුගේ ක්‍රීඩා දිවිය අඩාළ වූයේ භූ භෞතික විද්‍යාඥයකු ලෙස රජයේ සේවයට එක්වීමෙන් පසුවය. එහෙත් පසුකාලීනව ජනසතුසේවා මලල ක්‍රීඩා සංගමයේ ලේකම් ධුරයට පත්ව ක්‍රීඩා පරිපාලනයට එක්වීමෙන් තවදුරටත් ක්‍රීඩාවේ රැඳී සිටීමට ඔහුට හැකි වී තිබිණි.
භූ භෞතික විද්‍යාඥයකු ලෙස නිමල් ජයවික්‍රම රට පුරා සංචාරය කළේය. ශ්‍රී ලංකාවේ තෙල් සහ ගෑස් නිධි තිබෙන බවට අතීතයේ සිට අනුමාන කර තිබූ අතර, එවැනි ගවේෂණ සඳහා අපමණ කැපවීමෙන් යුතුව කටයුතු කළ විද්‍යාඥයෝ ද වූහ. නිමල් ජයවික්‍රම ද එම ගවේෂණවලට සක්‍රිය දායකත්වය සැපයූ අතර, ඩෙල්ෆ් දූපතේ තෙල් ගවේෂණය කිරීමේ කාර්යභාරයට එක්වී සිටියේ ඔහුගේ තවත් සගයකු සමඟය. ඒ සඳහා අවශ්‍ය ප්‍රායෝගික දැනුම ලබා ගැනීමට ඔහු විදෙස් රටවල් රැසක ද විවිධ පාඨමාලා සහ වැඩමුළුවලට සහභාගි වී තිබිණි. මෙරට පාසල් මහා ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කළ ක්‍රීඩකයකු තෙල් ගවේෂණය කළ පළමු අවස්ථාව ලෙස එය ඉතිහාසයට එක්වූවාට කිසිදු සැකයක් නැත.
සැබැවින්ම නිමල් අබේවික්‍රම යනු ‘ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත‘ කියමන බොරුවක් බවට පත් කළ පුද්ගලයෙකි. ඔහු ක්‍රීඩාවෙන් ලැබූ තෘප්තිය තවත් ක්ෂේත්‍ර ගණනාවකට විහිදී ගිය එකකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් භෞතික විද්‍යා විශේෂ ගෞරව උපාධියට සූදානම් වෙමින් සිටියදී ගායන කුසලතාවන් ද ඔප මට්ටම් කරගත්තේය. ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ජන හා පාරම්පරික සංගීත ශ්‍රේණිගත කිරීමේ පරීක්ෂණයෙන් ඉහළින්ම සමත් වූ ඔහු නූර්ති ගී ‘බී‘ ශ්‍රේණියේ ගායකයකු බවට පත් විය. එය ඔහුට එවකට මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් පළමුවරට ‘මනමේ‘ නාට්‍යය වේදිකාගත කිරීමට සැලසුම් කිරිමේදි මනමේ කුමරුට තෝරා ගැනීම දක්වා දුරදිග ගියේය. එහෙත් එවකට මනමේ කුමරිය සහ වැදි රජ තෝරාගැනීමේදී මහාචාර්ය සරච්චන්ද්‍රයන් දුෂ්කරතා රැසකට මුහුණ දී තිබිණි. එබැවින් මනමේ වේදිකාගත කිරීම කල් ගිය අතර, පසුකාලීනව නැවත ‘මනමේ‘ වේදිකාගත කරද්දී කුමරුගේ චරිතයට විජය නන්ද සිරි තෝරාගෙන තිබිණි.
එසේ වුවත් එම නාට්‍යය වේදිකාගත කිරීමේ දිනවලදී නළු නිළියන්ගේ අඩුපාඩු සපුරාලීමට සරච්චන්ද්‍රයන් නිරතුරුවම පිහිට පැතුවේ නිමල් ජයවික්රමගෙනි. ආරම්භයේදී මනමේ කුමරුගේ චරිතය මඟ හැරුණු නිමල් ජයවික්‍රම පසුකාලීනව වැදි රජගේ භූමිකාවට පණ පෙවුවේය. යුවරජුට රඟපාන නළුවා නැති මොහොතක ගීත 4කුත්, නැටුම් 4කුත් පුහුණු වී එම චරිතයට ද පණ දුන්නේ සරච්චන්ද්‍රයන්ගේ විශ්වාසවන්ත ගෝලයකුගේ කාර්යභාරය අකුරටම ඉටු කරමිනි. නිමල් ජයවික්‍රම අවසානයේදී සරච්චන්ද්‍රයන්ගේ නාට්‍ය කණ්ඩායමේ යාවජීව සාමාජිකයකු බවට පත් විය. මේ ප්‍රතිභාපූර්ණ රංගන ශිල්පියා අත්හැරීමට සරච්චන්ද්‍රයන්ට ලෝබ සිතෙන්නට ඇත. ඔහු පසුකාලීනව මහාචාර්ය සරච්චන්ද්‍රයන් අතින් නිර්මාණය වූ සිංහබාහු, පෙමතෝ ජායතී සෝකෝ ඇතුළු වේදිකා නාට්‍ය රැසක රංගනයෙන් දායක විය. ඉන් ඔහුට පසුකලෙක ටෙලි නාට්‍ය හා සිනමා ක්ෂේත්රයට රංගනයෙන් දායක වීමේ අඩිතාලම ද වැටුණේය. ඔහු විශ්වවිද්‍යාලයේදී ගායකයකු ලෙස කාගෙත් ගෞරවාදරයට පාත්‍ර වී සිටියේය. ජාත්‍යන්තර විශ්වවිද්‍යාල ක්‍රීඩා උලෙළට සහභාගි වීමට මොස්කව් නුවර සංචාරය අතරතුර ටෙහෙරාන් ගුවන්තොටුපොළේදි ඔහු එවකට ජනප්‍රිය හින්දි ගීතයක් වූ ‘දෝස්ති‘ ගීතය කෙතරම් අපූරුවට ගැයුවේද යත් ගුවන් මගියකු ඉස්තරම් මත්පැන් බෝතල් දෙකක්ම තෑගි කර තිබිණි.
ක්‍රීඩාවෙන්, රංගනයෙන් හා ගායනයෙන් සිය හැකියාවන් විදහා දැක්වූ මේ භූ භෞතික විද්‍යාඥයා ඉන් නැවතුණේ නැත. ඔහු අසූව දශකයේ මැද භාගයේදී ඉන්දියාවේ ලක්නව් නුවරට ගොස් භාත්ඛණ්ඩ විශ්වවිද්‍යාලයේ ගායන අංශයේ ඩිප්ලෝමාධාරියකු බවට පත් විය. ඉන් නොනැවතී ඡායාරූපකරණයට ද පිවිසියේය. තුන්වැනි ඇස කදිමට භාවිත කිරීමට ඔහුට අපූරු හැකියාවක් පිහිටා තිබිණි. එය ඔහු විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි අවධියේ සිට විනෝදාංශයක් බවට පත් කරගත් ක්ෂේත්රයකි. විශ්වවිද්‍යාලයේදී ඔහු ඡායාරූප ප්‍රදර්ශන ත්‍රිත්වයක් ද පැවැත්වූ අතර, පසුකලෙක ඡායාරූපකරණයෙන් අන්තර්ජාතික සම්මානයට පවා පාත්‍ර විය. නිමල් ජයවික්‍රම සාහිත්‍යකරණයට පිවිසියේ සිය ජීවිතයේ සැඳෑ සමයේදීය. ඔහුගේ ළමා වියේ අත්දැකීම් පාදක කරගත් ‘පොඩිත්තෝ‘ ළමා කෙටිකතා සංග්‍රහය දොරට වැඩියේ 2001 වසරේදීය. එය ඔහුගේ කුළුඳුල් සාහිත්‍ය කෘතිය විය. දෙවැනි කෘතිය ‘ටකරන් මඩුව‘ කාව්‍ය සංග්‍රහය දොරට වඩින්නේ ඊට දශක දෙකකට පසුවය. එය ද ඔහුගේ ජීවන අත්දැකීම් ඇසුරෙන් ලියන ලද්දකි.
හැම අතින්ම නිදසුන් ගෙන හැර දැක්විය හැකි ඔහුගේ ජීවිතයේ සෙවණැල්ල ආදරණීය බිරිය හේමමාලි නාලිනි ය. එකම දියණිය නිලූපා නදීෂානි ඔස්ට්‍රේලියාවේ ක්ෂුද්‍ර ජීව විද්‍යාඥවරියකි. ඇගේ සුරතල් දියණියන්ට කුඩා වියේදී ඇඳුම් මසා තෑගි කළේ ද නිමල් ජයවික්‍රමගේ සුරතිනි. ඉන් කියැවෙන්නේ ඔහු මැහුම් ගෙතුම්වලට මෙන්ම ඉහුම් පිහුම්වලටත් හපනකු බවය. ඒවා හුදෙක් විනෝදාංශ පමණක් බැවින් එවැනි ක්ෂේත්‍ර ඔස්සේ වැඩි දුර යෑමට ඔහුට අදහසක් තිබුණේම නැත. ඔහුගේ එකම පුතුණුවන් රොෂාන් නිශාන්ත එක්සත් රාජධානියේ ඉංජිනේරුවරයෙකි.
මේ වන විට 73 හැවිරිදි වියෙහි පසුවන නිමල් ජයවික්‍රම සාහිත්‍යකරණයට පිවිසියේ සියලු ක්ෂේත්රවලින් ඉසඹු ලබා විවේක සුවයෙන් සිටින අතරතුරදීය. එකිනෙකට වෙනස් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ එසේ තම ජීවිතය වර්ණවත් කරගත් මේ අපූරු පුද්ගලයා සැබැවින්ම වර්තමාන තරුණ පරපුරට කදිම අභිප්‍රේරණයකි.
ෆවුස් මොහොමඩ්