ලංකාවට ඉන්දියන් ත්‍රී වීල් රථ ආනයනය කොට කන්ටේනරයෙන් බාන්නේ මඩපාත ප්‍රදේශයේය. එහිදී කෙරෙන්නේ කන්ටේනරයක බහාගෙන එන ලද ඉන්දියන් ත්‍රී වීල් ලංකා භූමියට ගොඩබෑමය. එහෙත් ලංකාවේ නිපද වූ ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් කන්ටේනරයකට ඇතුළු කරනු දුටු අප මවිතයට පත්වීමු. ඒ මිල්ටන් මෝටර්ස් ත්‍රී රෝද රථ නිපදවන අංගනය ඉදිරිපිටය. මිල්ටන්ව මුලින්ම හඳුන්වා දෙනු ලැබුවේ ‘සිළුමිණ’ විසිනි.
“මේ ත්‍රී වීල් යවන්නේ ජපානයට සාම්පල් වශයෙන්. අපට මිතුරෙක් මාර්ගයෙන් ජපානයට ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් ඇණවුමක් ලැබුණා. ඒ ඉල්ලපු අංගෝපාංග එක්කරලා ජපානෙට හරියන විදිහට තමයි මේ ත්‍රී වීල් දෙක අලුතින්ම හැදුවේ.”
මිල්ටන් පවසන්නේ මේ ත්‍රී රෝද රථ ජපානයෙන් ඇණවුම්කොට ඇත්තේ පොදු ප්‍රවාහනයට වඩා රෝහල් පද්ධති ඇතුළත, කන්ටේනර් අංගන ඇතුළත මෙන්ම අධිවේගී විදුලි දුම්රියෙන් බැස රථ නැවතුම් වෙත යාමට වැනි අවශ්‍යතා වෙනුවෙන් බවය.
මිල්ටන් තවත් ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් හතරක් කන්ටේනරයකට ගාල් කළේ කොරියාවට යැවීමටය. ලංකාවේ විදුලි ත්‍රී වීල් හදන විශ්වකර්මයා ගැන ලිපිය සිළුමිණ හා Sunday Observer පුවත්පත්වල පළවූ පසු මිල්ටන්ට දින කීපයක් කොරියාවේ ගතකොට කොරියාවේ විද්යුත් ත්‍රී වීල් ගැන අධ්‍යයනය කරන්නට ද අවස්ථාව උදා විය.
“බී.කේ. එනර්ජි කියල කොරියන් කම්පැනියකට තමයි මේ ත්‍රී වීල් යවන්නේ. මේ ත්‍රී වීල් මුළුමනින්ම ලංකාවේ හැදුවේ කොරියන් සැලැස්මක් මත චැසිය වගේම බොඩිය මොඩ්ෆයි කරලා. ජපානයේත් කොරියාවේත් ඇණවුම ලැබුණාම අපට අලුතින් යන්ත්‍ර සූත්‍ර පවා ගේන්න වෙනවා. ඒක ලංකාවට වැඩිය දැවැන්ත වෙළෙඳපළක්.”
මිල්ටන් පවසන්නේ තමන්ට ඇති ප්‍රධාන ප්‍රශ්නය ත්‍රීවිල් නිපදවීම සඳහා අවශ්‍ය ඉහළ ප්‍රමිතියේ මළ නොකන සින්ක් කොටඩ් තහඩු ලබාගැනීම බවය. එමෙන්ම අනෙකුත් ලෝහමය කොටස්, රබර් කොටස්, වින්ස්ක්‍රීන් මෙන්ම ප්ලාස්ටික් අංගෝපාංග සඳහා අවශ්‍ය වන අමුද්‍රව්‍ය සඳහා දැවැන්ත මුදලක් ආයෝජනයට සිදුවී තිබේ.
“මේ ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් ව්‍යාපෘතියට අවශ්‍ය කරල තියෙන කෝටි දහයක ණය මුදල කාර්මික සංවර්ධන මණ්ඩලය අනුමත කරල තියෙන්නේ.”
“ඉතින් රාජ්‍ය අංශයේ බැංකුවක්වත් මේ ණය මුදල අනුමත කරන්න පියවර ගන්නේ නැද්ද?” මම අසා සිටියෙමි.
“ඇපයක් තියාගෙනත් බැංකු හදන්නේ සියයට විසිගණන්වලට ණය දෙන්න. ඒ ගාණට අරගෙන මේ කර්මාන්තේ පවත්වාගෙන යන්න බැහැ.”
මිල්ටන් පවසන්නේ වියට්නාමය සහ කෙන්යාව තම රටවල ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් කර්මාන්තශාලා ආරම්භ කරන්නට ආරාධනා කොට ඇති බවය. මිල්ටන් පවසන්නේ ජපානය සහ කොරියාව ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් සඳහා ඉල්ලා සිටින්නේ එම රටවල නිෂ්පාදනය කළ ඉලෙක්ට්‍රික් මෝටරය සහ ආරෝපිත බැටරිය බවය.
අප මිල්ටන් හමුවට ගිය පසුගිය වාරවලට වඩා මෙවර මිල්ටන්ගේ කර්මාන්ත ශාලාව අලුතෙන් නිපදවූ ත්‍රී රෝද රථවලින් හා අමතර කොටස්වලින් පිරී ඉතිරී ගොස් තිබුණි. එහෙත් ඇති දැවැන්තම ප්‍රශ්නය මේ විදුලි ත්‍රී රෝද රථ ලියාපදිංචියට අවශ්‍ය නීතිමය ක්‍රමවේදය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා තවමත් ප්‍රායෝගිකව ඵලදරා නොතිබීමය. මිල්ටන් පවසන්නේ ලංකාවේ ඇති ත්‍රී රෝද රථවලට ඉන්දියාවෙන් අමුතුවෙන් ස්පෙයාර් පාට්ස් ආනයනයට විදේශ විනිමය කාබාසිනියා නොකළ යුතු බවය.
වර්තමානයේ මිල්ටන්ගේ කර්මාන්තශාලාව පටන් ගත්තේ කිසිදු රාජ්‍ය අනුග්‍රහයක් නැතුව ලක්ෂ 700ක බැංකු ණයකිනි. එහි දැන් ඇති යන්ත්‍රෝපකරණවල වටිනාකම කෝටි 25කට අධිකය. බැංකු ණය සඳහා ලංකා බැංකුව, පෑන්ඒෂියා සහ වැලිබල් ෆිනෑන්ස් මිල්ටන්ට මුල්‍ය අනුග්‍රහය දක්වන ලදී. මිල්ටන් පවසන්නේ ත්‍රිරෝද රථයක කිසිදු “බොඩි පාට් එකක්” ඉම්පෝට් කිරීම අනවශ්‍ය බවය.
ලංකාවේ බොහෝ තැන්වල වාහන නිපදවනවා කිවුවාට බොහෝවිට කෙරෙන්නේ චීනයෙන් ගෙන එන කොටස් ඇණ නට් තදකොට සවි කිරීමය. එහෙත් මිල්ටන් මෝටර්ස් කර්මාන්තශාලාවේ ත්‍රී රෝද රථ ඔබ බලා සිටියදී නිපදවනු සියැසින් දැකගත හැකිය.
ආනයනය කළ ත්‍රී වීල් බක්කියක් රුපියල් 150,000ක් පමණ වන අතර දේශීය නිෂ්පාදනයක් මිල්ටන් මිල නියම කොට ඇත්තේ රුපියල් 80,000කටය. ලංකාවේ නිෂ්පාදනය ආනයනික නිෂ්පාදනය මෙන් මළ නොකෑම ද විශේෂත්වයකි. මේ අනුව පෙනී යන්නේ දේශීය ත්‍රී වීල් කොටස් බාල ආනයනික කොටසට වඩා 50%ක් මිල අඩු බවය. ත්‍රී වීල් කොටස් නිපදවීමට ‘මෝල්ඩ්’ නොහොත් අච්චු නිපදවිය යුතුය. එය කෝටි ගණනක ආයෝජනයකි. මෝල්ඩින් යන්ත්‍රය තුළට තහඩුව ඇතුළුකොට ප්‍රේස් කර කොටස සාදා ගැනීම හෝ ප්ලාස්ටික් රබර් හෝ ලෝහයක් වක්කර හෝ ඉන්පෙක්ෂන් මෝල්ඩින් ක්‍රමයට නිපදවා ගත හැක්කේ ඉන්පසුවය.
“මේ මෝල්ඩ් ඉන්දියාවෙන් ගේන්න කෝටි ගාණක මුදලක් කැප කරන්න ඇති නේද?”
“මේ අච්චු ඔක්කෝම ලංකාවේ හදපුවා. හැදුවේ ලක්මධු ඉංජිනියරින්. බොඩි පාට්ස් හදන මේ ලොකු යන්ත්‍ර සූත්‍ර ලංකාවෙන් මිලදී ගත්ත ඒවා.”
මිල්ටන් පැවසුවේ ලංකාවේ ත්‍රී වීල් ලක්ෂ 11කට වඩා ඇති බවයි. 2021 මහ බැංකු වාර්තාවේ ආර්ථික සහ සමාජ යටිතල පහසුකම් පරිච්ඡේදයේ 45 වැනි සංඛ්‍යා සටහන සඳහන් පරිදි 2012 සිට 2021 දක්වා ලංකාවේ ලියාපදිංචි කොට ඇති ත්‍රී රෝද රථ සංඛ්‍යාව පමණක් 534,351කි. “ලංකාවේ ත්‍රිවීල් ඔක්කෝටම දේශීයව කොටස් හදන්න පුළුවන්. දැන් ප්‍රශ්නය වෙලා තියෙන්නේ ඩොලර් නැති නිසා අමුද්‍රව්‍ය මිල ඉහළ යාම. අපි මිල අඩු බාල අමුද්‍රව්‍ය ප්‍රතිපත්තියක් විදිහට භාවිත කරන්නේ නැහැ. මම මේ ගැන මහ බැංකුවේ අධිපතිතුමාගෙන් ලිඛිතව ඉල්ලීමක් කරලා තියෙනවා.”
ශ්‍රී ලංකා මහ බැංකුවට මෙවැනි දේශීය කර්මාන්ත රැක ගැනීමට ඍජුවම සහාය විය හැකිය. මහ බැංකුවට මෙම දේශීය ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් ව්‍යාපාරය ගොඩගැනීමට දායක විය හැකි ප්‍රායෝගික ක්‍රමවේදය නම් කාර්මික සංවර්ධන මණ්ඩලය මඟින් අනුමැතිය ලබාදී ඇති ලංකාවේ ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය ණය මුදල මුදාහැරීමට සියයට දහයට අඩු සහනදායී පොලියක් යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ ඇති රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවකට තම නිර්දේශය ලබාදීමය.
දැන් මිල්ටන් මෝටර්ස් ආයතනය දිය – ගොඩ දෙකේම දිවිය හැකි ඉලෙක්ට්‍රික් වාහන හදන ආයතනයකි. විවිධ ක්ෂේත්‍රවල අමාත්‍යාංශ මිල්ටන් මෝටර්ස් ආයතනයෙන් තම වපසරියට අයත් වාහන ඉන්ධනවලින් ධාවනය කරනවාට වඩා අඩු වියදම් ඉලෙක්ට්‍රික් පරිවර්තනය කිරීම ගැන විමසමින් සිටී.
“මගේ ඉලෙක්ට්‍රික් නිෂ්පාදනය ගැන සිළුමිණේ ලිපිය ගියහම ඒක දැකලා ධීවර ඇමැතිතුමා මට කතා කරලා ඉලෙක්ට්‍රික්වලින් චාජ් වෙන බෝට්ටුවක් හදලා දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. මම හැදුවා විදුලියෙන් වාෂ්ප වෙන බෝට්ටු එන්ජිමක්. පැයක් චාජ් කළාම කිලෝමීටර් 100ක් දුවන්න පුළුවන්. සෝලා පැනල් එක බෝට්ටුවේ තට්ටුවේ හයි කළාම චාජ් කරන්න ඉලෙක්ට්‍රිසිටි ප්ලග් ඕනත් නැහැ.”
ජපානය සහ කොරියාව යනු වාහන නිපදවීමේ තාක්ෂණය අතින් ලොව දිනූ රටවල් දෙකකි. මෙවැනි මුළු ලෝකයටම වාහන අපනයනය කරන දියුණු රටවල් ලංකාව වැනි රටක මිල්ටන් මෝටර්ස් වැනි ආයතනයක් තම රටට අවශ්‍ය විදුලි ත්‍රී වීල් නිපදවීම සඳහා තෝරා ගත්තේ ඇයි? එයින් නොකියා කියන්නේ අපේ රටේ උදවියට වඩා පිටරටවල උදවිය අපේ රට් දක්ෂයන්, වැඩකාරයන් ගැන දන්න බවත් ඇහ ගහගෙන සිටින බවක් නොවේද?
මිල්ටන්ගේ ඉලෙක්ට්‍රික් ත්‍රී වීලය පැය 4ක් චාජ් කළ විට කිලෝමීටර 100ක් ධාවනය කළ හැකිය. අලුතින් අත්හදා බලන්නට යන බැටරිය පැය 4ක් චාජ් කළ විට ධාවනය කළ හැකි කිලෝමීටර ගණන 200කි.
“දැන් මේ පෙට්‍රල් ත්‍රී වීල් ටිකත් ඉලෙක්ට්‍රික් ත්‍රීවිල් එකක් බවට පරිවර්තනය කරන්න කීයක් වගේ මුදලක් වැය වෙනවද?”
“ලක්ෂ 12ක් වගේ වැය වෙනවා. අලුතින්ම අපි හදපු ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එකක් ලක්ෂ 18කට වගේ මිල කරන්න බලාපොරොත්තු වෙනවා.”
“ඉලෙක්ට්‍රික් ත්‍රී විල් එකකත් පෙට්‍රල් ත්‍රී විල් එකකත් වෙනස මොකක්ද?”
“එන්ජින් ඔයිල් නෑ, පෙට්‍රල් ඕන නෑ. එන්ජින් බෝර් කරද්දි සල්ලි ගැහිලි එන්ජින් රෙපයාර් නෑ. මොනාද ඉතින් බ්රේක් එජෙස් කරගන්න විතරයි ගරාජ් එකකට යන්න ඕන. කිලෝමීටරයකට වියදම රුපියල් 3/-යි”
දැන් මිල්ටන් මෝටර්ස් ආයතනය විවිධ විදේශයන්ගෙන් පැමිණෙන නියෝජිතයන්ගේ නිරීක්ෂණයට ලක් වේ. අප මිල්ටන් මෝටර්ස් කර්මාන්තශාලාවට යන විට එහි ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් රථ නිෂ්පාදන යන්ත්‍ර ධාරිතාව ගැන වාර්තාක් සකසමින් සිටියේ ටැංසානියානු ජාතිකයකු බවට අපට දැන ගැනීමට හැකි විය.
ටැන්සානියාවට යවන ඉන්දියන් ත්‍රී වීල් බොඩි පාට්ස් මලකඩ කන හින්දා ඉක්මනින් දිරනවා. අපේ මේ ලංකාවේ නිෂ්පාදන මලකඩ කන්නැති නිසා ටැන්සානියාවේ කම්පැනියක් ඉල්ලීමක් කරල තියෙනවා එහේ ෆැක්ටරියක් අරින්න. ලෝකයේ මොන රටකටත් වඩා මං ආදරය කරන්නේ ලංකාවට. අපට ජනාධිපතිතුමා මැදිහත්වෙලා මහ බැංකුව සහාය වෙලා නිෂ්පාදන කටයුතුවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාදෙනවා නම් අපිට ලංකාවේ ඉඳලා මේ නිෂ්පාදන ටැන්සානියාවට විතරක් නෙවෙයි තව රටවල් ගාණකට යවන්න පුළුවන්.
දේශීය ත්‍රී වීල් කොටස් නිෂ්පාදනයට අවශ්‍ය රාජ්‍ය අනුග්‍රහය නොලැබුණොත්, ටැන්සානියානු රජයෙන් ඉල්ලීමක් කළොත් මේ කර්මාන්තශාලාවට ටැන්සානියාවට ගෙනියන්න අදහස් කරගෙන ඉන්නවාද?
“එහෙම ආරාධනයක් දැනටමත් ලැබිල තියෙනවා. මේ රටේ හැම දෙයක්ම දේශපාලනීකරණය වෙලා තියෙන්නේ. හැමතැනම තියෙන්නේ ගසා කෑම. රටට වැඩක් කරන්න පුළුවන් මිනිස්සුන්ගෙන් රටට වැඩක් ගන්නේ නැහැ. හැමෝම බලන්නේ පිටරටින් මොනවා හරි දෙයක් ගෙනල්ලා කොමිස් එකක් තියල විකුණල නිකන් ඉන්න. අපි මේ වගේ ව්‍යාපාරවලට කෝටි ගණන් යට කරල මුදල ලැබෙනකම් කොයිතරම් කල් බලන් ඉන්නද?
මිල්ටන් පවසන්නේ අපනයන කරන කොන්දේසිය මත අමුද්‍රව්‍ය සැපයීමට තමන්ට යෝජනාවක් ලැබී ඇති බවය. එහෙත් ඔහු කියන්නේ අපනයනයට පෙර මෙරට අමතර කොටස් නැතිව අසරණව සිටින ත්‍රී රෝද රථ හිමියන්ට දේශීය අමතර කොටස් ලබාදිය යුතු බවය..
“මම ව්‍යාපාරිකයකු වශයෙන් මුළුමනින්ම ගොඩනැඟුණේ ලංකාවේ ත්‍රී වීල් හිමියන්ගෙන්. ආණ්ඩුව සහාය දෙනවා නම් ලංකාවටම ත්‍රී වීල් කොටස් හදල ඉවර වෙලා පිටරටට යවා විදේශ විනිමයක් සොයා ගන්න පුළුවන්.”
“දැන් ඉතිං මේ ත්‍රී වීල් එක ඉන්දියන් ත්‍රිවිල් වගේ මළකඩ කන්නේ නැතිනම් මේ ත්‍රී වීල් එක ඉන්දියාවට අපනයනය කරන්න බැරිද?” මම අසා සිටියෙමි.
“මට ඉස්සෙල්ලම ඕන වෙලා තියෙන්නේ මේ ලංකාවේ මං උපන්න රටේ මේ ත්‍රී වීල් එක ලියාපදිංචි කරල අපේ පාරවල්වල දුවනවා දකින්න. අමුද්‍රව්‍ය ගන්න සහනදායී ණයක් දෙනවා නම් ඉන්දියාව නෙවෙයි ලෝකේ ඕන රටකට මේ ත්‍රී වීල් එක යවන්න පුළුවන්. දහස් ගණනකට රස්සා දෙන්න පුළුවන්.”
මිල්ටන්ගේ නවතම නිෂ්පාදනය වන්නේ ඩිලිවරි ත්‍රී රෝද රථයක් නොහොත් කුඩා ලොරියකි. එය කිලෝ 800ක් පහසුවෙන් ගෙනයා හැකි තට්ටුවක් තිබේ. ඒ කියන්නේ ඇඟට නොදැනී ටොන් එකකට ටිකක් අඩුවෙන් පැටවිය හැකිය. එම කුඩා ලොරි රථය රවුමක් දෙකක් පැදවූ විට ඇඟට පතට දැනෙන්නේ බබා වගේ යන බවය. බොහෝවිට ඩිලිවරි ත්‍රී වීල් ඇත්තේ ඩීසල් ඒවාය. එය ස්ටාට් කළ විට මුළු පළාතම දෙදරවන්නේ එහි කර්කශ කණට දරා ගත නොහැකි අධික ශබ්දයයි.
“මේ ඉලෙක්ට්‍රික් ඩිලිවරි ත්‍රී වීල් ලොරිය අනෙක් ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් එක වගේමයි. ස්ටාට් කළාට සද්දයක් නෑ. වෙන ඩීසල් ත්‍රී වීල් බර වැඩිවුණාම කෑගහගෙන පළාතම දෙවනත් කරගෙන බර අදින්නේ. මේ ඉලෙක්ට්‍රික් ලොරිය මෙලෝ සද්දක් නෑ. පරිසර හිතකාමියි. දුමක් දාන්නේ නැහැ.”
ඉලෙක්ට්‍රික් ත්‍රී රෝද රථයක හදවත බඳු වන්නේ එහි ආරෝපිත බැටරියයි. බැටරියක ආරෝපණය කළ හැකි ආයු කාලය ඉන් ප්‍රධාන කරුණකි. කරුණු සොයා බැලීමේදී අපට පෙනී ගියේ චීන බැටරියක ආයු කාලය වසර 3ක් බවය. එමෙන්ම කොරියානු බැටරියක ආයු කාලය වසර 10කි.
“ජපන් බැටරිය තමයි හොඳම ගැරන්ටිය. අවුරුදු 20යි. ගොඩක් අය ඉල්ලන්නේ ඒක තමයි.”
ලෝකයේ ත්‍රී වීල් වෙළෙපල තුළ මුලින්ම ජයකෙහෙළි නැංවූයේ ඉතාලියය. ඒත් ඉන්පසු එම ත්‍රී වීල් ව්‍යාපාර ලොවේ රජ කළේ ‘ඉන්දියාවයි’. ඉන්දියාව ආසියානු රටවල්වල පමණක් නොව යුරෝපීය රටවල පවා තම Bajaj හා TVS ත්‍රී රෝද රථ වෙළඳ ඒකාධිකාරයක් පිහිටුවා ගත්තේය.
එහෙත් ඒ ඒකාධිකාරියට එරෙහිව මිල්ටන්ගේ මේ ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් විප්ලවය නොවැම්බර් 10, 11, 12 දිනවලදී පිටිපනදී දැකබල ගත හැකිය. 2024 වසර විදුලි සංචරණය (e mobillity) පිළිබඳ වසර ලෙස නම් කිරීම උදෙසා දිවයිනේ ප්‍රථම වරට සියලු අංශවල දායකත්වයෙන් විදුලිය හා විද්යුත් ප්‍රවාහන ක්‍රම පිළිබඳ ජාතික ප්‍රදර්ශනය හා සම්මන්ත්‍රණයක් නොවැම්බර් මාසයේදී පැවැත්වෙයි. වසර 2023 ලෝක ප්‍රවාහන දිනයට සමගාමීව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධානය කරනු ලබන විදුලි හා විද්යුත් ප්‍රවාහන ක්‍රම පිළිබඳ ජාතික ප්‍රදර්ශනය සහ සම්මන්ත්‍රණය (Green mobility exhibition and conference) නොවැම්බර් මස 10, 11, සහ 12 යන දිනවලදී හෝමාගම පිටිපන ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන නිසාය.
අද ලංකාවේ මිල්ටන් ව්‍යාපාරය එම ඉන්දියන් ත්‍රී රෝද ඒකාධිකාරයට අභියෝග කරමින් විදේශීය වෙළඳපළට පිවිසෙන්නේ ඉලෙක්ට්‍රික් ත්‍රී වීල් ලංකාවේ නිපදවමිනි. කුමරතුඟුවන් කිව්වේ අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී, කියාය. ලංකාවේ මිල්ටන් අලුත්ම අලුත් ඉලෙක්ට්‍රික් ත්‍රී විලරයක් ලංකාවේ තැනුවේය. එය ශ්‍රී ලංකාව නමැති නාමය ආර්ථික වශයෙන් ලොව නඟා සිටුවීමට හේතු වාසනා වෙනවා නියතය.
වජිර ලියනගේ, ඡායාරූප - ගයාන් පුෂ්පික සුලෝචන ගමගේ