ඕනෑතරම් පශු වෛද්‍යවරු පිළිබඳව අපි අසා ඇත්තෙමු. එහෙත් මේ කියන්නට යන්නේ එවන් පශු වෛද්‍යවරයකු පිළිබඳ පුවතක් නොවේ. බල්ලන්, පූසන්, අශ්වයන් හා අලි ඇතුන් පමණක් නොව ඕනෑම සතකුගේ ඇසේ සුද ඉවත් කර පෙනීම ලබාදීමට සමත් ශ්‍රී ලංකාවේ පළමු හා එකම පශු වෛද්‍යවරයා ගැනය. හේ නමින් අරුණ චන්ද්‍රසිරිය.
ගොවියකු වූ මුණසිරි හා ගෙවිලියක වූ කරුණාවතීගේ දෙවැනි දරුවා ලෙස 1984 මාර්තු මස 17 වැනිදා මහියංගණය අක්කර අසූව මෝදරපිටිය ග්‍රාමයේදී අරුණ උපත ලැබීය. ඔහුට වැඩිමහල් එක් සහෝදරියක් වූවාය. කැලෑබද ග්‍රාමීය පරිසරයක හැදී වැඩුණ අරුණට කුඩා කාලයේ පටන් බඩගානා කුරගානා සතා සිවුපාවුන් බොහෝසෙයින් හුරුපුරුදුය.
පාසල් කාලය ළං වන විටත් හාවන්, ඉබ්බන්, ලේනුන් හා ගිරවුන් වැනි සතුන් කිහිපදෙනකුම ඔහුගේ මිතුරන් වී සිටියේය. දිනක් කිසියම් රෝගයක් වැලඳී හාවුන් කිහිපදෙනකුම රෝගී වී සිටි නිසා ඔහු මහත්සේ කම්පාවට පත් විය. අරුණගේ පියා විසින් අත්වෙදකම් කළත් සුවයක් නොමැතිව උන් මිය ගියේය. මින් මහත් සේ දුකට පත් වූ අරුණ නැවත කිසිදින තමන් ඉදිරියේ අසරණ සතුන්ට අකාලයේ මිය යෑමට ඉඩ නොදෙන බව හේ තරයේම අදිටන් කර ගත්තේය. එහෙත් ඒ සඳහා තමන් කවරකු විය යුතු දැයි ඔහුට අවබෝධයක් නොවීය. දොස්තරවරු සිටිය ද ඔවුන් සතුන්ට වෙදකම් නොකරන බව ඔහුට තම සහෝදරිය පවසා තිබුණාය. පාසල් වියට එළැඹීමත් සමඟ 1990 වසරේදී මහියංගණය ජාතික පාසලට ඇතුළත් වූ අරුණ පන්තිය භාර ගුරුතුමියගෙන් සතුන්ට වෙදකම් කරන වෛද්‍යවරු සිටී දැයි විමසීය. ඇය බුද්ධදාස රජතුමා පිළිබඳ කතාව කියාදී වර්තමානයෙත් එලෙස සතුන්ට වෙදකම් කරන පශූ වෛද්‍යවරු සිටින බව පැහැදිලි කළේය. ඔහු ඉන් මහත්සේ සතුටට පත් විය. එහෙත් කාලයත් සමඟ ඔහුට ඒ දේවල් අමතකව ගියේය. ඔහු හොඳින් ඉගෙනීම් කටයුතු කළේය. 2003 වසරේ දී ජිව විද්‍යා අංශයෙන් උසස් පෙළ සමත් වූ අරුණ පේරාදෙණිය විශ්විවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට ඇතුළත් විය. එය සිය යටි සිතේ සැඟව තිබූ අපේක්ෂාව මල්ඵල ගැනීමක් බව ඔහුට වැටහී ගියේ එවිටය. පේරාදෙණිය සරසවියෙන් උපාධිය ලබාගන්නා අරුණ කිරිබත්ගොඩ මාකොල ග්‍රාමයේ තමන්ගේම වූ පශු වෛද්‍ය සායනයක් ආරම්භ කරන්නේය. පසුව එය ක්‍රමයෙන් දියුණු කිරිමට පටන් ගත් ඔහුගේ අරමුණ වූයේ ලංකාවේ උසස්ම හා හොඳම පශු වෛද්‍ය රෝහල නිර්මාණය කිරීමටය. මේ වන විට වසර 13ට අධික කාලයක් පශු වෛද්‍ය වෘත්තිය තුළ ප්‍රායෝගික අත්දැකීම් ලබා ඇති හෙතෙම සතුන් දහස් ගණනකට පිහිට වී ඇත.
සිය වෘත්තීය ජීවිතය පිළිබඳ අදහස් දක්වමින් වෛද්‍ය අරුණ චන්ද්‍රසිරි අප සමඟ මෙසේ පැවසීය “පශු වෛද්‍ය වෘත්තිකයකු ලෙස ඕනෑම සත්ත්වයකුට ප්‍රතිකාර ලබාදීමට මා බැඳී සිටිනවා. බොහෝවිට මා වෙත රැගෙන එන්නේ බල්ලන් පූසන් වැනි සත්ත්වයන්. මේ සත්ත්වයන්ට වැලඳෙන රෝග අතර ආහාර මාර්ගය ආශ්රිත රෝග, සන්ධි රෝග, සමේ රෝග ආදිය බහුල වශයෙන් දකින්න පුළුවන්. දැන් දැන් ඇස්වල පෙනීම දුර්වල කරන ඇසේ සුද මතුවීමේ රෝග තත්ත්වයත් දකින්න පුළුවන්. ඒත් ඒ ගැන මේ වන තෙක් පශු වෛද්‍ය ක්ෂේත්රයේ අවධානය යොමු කර තිබුණේ නැහැ. එය ලොකු අඩුපාඩුවක් බව මට වැටහුණා. ඒ නිසා ඒ පිළිබඳ අධ්‍යයනය කරන්න මං පෙලඹුණා.
මම මේ රෝගී තත්ත්වය පිළිබඳ අධ්‍යයනය කරන්න ඉන්දියාවේ සත්ත්ව රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර චෟහාන් යටතේ මාර්ගගත අධ්‍යයනය සඳහා යොමු වුණා. ඔහු තමයි ඉන්දියාවේ සත්ත්ව රෝග පිළිබඳව මේ වන විට ඉන්න ජ්‍යේෂ්ඨතම හා දක්ෂතම වෛද්‍යවරයා. මාර්ගගත අධ්‍යාපනය නිම කර මට ප්‍රායෝගික පුහුණුව සඳහා ඉන්දියාවට යන්න තිබුණේ 2019 වර්ෂයේ. නමුත් ලෝකය පුරා වසංගතයක් ආකාරයෙන් කොරෝනා වයිරසය පැතිරීයාමත් එක්ක පුහුණු වීම් කටයුතු සඳහා සහභාගි වීමට ඉන්දියාවට යන්න නොහැකි වුණා. පසුව මා 2022 මැයි මාසයේ ඉන්දියාවේ මධ්‍යම ප්‍රදේශයේ ඉන්දෝර් හී පිහිටි මයිරා සත්ත්ව රෝහලට ඇතුළත් වී සත්ත්ව රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර චෟහාන් යටතේ ප්‍රායෝගික පුහුණුවීම් ආරම්භ කළා.
එම පුහුණුවේදී අක්ෂි ශල්‍යකර්මයක් සිදු කිරීමේදී වඩාත් සැලකිලිමත් විය යුතු කාරණා සම්බන්ධයෙන් මෙන්ම ප්‍රායෝගිකව එය සිදු කරමින් විශාල අවබෝධයක් ලබා ගත්තා. පුහුණුවීම් කටයුතු සාර්ථකව අවසන් කර ඉකුත් මැයි මාසයේ මා නැවත ලංකාවට ආවා. ඉන්පසුව මගේ රෝහලේ ඇසේ සුද ඉවත් කිරීමේ සායනය ආරම්භ කළා. මේ සඳහා හොඳ පුහුණුවක් වගේම ඒ සඳහා අවශ්‍ය නවීණ උපකරණ අවශ්‍ය වෙනවා. මම පුහුණුව ලබා පැමිණෙන විට මේ සඳහා අවශ්‍ය සෑම උපකරණයක් ම රැගෙන ආවා. ඒ සෑම පහසුකමක්ම අද පෙට් ප්ලස් සත්ත්ව රෝහල (pet plus Animal Hospital (pvt) Ltd) තුළ ස්ථපනයනය කර තිබෙනවා.
මෙහිදී ඇසේ සුද ඉවත් කිරීමට අමතරව ඇසේ මතුවන වෙනත් දරුණු රෝගී තත්ත්වයන්ට පවා ප්‍රතිකාර කිරීම් ආරම්භ කර තිබෙනවා. මේ වන තෙක් මෙම ශල්‍යකර්මය සිදු කිරීමට සමත් කිසිදු පශු වෛද්‍යවරයෙක් ලංකාවේ සිටියේ නැහැ.
මම තමයි ලංකාවේ මුලින්ම මේ ශල්‍යකර්මය සඳහා යොමු වුණේ. මගේ ඉලක්කය වුණේ සියලුම රෝගී තත්ත්ව ආවරණය කළ හැකි පශු වෛද්‍ය සායනයක් ලංකාව තුළ ස්ථාපිත කිරීමටයි. මට ආඩම්බරයෙන් කියන්න පුළුවන් අද එය මල්ඵල ගැන්වී තිබෙන බව.
බල්ලන් හා පූසන්ගේ ඇස්වල ග්ලුකෝමා තත්ත්වය මතු වුණාම ඇසේ පෙනීම නැතිව යනවා. විශේෂයෙන්ම බල්ලන්ගේ මේ තත්ත්වය වැඩි වශයෙන් දකින්න පුළුවන්. ඒ සඳහා බොහෝවිට බලපාන්නේ මිනිසුන්ගේ වගේම රුධිරයේ සීනි ප්‍රමාණය ඉහළ යෑමයි. ඊට අමතරව ඇඟේ තිබෙන ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩි වීම හේතුකොට ගෙන ඇසේ සුද මතුවෙන්න පුළුවන්. අනෙක් අතට මිනිස්සුන් වයස් ගත වන විට ඇසේ සුද මතුවෙනව වගේම සතුන් වයසට යන විටත් මේ රෝගී තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ජානමය බලපෑම නිසා පරම්පරාවෙන් පරම්පරාවට මෙම රෝගී තත්ත්වයට ගොදුරු වුණ සතුන් සිටිනවා.
ඇසේ සුද මතු වීම මඟින් සිදු වන්නේ ඇසේ කාචය අවපැහැවීමයි. එහිදී එලෙස අවපැහැගැන්වී ඇති කාචය ශල්‍යකර්මයකින් ඉවත් කර අලුත් කාචයක් සවිකිරීම මඟින් සත්ත්වයාගේ පෙනීම සාමාන්‍ය තත්ත්වයට පත් කළ හැකියි. එවගේම අවපැහැගැන් වී ඇති කාචය ශල්‍යකර්මය මඟින් ඉවත් කිරීමෙන් වුවත් සත්ත්වයාට පෙනීම ලබාදිය හැකියි. එවිට කාචය මඟින් සිදුවන විශාල කර පෙන්වීම සියයට 30කින් පමණ දුර්වල වෙනවා. මොකද ඇසේ කාචය මඟින් සිදුවන්නේ යමක් විශාල කර පෙන්වීමයි. බල්ලන්ගේ සියයට 70ක් පමණ මේ කාර්ය සිදු කරන්නේ අක්ෂිය තුළ පිහිටි කෝනියා (cornea) කියන කොටසෙන්. ඇසේ කාචය අවපැහැ වීම මඟින් ආලෝකය කෝනියා තුළින් දෘෂ්ටි ස්නායුව වෙත ගමන් කිරීම නතර වෙනවා. එනිසා අදාළ වස්තුව නොපෙනී යනවා. එනිසා තමයි කාචය ඉවත් කිරීම හෝ නව කාචයක් සවිකිරීම සිදු කරන්නේ. අවපැහැ වූ කාචය ඉවත් කිරීම මඟින් පමණක් වුවත් පෙනීම ලබා දිය හැකියි. ඉන් අදාළ වස්තුව විශාල කර බැලීමේ හැකියාව අඩු වීමක් පමණයි සිදු වන්නේ. අදාළ සුරතලාගේ හිමිකරු විසින් නව කාචයක් බද්ධ කරන ලෙස මගෙන් ඉල්ලා සිටින අවස්ථාවක මා එය සිදු කරදීමට බැඳී සිටිනවා.
කාචය සඳහා යන මුදල ඔහු අදාළ ශල්‍යකර්මයට ගෙවන මුදලට අමතරව දැරිය යුතු වෙනවා. අවපැහැගැන් වුණු කාචයක් ඉවත් කිරීම සඳහා කරන ශල්‍යකර්මයට රුපියල් 30,000ක පමණ මුදලක් වැය වෙනවා. මෙම ශල්‍යකර්මයේදී (ඇස් මැසීම) සඳහා යොදා ගන්නා නූලක් රුපියල් 14,000ක් පමණ වෙනවා. කාච බද්ධ කිරීමකදී යොදා ගන්නා කාචයක් රුපියල් 20,000ක් පමණ වෙනවා. ඒ අනුව කාචය බද්ධ කිරීමක් සමඟ සිදු කරන ශල්‍යකර්මයක් සඳහා 50,000ක පමණ මුදලක් වැය වෙනවා. අලුත් කාචයක් නෙමැතිව වුවත් මේ සැත්කමෙන් පස්සේ ඕනෑම සතකුට පෙනීම ළඟා කර ගන්න පුළුවන් බව හෙතෙම පවසයි. මේ ආකාරයට ඇසේ සුද මතු වීම වැඩි වශයෙන් සිදු වන්නේ සුනඛයන්ගේ වන අතර පූසන්ට එවැනි තත්ත්වයක් ඇති වන්නේ ඉතාම කලාතුරකිනි. මීට අමතරව අශ්වයන්, ගවයන් හා අලින්ගේ වුවත් ඇසේ සුද ඉවත් කිරීමට පශු වෛද්‍ය අරුණ සමත්කම් දක්වයි. එසේම මෙම පශු වෛද්‍ය සායනය තුළ උරගයන් හා පක්ෂීන්ට ද ප්‍රතිකාර ලබාදෙන අතර, සර්පයන්ට ප්‍රතිකාර කිරීමේදී මනා පුහුණුවක් අවශ්‍ය බව හෙතෙම අවධාරණය කරයි.
එසේම සතුන්ට වැලඳෙන රෝග අතර මිනිසුන්ට බලපාන ප්‍රධාන රෝගී තත්ත්වයක් වන ජලභීතිකා රෝගය පිළිබඳ බොහෝදෙනා දැනුම්වත්ව සිටිය ද එවැනි රෝග තත්ත්වයකට ගොදුරු නොවී සිටීමට කළ යුතු කාර්ය පිළිබඳව ඇතැමුන් දක්වන නොසැලකිල්ල නිසා අසරණ සත්වයා සේම මිනිසුන් ද ජීවිතයෙන් වන්දි ගෙවන අවස්ථා ඇති බව හෙතෙම පෙන්වා දෙයි. ඒ සඳහා සුරතලාට රෝගය වැලඳීමට ප්‍රථම අවශ්‍ය ප්‍රතිශක්තිය වර්ධනය කිරීම සඳහා එන්නත් ලබා දීමට අවශ්‍ය බව පශු වෛද්‍ය අරුණ පෙන්වා දෙයි.
මෙම කටයුත්තේදී පශු වෛද්‍යවරියක වන අරුණගේ බිරිය සිළුමි සුභාෂිණී ඔහුට විශාල ශක්තියක් වී ඇත. ඔවුන් දෙපළට පුතුන් දෙදෙනකු සිටින අතර, ඒ දුලඟ චන්ද්‍රසිරි (12) සහ සෙනුග චන්ද්‍රසිරි (10) ය. ඔවුන් මේ වන විට පෞද්ගලික පාසලක අධ්‍යාපනය ලබමින් සිටිති.
පශු වෛද්‍ය අරුණගේ සායනයට තම සුරතලා රැගෙන යාමට අවැසි කෙනෙක් ඇත්නම්, නො.74/බී, සමෘද්ධි මාවත, සපුගස්කන්ද යන ස්ථානයේ පිහිටි පෙට් ප්ලස් සත්ත්ව රෝහල වෙත රැගෙන යා හැකිය.
රසික කොටුදුරගේ