කොවිඩ් යුගයේදී රට ආරාජිකත්වය කරා යොමු වීම ආරම්භ වූ අතර, ඉන්පසු ඇති වූ අරගලය රට මුළුමනින්ම ආරාජිකත්වයකට පත් කළේ යැයි සිතමි. ප්‍රථමවරට මෙතෙක් පැවැති මහජන ඡන්දයකින් රාජ්‍ය පාලනය සහ නායකත්වය වෙනස් කිරීමේ ක්‍රමය වෙනුවට උද්ඝෝෂණ මඟින් පවා පාලකයන් සහ නායකයන් වෙනස් කළ හැකි තත්ත්වයක් ඇති විය.
ඒ අතරම විටින් විට පැන නැඟුණු උද්ඝෝෂණ, වැඩවර්ජන, විවිධ පෝලිම්, රට වැසීම්, ප්‍රදේශ වැසීම් ආදි සියල්ලම ආරාජිකත්වයට පාර කැපුවේය. රාජ්‍ය පරිපාලනයේ මූලස්ථාන වන ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය ආදිය අරගලකරුවන්ගේ අතට පත් වී රටේ පාලනය සම්පූර්ණයෙන්ම බිඳවැටී තිබුණි.
මේ සියල්ලේ ප්‍රතිඵලය වූයේ ජන ජීවිතය සම්පූර්ණයෙන්ම අවුල් සහගත තත්ත්වයකට පත් වීමය. පාසල් වැසී, සේවා ස්ථාන වැසී, කම්හල් සහ නිෂ්පාදන ආයතනවල වැඩ නැවතී තිබූ තත්ත්වය තුළ ජන ජීවිතය අවිනිශ්චිත සහ අඳුරු එකක් බවට පත් විය.
රනිල් වික්‍රමසිංහයන් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත් නොවන්නට අද වනතුරු ද ශ්‍රී ලංකාව ආරාජික වූ වල්වැදුණු රටක් වශයෙන් පැවතීමට ඉඩ තිබුණි. එහෙත් ඔහුගේ ජනපති පදවි ප්‍රාප්තිය ඉහතින් දැක් වූ සියල්ල ඉතා කෙටි කාලයකදී වෙනස් කිරීම සඳහා හේතු වූයේය යන්න රටේ බහුතරයක් ජනතාවගේ අදහස වී ඇත. ඔහු ජනපති වීමෙන් පසු සියල්ල යථා තත්ත්වයට ගෙන ඒම සඳහා කටයුතු කෙරිණි. පාර්ලිමේන්තුව යටපත් කර ගෙන රට මුළුමනින්ම දේශපාලන වශයෙන් අස්ථාවර කිරීමට ගත් ප්රයත්නය ව්‍යර්ථ කෙරිණි. පාසල්, රජයේ සහ පුද්ගලික අංශයේ කාර්යාල, වැඩබිම් නැවත ආරම්භ විය. කලක් දකින්නට නොසිටි චූන් පාන් කරු ද, මාළු වෙළෙන්දෝ ද ගමට පැමිණෙන්නට පටන් ගත්හ. පාසල් සහ විශ්වවිද්‍යාල යළි විවෘත විය. පෝලිම් අහෝසි විය.
මහජනතාවගේ පැත්තෙන් බලන විට මේ ආකාරයෙන් ඇති වූ වෙනස්කම් බොහෝ දෙනෙකුගේ හිත පිණිස සහ ජීවිතය පිළිබඳව යළි ස්ථිරසාර බවක් ඇති කර ගැනීම සඳහා හේතු වූ බව කවුරුත් පිළිගන්නා කරුණකි. එසේ වුවද ඇති වූ අර්බුදය තුළින් බලයට පත් වීම සඳහා අවස්ථාව බලමින් සිටි පිරිස්වල අපේක්ෂා බිඳවැටී ගියේය. ශ්‍රී ලංකාව පිරිහුණු සහ අස්ථාවර රටක් බවට පත් කිරීමේ ව්‍යාපාරයක යෙදී සිටි විදේශික බලවේගවලට එය බලාපොරොත්තු සුන් කෙරෙන තත්ත්වයක් බවට පත් විය.
හැමදාම ශ්‍රී ලංකාව පිළිබඳව නොමනාපයකින් පසු වන විදෙස්ගතව සිටින ඇතැම් ශ්‍රී ලාංකිකයන්ට සහ හැමදාම ශ්‍රී ලංකාවේ දොස් දකින විදේශීය රාජ්‍ය නොවන සංවිධානවලට ද එය අපේක්ෂා භංගත්වය සඳහා මඟ පෑදූවක් බවට පත්ව තිබුණි. රනිල් වික්‍රමසිංහයන් ජනාධිපති ධුරයට පත්ව ගත වී ඇත්තේ අවුරුද්දකුත් මාස දෙකක් පමණි. අස්ථාවර, ආරාජික සහ ආර්ථික වශයෙන් බංකොලොත් රටක් ඔහු විසින් භාර ගනු ලැබුව ද අද වන විට රට තුළ මහා වෙනසක් ඇති කිරීමට ඔහුට හැකි වී තිබේ. බංකොලොත්භාවයෙන් පූර්ණ වශයෙන් අත්මිඳීමට නම් ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කඩිනම් කළ යුතුව තිබේ. එසේ වුවද ප්‍රධාන ගැටලුවක් වූයේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ශ්‍රී ලංකාවේ ප්‍රධාන ණය සැපයුම්කරුවකු වූ චීනය විසින් තම එකඟතාව පළ කර නොතිබීමයි. ඒ පිළිබඳව සමහරෙක් ප්‍රකාශ කළේ ප්‍රතිව්‍යුහගතකරණයට චීනය එකඟ නොවීම හේතුවෙන් IMF සමඟ ඇති කර ගෙන තිබෙන ගිවිසුම ක්‍රියාවට නැංවීමට නොහැකි තත්ත්වයක් ඇතිව තිබෙන බවය. එම නිසා ණය ප්‍රතිව්‍යුහගතකරණය බිඳ වැටෙන බවත්,IMF ණය මුදල නවතා දමනු ඇති බවත්, රට දිගටම බංකොලොත් තත්ත්වයේ පවතිනු ඇති බවත්ය.
ජනාධිපතිවරයාගේ චීන සංචාරයෙන් පසු දැන් සියල්ල වෙනස් වී තිබේ. චීනය ණය ප්‍රතිව්‍යුගතකරණයට තම සහයෝගය ලබා දෙන බව සහතික කර සිටියේය. ආර්ථිකය නැවත ගොඩ ගැනීම සඳහා පැවති ප්‍රධාන බාධකය ද ඉවත් වූ අතර, ඉතා ඉක්මනින් රටේ ආර්ථිකය නැවත වරක් පූර්ණ වශයෙන් ස්ථාවර වන තත්ත්වයක් ඇති විය. ආර්ථික ස්ථාවරත්වය දේශපාලන සහ සමාජ ස්ථාවරභාවය ඇති කිරීමට ද මහජනතාව තුළ ඇතිව තිබෙන අවිනිශ්චිතතාව සහ කම්පනය දුරු කිරීමට ද හේතු වනු ඇත. මෙසේ රට ආරාජිකභාවයෙන් මිදී ස්ථාවර තත්ත්වයකට පත් කිරීම තුළ මහජනතාව සැනසුම් සුසුම් හෙළමින් සතුටට පත් වෙද්දී අලුත් තත්ත්වය කෙසේවත් දරා ගැනීමට නොහැකි පිරිසක් ද සිටින බව අප අමතක කළ යුතු නැත. රට අවුල් කිරීමට යොදා ගත හැකි කරුණු පිළිබඳව ඔවුන් දැඩි අවධානයකින් සිටින බව පෙනේ. ඔවුන් සිතන්නේ ඒ සඳහා යොදා ගත හැකි එක් ප්‍රධාන උපාය මාර්ගයක් වන්නේ රටේ පුරවැසියන් අතර, ජනවාර්ගික සහ ආගමික ගැටුම් ඇති කර යළිත් වරක් රට අවුල් සහගත සහ ආරාජික තත්ත්වයකට පත් කිරීමට ය. එහෙත් ඔවුන් සිතන ආකාරයට ජනවාර්ගික සහ ආගමික ගැටුම් ඇති කිරීම දැන් පහසු කාර්යයක් නොවේ. මහජනතාව කවරආකාරයේ කුපිත කිරීම් සහ ආවේග දැල්වීම් තුළ වුවද එවැනි ගැටුම්වලට මැදිහත් නොවී සැමවිටම සාමකාමී බව ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරන බව පෙනේ.
එසේ වුවද රජය, ආරක්ෂක අංශ සහ මහජනතාව ප්‍රවේශම් නොවන්නේ නම් එය මෙම පිරිස්වල බලාපොරොත්තු ඉටු කිරීමක් වන බව ද ආරාජිකත්වයට අත වැනීමක් බව ද ප්‍රකාශ කළ යුතුව ඇත. මේ වන විට ජනවාර්ගික සහ ආගමික ගැටුම් ඇති කිරීම සඳහා විවිධ පිරිස් විසින් විවිධාකාරයේ උත්සාහ ගනිමින් සිටින බව පෙනේ. ඔක්තෝබර් 16 වෙනිදා මඩකලපුවේ මයිලාතමඩු මදවනයි ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීම සහ ඉන්පසු ඇති වූ සිදුවීම් මේ සඳහා ආසන්නතම උදාහරණය ලෙස දැක්විය හැකිය.
ද්‍රවිඩ ජනතාව ජීවත්වන ප්‍රදේශයක ඇති වූ මෙම සිදුවීමේ ආරම්භය ඉඩම් කොල්ලකෑමට සම්බන්ධ එක්තරා භික්ෂූන් වහන්සේ නමක් සහ නැෙඟනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර අනුරාධා යහම්පත්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරී ඇති බව පෙනේ. ඉන්පසු එම බුදු පිළිමය අතුරුදහන් වී තිබේ. භික්ෂූන් වහන්සේ නමක් ආවේගකාරී ලෙස හැසිරෙමින් එම ස්ථානයට ප්‍රවිශ්ටවීමට දැරූ උත්සාහය බොහෝදෙනකුට මාධ්‍යයෙන් දැක ගැනීමට හැකි වූයේ යැයි සිතමි. මේ සියලු පාර්ශ්වවල අභිප්‍රාය වී ඇත්තේ යළිත් වරක් ජනවාර්ගික සහ ආගමික ගැටුම් ඇති කිරීම බව පැහැදිලිව පෙනෙන්නට තිබේ.
මෙය එකම සිදුවීම නොවේ. මෑතකාලීනව පැන නැඟුණු මෙවැනි සිදුවීම් වඩාත් පරීක්ෂාකාරී ඇසකින් අධ්‍යයනය කරන විට මහා ජනවාර්ගික ගැටුමක් ඇති කිරීම සඳහා සංවිධානාත්මක ව්‍යාපාරයක් දියත් වී ඇති බවට සැකයක් ඇති වේ.
සැප්තැම්බර් මස 18 වෙනිදා ද්‍රවිඩ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාජා ගජේන්ද්‍රන් විසින් නායකත්වය දුන් තීලීපන් සමරු පෙරහරකට ත්‍රිකුණාමල ප්‍රදේශයේදී පහර දී ඇති බව වාර්තා විය. පෙරහර සංවිධානය කර ඇත්තේ යාපනයේදීය.
එය ත්‍රිකුණාමලයේ ශ්රර්ධාපුර ප්‍රදේශයට පැමිණි විට සිංහල ජන කණ්ඩායමක් විසින් එයට පහර දී තිබුණි. ඒ සියල්ල මාධ්‍ය මඟින් වාර්තා කර තිබුණි. පෙරහර පැවැත්වූයේ සුළු කණ්ඩායමක් විසිනි. එය ත්‍රිකුණාමලයේ සිංහල ගමකට පැමිණියේ කුමන හේතුවක් නිසා ද? පෙරහර පැමිණෙන විට සිංහල ගම්මානයේ පිරිස් එයට පහරදීමට සංවිධානය වී තිබුණේ කාගේ මෙහෙයවීම යටතේද? සිංහල ගම්මානයේ පිරිස සංවිධානය කර තිබුණේ පිවිතුරු හෙළ උරුමය පක්ෂයට සම්බන්ධ පිරිසක් විසින් යැයි සඳහන් තොරතුරු ප්‍රචාරය වී තිබුණි.
එම පෙරහර මෙන්ම එයට පහරදීම ද ජනවාර්ගික ගැටුම් ඇති කිරීම අරමුණ කර ගෙන ක්‍රියාත්මක වූ බව නිසැකය. මෙම දෙපාර්ශ්වය ම ආණ්ඩු විරෝධීන් ය. තවත් කෙනකුට ප්‍රශ්න කළ හැකි වන්නේ මෙම කණ්ඩායම් දෙක එකතුව ජනවාර්ගික අර්බුදයක් ඇති කිරීම සඳහා ක්‍රියාත්මක කළ කුමන්ත්‍රණයක් වුව ද පැවතිය හැකි බවයි.
ආගමික ගැටුම් ඇති කිරීමට උත්සාහ කරන එක් භික්ෂූන් වහන්සේ නමක් රජයේ ඉඩම්වලින් අක්කර 3,000ක් අත් කරගෙන ඇති අතර ඒවා එම ප්‍රදේශවල ජනතාවට අලෙවි කරමින් මුදල් උපයන බව වාර්තා වී ඇත. මෙම ගැටුම් සහ භේද මුවාවෙන් ආදායම් උපයන, ජාවාරම් කරන, සම්පත් භුක්ති විඳින පිරිස් ද ගැටුම් ඇති කිරීමේ උත්සාහය පිටුපස සිටින බව පැහැදිලි වී ඇත. එවැනි අයගෙන් ප්‍රවේශම් වීම ද වැදගත් වේ.
පසුගිය දශක කිහිපය තුළ රට තුළ විවිධාකාරයේ ගැටුම් ඇති කර එයින් ප්‍රයෝජන ලැබූ පිරිස් පිළිබඳව මහජනතාවට හොඳ අවබෝධයක් ඇත. එවැනි ගැටුම් ඇති කිරීමට කොතරම් උත්සාහ කළ ද ඒවා සාර්ථක නොවී ඇත්තේ මහජනතාව දැන් හොඳින් ඒ පිළිබද දැනුම්වත් වී සිටින බැවිනි.
ජනවාර්ගික සහ ආගමික ගැටුම් ඇති කිරීමට උත්සාහ දරන පිරිස්වලට ඒ සඳහා ඉඩ නොතැබීමටත්, ඔවුන්ගේ පටු අපේක්ෂා පරාජය කිරීමටත් රජය මහජනතාව සහ ප්රගතිශීලි බලවේග ඒකාබද්ධ කටයුතු කළ යුතුව ඇත.